අක්කා

“නංගි,මම තමුසෙට ආදරේ නිසා කියන්නෙ.ඔය මිනිහ වගේම කෙනෙක් මම බස් එකේ යද්දි මට හේත්තුව දාන්න ඇවිත් මම බැනලා ලොකු ප්‍රශ්නයක් වුණා.මට හොඳටම විශ්වාසයි ඒ ඔය මිනිහා කියලා.වැඩි කාලයක් නැහැ,අවුරුදු දෙකක් ඇති ඔය සිද්ධිය වෙලා”

නවෝදගේ ෆොටෝවක් අක්කාට පෙන්වූ දා ඇය කියූ දෙයින් මම මහත් කම්පිතව සිටිමි.නවෝද මගේ පෙම්වතා වන අතර අපේ ප්‍රේමයට වසර හතරකට වඩා වැඩිය.එහෙත් අක්කා ඇතුලු නිවැසියන්ට නවෝද ගැන දැනුම් දීමට නිසි කල් පැමිණියේ ඔහු විදෙස් ගතවන නිසා විවාහ වී දෙදෙනාම යාම සුදුසු බව ඔහු පැවසූ නිසාවෙනි.තාත්තා සහ අම්මා ඔහුට නිවසට පැමිණීමට දිනයක් දුන් අතර,අක්කාට ඔහු පැමිණීමට පෙර ෆොටෝවක් පෙන්වූවේ ඇයගේ ඉල්ලීම පරිදි නොව නිකමට සිතී වන අතර තමාට රහසින් පෙම් සබඳතාවක් ගෙන යාම නිසා ඇය සිටියේද තරමක අමනාපයකිනි.

“මගෙ හැම දෙයක්ම මම තමුසෙට කියනවා.ඒත් නංගි ඔයා මට ඔයාගෙ ලව් එක හැංගුවා නේද”

“අනේ හිතලා කලේ නැහැ අක්කා.මට ලැජ්ජා හිතුණා.ඔයාට අද කියනවා,හෙට කියනවා කියලා හිත හිතා හිටියට කියන්න වුණේ නැහැ.අනික ඉතින් ඔයාගෙ නීතිත් වැඩිනෙ.මට අංචියක් අදියිද කියලත් බය හිතුණා.”

“මට කිව්ව නම් කලින්ම ඔය කොල්ලා ගැන හොඳට හොයලා බලන්න තිබ්බා.දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.ඔයා ගෙදරටත් කිව්වනෙ”

“අනේ එයා ගැන හොයන්න දෙයක් නැහැ.එයා හරිම හොඳ කෙනෙක්.මා එක්ක අවුරුදු ගානක් අපේ ඔෆිස් එකේ වැඩ කරපු.ඉන්න …..මේ ඉන්නෙ එයා.මම එයා අපේ ගෙදර එන්න කලින් ඔයාව එක්ක යන්නම් ද ?එයාව මීට් වෙන්න.මට හොඳටම ශුව,ඔයා එයාගෙ හොඳම හොඳ යාළුවෙක් වෙනවා කියලා.එයා හරිම තැන්පත්,ස්පෝටි ලුක් එකක් තියෙන කෙනෙක්”

නවෝදගේ පින්තූර අතරින් හොඳම ඒවා තෝරා මම ඇයට පෙන්වීමේ ප්‍රතිඵලය වූවේ අප දෙදෙනාම මහත් අසීරුතාවයකට පත්වීමය.අක්කා කියන දේ මට කෙසේවත් විශ්වාස කල නොහැකි අතර අප හමුවූ දා සිටම නවෝද මගේ සිරුරට කෑදර බවක් පෙන්වූවෙක් නොවුණ අතර එහෙම කෙනෙක් බසයක ගමන් ගන්නා යුවතියකට ජැක් ගැසීමට යාම මට තවත් සිතා ගැනීමට නොහැක.අනික නවෝද බස්වල ගමන් බිමන් යන්නෙක් නොවේ.ඔහු සතුව බයික් එකක් සහ කාර් එකක් ඇති අතර ඔහු ඔෆිස් යන්නේ ඒවාගේය.අක්කාට ඒ පිළිබඳව කෙතරම් කීවත් වැඩක් නොවූ අතර ඇය තරයේ කියා සිටින්නේ සම්බන්ධය නවතන ලෙසටය.නැත්නම් දෙමාපියන්ට දැනුම් දීමට වන බවද ඇය කියා සිටින අතර ජීවිතය නැති කර ගැනීමට තරම් සොවකින් මම කලයුතු කිසිවක් නොදැන සිටිමි.නවෝද මුණගැසීමට පැමිනෙණ ලෙස අක්කාට පැවසුවද ඇය අඩුම එයට එකඟ වන්නේ හෝ නැත.අවසානයේ මගේ හොඳම මිතුරියන් කිහිප දෙනා සමග මේ ප්‍රශ්නය කතා කළයුතු බව මට සිතුණේ කලහැකි දෙයක් මා නොදුටු බැවිනි.

අක්කා මා සමග කතා කිරීම සම්පූර්ණයෙන් නතර කල අතර සම්බන්ධය නවතා තමාට අමතන ලෙස දැනුම් දෙන ලදී.මම නවෝදට මහත් සේ බැඳී සිටි අතර ඇය කියන තරම් පහසුවෙන් එය නතර කල හැකි නොවන බව ඇයට පවසා සිටිද්දී ඇයගේ දෑස් වල කෝපයෙන් විදුලි එලි දැල්වෙන අයුරු දුටුවෙමි.අක්කා කියන්නේ බොරුවක් නොවනා බව මම ද ක්‍රම ක්‍රමයෙන් මට නොදැනීම විශ්වාස කරන්නට එම විදුලි එලි සමත් වුණ අතර නවෝද සහ මා අතර කිසියම් වියලි කලාපයක් නිර්මාණය වෙමින් පවතින බව මට වැටහිණ.ඔහු අපේ නිවසට පැමිණිය යුතු දිනය ද කෙමෙන් කෙමෙන් ලංවේ.මහ වැස්සේ පවා මට දාඩිය දැමූ අතර එදිනෙදා ජීවිතයේ සියලුම කටයුතු අවුල් වෙමින් පැවතුණි.ඒ අතර මගේ හොඳම මිතුරියක වන මාශි අලුත් තොරතුරක් රැගෙන කාර්‍යාලයෙන් පසු මා හමුවීමට ආවාය.

“මචං තරූ,උඹ කලබල වෙන්න එපා මේ නිව්ස් එක ගැන.අක්කායි නවෝදයි අතර ඉස්සර එෆෙයා එකක් තිබිලා තියෙනවා.ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්.අක්කාගෙ අනවශ්‍ය නීති රීති නිසා නවෝද ඒක නවත්තලා.ඒත් අක්කා නවෝදට මාරෙටම ලව් කරලා.පිස්සුවෙන් වගේ නවෝදව ආපහු යාලු කරගන්න පස්සෙන් ආවලු.ඒත් එයා ගෙ ප්‍රින්සිපල් කෙනෙක් වගේ හැසිරීම නිසා නවෝද අක්ක එක්ක ආපහු යාලු වෙන්න බෑම කියලා.මගෙ හස්බන්ඩ් මට කිව්වෙ.එයාගෙ මල්ලි නවෝදගෙ පංතියෙ ඉන්නෙ.පුදුමයි නවෝද ඔයා කාගෙ කවුද කියලා නොදන්න එක.සමහර විට දැනගෙනම ඔයා එක්ක යාළු වෙලාවත්ද?

මම ගිනි ගන්නා සිරුරින් යුතුව පිටවීමට සූදානම් වෙද්දී මාශි මා නවතයි.

“තරූ,ඔයා දන්නවනෙ නවෝදගෙයි ඔයාගෙයි කනෙක්ශන් එක කොහොම එකක්ද කියලා.අක්කා ඇත්ත නොකියා ඔයාට නවෝද ගැන එහෙම බොරුවක් කීමත් වැරදියි.ඒ නිසා ඕක කෙලින්ම නවෝද එක්ක කතා කරන්න.”

මාශි ගේ යෝජනාව නිවැරදිය.එය නවෝද සමග ඩිරෙක්ට් කතා කර විසඳා ගත යුතු එකකි.මා අක්කා ගැන කියන සෑම විටම ඔහුගේ මුහුණේ ඇඳීගිය ගුප්ත වටහා ගැනීමට නොහැකි පෙනුමට හේතුව මම දැන් දනිමි.මා කාගේ කවුද කියා ඔහු දන්නා බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.එහෙත් ඔහු මට ඇත්තටම ප්‍රේම කලාද?නැත්නම් අක්කාව රිදවීමට මාව ඉත්තෙක් කරගත්තා ද?අසරණ බවකින් ආත්මය වෙලෙද්දී මම මාශිගෙන් සමු ගනිමින් නවෝදගේ දුරකතනයට ඇමතුමක් ගන්නෙමි.

“නවෝද ඔයා මට ඇත්තටම ආදරේ කලා ද?නැත්නම්….”

“අනේ තරූ,එහෙනම් මම ඔයාගෙ ගෙදර එනවද කසාද බඳින්න අහන්න.මම දන්නවා ඔයා දැන් මේ ඔක්කොම දන්නවා.මම ඒක ඔයාට කිව්වෙ නැත්තෙ ඔයාගෙ අක්කා ගෙ ඉල්ලීමට.එයා මට කිව්වා ඔයාට මේක කියන්න එපා කියල විතරක් නෙවෙයි ඔයාගෙන් අයින් වෙන්න කියලත්.මේක මෙච්චර හොරෙන් මම ඔයාට කාටවත් කියන්න එපා කියලා කරගෙන ආවෙත් මට ඔයාව ඕන නිසා.ඔයා අක්කා වගේ නෙවේ,හරිම ලව්ලි කෙනෙක්.මට ඔයාව නැති කරගන්න ඕනවුණේ නැහැ.”

අක්කා මාව රවටා ඇති බවක් මට සිතෙන අතර ඇය මෙපමණ කලක් සිතා ඉන්නට ඇත්තේ නවෝද සම්බන්ධය නතර කල බවයි.විටින් විට මම කිසිවෙකුට ආදරය කරන්නෙ ද යන්න ගැන ඇය සෙවූවේ ඒ නිසා විය හැකි අතර ඇයගේ ස්වභාවය නිසාම සහ නවෝදගේ ඉල්ලීම නිසාම මම එය සඟවා ගෙන සිටියෙමි.නවෝද ඉල්ලා සිටියේ තමන් කියන තුරු නිවසේ කිසිවෙකුට හෝ අපගේ ප්‍රේමය පිළිබඳ නොපවසන ලෙසයි.

නවෝද සිය පවුලේ අය අප නිවසට පැමිණීමට යොදා ගෙන තිබෙන්නේ අනිද්දා දවසයි.මම වෙනදාට වඩා සන්සුන් සිතින් යුතුව නිවසට යමි.අක්කා,අම්මා,තාත්තා සාලයේ වාඩි වී සුහද කතාවක නියැලෙයි.මම ද සිනා සෙමින් ඔවුන් අසල වාඩි වෙමි.මගේ සන්සුන් පෙනුම ගැන කුතුහලයකින් යුතුව බලන අක්කා සියල්ල නිම වී ඇති බවට සලකුණු මා වෙතින් සොයයි.

“තාත්තෙ අනිද්දා දවල් කෑමටම අපි නවෝදලට එන්න කියමු නේද”මම අසමි.අක්කාගේ දෑස් තුල විදුලි කොටමින් හෙන පුපුරණු පෙනේ.

“ඒක හොඳයි පුතේ,මම කෝල් එකක් දෙන්නම් ඒ දරුවට.මම පොඩ්ඩක් විපරම් කලා ඒ දරුවා ගැන.හැමෝම කියන්නෙ දාහකින් හොයාගන්න බැරි දරුවෙක් කියලා.පවුල් පසුබිමත් අපිට හොඳටම ගැලපෙනවා.අපි එදාට ඔක්කොම තීන්දු කරගමුකො.”

අක්කාගේ දෑස් උඩට ඉස්සෙන අතර ඇය උඩට ගත් හුස්ම පහලට හෙලන්නේ නැති බව දකින මා කෑ ගසමින් ඇය දෙසට දුවමි.

“ලොකු පුතේ,ලොකු පුතේ”අම්මා ගේ කෑ ගැසීම මැද මම කුස්සියට දිවගොස් වතුර වීදුරුවක් රැගෙන දිව එමි.තාත්තා වාහනය ස්ටාට් කරනු ඇසේ.වතුර ඉසීමෙන් පසු ඇය දෑස් ඇර බලයි.

“මට දැන් හොඳයි අම්මා.බය වෙන්න එපා.”ඇය බල බිඳුණු ස්වරයකින් පවසයි.එහෙත් මා දෙස හෝ මගේ දෑස් දෙස බැලීමට තරම් ශක්තියක් ඇයට නොමැත.ඒ සඳහා තව බොහෝ කලක් ගතවනු ඇත.නැතහොත් කිසිදා අපගේ දෑස් එකට හමු නොවනු ඇත.

More Stories

Don't Miss


Latest Articles