අම්මාගේ උපන්දිනය.

එදා උදේ ඇහැරෙනකොට අද දවසේ මොකක්ම හරි විශේෂත්වයක් ඇති බව මට මතක් වුණා.ඒත් ඒ මොකක්ද කියලා මට මතක නැහැ.අවුරුද්දේ හැම දවසක්ම කාටහරි වැදගත්.ඔය හැමදෙයක්ම මතක තියාගන්නවට වඩා කරන්න අප්‍රමාණ වැඩ තියෙනවා.මම මුළුතැන්ගෙයට ආවේ එහෙම හිතමින්.අම්මා එතැන නෑ.අම්මට නින්ද ගිහින් ඇති.කලබල දවසට හදිසි දවසට අම්මටත් නින්ද යනවනේ!

“සර්වන්ට් කෙනෙක් ගන්න තියෙන්නේ යොමාල්.මට නම් දැන් ඉෆිස් වැඩි ගෙදර වැඩයි ඔක්කොම මැනේජ් කරගන්න මාරම අමාරුයි”

බැරිම වෙලාවක එහෙම කියද්දී යෝමාල්ගේ උත්තරේ වුණේ තාම ඒක අමාරුයි නේද කියල.ඒකත් ඇත්ත! මේ තියන වියදම් එක්ක අත් උදව්කාරියෙක්ට දෙන්න මුදලක් කොහොම හොයාගන්නද?

“පුතේ මම උයලා ගියේ”

අම්මා සුදු ඇඳුමකුත් ඇඳගෙන මුළුතැන්ගෙයට ආවේ ඒ වෙලාවේ.අම්මා පන්සල් ගිහින්.අම්මා ළඟ පන්සල් සුවඳයි.අද උදේම පන්සල් යන්න අම්මට තියන හේතුව කල්පනා කලාට මට හේතුවක් මතක් වුණේ නැහැ.තාත්තා නැති වුණේ නොවැම්බර් වල.මේ ජුලි මාසේ.

“අම්මේ ගිහින් එන්නන්”

අම්මට පොඩි කිස් එකක් දීලා දුවනකොටත් අම්මා ලොකු හුස්මක් ගන්නවා මට දැනුණා.හේතුවක් මතක් වුණේ නැහැ.හිතන්න වෙලාවක් තිබුණෙත් නැහැ.

“චතු.. අපිට අමතක වුණානේ”

යොමාල් හදිසියේම කතා කරද්දී මම හිටියේ කරවටක වැඩ ගොඩක ගිලිලා.

“අද අම්මාගේ බර්ත්ඩේ එක..”

යොමාල් එහෙම කියනකොට මට සෑහෙන්න දුක හිතුණා.ඒ කියන්නේ අම්මා පන්සල් ගිහින් තියෙන්නේ ඒකයි.

“ඉස්සර අම්මා මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රෙට් කරන්නත් එච්චර කැමැත්තක් තිබ්බේ නෑනේ..”

මගේ උපන්දිනයට කේක් එකක් ඉල්ල ඉල්ලා මොනතරම් යුද්ධයක් කරන්න වුණාද කියලා මතක් කරන ගමන් තමයි මම කේක් ඕඩර් කරෙත්.

අම්මාගේ උපන් දිනය සරලව පුංචියට සමරලා ඉවර වෙලා මම කාමරේට ආවේ මහන්සියෙන්.අම්මාගේ උපන්ධිනය සමරන්න මටත් වඩා උවමනාව තිබුණේ යොමාල්ට.ඒක එයාලගේ පවුලේ සිරිතක්.හැම දෙයක්ම ආදරෙන් සමරනවා.අම්මා මට එහෙම නොකළ බව මතක් වෙනකොට තරහ යන එක වලක්වන්න මට තාම බෑ.

happy family

“මම පොඩි හොර වැඩක් කරානෙ..”

යොමාල් මං ළඟට ආවේ ප‍රණ පොතකුත් අරගෙන.ඒ මොකක්ද කියල දැනගන්න කුතුහලයෙන් මාව පිරිලා ගියා.

“මේ මොකක්ද?” මම ඇහුවේ පුදුමයෙන්.පරණ දිනපොතක පෙනුම තියන ඒ පොත ගැන මට තියෙන්නේ කුතුහලයක්.

“අම්මාගේ කාමරෙන් හොරකම් කරේ..”

යොමාල් ඒ පොත මගේ අතට දීලා ඔයාම කියෝලා බලන්න කියලා නිදාගන්න ගියේ මට හාද්දකුත් දුන්නට පස්සේ.

ඒ අම්මාගේ දින සටහන්.මම ඉපදුණු දවස්වල ඉඳලා නැතත් මගේ පළමුවැනි උපන්දිනය ගැන අම්මා බොහොම දිග විස්තරයක් ලියලා තිබ්බා.

“චූටි දූගේ බර්ත්ඩේ එක සමරන්න මම මොනතරම් ආස වුණත් අසේලගෙ අම්මා හිතන් ඉන්නේ ඒක මහම මහා විකාරයක් කියලා..”

මට දැනුණේ පුදුමයක්.එතැනින් එහාට අම්මා බොහෝ දේවල් ලියලා තිබ්බත් ඒ වචන පේළියම මට ගෙනාවේ ප්‍රහේලිකාවක්.

“තමන්ගෙ දරුව කියල මාලිකා කිසිම විදියකට මේ දරුවට ආස දේවල් අරන් දෙන් නෑනෙ.”

ආච්චි ඒ කාලේ කියන්නේ එහෙම.අම්මලා දරුවන්ට ආදරෙන් හැමදේම හොයලා බැලුවට ආස දේවල් අරන් දුන්නට අපේ අම්මා එහෙම නොවන බව කියන්න ආච්චි නිතරම වග බලා ගත්තා.

“තාත්තා තෑගි ගෙනාවට අම්ම මොකුත්ම ගේන්නේ නෑනෙ.”

අම්මට එහෙම කියපු දවස් කොයිතරම්ද? තාත්තා මේ ලෝකෙන් යන්න ගිය දවස විතරක් නෙවෙයි තාම එයාගේ උපන්දිනයත් සමරන මම අද අම්මාගෙ උපන්දිනය සැමරුවෙත් යොමාල්ගේ උවමනාවට.

“අම්මාට තනියම ගමේ ඉන්න බෑ..අපි එයාව එක්ක යමු..”

තාත්තගෙන් මරණෙන් පස්සෙ යොමාල් එහෙම කියද්දි පවා මම ඒකට එකඟ වුණේ යොමාල්ගේ අම්මලා මොකුත් හිතුවොත් කියල හිතුණු නිසා.ඒ ඇරුණම මට අම්මාගේ තනිකම ගැන ඒ තරම් නොහිතුණු තරම්.

“මම එයාට ආදරේ වුණාට එයා ඒක දන්නේ නෑ.හැමෝම එයා මගෙන් උදුරා ගන්න හදනව මිසක් මට මගේ දූ එයාලා එක්ක බෙදා ගන්නවත් ඉඩ දෙන්නේ නෑ.අඩුම තරමේ මං එයාට ආදරේ බව මගේ දූ කවදහරි දැනගන්නවනම්..’

අම්මාගේ අකුරු ඇතුළෙන් මට පෙනුණේ මහ වේදනාවක්.

අම්මා ඉස්සර මගේ ඉල්ලීම් ඉෂ්ට කරන එක පැත්තකින් තියලා ආච්චි කියන දේවල් කරන්න යනවා.මම දුකින් අඬනවා.

“දරුවා ගැනවත් නොබලා ගෙදර වැඩ.”

එතකොට ආච්චි කිව්වේ එහෙම.මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ මොනතරම් අසාධාරණ විදියටද? මම හිතුවේ පුදුම වේදනාවකින්.

“මෙහෙ නම් ඉන්න එපා ඔන්න..ඔය දෙන්නා ඉන්න ඕන වෙනම..”

happy family

අපේ වෙඩින් එකට ලෑස්ති වෙනකොට යොමාල්ගෙ අම්මා හිනාවෙවී එහෙම කියපු හැටි මම මතක් කළා.එයා අලුත් පරපුරේ නැන්දම්මා කෙනෙක්.ඒත් මගේ අම්මාට හිටියේ පරණ නැන්දම්මා කෙනෙක්. විස්තෘත පවුලක් අස්සේ අම්මා මොනතරම් අභියෝග සහ දුක් උහුලන්න ඇතිද කියලා මට හිතා ගන්නත් බෑ

“ඔයා මගේ වුණාට ඔයාට කවදාවත් මගේ වෙන්න එයාලා ඉඩක් දුන්නේ නෑ.ඔයා මං මැරෙන්න කලින් මාව තේරුම් ගනී මගේ පුතේ..”

අම්මා එහෙම ලියලා තියනව දකිනකොට මට උහුලාගෙන ඉන්න ටිකක් අමාරු ගතියක් දැනුණා.

“ඇයි රත්තරං..මොකෝ මේ..”

අඬාගෙන ගිහින් අම්මාව බදාගන්නකොට මං අම්මාව එහෙම බදාගත්තෙවත් හුඟ කාලෙකින් කියලා මට මතක් වුණා.අම්මාත් මාත් ඒ විදියට සෑහෙන වෙලාවක් ඉන්න ඇති.මම අඬනකොට අම්මා මොකුත්ම නොකියා මගේ පිට අතගාමින් එහෙම ම හිටියා.

“අම්මව මෙච්චර කල් තේරුම් නොගත්තට මට සමා වෙන්න අම්මේ..”

අම්මා මගේ හිස්මුදුන සිප ගත්තේ ඉකියක් එක්ක.

“මැරෙන්න කලින් මටත් සතුටින් ඉන්න උපන්දිනයක් ලැබුණා පුතේ..”

අම්මා කියන්නේ ඇඬුම් හඬකින්.අම්මා ආයේ හැමදාම සතුටින් ඉඳී කියලා මමත් හිතුවේ විශ්වාසයෙන්.

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content