හසරැලි වැස්සේ – 32

අපහැදිලි ඡායාවන් ද නොදන්නා මිනිසුන්ගේ හඬ ධ බෙහෙත් ගන්ධය ධ මට තෝරා ගත නොහැකි තරමට පැටලවිලි ලෝකයක් මවා තිබිණ.පාදයක සහ අතක දැඩි රිදුමක් දැනේ.දෑස් හැර බලද්දී හිඳින්නේ රෝහලක බව මට වැටහිණ.එය බොහෝ වෙලා තිස්සේ තේරුම් ගන්නට දෙයක් ද නොවේ. තද බෙහෙත් ගන්ධය මට ඒ බව වටහා දුන්නේ එතරම් කාලයක් වැය නොකර ය.

“පාර බලන්නේ නැතුව මෙලෝ සිහියක් නැතුව පාර පනිනවද ගෑනු ළමයි..”

තරුණ හෙදියක මට සේලයින් ලබා දෙන අතර පැවසුවේ තරවටු ස්වරයකිනි.මා ජීවිතය අතහැර දමන්නට සිතා වාහනයකට පැන ඇති බවක් කිසිවෙකු නොසිතීම ම මට ගෙනාවේ එක්තරා සොම්නසකි.වාට්ටුවේ ඔරලෝසුව හවස හතේ කණිසම පෙන්වයි. මා නිවසින් පිටත් වී බොහෝ වෙලා ගෙවී ඇත.

“අම්මල මාව හොයනවා ඇති..”

මම හැඬුම් ස්වරයකින් හෙදියට මිමිණීමි.අම්මා කලබලයට පත් වී ඇතැයි සිතීම මට බිය ගෙන දෙන කාරණාවකි.දෙනෙත් පැමිණියේ නම් ඇය මා ගැන බොහෝ කෝපයකින් ඉන්නා බව මට සැක නොවේ.නමුත් මා අනතුරකට පත් වී ඇතැයි දැනගැනීම ඇගේ මව් හදවත බොහෝ කැළඹීමට පත් කර ඇති බව මම දනිමි.හඬන ඇය පාලනය කර ගන්නට මම්මාටත් අයියාටත් අසීරු වී ඇති බව සිතෙද්දී මගේ නෙත්වලට කඳුළු උනා ආයේ ය.

“ඔයාගේ තාත්තා ඔයාව හොස්පිටල් එක්කන් ආවේ..”

හෙදිය කියන්නේ අමුතුම කතාවකි. මා අමතා විනාඩි කිහිපයක් කතා කරන්නට ඉඩකඩ නැති වූ තාත්තා ඈත රටක සිට මා වෙත විනාඩි කිහිපයකින් ලඟා වුයේ කෙසේද?

“ඔහොම ඉන්නකෝ..අම්මලා එයි. තාත්තා ඩොක්ට ගාව..”

හෙදිය එසේ කියා යන්නට ගියා ය.මා මිය ගොස් ඇතැයි යන හදිසි සිතුවිල්ලක් හට ගත්තේ ඒ මොහොතේ ය. නැතිනම් තාත්තා කෙනෙකු ගැන මට මේ සිහින පෙනෙන්නට ඉඩක් නොවේ.මේ මිය යාමෙන් පසු මට පෙනෙන ලෝකය ද?

“මේ ගෑනු දරුවා මුණ ගැහෙන හැමදාම මොකක් හරි ලෙඩක් දාගන්නවා:”

සුගත් අංකල් මවෙත ආවේ හිනැහෙමිනි.මම ඔහු දෙස බලා සිටියෙමි.මේ පියවි ලෝකයදැයි සිතන්නට මට ඕනෑ විය.ඔහු මවෙත ආවේ කෙසේද?

“අංකල්?”

ඔහු මගේ හිස පිරිමැද අනතුරුව වෙළුම් පටි එතු අතපය ගැන විමසී ය.ඒවා රිදුම් දුන් තරමට මගේ ඇස් කඳුලින් පෙඟී තිබුණු තරම් ය.

“පුතා එක්ක මම පස්සේ කතා කරන්නං..දැන් අම්මලා එයිනේ..”

අංකල් එසේ පවසා දුරකථනය පිරික්සි ය.මම මගේ දුරකථනය කොහිදැයි බැලුවෙමි.එයට අම්මා අමතද්දී අංකල් පිළිවදන් දෙන්නට ඇත.ඔවුන් දෙදෙනා කාලාන්තරයක පසු එකිනෙකා අමතා ගත මොහොත ගැන මේ අසීරු මොහොතේ පවා මම කල්පනා කළෙමි.

“අම්මලා මට කතා කළාද අංකල්?”

මම දුරකථනය සොයන්නට වෙහෙසෙන අතර ඇසුයෙමි.මගේ බෑගය ලොකරයේ පහළ පෙනෙන්නට ඇත.ජංගම දුරකථනය ඇත්තේ එහි ය.

“දන්නේ නෑ.. දැන් ඉන්න කෙල්ලෝ කොල්ලෝ ෆෝන් එක සයිලන්ට් දාගත්තු ගමන්නේ.කොහෙද ඉතින් කෝල්ස් එනවද නැද්ද දන්නේ?”

අංකල් මොනතරම් සැහැල්ලු මිනිසෙකුදැයි මම සිතුවේ ඔහුගේ හිනැහෙන දෑස දෙස බලාගෙන ය.

“පුතාගේ ගෙදරට මම කතා කළා.. ඔයාගේ අම්මයි ලොකු අම්මයි මගේ පරණ යාළුවො. සරෝ අක්කා ගෙදර ෆෝන් එකට ආන්සර් කරේ..අම්මා බය නොකර එක්කන් එයි..”

සුගත් අංකල් එපමණක් පවසා සුසුමක් හෙළිය.ඔහුට මගේ අම්මාගේ අංකය මතකයේ ඇතැයි සිතීම පවා මට එක්තරා මිහිරක් රැගෙන එන්නට සමත් වුයේ ය.

“අංකල් හොස්පිටල් එකට මගේ කවුරු කියලද කිව්වේ?”

මම අසන්නට බලා සිටි පැනයක් ඇසුවෙමි.ඔහු ඉවත බලා හිනැහුණේ ය.වචන සෙවීමේ උත්සාහයක නිරතව සිටි සුගත් අන්කල් මගේ හිස පිරිමැද ඉතා සිහින් හඬකින් කතා කළේ ය.

“හරි වයසට කසාද බැන්දා නම් ඉතින් මටත් දුවගේ වයසේ ළමයි ඉඳි..”

ඒ හිනාවට යටින් වේදනාවක් ඇති බව මට නොවැටහුණ බව අංකල් සිතන්නට ඇත.නමුත් මට එය ඉතා හොඳින් දැනිණ.ඔහු විවාහ වී නැති බව දැන ගැනීම නිසා මට ඇති වූයේ අලුත් ශෝකයකි. අම්මාගේ පිටුපෑම නිසා ඔහු විවාහයෙන් පවා වැළකී සිටීම මොනතරම් ඛේදන්තයක්දැයි මම සිතන්නට ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles