සඳ කිනිත්තක් පායා විත් තිබිණි. සඳැල්ලෙහි තිබූ යුගල අසුනේ හිඳ, සූර්යා ආලෝක ගේ උර මඬලෙහි හිස හොවා සිටියා ය. ඔවුන් ගේ අතිනත් තදින් පැටැලී තිබිණි. සූර්යා සන්සුන් ව හුස්ම ගත්තා ය. ආදරය තිබේ නම් සියල්ල ඇරඹෙන්නේත් අවසාන වන්නේත් එතැනිනි.
“මං බය වුණා නටාෂා කෝල් කළහම…ඔයා කොහේ යයිද කියල”
ආලෝක සිය ඇත්ත හැඟීම් ඈ ඉදිරියේ හෙළි නොකරන්නට තරම් රළු මිනිසෙකු වූයේ නැත.
“බය වෙන්න එපා. හිත අවුල් වුණාම සන්සුන් වෙනකල් මං කරන්නෙ ඒක. කොහේ හරි යන එක. ගොඩක් වෙලාවට බස් එකක වීදුරුවක් අයිනෙ වාඩි වෙලා සීට් එකට ගුලි වෙලා පාර බලාගෙන යනකොට මගෙ ඇස්ට්‍රල් බොඩි එක වෙන් වෙනවද කියල මට හිතිල තියෙනව. එතකොට බොඩි එක පුදුම විදිහට රිලැක්ස් වෙනව. හිත දුක් වින්දත් ඒක පා වෙවී එක එක තැන ඇවිදල ආපහු එන්නෙ ටිකක් කූල් ඩවුන් වෙලා. ඊට පස්සෙ මං ආයෙ ගෙදර එනව”
සූර්යා මුදු වදනින් තෙපලා ය. ආලෝක ඇගේ හිස සිඹ සිඹ හිත නිවා ගත්තේ ය.
“සොරි..”
ඔහු ගේ හඬ තුළ ඉරිතැළුම් විය.
“සොරි කියන්න එපා. මං ආදරෙයි ඒ ජෙලසි ෆීලින් එකට. ඒක මං කාලෙකට පස්සෙ විඳින ආදරයක්. දුක ටිකක් දැනුණා තමයි. ඒත් ඒ වගේ රිදිල්ලක් නිසා ඔයාගෙන් මිදෙන්න හීනෙකින්වත් මට හිතන්න බෑ”
සූර්යා කුඩා බළල් පැටවෙකු සේ පුරු පුරු ගෑවා ය. ආලෝක සිය වමත දිග හැර ඈ වටා යවමින් සූර්යා ව වඩාත් ඔහු වෙතට ලං කොට ගත්තේ ය.
“ප්‍රවීන් පිස්සෙක්”
“හ්ම්. ඒ මනුස්සය මහ ඊරිසියාකාර බොරු කාරයෙක්. කිසී ගාණක් නැතුව ළඟින් ඉන්න අයව පාවල දෙන්න පුළුවන් …අප්පිරියයි”
ආලෝක දිගු සුසුමක් හෙළුවේ ය. ප්‍රවීන් මුණ ගැසෙන්නට ගියා කී විට සූර්යා ගැන ඔහු ගේ හිතේ කේන්තියක් ඇති වූයේ ඈ ගැන සැකයකින් බයකින් නොවේ. ඒ ආදරයේ ස්වභාවයක් විය යුතු ය. ඇය කවදාවක් ප්‍රවීන් ගේ දැලෙහි නො පැටලෙන බව ආලෝක දනී. නමුත් මතුවටත් මේ ඊර්ෂ්‍යා සහගත හැඟීම ඔහු පෙළනු ඇත.
“ඔයාට මං ගැන හරි මට ඔයා ගැන හරි ප්‍රවීන් දෙයක් කිව්වොත්…හිනාවකින් ඒක ගණං නොගෙන ඉන්න අපිට පුළුවන් නං..ඒතරං අපිට අපි විශ්වාසයි නං…ප්‍රවීන් කියන්නෙ මටනං හතුරෙක් නෙවෙයි”
සූර්යා සිය අත්දැකීම් තුළ කෙතරම් පරිනතියකට පත් ව ඇත්දැයි ආලෝක සිතුවේ ය. නමුත් ඉතාමත් අහඹු ලෙස ඈ ඔහු ගේ නෙතු මානයේ පහළ වෙත්දී ආලෝක තව දුරටත් නොදරු තත්වයකට පත් ව තිබිණ.
“වැඩක ඉන්නෙ අම්මෙ. මං එන්න රෑ වෙයි”
කියා ආලෝක චාන්දනී ට ඇමතුමක් දී කීවේ ය. ඇය ‘හ්ම්’ කීවේ මඳ නො රිස්සුමකිනි.
“අම්ම බලං ඉන්නවනෙ. යන්න”
කියා ආලෝක ව පිටත් කොට හරින්නට සූර්යා ට නො සිතුණා නොවේ. ඇය පුළුල් මනසකින් ලෝකය දකින්නට පහු ගිය කාලයේ දී පුරුදු පුහුණු වී සිටියා ය. නමුත් ආලෝක ව යවන්නට නො සිතෙන ලෝභ කමක් ද මේ මොහොතේ ඇගේ පුහුදුන් ගැහැනු සිත වසා ගෙන නැගිණි.
“මේ සෙල්ලම හැමදාම කරන්න බෑ. ඉක්මනට එක තැනකට වෙමු”
මැදියම් රැයේ ගෙදර යන්නට සූසානම් ව එසේ කීවේ ආලෝක ම ය. සූර්යා මුණිවත රැක්කා ය. ඇගේ දෑස් පමණක් කතා කරමින් තිබිණි..මේ ලෝකයේ කුරිරු කම් වල නරක ම විපාක ඇය වසර විසි ගණනක් තිස්සේ වින්දා ය. ඉන් පසු අද වන විට ලෝකය වඩා යහපත් හා මානුෂීය වී ඇතැයි සිතන්නට තරම් ඕ ඉක්මන් වූයේ නම් නැත.
“පරිස්සමට යන්න..ගිහිං මට කෝල් එකක් දෙන්න”
සූර්යා මුදු ලෙස තෙපළා ය. ආදරය කියන දේ තදින් වැළඳ ගෙන සිටිත යුතු යයි දැනෙන වෙලාවකත් යන්න හරින්නට තරම් ඇය මේ මොහොතේ පුදුම තරමින් උපේක්ෂා සහගත වී සිටියා ය.
“ඇහැරිල ඉන්න එපා. ඔයා දැන් නිදියන්න”
ඔහු ඇගේ නළලත සිය දෙතොලින් ආදරය තැවරුවේ ය.
“ඔයා ගෙදරට යනකල් මට නින්ද යන එකක් නෑ”
“මං ආදරෙයි”
සමු ගැනීමක් කියන්නේ යළි හමු වන තුරාවට වී ද හදවත් පටක ඉරී යන සිදුවීමකි. දුරස්ථ පාලකයෙන් රෝලර් ඩෝ එක විවර කරමින් ම ආලෝක සූර්යා ට කතා කළේ ය.
“මං ගෙදර. ඔයා නිදියන්න මැණික”
“මං ලන්ච් රෙඩි කරනවා”
“හ්ම්”
රෑ බෝ වී නිදා ගත්තා ට ආලෝක උදයෙන් ම පිබිදුණේ ය. තේ එක බොන ගමන් ඔහු විටින් විට අම්මා දෙස බැලුවේ ය. චාන්දනී හිටියේ ලොකු කල්පනාවක ය. ඇය කල්පනා කළේ පුතා සමගින් කතා බහ කොතැනකින් පටන් ගන්න ද කියා ය. ඔහු දැන් පොඩි ළමයෙකු නොවේ.
“අම්මෙ”
අවුරුදු හතළිස් තුනක් තිස්සේ පුරුදු ආමන්ත්‍රණය වී ද එහඬින් චාන්දනී තිගැස්සී ගියා ය.
“ම්..”
ඈ පුතු දෙස බැලුවේත් ඇස් වල තිගැස්ම ඇතිව ය.
“අම්මෙ…ගෑනු ළමයෙක් ඉන්නව.
. මං හිතුවා බඳින්න”
“සූර්යාවද..”
ආලෝක ගේ මුවින් ඒ වචන ටික පිට වෙන්නටත් පෙර චාන්දනී ඉස්සර වී සිටියා ය. ආලෝක අම්මා දෙස බැලුවේ විමතියෙනි. ඇය සූර්යා ගැන දැන සිටියේ කෙසේ ද? චාන්දනී ගේ මුවග අඩ සිනහවක් ඇඳිණි. නමුත් එය ප්‍රීති පෙරදැරි සිනහවක් නොව නෙ සන්සුන්කම මුහු වූ එකකි.
“අම්ම දන්නෙ කොහොමද කියල වෙන්නැති දැන් හිතන්නෙ නේ…දන්න විදිහ නෙවෙයි ආලෝක…දන්න දේ හරිද කියල විතරයි මට දැන ගන්න ඕන”
“හරි”
ආලෝක කෙළින් ම කීවේ ය.
“ඒ කියන්නෙ ඔයා එයාව බඳින්නත් යන්නෙ…”
“ඔව්”
“කසාද බඳින්න කිට්ටු වයසෙ ලොකු ළමයි දෙන්නෙක් ඉන්න කෙනෙක්…කොහොමද එයා ගෑනු ළමයෙක් වෙන්නෙ…”
“හරි වයසෙදි බැන්දනං මටත් ඒ වයසෙ ළමයි ඉන්නවනෙ අම්මෙ”
“ඔයාට අවුරුදු විසි ගණනක ගෑනු ළමයෙක්ව බඳින්න කතා කරන්න අදත් මට පුළුවන්”
“ඒත් මට එහෙම කෙනෙක් බඳින්න ඕන වුණෙ නෑ කියල අම්ම දන්නවනෙ”
චාන්දනී කේන්තිය පාලනය කර ගෙන එතැනින් නික්ම යන්නට ගියා ය. හිස මඳක් ඔසවා ගෙන ඇස් කණ්ණාඩි යුගල පිටුපසට තල්ලු කරමින් ඕ තොමෝ වේගයෙන් ඇස් පිය සැලුවා ය. චාන්දනී කියන්නේ ලෙහෙසියෙන් හඬනා ගැහැනියක නොවේ..ඇය කඳුළු අතීතයේ අතැර දමා ආ ගැහැනියකි. නො එසේ වී නම් මේ ඇගේ ඇස් තෙත් වෙනා මොහොතකි.
වින්ද දුක් කඳ අතරින් පතර එහෙන් මෙහෙන් මේ දැනුත් ඇය ට සිහි වේ. දැන් සිටුවර දිවියක් ගෙවුවාට, චාන්දනී කියන්නේ දුක් නො වැළඳූ ගැහැනියක නොවේ. ආලෝක උස් මහත් කර ගන්නට තනි ගැහැනියක වශයෙන් උහුලා ගත් සියල්ල දෙස ආපසු හැරී බලත්දී පුදුම ය.
“ආයෙ කසාදයක් බඳින්න. මනුස්සය මැරිලයි කියල දැන ගත්තට පස්සෙ මේ සමාජෙ තරුණ ගෑනියෙක්ට තියා නාකි ගෑනියෙක්ටවත් තනියම ඉන්න බෑ. ඉන්න දෙන්නෙ නෑ”
දන්නා කියන හැම කෙනෙක් ම චාන්දනී ට දුන්නේ ඒ අවවාදයයි. නමුත් මුළු හදවතින් ම දේශප්‍රේමියෙකුට පෙම් කළ ගැහැනියකට, එවැනි මිනිසෙකු කියන්නේ අධි රාජ්‍යයක් වාගේ හැඟීමක් දනවන්නකි. ඒ හැඟීම දනවන්නට, ඊට සමාන හෝ හැඟීමක් ගෙන දෙන්නට සමත් පිරිමියෙකු ගැන හිතීමත් විහිළුවකි. තනි කම නිවා ගනු වස් පිරිමියෙකු ජීවිතයට තබා යහනට හෝ කැඳවා ගන්නට චාන්දනී ට ඕන වුණේ නැත. එහෙම කරනවාට වඩා දේශප්‍රේමියා ගේ මතකයත් එක්ක, ඔහු ගේ ලෙයින් ජනිත වූ කොලු පැටියා තුරුලු කර ගෙන ඉන්නා එක ඇය ට සැපතක් වූයේ ය.
චාන්දනී වියදම් පියවා ගත්තේ ඉතා අසීරුවෙනි. සබන් කැටය නූලක් දමා හතරට කපා පාවිච්චි කරන්නට ඇය පුරුදු වි සිටියා ය. මාළු බාගය කෑලි හතරක් ගණන් කොට උයා දෙදිනකට පිරිමසා ගත්තා ය. පාන් බාගය ගෙනත් දෙකට කපා ලොකු කාල ආලෝක ට දී කෑවා ය.
“මිනිස්සු බඩ දකින්නෙ නෑ. හැබැයි ඉගෙනගෙන තැනකට ආවොත් මිනිස්සු ඒක දකියි”
මන්තරයක් සේ ඈ ආලෝක ඉදිරියේ ජප කළේ ඒ වචන ය. ඒ තරං අමාරුවෙන් කුමාරයෙක් බවට පත් කළ කොල්ලා අවුරුදු හතළිස් තුනක් තනිකඩ ව හිඳීම ඇගේ මව්වත් ළය රිදවූ කාරණාවකි. නමුත් ඔහු සූර්යා වන් ගැහැනියක සමග පටලැවිල්ලක් ඇති කර ගැනීම ඊටත් වඩා ඈ රිදවයි.
චාන්දනී ට කේළම කීවේ ප්‍රවීන් ය. ඔහු කී බවක් නො කියන ලෙස හෙතෙම චාන්දනී ගෙන් පොරොන්දු ද ගත්තේ ය.
“එච්චර හොඳ අම්මණ්ඩි කෙනෙක් නෙවෙයි. අවුරුදු ගාණක් රට ඉඳල ආපු දික්කසාද ගෑනියෙක්නෙ. හිතා ගන්න පුළුවන් නෙ ආන්ටි ඉතින් නේද…මට දුක අපේ මෝඩය ගැන. අපි කොච්චර කිව්වත් අහන්නෙ නෑ. මේ අම්මණ්ඩි කොල්ලව රවට්ට ගත්තා. ඒකයි වුණේ. ආන්ටි බොඩ්ඩක්වත් මේකට බුරුල දෙන්න එපා. අම්මෝ…ඕකට අහු වුණොත් මූ ඉවරයි”
ලුණු ඇඹුල් පදමට දමා ප්‍රවීන් චාන්දනී ගේ කනේ කේළම තිබ්බේ එහෙම ය. ඔහු කීවේ බොරුවක් ද යන සැකය චාන්දනී ගේ හිතේ විය. නමුත් දැන් ඒ සැකයත් බොරුවක් බව ආලෝක විසින් ඔප්පු කොට තිබේ.
චාන්දනී ගේ හිත කකියන්නේ සූර්යා නරක ගැහැනියක ය යන කතාව හින්දා ය. ප්‍රවීන් ඒ බව තහවුරු කරන්නට කාරණා රැසක් ගෙන හැර පා තිබේ. චාන්දනී ඒ අනුව සූර්යා මේ යයි චිත්‍රයක් ඇඳ ගත්තා ය. පෙනුම අනුව ම නොවේ. ඇගේ චර්යාවන් අනුව ය. ඇය නරක ගැහැනියකි. තවුසන්ගේ පවා සිල් බිඳිනා ලියතඹරාවකි. අලෝක වනාහි ඇගේ රැඟුම් ඉදිරියේ සිල් බිඳ ගත් තවුසෙකි!
එදා දවල් ආලෝක සූර්යා ගේ අපාට්මන්ට් එකට ගියේ ය. ඔහු ගේ මූණ වෙනස් බව සූර්යා එක බැල්මකින් හැඳින්නා ය.
“මොකක් හරි ප්‍රශ්නයක්ද…”
වෙනදා වාගේ ආලෝක හුරතල් පෙම්වත් ආලිංගන වලට නෑවිත් කල්පනා කරමින් සිටියේ ය.
“ප්‍රශ්න ටිකකුත් තියනවා…”
ඔහු සිය රැවුල් කොට පිරි නිකට පිරිමැද්දේ ය.
“එක්සිබිශන් එකකට යන්නත් වෙලා තියෙනව…ජර්මනියෙ…”
“ඉතිං ශෝක්නෙ”
“ඔයත් යනවද…”
“යං…ෆ්‍රාන්ස් වල නේබර් නේබර් කන්ට්‍රි එකක්නෙ. අපිට එහෙමම ෆ්‍රාන්ස් යන්නත් පුළුවන්”
සූර්යා හදිසි සතුටකට පත් වූවත් ආලෝක ගේ හිස මත පැටවී තිබුණේ බරකි. ඒ බව සූර්යා ට නො හඟවා ඉන්නට ද ඔහු ට ඕනා විය.
“මේක අලුත් සිනමන් ටී මාකට් එකක් හදා ගන්න හොඳ ඔපචුනිටි එකක්. හැබැයි හිස රදේකුත් තියෙනව”
“ඒ මොකද්ද…”
“ප්‍රවීනුත් මේකට යනව”
සූර්යා ප්‍රශ්නාර්ථයෙන් ආලෝක දෙස බැලුවා ය. ඔහු ඇදෙස නෙතු පිය නො සලා බලා සිටියේ ය. බොහෝ කාලයක් තිස්සේ අත් හැරී තිබි ඇයව යළිත් සිය දෝතින් ගෙනැවිත් තබන්නට තරම් දෛවය කාරුණික වී තිබේ. නමුත් ඉදිරියට එන්නට නියමිත දෛවයේ සරදම් ගැන තවමත් ඔහු ට නිශ්චිත ව සිතා ගත නො හැකි ය.