(අ)හිමි සිහින -50

මම තරුපහේ හෝටලයෙන් ඉවත් වුණා.එකම ආහාර වර්ග හදමින් එකතැනකට කොටු වෙලා ඔහේ හිඳීමෙන් ඇති ඵලය මොකක්ද කියලා හිතුණු නිසාම තමයි මං ඒ තීරණය ගන්නේ.ඊටපස්සේ මම රැකියා කිහිපයක් ගැන විමසිලිමත් වුණා.ප්‍රමුඛතම ගෘහ උපකරණ නිෂ්පාදන ආයතනයක Kitchen Demonstrator කෙනෙකු හැටියට යන්න මට හිතෙන්නේ ඒ විමසිලිමත් වීම නිසා.මම සම්මුඛ පරීක්ෂණයට ගියා.එහි හිමිකාරිනිය ඉන්දීය කාන්තාවක්.ඇයට මම රැකියාව ගැන මට ඇති ගැටලුව කිව්වා.රැකියාවේ ස්වභාවය තමයි ආයතනය නිෂ්පාදනය කරන මුළුතැන්ගෙයි උපකරණ වලින් කෑම නිවැරදිව සකසන ආකාරය ජනතාවට පෙන්වීම.

“මට උයන්න පුලුවන් මැඩම්.ඒ වුණාට මම මේ බහුතරයක් උපකරණ භාවිතා කරන හැටි දන්නේ නැහැ.”

මම එහෙම කියනකොට හිමිකාරිනිය සුන්දර සිනාවක් මට තිළිණ කළා.ඊටපස්සේ ඉංග්‍රිසී භාෂාවෙන් මා ඇමතුවා.

“නෑ නෑ දරුවෝ.ඔයා ඉගෙන ගනීවි.ඉක්මනින් ඔයාට ඒ දේවල් පුලුවන් වෙයි.”

ඈ සැබෑවටම යහපත් කාන්තාවක්.මට දියණියකට සේ සැලකුවා.ඉතින් මම ඒ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණා.

ඒ තමයි හැරවුම් ලක්ෂ්‍යය!

අද ඔබ දකින මා ගොඩ නැගුණේ එහෙමයි.රූපවාහිනී වෙළඳ දැන්වීම්,වැඩසටහන්, පුවත්පත් ලිපි,වෙබ් අඩවි,සඟරා මේ හැමතැනකදීම දිනකට වාරයක්වත් ඔබ මාව දකිනවා.එවැන්නියක වන්නට මා තැනෙන්නට පටන් ගත්තේ ඒ රැකියාව බාර ගැනීමත් සමඟයි.

මම මගේ සහායකයාගෙන් හැම විදුලි උපකරණයක්ම ක්‍රියාත්මක කරන ආකාරය ඉගෙන ගත්තා.ඒවා ගැන සම්පූර්ණයෙන් ම හැමදෙයක්ම ඉගෙන ගන්න මම අමතක නොකළේ රස්සාවට උයන එක විතරක් අදාළ නොවුණු හින්දාමයි.මම හැමදෙයක්ම ව්ස්තර පත්‍රිකා බලමින් ඉගෙන ගන්න පටන් ගත්තා.

“වැටෙන තැනක කොහොම හරි පැළවෙන්න”

මේ මම තරයේම අදහන වාක්‍යයක්.ඒ නිසා මට මේවා බෑ,අරවා බෑ කියලා පසු බහින්න මට උවමනා වුණේ නැහැ.

අපේ සමාගමට ලංකාව පුරා ප්‍රදර්ශනාගාර තුන්සියයකට අධික ප්‍රමාණයක් තිබුණා.මගේ රැකියාවේ හැටියට ඒ හැම ප්‍රදර්ශනාගාරයකටම යන්න ඕනෑ. ඒ ප්‍රදර්ශනාගාරයකින් අවන් එකක්,බ්ලෙන්ඩර් එකක් ආදිය මිලට ගත්තු අය ඔවුන් ගෙන්වලා තියනවා.මම කරන්නේ ඒ උපකරණවලින් කෑම ජාති හදා ගන්න ආකාරය ඔවුන්ට පැහැදිලි කරන එකයි.

ඇත්තටම අපිට අපහසුයි සහ බැහැ කියලා හිතෙන සමහර දේ වැඩපහසු කරන මේ විදුලි උපකරණ වලින් හරියට කරන්න පුලුවන්.උදාහරණයක් කිව්වොත් කිරිකැටි ගැහෙන්න නොදී හැඳි නොගා කිරිහොද්දක් හදා ගන්න අපිට මයික්‍රොවේව් අවන් එකෙන් පුලුවන්.මම විවිධ අත්හදා බැලීම් කරමින් සමහර බොරු මත හිස් කතා කියල ඔප්පු කරමින් මගේ රැකියාව කරගෙන ගියා.

උපකරණ ක්‍රියාත්මක කරන්න නොදැන රස්සාවට ආව මම කාලයක් යනකොට අදාළ ආයතනයේ කාර්ය මණ්ඩලයත් පුහුණු කරන තැනට ආවා.වෙනත් ආයතනයක ඒජන්සිය අපේ ආයතනයට ලබා ගැනීමේදී එහි කාර්ය මණ්ඩලය සිංගප්පූරුවෙන් ගෙන්වාගෙන පුහුණු කිරීම පවා මට පැවැරුණා.

ඉතිං කොහොමහරි රස්සාව නිසා ලංකාව වටේම යන්න මට ඉඩ ලැබුණා! මම ඒ හැම ගමනකදීම ඉවුම් පිහුම් මා දන්නා සියල්ල සාමාන්‍ය ජනතාවත් එක්ක බෙදා ගත්තා.මං ගාව තවමත් ඔවුන් මා අගය කරමින් ලියූ චිට් ගෝනි ගණනට තියෙනවා.

ඒවා මට සම්මාන හා සමානයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles