(අ)හිමි සිහින -37

මම ඒ වෙනකොට රැකියාවෙන් ඉවත් වෙලා ටික කාලයක්.වෘත්තිය සැලසුම් ශිල්පිනියක් වුණු මම ඒ ක්ෂේත්‍රයට ආයේ අඩිය නොතියන්න හිතුවා.ඒ පුංචි කපටිකමක් නිසා.සැලසුම් ශිල්පිනියකට රස්සාවක් හොයාගන්න මහනුවරින්ම පුළුවන්.මට එහෙ නැති දෙයක් කරන්න ඕනෑ වුණා.

“මම චෙෆ් කෙනෙක් වෙනවා.”

මං තීරණය කළා.අවුරුදු විසි තුනක් වෙනකන් ළූණු ගෙඩියක්වත් සුද්ධ නොකරපු මම එහෙම තීරණයක් ගන්නකොට අනිත් අයට පුදුම හිතෙන්න ඇති.ඒත් මං එදා ඒ තීරණය ගත්තේ මේතරම් දුරක් ඇවිද එන්න හිතාගෙන නෙවෙයි.හොටෙල් ස්කූල් එකක් තියෙන්නේ කොළඹ.මම ඒක තෝරා ගත්තෙම කොළඹ එන්න හිතාගෙන.

“මං සතියේ දවස් පහ කොළඹ ගිහින් ඉන්නම්.සති අන්තේ ආපහු එන්නම්.මම සතියටම ඇති වෙන්න ඔයාට උයලා යන්නේ..”

ගමනට අවසර ගන්න මම අසංකට ඒ වගේ කතාවක් කිව්වා.ඔහු ඒකට අකමැති වුණේ නෑ.මම ඇත්තටම සතියටම ඇති වෙන්න මාළුපිණි සැකසුවා.හැඳි මාරු නොවී,බත් ඇට මිශ්‍ර නොවී වෙනවෙනම භාජනවලට දාලා සතියටම ඇති වෙන්න මාළුපිණි සැකසුවාම මටත් හිතට සැනසීමක් දැනුණා.
ඇත්තටම මම මේ යන ගමනට රහස් අරමුණක් ඇති බව දැනගෙන හිටියේ මම.මම විතරමයි.මගේ පවුලේ ප්‍රශ්න පවා කිසිවෙක්ම නොදන්න නිසා මම මේ යන්නේ ඉරණම් ගමනක් කියලා කවුරුත්ම දැනගෙන හිටියේ නෑ.මට කියන්න උවමනාවක් තිබුණෙත් නෑ.

ඒත් ජීවිතය සම්බන්ධයෙන් තීරණයක් ගන්නට ප්‍රමාද නොවිය යුතු බව මම දැනගෙන හිටියා.ඒ නිසාම මං ඒ තීරණය ගන්න හිතුවේ.පසුතැවීමකට වඩා ක්‍රියාත්මක වීමයි සුදුසු.

මෙච්චර මේ තීරණ ගන්නකොට මගේ අතේ කීයක් තියෙන්න ඇති කියලා ඔයාලා හිතනවද?

රුපියල් එකසිය තිහක්!

එච්චරයි.නුවර ඉඳලා කොළඹට යන ඉන්ටර්සිටි බස් එකට ගෙවිය යුතු ගාස්තුව රුපියල් සීයයි.එතැනින් පස්සේ ගෙදරට යන්න කොටුවේ ඉඳලා මහරගමට රුපියල් විස්සක් යයි.මම අතේ ගාණට සල්ලි තියාගෙන එළියට බහින්න හිතුවා.හැබැයි මම බය නැහැ.මගේ කර මාලය තිබුණා.මොනයම් මොහොතක හරි ඕනෑ වුණොත් ඒ මාලය උකස් කරලා මුදල් හොයාගන්න මම තීරණය කළා.
මේ මොහොතේ කළ හැකි දේ කරනවා.එපමණයි.ඕනෑවට වඩා නොහිතා ඉන්න ඕන.මම මටම කියා ගත්තා.

Relationship difficulties

ගෙදරින් පිට වෙන්න කලින් මම අසංකගේ කකුල් දෙක අල්ලලා වැන්දා.ඔහු හිතන්න ඇති මම අලුත් ගමනට ඔහුගේ ආශිර්වාදයක් බලාපොරොත්තු වෙන බව.ඒත් මම මගේ හිත ඇතුළෙන් මටම කියා ගත්ත එක තීරණාත්මක වචන ටිකක් තිබුණා.

“මට සමා වෙන්න අසංක.මං අවුරුදු හතක් තිස්සේ දේවල් දරා ගත්තා.මේ ඇති.මම ආපහු එන්නේ නෑ.සති අන්තයේ ඇවිල්ලා ගියත් මං ආයෙ ඔයාගේ වයිෆ් විදියට ජීවත් වෙන්න එන්නේ නෑ.අපි ඉක්මනින් වෙන් වෙයි.මට සමාවෙන්න ඒත් මට කරන්න දෙයක් නෑ.”

දරා ගැනීම අවසන් නොකර හැමදාම ඉවසන ගෑනු කවදාවත්ම දිනන්නේ නෑ.සැනසීමෙන් ඉන්නෙත් නෑ.මට ඒ තීරණය නොගෙන බැරි වුණා.එතැනින් එහා ජීවිතේ කියලත් මල් යායක් වුණේ නෑ.

ඒ වුණාට මං හරි!

මං තාමත් ඒක විශ්වාස කරනවා.ඒ අත් හැරීම මාව සම්පුර්ණ කළ බවත් මම මා සොයා ගත බවත් මම විශ්වාස කරනවා.ජිවිතේ ගැන තැවෙමින් එතනම හිටියා නම් මම තවමත් වේදනාවෙන්.නමුත් මම දැන් මගේම මාවතක සන්තෝසයෙන් සහ ධෛර්යයමත් ලෙස ගමන් කරනවා. ඒ එදා එහෙම නික්ම ආ නිසා.

ඔබ පල කරන සමහර නිර්නාමික ගැටලුවලට අනිත් ඇය “පසු නොබලා පලා යන්නැයි ” කියද්දී ඒ නරක තීරණයක් බව හිතන්න එපා. සමහර වෙලාවට වෙන කළ හැකි දෙයක් ඇත්තටම නැහැ. ඒ නිසා ජීවිතය ලබා දෙන අවස්ථා මඟ හරින්න නම් එපා

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles