(අ)හිමි සිහින -96

සුධාරකගේ අම්මා එදායින් පස්සේ මට නිතරම ඇමතුම් ලබා දුන්නා.මට ඇයට අමතන්න පරක්කු වුණොත් මෙන්න ඇය නෝක්කාඩුවක් එක්කම මට කතා කරනවා.

“අනේ අනේ…අපිම කතා කරන්න ඕන.අම්මව මතකවත් නෑ..”

මේ ගැහැනිය මාව සුධාරකගෙන් වෙන් කරන්නට ඇත්තේ මට ආදරය නිසා කියන සිතුවිල්ල මට පහළ වෙන්න ගත්තේ ඔය අතර.යුධ හමුදාවේ ඉන්න පුතා නිසා මට පීඩාවන් ඇති වෙයි කියලා හිතමින් ඇය මාව ඔහුගෙන් අයින් කරා වෙන්න බැරිද?

“ඇත්තටම ළාබාල වයසකදි සැමියා නැති වීම ගෑනු ළමයෙකුට දරා ගන්න අමාරුයි තමයි.ඒ අම්මා මම ගැන හිතන්න ඇති.”

මම ඔහොම හිතමින් ආයේම ඇගේ හිතවත්කම දරාගන්න පටන් ගත්තා.ඒක නරකට හේතුවක් වුණාද යහපතට හේතු වුණාද කියන එක මම ඉදිරියේ දී කියන්නම්.මේ හැමදෙයක්ම සැලසුමක් සහ හේතුවක් ඇතිව සිදු වූ බව හිතෙන තරමට මට මේ හැම සිදුවීමකම සම්බන්ධතාවයක් පෙනෙන එක තමයි එයට හේතුව.

ඒ සුධාරක අසනීපෙන් රෝහලේ හිටිය දවස්.මම ඔහු ගැන සොයා බලන්න හිතමින් ඔහු බලන්න ගියා.ඒ ගිය අතරකදි ඔහුට ඉහළ නිලධාරියෙකුගෙන් ඇමතුමක් ඇවිත් සුධාරක ඒ ඇමතුමට උත්තර දෙන හඬ මට අහගෙන ඉන්න සිද්ධ වුණා.ඔහුව යම් පුහුණුවක් සඳහා මාසයක කාලයක විදේශ සංචාරයකට තෝරා ගැනීම තමයි ඇමතුමට හේතුව.ඔහුට ඒ වගේ අවස්ථාවක් ලැබීම ගැන මට මහත් සතුටක් දැනුණා.ඒත් සුධාරක එයට දුන්නේ යහපත් ප්‍රතිචාරයක් නෙවෙයි.

“මට ආර්ථික ගැටළු තියනව.ඔය ගමනට වැය කරන්න ලොකු මුදලක් මට නෑ..”

ඒ වචන අහලා මට දැනුණේ හරිම වේදනාවක්.ඔහු දක්ෂයෙක්.අනිත් කාරණාව ඔහු මට තරමටම ආදරය කළ අනිත් දේ ඔහුගේ රැකියාව.ඒ රැකියාවෙන් ලබා ගත හැකි දේ ලබා ගන්නට ඔහුට ආර්ථිකය හරස් විය යුතු නෑ.මම ඔහුට අතට තට්ටු කරලා රහසක් කිව්වේ ඒ නිසාමයි.

“ඕක මම දෙන්නං මහත්තයා.ඔයා යන්න.”

අකමැත්තෙන් වුණත් ඉන්පස්සෙ විදෙස් සංචාරයට කැමැත්ත පළ කරපු සුධාරක ඊටපස්සෙ මං දිහා බලාගෙන හිටියේ හරිම වේදනාවකින්.ඔහු මගෙන් උදව් ගන්න ලැජ්ජාවක් නැති බව මම දන්නවා.නමුත් ඔහුට මේ ගැන දුකක් ඇති.ඒ නිසා මට පුංචි විහිළුවක් කරන්න හිතුණා

“මම දැන් ලොකු ගෑනියෙක් හරිද? ඉස්සර ඔයා රුපියල් පන්සීයක් එවපු පුංචි කෙල්ල නෙවෙයි.”

සුධාරකට හැම මොහොතකම උදව් කරන්න මම නොපැකිළෙන්න ඇත්තේ අන්න ඒ හේතුව නිසා.මම කිසිම දෙයක් නැති පුංචි කෙල්ලක් කාලයේ ඔහු මට ලස්සන තෑගි එවූ දවස් මට මතකයි.ඔහු මට මුද්දර ගන්නටත් කොයින් බොක්ස්වලට දාන්නත් සල්ලි හදා ගන්න රුපියල් පන්සීයක් දීපු හැටි මට මතකයි.ඒවා කවමදාවත් මගේ මතකයෙන් ගිලිහෙන දේවල් නෙවෙයි.

“ඔයාට ලැබිය යුතු දේවල් ලබා ගන්න සල්ලි ප්‍රශ්නයක් කර ගන්න එපා මහත්තයා.මං ඔයා එක්ක ඉන්නවා.ඔයාගේ ගමන ඔයා යන්න..”

ඔහුගේ හිස ආදරයෙන් පිරිමදිමින් මම පොරොන්දු වුණා.මේ ආදරණීය මිනිසාට බිඳ වැටෙන්නට ඉඩ නොදෙන්නට මම මටම පිළිණ දී ගත්තා.චමල් සහ අසංක මට කිසිම ආදරයක් ලබා දුන්නේ නෑ.මට කිසිම භෞතික දෙයක් ලබා දුන්නෙත් නෑ.නමුත් සුධාරක ඔහුට මුදල් අඩුපාඩු නැති කාලයේ මට හොඳින් වියදම් කරා.ඇති නැති හැම කාලයේම ආදරේ අඩුපාඩුවක් නැතිව ලබා දුන්නා.ඒ නිසා මට සුධාරකට ඒ ගමන යන්නට උදව් කරන්නට උවමනා වුණා.

හැමදෙයක්ම හොඳ විදියට සිදු වුණත් කොතන හරි ගැටලුවක් වන එක මගේ ජීවිතේ සදාතනික ඇත්තක්.මේ වතාවත් ඒ දේ එහෙමම වුණේ නොහිතපු විදියකට.

මම සුධාරකට ඔහුගේ පසුදිනට යෙදෙන ගමන ගැන කෙටි පණිවිඩයක් යැව්වෙ වැඩිය හිතා බලා නෙවෙයි.සාමාන්‍යයෙන් ඔහු ගෙදර ඉඳියදී මං ඔහුට කතා කරන්නේ නෑ.චැට් ඇප් එකක් මාර්ගයෙන් පණිවිඩයක් යවනවා විතරයි.ඔහු ඕවා මකා දමන්න දන්නේ නෑ.සාමාන්‍යයෙන් ඔහුගේ තාක්ෂණික දැනුම හොඳ අගයක තිබුණේ නෑ.ඒවා සේරම මං කරලා දෙනකම් පොඩි දරුවෙක් වගේ බලාගෙන ඉන්න එක ඔහුගෙ සිරිත වුණා.ඒ පණිවිඩය කියවා තිබුණේ ඔහු නෙවෙයි.

ඒ දේ කවදාම හරි වෙන බව අපි දැනගෙන හිටපු දෙයක්.විය යුතු දෙයක්! ඒත් ගැටලු පටන් ගන්නා තැනක්!

මගේ කතාව පළ නොවෙනකොට ඒ ගැන නිරන්තරයෙන්ම විමසන ඔබට ස්තූතියි.ඉතා විශාල කුණාටු කිහිපයක් ඇරඹුණු ඒ සිදුවීම ගැන මම හෙට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles