ඔබ දකින තුරා – 42

දික්කසාද නඩුව පැවැත්වීගෙන ගිය කාලය තුළ කේෂි ගේ මනස තුළ ඇති වෙමින් පැවති විපර්යාසය ඇය පීඩනයට පත් කරන්නකි. සෑම නඩු වාරයකදී ම පැමිණිල්ලේ නීතීඥවරයා ගේ හරස් ප්‍රශ්න නිසා ඇය අසාමාන්‍ය ලෙස පීඩාවට පත් වූවා ය. දෙමාපියන් හා තවත් දන්නා නො දන්නා බොහෝ අය ඉදිරියේ ලැජ්ජාවටත් අපහසුතාවයටත් පත් වූවා ය. කාටවත් නො කීවාට ඇතැම් විට උසාවියේදී ඇසෙනා හරස් ප්‍රශ්න, සාමාන්‍ය ජීවිතයේදීත් නොයෙක් අවස්ථා වල, නොයෙක් තැන් වල, සජීවී ව ඇසෙන්නා සේ ඇය ට දැනෙන්නට ගති. එවන් තත්වයක් දරා ගත නොහැකි වූ ඇතැම් වෙලාවක ඕ දෑතින් දෙසවන් වසා ගෙන දෑසත් පියා  විනාඩි කිහිපයක් ගත කරයි.

කේෂි කියන්නේ ජීවිතය ගැන බරක් පතලක් හෝ වගකීමක් ඇති ව හැදුණු වැඩුණු ගැහැනු ළමයෙකු නොවේ. ඉතා ධනවත් ව්‍යාපාරික පියෙකු ද උද්දච්ච මවක ද දෙමව්පියන් ව උන් නිසා ඕනේ කියා හිතන හැම දේ ම ඒ මොහොතේ ම ඇය ට ලැබිණ. ඒ නිසා ම කිසිවක් වෙහෙස වී ලබා ගන්නට ඈ දැන සිටියේ නැත. වෙහෙස වී ලබා ගන්නා දේක අගය දැන සිටියේ ද නැත. ඉගෙනීමෙහි දක්ෂතාවයක් තිබූ නිසා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා කලා අංශයේ උපාධියක් හැදෑරූ ඇගේ ඇස්, ව්‍යාපාර කලමණාකරණ හා ගිනුම් අංශයෙහි සිසුවෙකු වෙත යොමු වූයේ ඔහු ගේ තිබුණ විශේෂ පෞරුෂය නිසා ය. දිසත් වෙත ප්‍රේමාරාධනයක් කරන්නට ද ඇය දෙවරක් සිතුවේ නැත. නමුත් ඔහු ඇය හා විවාහ වීමේ එකඟතාවයට පත් වූයේ ඉන් සෑහෙන කාලයකට පස්සේ ය.

ඒ කාලේ කේෂි සිටියේ වසඟ වීමක් තුළ ය. හිමි කර ගැනීමෙන් පසු එවන් ආකර්ෂණයන් දිය වී යාම සාමාන්‍ය ලෝක ස්වභාවයයි. ඇයට ද එසේ වන්නට ඇත.

නමුත් විවාහයක් තුළින් ගැහැනියක ප්‍රාර්ථනා කරනා, කුමක් දැයි නිශ්චිත ව තේරුම් නොගත් යමක් කේෂි වෙත ද විය. ඇතැම් ගැහැනියකට එය රැකවරණය හෝ සුරක්ෂිත බව හෝ ආර්ථික පහසුව හෝ වන්නට පුළුවන. නමුත් කේෂිට දිසත් නැතිවත් ඒ දේවල් සපයා ගත හැකි ව තිබිණ. ඇය ඒවාට වඩා ඔහු ගේ බිරිඳ වීම තුළ තත්වයක් ගෞරවයක් අපේක්ෂා කළා වන්නට පුළුවන. විශ්ව විද්‍යාලය තුළ ආඩම්බරකාරයෙකු ලෙස ප්‍රකට ව සිටි දිසත් සිය සැමියා ලෙස පත් කර ගැනීමෙන් ඇය සිය සමකාලීන යෙහෙළියන් අතරේ අභිමානයක් වින්දා ය. නමුත් විවාහ ජීවිතය ඇතුළේ විඳිත හැකි ප්‍රහර්ෂය සොයා ගන්නට ඇය සමත් වූයේ නැත.

කොතැනක හෝ අඩුවක් පවතින බව ඇය ට දැනිණ. ඒ හිස් තැන ගැන ඇතැම් විට දිසත් ගේ අවධානය ද යොමු නොවන්නට ඇත. කොහොමටත් ඔවුන් දෙදෙනා වූ කලී ශරීර කූඩු දෙකක් අරක් ගත් එක ආත්මයක් නම් නොවේ. එහෙම වැරදි සිදු වන්නේ ය. අප ඒ තෝරා ගැනීම කරත්දී විටෙක අපිට ම වංක වන්නෙමු. අප තෝරා ගන්නේ අපට නො පෑහෙන ආත්මයක් අන්තර්ගත ශරීර කූඩුවක් බව දැන දැනත්, එය අමතක කොට හෝ එය නොසලකා හැරිය යුත්තකැයි සිතා හෝ අපි වැරදි තෝරා ගැනීම ජීවිතයට ඈඳා ගන්නෙමු. ඒ එම අවස්ථාව තුළ අපට ළඟා වීමට අවශ්‍ය ඉලක්කයක් කරා යාමට අනිත් ශරීර කූඩුව දරන්නා පාලමක් කර ගත හැකි වීම ගැන පමණක් සිතා ය. මතුපිටින් නො පිළිගත්ත ද යටි හිතට අවංක වීමෙන් ඒ හේතුව නිසැකව ම සොයා ගත හැකි වනු ඇත.

කාලයත් සමග ඒ නොගැලපීම් සාමාන්‍ය අතට හැරෙතැයි ඇතැම් විට අපි සිතන්නෙමු. නමුත් කාලය පුස්තූර වඩා පුළුල් කරනවා මිස හිස්තැන් පාහනු ලබන්නේ නැත.

දිසත් හා ඈ අතරේ පුස්තූර පුළුල් වෙත්දී කේෂි ඒ හිස්තැන් අතරින් රිංගා ඈ රිසි ලොව සොයා ගියා ය. දිසත් ගේ ලෝකය තුළ සපුරා ගත නො හැකි, පිනවා ගත නො හැකි සිය ලෝකය දෙව් ලොවක් කරනා අත්දැකීම් ලබන්නට උත්සාහ කළා ය. විවාහය කියන්නේ ඈ පිටතට ගිය විට දකිනා සැණෙකෙළිය නොවන බව වටහා ගන්නවා වෙනුවට ඇය කළේ පිටතට ගොස් සැනෙකෙළි සිරි විඳ ගෙදර පැමිණීමයි. ඊට වඩා ගැඹුරකින් ඒ ගැන හිතන්නට කිසි දාක කේෂිට උවමනා වූයේ නැත!

විවාහය සේ ම දික්කසාදය ද ඇයට අවැසි යමක් නොවුණත් ඒවා සිදු වෙමින් තිබේ. නඩුවට උසාවි ගොස් එන දින සිට දින කිහිපයක් ගෙවෙන තෙක් ඇය තදබල හිස රදයකින් පෙළෙන්නට ගත්තා ය. හිස අත් බැඳ ගෙන කාමරයේ යහනට වී සිටිනා ඇය මානසික වශයෙන් ක්ලමථ තත්වයක් අත් විඳිමින්නට ද වූවා ය.

“මේක ස්ට්‍රෙස් එකක්. දිගටම මෙහෙම තිබුණොත් ඩීප්‍රෙෂන් වලට එන්නත් පුළුවන්. හිත අවුල් කරන ප්‍රශ්නෙං ඈත් වෙලා ඉන්න එක තමයි හොඳ”

මානසික පීඩනය නරක අතට හැරීම වලක්වනා ඖෂධ කිහිපයක් නියම කරමින් වෛද්‍ය වරයා කියා සිටියේ ය.

“මන්නං කියන්නෙ ඔය කෙහෙල්මල් ඩිවෝස් එක දීල පැත්තකට වෙන්න කියලයි”

පරාක්‍රම මැතිණිය කේෂි ගේ තත්වය ගැන බිය වූවා ය. ඇය වූ කලී සමාජයට බිය තරුණියක නොවේ. සමාජ ශාලා ගානේ යමින් පිරිමින් ඇසුරු කරමින් ඉතා නිදහස්කාමී දිවියක් ගෙවූවත්, මිනිසුන් ඉදිරියේ උසාවියේ දී අපහසුවට පත් වීම ඇයට වුව දරා ගත නො හැකි තරම් විණි.

“ඔච්චර නින්දා අපහාස විඳ විඳ මොන එහෙකටද ඔය මිනිහව තියා ගන්න හදන්නෙ…මොන වටිනාකමක් තියෙනව කියලද…ඔය ඩිවෝස් එක දීල දැම්මහම හිත නිදහස් නේද…නිකං බොරුවට ලෙඩෙක් වෙන්න ඕන නෑනෙ”

ඇය කවදටත් දිසත් ව ප්‍රිය නොකළා ය. ඒ වුණත් මේ වෙලාවේ බිරිඳ කියන්නේ සත්‍යය යයි පරාක්‍රම ට ද දැනිණ. කේෂි පමණක් නොව උසාවියේ දී පියා වශයෙන් ඔහු ද  බලවත් අසීරුතාවයකට පත් වෙයි. පිටතට ආව ද හෝරා ගණනකට හිත එක් තැන් කර ගෙන වැඩක් කළ නොහැකි තත්වයක් ඇති වෙයි. දියණිය සිය සැමියාට ඒ තරම් වැරදි කන්දරාවක් කර ඇති බව හා එපමණට ම යුතුකම්  ඉටු කොට නැති බව ඔහු වුව තේරුම් ගත්තේ නඩුව අතර වාරයේ ය.

“කේෂි මොකද කියන්නෙ…අපි මේක අත්ඇරල දාමුද…කොහොමත් මෙහෙම ගියොත් නං අපිට පාරක බැහැල යන්න බැරි තත්වයක් තමයි ඇති වෙන්නෙ”

ඔහු වෙත නො රිස්සුම් සහගත බවක් විය. කේෂි පරාජිත ව සිටියා ය.

ඇය නිසා මුලින් මානසික ව්‍යාකූලත්වයකට පත් අමාරසී දැන් හිස ඔසවා ගෙන පුරුදු ලෙස සිය වැඩ කටයුතු කර ගෙන යයි. ගැහැනු හිත් එහෙම ය. ඉතා ම සියුමැළි ගැහැනු හිතක් ව්‍යසයන් ට මුහුණ දෙනවා කියන්නේ සුළං කපොල්ලක වැඩුණු ගහක් සේ වෙයි. කෙතරම් රළු සුළඟකින් වුව පුරුද්ද නිසා ඒ ගස විනාශ වී යන්නේ නැත. ගැහැනු හිතක් ද ලොකු වේදනාවන් වලට මුහුණ දීමෙන් පසු ශක්තිමත් අරටු බවට පත් වෙයි. මඳහසකින් සියල්ල උහුලා ගත හැකි තත්වයකට පත් වෙයි.

දික්කසාදය ඉල්ලා දිසත් කේෂිට එරෙහි ව නඩු මගට පිවිස ඇති බව කාර්යාලයේ අය දැන ගත්තේ ගීතානි නිසා ය. වරක් කේෂි ඇය හමු වී, දිසත් හා අමාරසී අතරේ සම්බන්ධයක් තිබි බවට සාක්ෂි දෙන්නයි ඉල්ලා සිටියා ය.

“අනේ අම්මෝ බෑ මිස්”

ඇය කේෂි ගේ මූණට ම කීවේ එහෙම කරදර ගොඩක් පටලවා ගැනීම ඇය වාගේ කෙනෙකුට කොහෙත් ම කළ නො හැකි දෙයක් බව දැන සිටි බැවිනි. ගෙදරක හා ළමයි පස් දෙනෙකු ගේ කටයුතුත්, සතියේ දින පහක් පුරා කාර්යාල ජීවිතයකුත් ඇය ට තිබේ. සති අන්තයේ දින දෙක ගෑවෙන්නටත් මදි ය. සතියක රෙදි හෝදන්නට, වේලන්නට, නවන්නට, පොඩි උන් නාවන්නට, ගෙවල් අස් පස් කරන්නට, ළමයි පන්ති ගෙන යන්නට වශයෙන් එකී නොකී කටයුතු අටෝරාශියක් ඇය විසින් කළ යුතු ව තිබේ. සල්ලි වලට උසාවි කරදරයත් හිස මත පටවා ගන්නට ද දෙවනුව ඇය ට නො සිතුණා නොවේ. නමුත් ඇගේ සැමියා ගේ තර්ජනය නිසා ඇය ඉන් වැළකුණා ය. නමුත් ටික දවසකට අමතක වී සිටි දිසත් ගේ දික්කසාදය ගැන කියමින් යළි කාර්යාලය ගිනි තියන්නට ඇය ට හැකි විය.

“රසී දැන් මේ තවත් කල් බල බල ඉන්නෙ දිසත් නඩු කියල ඉවර වෙනකල්ද…”

දවසක් නිරෝෂන් ඇගේ මුහුණට ම ඇසුවේ ය.

“නාකි වෙයි නඩුව ඉවර වෙනකොට”

අමාරසී ගේ මූණ රතු වී තිබිණ.

“මට බලන් ඉන්න පුළුවන් නං කවුරුවත් ඒක ප්‍රශ්නයක් කර ගන්න ඕන නෑනෙ”

කියා කියන්නට ඇය ට ඕන වුණත්, ඒ කතාව වුව දිසත් ට අවාසි සහගත වන ප්‍රකාශයක් විය හැකි බව වහා සිතුණෙන් ඕ එය නො කියා සිටියා ය.

“අනේ මේ නිරෝෂන්. අනුන්ගෙ කිල්ලෝට වල කුණු හොයන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලා ගත්තනං නරකද…”

යනුවෙන් සිය අප්‍රසාදය පළ නො කොට ඉන්නට නම් ඇය ට හැකි වූයේ නැත. නිරෝෂන් ගේ මූණ හැකිලී ගියේ ය.

“පිරිමි අනුංගෙ රෙදි අපුල්ලනකොට මාර කැතයි අප්ප. ඒ වගේ පිරමින්ට චීන්ත ගවුං අන්දල හැඩ බලන්නමයි මට නං හිතෙන්නෙ”

ඇතැම් විට ඒ ප්‍රකාශය දරුණු වැඩි වන්නට පුළුවන. නමුත් අමාරසී ට පසුතැවීමක් නො දැනිණ.

“කිව්වයි කියල හිතා ගනිං”

කියා නැගිට ගත් නිරෝෂන් එතැනින් නික්ම ගියේ ය.

“හොඳ වැඩේ. දාපං පහක්”

තරුෂි අමා ට සිය සතුට පළ කළා ය.

“පිරිමි කියන නමට මුවා වෙලා ගෑනුවත් නොකරන ජරා වැඩ කරන මිනිස්සු. මන්නං ඕකුන්ට ගෑනු වගේ කියල කියන්නත් කැමති නෑ. ඒක ගෑනු අපිට කරන මදි කමක්”

නිරෝෂන් ඉන්පසු සැබවින් ම හැසිරුණේ පිරිමියෙකුට තරම් නොවන අශෝභන විලාශයකට ය. ආයතනය තුළ සිය අංශයේ සේම වෙනත් අංශ වල ද සගයන් සමග දිසත් හා අමාරසී අතරේ වන සබඳකමට ජුගුබ්සාජනක හැඩ තල එක් කොට ද්වේශී කතා කීවේ ය. පෞද්ගලික මුදල් වියදම් කරමින් දුරකතන ඇමතුම් ගෙන වෙනත් ශාකා වලට මාරු වී හිඳිනා අයට පවා මේ ගැන කියමින්, වටහා ගත නො හැකි සතුටක් ලැබුවේ ය. දිසත් හා අමාරසී අතරේ පෞද්ගලික ජීවිතය කෙබඳු වුණත් ඔහු ට ඉන් කිසිදු පුද්ගලික වාසියක් හෝ අවාසියක්  නැත ද, මේ ද්වේශී හැඟීමෙන් කටයුතු කිරීමේ වියරු ආශාව මැඩ ගන්නා හැටියක් ඔහු දැන සිටියේ නැත. මෙසේ හැසිරෙන්නා වූ කාන්තාවන් ට වඩා එබඳු පිරිමින් දැකීම අප්‍රසන්න හැඟීමක් දනවයි.

මේ පරිසරය අමාරසී ව තව තවත් ශක්තිමත් කරනා ලදී.

“ඒ වුණාට ඔයා කලබල වෙලා ඔය වගේ මිනිස්සු එක්ක කතා ඇති කර ගන්නෙ නැතුව ඉන්න. අපි උත්තර දෙමු දවසක…වෙඩින් කාඩ් එක දීල”

ඒ වචන ටික ට අමාරසී ගේ හිතේ මුදු මොළොක් ඉසව්වක් සතුටු කම්පනයක තාල නැගුවේ ය. ඉතා රළු දවස් අතරේත් ඔහු ආදරයේ උල්පත් වලට හිඳෙන්නට ඉඩ නො තබමින් හිඳී. ඇය මිදුලේ උඳුපියලිය පලස දිග නග්න දෙපා තබමින් නිර්මලා ගේ ඇන්තූරියන් පාත්ති දෙසට ගියා ය. පොඩිසිඤ්ඤොමරං වැලක් පාරේ සිට  බඩ ගගා විත් තාප්පයෙන් හිස දමා ගෙමිදුල ට එබී සිටී. එහි මුදුනේ කුඩා සුදු මල් පොකුරු කිහිපයකි. පොඩිසිඤ්ඤොමරං තවමත් අම්මා ගේ ඇස නො ගැටීම අමාට පුදුමයකි. දුටුවෝතින් එහි හිස සිඳ දමන්නට නිර්මලා දෙවරක් නො සිතනු ඇත. නමුත් අමාරසී ට නම් ඇන්තූරියන් මල් දෙස සේ ම කැලෑ මල් දෙස බැලීමෙන් ද සතුටු වන්නට පුළුවන.

“මට කේෂි ගැන හරි දුකයි අමා. අදත් උසාවියෙදි එයා අසරණ වෙනකොට මට මාර අවුල්. ඒත් මං මොකද්ද කරන්නෙ…”

“දෙයක් අහන්නද…”

“මොකද්ද…”

“එයාට තාමත් ආදරේද..”

දිසත් එක්වර පිළිතුරු දෙන්නට නො ගියේ ය. අමාරසී ගැන දැනෙනා විදිහේ හැඟීමක් එදත් ඔහු ට කේෂි ගැන දැනුණේ නැත. එය වූ කලී ඇය විසින් බලහත්කාරයෙන් ජීවිතයට කඩා වැදී එහි අණසක පැතිරීමකි. ඔහු මේ දඬුවම් විඳින්නේ එදා නිවැරදි ව ඒ හැඟීම තේරුම් නො ගැනීමේ වරදට ය. වැරදි නිවැරදි කරන්නට යනවා ට වඩා වරද්දා නො ගෙන ඉන්නා එක පහසු බව මේ දික්කසාද නඩුව ඔහු ට නිහඬව කියා දෙයි.

“ඒක ආදරයක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ආදරයක් ඉතුරු වෙලා තිබුණනං මට ඩිවෝස් එකකට යන්න බෑ. ඒත් තමන්ගෙ කියල හැඟීමක් තිබුණ දෙයක් නැති නාස්ති වෙනකොට අපි කාට වුණත් ටිකක් අප්සට් නේද…”

ඒ වෙලාවේ දිසත් හිටියේ මතු මහලේ සඳැල්ලේ ගරාදි වැටට බර වී ගෙන ය. පිවිසුම් දොරටුව ළඟ  පරාක්‍රම ගේ සුඛෝපභෝගී මෝටර් රථය නතර වෙනු ඔහු ගේ නෙත ගැටිණ.

“මං තව ටිකකින් ගන්නං හොඳේ”

කියමින් ඔහු හේතුවක් නො කියා ම දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles