(අ)හිමි සිහින -26

කෙනෙක්ගෙ ව්‍යාපාර සහමුලින්ම බංකොලොත් වෙලා යන්නේ කොහොමද? ඒ ප්‍රශ්නයට ඔයාල ළඟ තියෙන්නේ මොන වගේ උත්තර ද? සාමාන්‍ය සමාජයේ සිද්ධ වෙන දේවල් එක්ක ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අධික ලෙස බීමට ඇබ්බැහි වීම, පාලනයකින් තොරව මුදල් වියදම් කිරීම,සූදුවට ඇබ්බැහි වීම සහ අනියම් සම්බන්ධතා.ඒ කාරණාවලින් අසංකගේ වැරැද්දකට තිබ්බනම් තිබුණේ මුදල් වියදම් කිරීමේ පාලනයක් නැති කම විතරයි.ජීවිතය ඇතුළේ මොනව සිද්ධ වුණත් මම ආයෙම ආයෙම ආයෙම කියන දෙයක් තමයි අසංක නරක වනචර මනුස්සයෙක් නම් නෙමෙයි.

ඉතින්, ඔහුගේ ව්‍යාපාර දවසින් දවස පිරිහුණා.ඒවා සිද්ධ වුණේ තමන් ගැන නොහිතා අනුන් ගැන වැඩිපුර හිතන්න යාම කියලා මම අදටත් හිතෙනවා.අසංක ඔහුගේ සල්ලි වලින් මහගෙදර අංගසම්පූර්ණ නිවසක් බවට පත් කරලා තිබුණා.ඒ ගෙදර අයිති වුණේ මල්ලිට.තමන්ගේ සහෝදරයාගේ දේවල් කිසිම වග විභාගයක් නැතිව කඩා වඩා ගත්ත ඒ මල්ලි අද වෙනකොට රජයේ ඉහල නිලයක් හොබවන කෙනෙක්.ඒ හොඳින් ඉගෙනගෙන නෙමෙයි.ඔහුට තිබූ තදබල දේශපාලන සම්බන්ධතා හේතුවෙන්.

සහෝදරයාට ගේ දීපු අසංක මාත් එක්ක හිටියේ කුලී ගෙදරක. මේ වගේ කාරණා මගේ හිත අන්තයටම පීඩාවට පත් කරලා තිබුණා.අසංක තරම් කිසිම මනුස්සයෙක් ණය වෙලා ඉන්න ඇති කියලා මම හිතන්නේ නෑ.ඒ තරමට ඔහුට ණය තිබුණා.ඒවා බේරන්න බැරුව ණය කාරයෝ ගෙදරටම හොයාගෙන එනකොට මම මගේ අම්මගෙන් තාත්තගෙන් පිහිට පතපු අවස්ථා ඕනෑ තරම් තිබුණා.මගේ මුළු වැටුප ම වැය වුණේ ගෙදර වියදමට.ඒ නිසා මට මං වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න ලැබුණේ නෑ.

නරක කාලෙදී විෂ්ණු දෙයියොත් බටකොළ කෑවා කියනවනේ!

අතිශය සැපපහසු ජීවිතයක් ගත කරපු ගෙදර එකම දුව වුණු මට ඒ ජීවිතය පොඩ්ඩක්වත් පහසු වුණේ නැහැ.මම වැටිල හිටියේ ගොඩ එන්න බැරි වලකට. එකල මට සමීපවම හිටපු අය අදටත් මගෙන් අහන්නේ “ඔයා ඒ හැම දෙයක්ම ඉවසුවේ කොහොමද?” කියලා.

smart lady සමූහයේ නිර්නාමික ගැටලු අතර මේ වගේ මහා අභාග්‍යසම්පන්න විවාහ ජීවිත ගත කරන තරුණ නංගිලාට ඉක්මනින් එතැනින් ගැලවී යාම සුදුසු බව කියන ඔබේ කමෙන්ට්ස් දැක්කම මට සතුටක් ඇති වෙනවා.අපේ කාලයට වඩා ඔබ හිතන විදිය හරි පරිණතයි.කවදා හෝ සතුටක් උදාවන තුරු දුකෙහි ගැලී නොඉඳීම තෝරාගැනීම ගැන මට දැනෙන්නේ සතුටක්. “ඔහොම හැමදේම දරාගෙන හිටියේ කොහොමද ?” කියලා මගෙන් දැන් අහන කවුරුත්ම ඒ කාලේ මගේ අනාගතය සම්බන්ධයෙන් උපදේශ දුන්නෙත් නැහැ.

නමුත් මටත් මොනම මොහොතකවත් පවුල් ජීවිතය අතහැර යන්න උවමනා වුණේ නැහැ.රණ්ඩු වෙලා අසංකව අතාරින්න,වෙනත් සම්බන්ධයක් ඇති කරගෙන ඔහු අත්හැර දමන්න මොන මොහොතකවත් උවමනා වුණේ නැහැ. වෙන එකක් තියා සුදාරක හොයාගෙන යන්නවත් මගේ තුන් හිතකවත් අදහසක් තිබුණෙ නැහැ.මම පවුලේ එකම දරුවා නිසා මට සහෝදර බැඳීම් තිබුණෙ නැහැ.අලුත් පවුලේ සහෝදර සහෝදරියන් සිටීම නිසා මම ඔවුන්ට ආදරය කළා. ඒ බැඳීම් අත්හැර ගන්නත් මට ලෝබ හිතෙන්න ඇති.මොකද මම ඒ තරමටම ඔවුන්ට උදව් කළ උපකාර කළා සහ ඔවුන් වෙනුවෙන් හිටියා.

“පිට මිනිස්සු මගේ බව සිතමින් ඔවුන්ව වඩාත් ළං කර ගැනීම.”

අතීතය දිහා හැරිලා බලනකොට ඇත්තටම මට වැරදිල තිබුණෙත් අන්න ඒ කාරණාව නිසා.

දරාගන්න බැරි තරම් ණයබර එනකොට ඒවට කරන්න කිසිම දෙයක් නැතුව යනකොට අසංක තදබල ලෙස මානසිකව වැටුණා. “සල්ලි තියෙනවා කියලා පෙන්නලා මාව බැඳගෙන දැන් මාව හිඟන්නියක් කරා නේද?” මට අසංකත එක්ක ඒ විදියට රණ්ඩු වෙන්න තිබුණා තමයි.නමුත් මං කවදාවත් එහෙම කළේ නෑ.

“කලබල වෙන්න එපා අසංක.හැම ප්‍රශ්නයකටම විසඳුම් තියෙනවා.ඔයාට ණය බරින් ගොඩඑන්න ඉක්මනින්ම පුළුවන් වෙනවා .මම ඔයා එක්ක හැමදාම ඉන්නවා.කිසිම ප්‍රශ්නෙකදි ඔයා තනි වෙලා නෑ..”

අසංක ඔෆිස් එකට යනකොට මං ඒ වගේ ලියුම් කෑලි ලියලා ඔහුගේ කාර්යාල බෑග් එකට දානවා.ඒව කියවල ඔහු හිත හදා ගනී කියලා මම හිතන්නේ සැනසීමෙන්.ඒ වගේ පුංචි පුංචි කාරණාවලින් හරි සතුට හොයාගන්න මම තදබල උත්සාහයක් ගත්තා.

ඕනෑම උත්සාහයක් සහ ඉවසීමක් අහවර වෙන දවසක් එන්න බව මම නොදැන හිටිය නෙමෙයි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles