පෙමාතුර -22

රොද බැඳෙනා උණුහුමක් හාත්පස වූයේ ය. එය වූ කලී හිත ගත පිරිමැද ගෙන යන අදෘශ්‍යමාන වූ යමකි. මිනිස් ඝෝෂා සිව් දෙසින් නැගිණි. සමාජ දේශපාලන හා ආර්ථික පෙරළියක අවශ්‍යතාවය රළ නගමින් තිබිණි. අරගල බිමක වන්නේ එක හදවතකින් විසිර ගිය කැබලිති ය. හැම හදවතක් පණ ගැහෙන්නේ එක ම රිද්මයකිනි. එක ම අවශ්‍යතාවයකිනි.

“එක ම අරමුණක් තියන තැනක මේ උණුසුම බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්”

දහස් ගණන් ජනී ජනයා ගේ ඝෝෂා නද මධ්‍යයේ ද විසල් ගේ හඬ පැහැදිලිව ඇසිණ. මම දෙතොල් තද කොට සිනහවක් නගා ගතිමි. 

“අපිටත් දැන් එක අරමුණක් තියෙන්නෙ”

මගේ යටි හිත එසේ මොර ගෑවේ ය. මම මඳහසින් ම ඒ ඉවසා ගතිමි. ප්‍රේමය අරබයා අප එක දිශාවකට ගමන් කරනා සියොතුන් දෙදෙනෙකු වන්නට පුළුවන. නමුත් ගැහැනු ගෙදර වැඩිහිටි ගැහැනුන් ගේ කතා අනුව ජීවිතය කියනා තරග බිම දී එය පමණක් ජයග්‍රහණය ට හේතුවක් වන්නේ නැත. ප්‍රේමයට සපුරා ලිය නො හැකි කාරණා තව ඕනෑ තරම් තිබේ. නමුත් ඒ කාරණා සපිරුණ තැන ප්‍රේමයෙන් හිස් ව තිබියදී වන නිස්සාර හැඟීම කිසිවකින් විස්ථාපනව කළ නො හැකි ය.

අරගල කරුවන් ගේ අපේක්ෂා සහගත සුන්දර මුහුණු දෙස බලමින් අපි ඇවිද ගියෙමු. අරගල නො කරන තාක් කල් ලැබෙන්නේ අපට උවමනා දේ නොවේ. ඔවුන් ට උවමනා දේ ය. විශ්වයේ නීතිය යනු අවශ්‍ය යයි ඉල්ලා සිටින දේ, දැඩි ව ඉල්ලා සිටින දේ ලබා දීම ය. අරගල බිහි වන්නේ සොබා දහමේ ඒ නියතය තුළිනි. 

මිනිසුන් අතරේ මිනිසුන් ගැන මින් පෙර දැනි නො තිබි විශ්වාසවන්ත කමක් මට දැනිණ. මිනිසුන් කියන්නේ ආදරයේ පිළිබිඹුව ය. විශ්වාසයේ අංශු මාත්‍රික බලාපොරොත්තුව ය. මේ වෙලාවේ මිනිසුන් ට වූයේ මිනිසුන් ගැන බලාපොරොත්තුවක් පමණකි. 

“වෙන්න තියන දේවල් වෙන්න අරිමු. සමහර වෙලාවට සටන් කරල දිනා ගන්න බැරි දේවල් පවුලක් ඇතුළෙ තියෙන්න පුළුවන්. මොකද…පවුල කියන දේ ගත්තහම පුද්ගල ජයග්‍රහණ නෑ. දිනන්නෙ හරි පරදින්නෙ හරි පවුලමයි. එතනදි…මං දන්නව…මං වෙනුවෙන් සටන් කරන්න ගියොත් ඔයා හුඟක් අසරණ වෙයි. මට මේ මොහොත ඇති. සමහර විට මෙහෙම වුණේ මේ වතාවෙ විතරක් නෙවෙයි වෙන්නැති. හුඟක් වාර වල එහෙම වෙලා පුරුදු ඇති. හැබැයි මං මේ ෆීලින් එක කලෙක්ට් කරනව. කවද හරි දවසක…”

ඉතිරි ටික කියා ගන්නට බැරි ව උගුර හිර වූ බවක් මට දැනිණ. මම නිකට මඳක් එසවෙන සේ මුහුණ ම ඔසවා විසල් ගේ මුහුණ දෙස බැලුවෙහි. ඔහු මගේ අතේ ග්‍රහණය දැඩි කළ බවක් දැනිණ. 

“ඔයා කියන්නෙම වෙන් වීමක් ගැන…”

“වෙන් වෙලා යන්නම නියම වෙලා තියෙද්දි වුණත් මුණ ගස්සපු එක ගැන මං දෛවයට තෑන්ක් කරනව. මුණ ගැහිල වෙන් වෙලා යන එක සංසාර පුරුද්දක් වෙලා නං..ඒ පාප කර්මය ගෙවිල යනකල් පනිශ් වෙන්න මං ලෑස්තියි”

“කිසා”

ඔහු මගේ ඇඟිලි නිදහස් කොට උරහිස වටා අත යවා මා තදින් සිය සිරුරට තෙරපා ගත්තේ ය. එහි හැම බිම් අඟලකම සරැලි නගමින් තිබුණේ ආදරය වනයින්, කිසිවෙකුට විශේෂයෙන් අප ගැන වගක් නොවිණ. 

හිරු ගේ අන්තිම රැස් දහර ද සිඳු දිය තුළ ගිලී යන තෙක් අපි ඔහේ සිටියෙමු. පෙට්ටි කඩේකින් ඉස්සො වඩේ ගෙන එක පේපර් ප්ලේට් එකක තබා ගෙන ලුණු සුවඳ සුළඟ වැදෙමින් කෑවෙමු. මගේ පිටේ එල්ලා ගෙන සිටි බෑග් එකේ තිබි කුඩා ජින්ජර් බියර් බෝතලය කට තියා ගෙන බීවෙමු. පයින් ඇවිද රිය වෙත විත් එහි නැගෙත්දී අඳුර පැතිරෙමින් තිබිණ. නමුත් හිතේ කිසිදු දෙගිඩියාවක් වූයේ නැත. අප දෙදෙනා ට ම අපේ උණුහුම දැඩි ව උවමනා වී තිබුණ නිසා දෝ කිසිදු වාචික ගනු දෙනුවකින් තොර ව නිමේශයකට අපි අපි ව තදින් වැළඳ ගතිමු. 

විසල් රිය පැදවූයේ මගේ අතක් ඔහු ගේ ඇඟිලි වල පටලවා ගෙන ය. ඔහු සතුටින් බව බැලූ බැල්මට පෙනිණි. මධු සමය නිම කළ අලුත් මනාලියක ගේ තෘප්තියෙන් මම සන්තෘප්ත ව සිටියෙමි. 

සුනාමියට පෙර මුහුද හිස් වූ බවට කතාවක් මම අසා ඇත්තෙමි. මහ වැස්සකට පෙර උහුලා ගැනීම අසීරු වන විදිහේ දාහයක් ඇති වන්නේ ය. මිය යාමට පෙර වාරයේ දී ගහක් උපරිම ව පල දරනවා යි කතාවක් තිබේ. වෙන් වෙන්නට නියමිත ආදරයක් ද ඒ තරම් පුදුම සහගත වීම ගැන එක අතකට පුදුම නො විය යුතු ය. 

රියෙන් බසින්නට පෙර, අපේ පිවිසුම් දොරටුව ඉදිරියේ දී මම තදින් ඔහු ගේ කොපුලක් සිප ගතිමි. විසල් ගේ විසල් සුවඳින් පපුව පුරවා ගතිමි. මට මොකක්දෝ දැනෙමින් තිබුණේ ය. නමුත් ඒ මොකක් දැයි වෙන් කොට හැඳින ගත හැකි වූයේ නැත.

ඉෂිනි අපේ ගෙදර ආලින්දයෙහි සිටියා ය. ඇය මදෙස ඉතා විමසිලිමත් නෙතකින් බැලුවා කියා සිතමි. නමුත් මම ඒ ගැන වද වෙන්නට නො ගියෙමි. 

“ඉෂී හෙට ගමේ යනව කියන්නෙ”

නදීරා කීවේ මා වැරැන්ඩා පුටුවක හි ගත්තාටත් පසුව ය. බලාපොරොත්තුවෙන් සිටි බෝම්බයක් බලාපොරොත්තු නොවූ මොහොතක පුපුරා යාමේ කම්පනය මට දැනිණ.

“හෙට…”

මම කෙලින් ඇගේ මූණ බලා ඇසුවෙමි.

“කවද ගියත් යන්න වෙන්න එකේ..කල් තියා යන එක හොඳයි කියල හිතුණා”

ඇය ඉලක්කය ගෙන මගේ පපුව මැද්දට ම පිහියෙන් ඇන්නා ය. නමුත් තුවාල හෝ රිදුම් ගැන චෝදනා කිරීමේ අයිතියක් මට නැත.

“කිසා එනකල්නෙ හිටියෙ…එහෙනං මං යන්නං නේ…රෑ වුණානෙ”

ඇය නැගී සිටියා ය.

“ඇයි විසල් ට කතා කරන්නැද්ද..”

මගේ හිතේ උපන් ප්‍රශ්නයට වචන දුන්නේ පුංචී ය. මම කතා කරන ඇස් වලින් ඉෂිනි දෙස බලා සිටියෙමි.

“ඕන්…නෑ…”

ඇය නො සැලකිලිමත් ලෙස කීවා ය.

“දැං අමුතුවෙන් කතා කරන්න දේකුත් නෑ. කරන්න තියන දේවල් කරනව මිසක්”

ඒ වචන වලට යටින් අරුතක් තියෙන්නට ඇත. නමුත් ඈ අදහස් කළේ කුමක් දැයි මට වැටහුණේ නැත. අනිත් අතට අසීරුවෙන් ඒ නො වැටහෙන දේවල් තේරුම් ගන්නට උත්සාහ කිරීමක් ද මම නො කළෙමි.

“යමංකො එහෙනං ගිහිං දාල දෙන්න”

කියා ගෙන නදීරා ස්කූටරයේ යතුර ගත්තා ය.

“ඒ කියන්නෙ අපි ආයෙ හම්බ වෙන්නෙ වෙඩින් එකේදිද..”

පුංචී ඇය ට ආවේණික මඳහසින් ප්‍රශ්න කළා ය. පිළිතුරක් කිසිවෙකු ගෙන් ලැබුණේ නැත.

මගේ හදවත අධි ශීතකරණයක බහා ලූ සෙයක් ගති. මොනවා හෝ වෙන්නට යන බවක් දැනේ. ඉෂිනි වඋ කලී හදිසියේ හමා විත් ඉක්මනින් ම යන්න ගිය කුණාටුවක් සේ මට දැනේ. හිතා ගත නො හැක්කේ ඇය මේ තරම් ඉක්මනට යන්න තීරණය කළේ ඇයි කියා ය. මේ තිර පිටපතෙහි සිදුවීම් සිදු වූයේ හරි වේගවත් ව ය. දින කිහිපයක් ඇතුළත ය. යන්නට නොව අවැසි නම් මේ ඉෂිනි ට හොඳින් ම ඉන්න ලැබුණ කාලය ය. ඇය ට ඇය තෝරා ගත් ක්ෂේත්‍රයෙහි අත්දැකීම් හා පළපුරුද්ද ලබමින් කරන්නට රැකියාවක් ලැබිණ. ගමෙන් නගරයට එන කෙනෙකුට පහසුවෙන් ජය ගත නො හැකි ස්ථානය ජය ගෙන ද ඇය යළි ගමට යන්නට හදිසි තීරණයක් ගත්තේ ඇයි?

“අර කෙල්ල මෝඩ වැඩක් කළේ”

රෑ කෑම මේසයේ දී පුංචි කීවේ ඉෂිනි ගැන බව අපි කවුරුත් දැන සිටියෙමු.

“ඒ ළමයගෙ ගමන වේගවත් වැඩියි”

අම්මා සන්සුන් ලෙස කීවා ය. සාමාන්‍යයෙන් ඇය කිසිවෙකු විවේචනය කරනා කෙනෙකු නොවේ. 

“සමහර විට ඒ ස්පීඩ් එක නිසාම එයා දවසක පසුතැවිලි වෙයි”

දෛවඥ වරියක සේ අම්මා මෙසේ අනාවැකි කියන්නේ ඇයි? ඉෂිනි ට සේ ම අම්මා ටත් මා හා විසල් ගැන යම් කිසි සැක සංකාවක් ඇති වී ද? 

“ඉෂිනිට විසල් ගැන සැකයි. බයයි”

පුංචි ගේ අදහස හා මම එකඟ වෙමි. නමුත් වාචික එකඟ තාවයක් සඳහා අවශ්‍ය තරමේ අවංක කමක් මට මා ගැන දැනුණේ නැත.

“එක අතකට ඒ ළමය ගමට ගිහිං හිත හදා ගන්න එක හොඳයි”

හිත හදා ගැනීමක් ගැන ඇය සිතාවියි කෙසේ සිතන්න ද? ඇසුරු කළ දින කිහිපයේ දී මට දැනුණ ආකාරය ට ඉෂිනි කියන්නේ ඕනෑ කියා සිතුණු දෙයක් කෙසේ හෝ ලබා ගන්නා කෙනෙකුට ය. විසල් ගැන සිහිනය කවදා කොයි ලෙස ඇගේ සිතට ඇතුළු වී ද ඇය ඒ සිහිනය අතර මගකදී මිය ඇදෙන්නට නො දෙන බව මට විශ්වාස ය.

“අපි ජීවත් වෙද්දි අපිටම කර ගන්න ලොකුම වරද තමයි හරියට අපිව කියවගන්නෙ නැති එක. අපි ගැන අදහසක් නැති එක. දර්ශනයක් නැතුව අහසින් පාත් වුණා වගේ ජීවත් වෙන එක”

“ඉෂිනි වගේ ගෑනු ළමයෙක්ට දර්ශනයක් නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඒ ළමයිව හදල තියෙන්නෙ දවස් හතළිස් පහෙන් මරන්න නියමිත කිකිළියො වගේ. ඉරණම ලියන්නෙ වැඩිහිටියන්ට ඕන විදිහට. එතකොට ළමයින්ට මොන ෆිලෝසොෆි එකක්ද…කිකිළි පැටවුන්ට ට තියෙන්නෙ මැරෙන්න නියමිත දවස වෙනකොට කාල හොඳට හැදිල ඉන්න විතරයි. කාටවත් ඕන දවසක කාටවත් ඕන විදිහට මැරෙන්න බෑ කියල අරගල කරන්න තියා හිතන්නවත් උන්ට බෑ”

“මට හිතා ගන්න බැරි…විසල් වගේ ගමෙං පවුලෙන් එළියට ආව උගත් කොල්ලෙක්ට වුණත් මේ සිස්ටම් එකට විරුද්ද වෙන්න බැරිද කියන එකයි”

“විසල් ඕක කරන්නෑ. බලන්නකො”

මම මගේ හිත නැමැති අධිශීතකරණය තුළ තව තවත් ගුළි වුණෙමි. විසල් ඉෂිනි ගැන උනන්දුවක් නොමැති බව කීවේ ඔහු නොවේ. ඉෂිනි ය. ඔහු මා ව සිය පපුවෙහි තුරුලු කොට ගෙන උන් බවක් මේ කිසිවෙකු දන්නේ නැත. ඉෂිනි ට නොවනා හිමි කමක් විසල් ගැන මට නො වන්නේ ද? ඒ ගැන සිනහ වෙන්න ද නැත්නම් හඬන්නද කියා හෝ මට වැටහෙන්නේ නැත. එක අතකට මිනිස් බැඳීම් තරම් සංකීර්ණ වූ යමක් මිහි මතින් සොයා ගත නො හැකි වනු ඇත. 

ඉෂිනි ගෙදර යන්නේ විසල් සමග වන්නට ඇතැයි මම සිතුවෙමි. නමුත් ඔහු උදේ පිටත් ව ගියේ කාර්යාල ඇඳුම් කට්ටලයෙනි. මම ඉෂිනි ගැන කිසිත් නාසා සිටියෙමි. එහෙම ඇසීමේ අයිතියක් ද මට නො වනවා විය හැක. 

නමුත් හැන්දෑවේ විසල් ගේ මූණේ හොඳක් වූයේ නැත. ඔහු අපේ ගෙදරට විත් ශෝකී ඉරියව්වකින් කල්පනා කළේ ය. 

“ගෙදර යන්න වෙලා”

ඒ ශෝකී ස්වරය ඇහෙත්දී මම වහා හිස හරවා බැලුවෙමි. අපේ ඇස් හමු විය. පුපුරා ගිය අකුණු පහරවල් දරුණු වැඩි ය.

“ඇයි විසල්…”

පුංචි විසල් ඉදිරියේ හිඳ ගත්තා ය. එන බව දැන උන් කුණාටුව මා තුළ ට ඇතුළු වී මා අඩ පණ කරවමින් තිබිණි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...