අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන නඟින නිමක් නැති වේදනාව ඇයට නින්ද අහිමි කර තිබේ.

“ආදරේ මරණෙන් ඉවර වෙන්නෙ නෑ නිසල්.ජීවිතේ නැති කරගන්නෙ නැතුව ජීවත් වෙන්න මම තීරණේ කළේ ඔයා නිසා.ඔයාට සාධාරණයක් වෙන්න ඕන නිසා.”

ඔහු යන්නටම ගොස් වසර දෙකක් පිරෙන්නට තව ඇත්තේ දින කිහිපයකි.හිරුදි නිසල්ගේ ප්‍රේමණීය වත සිතේ මවා ගනිමින් මොහොතක් ගෙවා දැම්මා ය.මවක වූයේ ඔහුගේ දරුවෙකුට නම් මේ තරු පිරුණු අහස යට හිඳ ඔහුත් සමඟ අප්‍රමාණ සිහින දකින්නට හැකිව තිබිණ.ජීවිතය ඇයට එතරමට කාරුණික නොවී ය.

“තමන් පණ වගේ ආදරේ කරපු කෙනා මැරුණම සමහරු ආයේ මැරි කරනවා.ඊට පස්සෙ අරයා දරුවෙක් වෙලා එනකම් බලන් ඉන්නවා.මට එහෙම ප්‍රාර්ථනාවක්වත් කරන්න හිතක් නෑ නිපූ.මම කොහොමද එහෙම කරන්නෙ. නිසල්ට එයාව මරලා දාපු මිනිහගෙම දරුවෙක් වෙලා උපදින්න කියලා මම කියන්නෙ කොහොමද?”

හිරුදි ආවේගයෙන් එවැනි පණිවිඩයක් ලියා නිපුනිට යැවුවා ය.මධ්‍යම යාමය ද ඉක්ම යමින් තිබේ.නිපුනි මෙවැනි මොහොතක අවදිව හිඳින්නට ඉඩක් නැත.
ඇය ඇගේ කුඩා සතුටුදායක ලෝකයේ සුවෙන් නින්දට ගොස් විය හැකියැයි සිතු හිරුදි යැවූ පණිවිඩය නිපුනිට කියවන්නට ඉඩ නොතබා මකා දැම්මා ය.

“කොහොමද දැන් ඔය පැත්තෙ විස්තර.”

ඇගේ ඊළඟ පණිවිඩය යැවුණේ සිතිජට ය.ඒ සිතා බැලීමකින් තොරව ය.ඔහු මේ මොහොතේ නිදන්නට ඉඩක් නොවේ.

ඔහු ඒ පණිවිඩය කියවූ බවට සළකුණු විය.තත්පර කිහිපයේ නිහැඬියාව විනාඩි කිහිපයකට පෙරළිණ.ඔහුට ඇති වැඩ රාජකාරි හමුවේ කමකට නැති කෙල්ලෙකුට දෙන්නට කාලයක් නැතැයි සිතූ හිරුදි ගොස් යහනට වැටුණා ය. අද චේතන නිවසට නොපැමිණියේ ය.අප්‍රමාණ වැඩ රාජකාරි රට වෙනුවෙන් කරන්නට ඇතැයි වහසිබස් කීවාට ඔහු මේ මොහොතේ ගැහැනියකගේ තුරුලේ මත් වී හිඳින බව හිරුදි දැන සිටියා ය.නමුත් ඇය ඒවාට රණ්ඩු කරන්නට උත්සාහ නොගනියි.ආදරයක් තබා අයිතියක්වත් නොදැනෙන මිනිසෙක් ඇගේ දෑස ඉදිරියේම වෙනත් ගැහැනියක හා ආලයෙන් වෙළුණද වේදනාවක් නොවේ. නීතියෙන් ලියවී තිබුණාට ඔහුගේ දරුවෙකු කුසේ වැඩෙමින් හුන්නාට හිරුදිට මේ විවාහයේ කිසිම වටිනාකමක් නොවේ.

සිතිජගෙන් පණිවිඩයක් පැමිණියේ ය.එය මැසේන්ජර් පණිවිඩ ගොනුවක් බවට පත් විණ.ඔහු අරගල බිමෙහි රාත්‍රියේ ඡායාරූප කිහිපයක්ම එවා තිබුණේ ය. ඇය ඒවා නැරඹුවේ සන්තෝසයෙනි.තරුණ ජවය ස්ත්‍රී සිරුරු මත ද මත්පැන් බෝතල් මත ද දුර්වලයන් මත ද මුදා හරින චේතන වැනි මිනිසුන් මේ රටට අවශ්‍ය නොවේ.අවශ්‍ය සිතිජ වැනි තරුණයන් ය.නායකයන් විය යුත්තේ සිතිජ වැන්නවුන් මිස චේතන වැනි බොල් මිනිසුන් නොවේයැයි හිරුදි සිතන්නට ගත්තා ය.

“ලබන අඟහරුවාදාට නිසල් අයියා නැති වෙලා අවුරුදු දෙකක්.මට මොනව හරි කරන්න හිතෙනව.”

හිරුදි ඒ පණිවිඩය ලියා යවා නිසොල්මන් වූවා ය.නිසල් වෙනුවෙන් මෙතරමට ශෝක වන්නේ ඇයිදැයි ඇගෙන් විමසන්නට සිතිජට සිතේ.ඔහු ඒ අදහසට ක්‍රියාත්මක වන්නට ඉඩ නොදුන්නේ ය.

“චේතන දේවතිලක නිදැල්ලෙ ඉන්නකොට අපි නිසල් වෙනුවෙන් මොනවා කරත් මොකටද?”

සිතිජගේ ඒ පණිවිඩය කියැවූ හිරුදි ගල් ගැසුණා ය.චේතනට දොස් තබන්නේ ඔහුගේ බිරිඳ සමඟ බව සිතිජ දන්නේ නැත.දන්නවා නම් ඔහු මේ කතාබහට නොඑළඹෙනු ඇත.

“නිසල් වගේ ඒ මිනිස්සු අතින් අසාධාරණේට ලක් වුණු අය කොච්චර ඉන්නවද හිරූ.ඒ හැමෝම වෙනුවෙන් සාදාරණ ලෝකයක් හැදෙන්න ඕන.ඒ හැමෝටම ඉන්න තැනක ඉඳන් හරි තමන්ගෙ ආත්මෙට සාදාරණේ ඉෂ්ට උනා කියලා සැනසෙන්න තියෙන්න ඕන.ඔයා නිසල් ගැන දුක් වෙන තරමටම අනිත් අය ගැනත් දුක් වෙනව කියලා මං දන්නව.ඒ හැමෝම වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් දේ කරන්න.”

කළ හැකි පහසුම දෙය මුළුතැන්ගෙයට වැදී සියළු ආහාර වලට වස මිශ්‍ර කිරීම බව කියන්නට සිතුණත් හිරුදි නිහඬ වූවා ය.දේවතිලක පවුල රට වසා ගත් පිළිලයේ එක් කොටසක් පමණි.තවත් බූවල්ලන් අපමණ හිඳියි.ඒ සියල්ලන්ගෙන්ම රට මුදා ගන්නා දවසක් ගැන ඇය සිහින දුටුවා ය.

“මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා.”

සිතිජ මේ අසන්නට තනන්නේ කුමක්දැයි හිරුදි සසැලී ගියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles