සමාවක් නැති වැරදි

“කොහොමද පුතේ ට්‍රිප් එක?”

අනුරාධා අම්මගේ ප්‍රශ්නෙට උත්තර නොදී වතුර වීදුරුවක් පුරවා ගත්තා.කොහේ හරි ගිහින් ගෙට ගොඩ වුණු ගමන් අම්මාට මුළු ගමනේම විස්තර වාර්තාවක් සපයන එක අනුරාධාගේ සිරිතක්.ඒ වගේම වතුර වීදුරුවක් බොන එක පුරුද්දක්.මුලින්ම ඉඩ දුන්නේ පුරුද්දට.

“හරි ෂෝක් අම්මේ.අපි සෑහෙන්න ජොලියෙන් හිටියේ.ගඟේ නාලා හෙම්බිරිස්සාවද මන්දා.”

අනුරාධාගේ ඇස් දිලිසෙනවා.නගරයෙන් ඈත ඉන්න මිතුරියකගේ ගෙදර ගිය ගමන ඇත්තටම සතුට ඉතිරෙන ගමනක්.කසුනිගේ අම්මාගේ කෑම පුදුම රස බවත් ඒ කඳුකර ගම්මානය පුදුමාකාර ලස්සන බවත් අනුරාධා අම්මාට කිව්වෙ හරිම සතුටින්.

“සතියම ඔෆිස් එකේ වැඩ අස්සේ හිර වෙලා ඉන්න නිසා ඔහොම ගමනක් යන එක හොඳයි පුතේ.නැත්තම් ජීවිතේ එක තැනම වගේනෙ.”

අම්මා එහෙම කියලා අනුරාධාගේ ඔළුව අත ගෑවා.හොඳටම මහන්සි නිසා නාගන්න යනකොට අනුරාධාට පුංචි වෙනසක් දැනුණා.මොනතරම් ආදරෙන් කතා කළත් අම්මාගේ මුහුණේ කළු වළාකුලක් අනුරාධාට නොපෙනුණා නෙවෙයි

අම්මට මොකද වුණේ? 

අනුරාධා නාලා ඉවරවෙනකම් කල්පනා කළේ ඒ ගැන.අම්මා කවදාවත්ම අනුරාධාට නීති දාන්නේ නෑ.තාම ඉස්කෝලෙ යන නංගිත් හැදෙන්නේ කිසිම නීතියක් නැති ලෝකෙක.තාත්තා විදෙස් රටක රස්සාව කරද්දී අම්මාට දූලා දෙන්නා කීකරුව ආදරෙන් හදා ගන්න ලැබුණේ සැරවැර නැතුව ආදරෙන් හොඳ නරක කියලා දුන්නු නිසා කියලයි අනුරාධාට හිතෙන්නේ.

“ලොකු පුතේ, ඇයි චාමර ඔය ගමන නොගියේ?”

අම්මා එහෙම ඇහුවේ අනුරාධා නාගෙන තෙත කොණ්ඩය පිහින ගමන් කුස්සියට එනකොට.සති අන්තයේ කොහේ හරි යනවට වඩා ගෙදරට වෙලා නිදා ගන්න එක හොඳයි කියලා චාමර කිව්ව හැටි අනුරාධාට මතක් වුණා.අනුරාධා ඒ කතාව එහෙමම අම්මාට කිව්වා.

“චාමර කතා කළා ලොකු පුතේ”

එහෙනම් අම්මාගේ මුහුණ පුරා කළු වළාකුළු ඇදෙන්න චාමර හේතුවක් වෙලා තියනවා.අනුරාධා හිතුවේ සැකයෙන්.ඒ සැකයට වැඩි ආයුෂ තිබුණේ නෑ.අම්මා දිගටම කතා කරන්න පටන් ගත්තා.

“ඔයා කසුනිලාගේ ගෙදර ගියාට චාමරගෙ කැමැත්තක් නැද්ද කියලා මට හිතුණා.ඔයාලත් එක්ක හිරන්ත කියලා ළමයෙක් ගියාද? ඒ ළමයා ගැන චාමරට සැකයි කියන්නේ. ඒ කතා කරපු විදියට මට ඒ තරම් සතුටු හිතුණේ නෑ ලොකු පුතේ.”

අනුරාධා අම්මා දිහා බලාගෙන හිටියේ තිගැස්මෙන්.ඊටපස්සේ වචන එකතු කරගෙන පරිස්සමින් අම්මාට කතා කරන්න අනුරාධා තීරණය කළා.

“අම්මේ,හිරන්ත ගැන සැක කරන්නේ මොකටද? හිරන්තයි මාධවීයි තව මාස දෙක තුනකින් කසාද බඳින්නනෙ ඉන්නෙ.හිරන්ත ඒ ගමන ගියේම මාධවීගේ පෙරැත්තෙට.මම පෙරැත්ත කළාට චාමර නිවාඩු දවසේ නිදා ගන්න එක වටිනවා කියපු නිසානෙ මම ඒ ගමන ගියේ.”

අම්මා හුස්මක් පහත දැම්මේ කල්පනාකාරීව.

“මොනව වුණත් පරිස්සමින් වැඩ කරන්න ලොකු පුතේ.”

එහෙම කියපු අම්මගෙ හිතේ ලොකු දුකක් තැවරිලා තියනවා කියලා අනුරාධා හිතුවේ වේදනාවෙන්.කොහොමටත් පිපිරෙන්න තිබුණු බෝම්බය අනුරාධා කාමරේට ඇවිත් චාමරට ඇමතුමක් ගත්තට පස්සේ පුපුරා ගියා.

“අර හිරන්ත කියන එකා මොකටද ඔයාගේ ෆොටෝස් ගන්නේ?”

චාමර අහන්නේ කේන්තියෙන්.අනුරාධා මේ ප්‍රශ්නය දිහා බැලුවේ කලකිරීම මුසු වුණු පුදුමයකින්.

“හිරන්ත අතේ හොඳ කැමරාවක් තියන ෆෝන් එකක් තියනවා.ඒ නිසා එයා අපි කාගෙත් ෆොටෝස් අරන් දුන්නා.ඒක රණ්ඩු වෙන්න දෙයක්ද චාමර”

නමුත් පින්තූර ගැනීම ගැන හිරන්තට ස්තූති කරලා ෆේස්බුක් එකට ෆොටෝ අප්ලෝඩ් කිරීම ගැන අනුරාධාට සමාව දෙන්න අමාරුයි කියලා චාමර කියනකොට අනුරාධාට ඇති වුණේ කේන්තියක්.

“මනුස්සයෙක් උදව්වක් කරාම ස්තූතියි කියන එක කොහොමද චාමර සමාව දෙන්න බැරි වරදක් වෙන්නේ”

අනුරාධා ඇහුවේ කේන්තියෙන්.ඒ කොහොම වුණත් අනුරාධා හිරන්ත එක්ක උකුළු මුකුලු කරන්න ඇති කියලා චෝදනා කරපු චාමරට එදා දවසේ රණ්ඩුව වෙනුවෙන් ඒ මාතෘකාව ඕනෑවටත් වඩා සෑහිලා තිබුණා.

චාමරගේ මේ අනවශ්‍ය සැකය අනුරාධාට දරා ගන්න බැරි පීඩාවක්. වෙනත් ගැහැනු ළමයෙක්ව නුදුරු අනාගතයේම විවාහ කරගන්න ඉන්න මිතුරෙක් තමන්ට පාවා දීලා බනින්න තරම් චාමරගේ ඔළුව අවුල් වීම ගැන ඇයට දැනෙන්නේ පුදුම තරමේ වේදනාවක්.ඒ සේරටමත් වඩා චාමර අම්මාට කතා කරලා අනුරාධා ගැන චෝදනා කිරීම ගැන ඇයට ආවේ උහුලන්න බැරි තරම් කේන්තියක්.

චාමර සමාජයේ ගැවසීම ප්‍රිය කරන්නේ නැහැ.ඒ වගේම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න අනුරාධාට ඒ ජීවිතයට වැට කඩුළු අහුරන්න අමතක කරන්නෙත් නෑ.අභූත චෝදනාවක් සතියකට පාරක්වත් නොකර ඉන්නෙත් නෑ.

තමන් ජීවිතය ගැන අරගත්තු බරපතලම තීරණයක් ඇත්තටම නිවැරදි ද කියලා අනුරාධාට හිතෙන්න ගත්තේ ඊළඟ සිදුවීමට පස්සේ.

“චාමර කාලෙකින් ක්‍රිකට් මැච් එකක් තියන එකේ යමුද බලන්න?”

පුංචි කාලේ ඉඳලා ක්‍රිකට්වලට ආසා කරන අනුරාධා ඇහුවේ මේ ගමන නම් කොහොමහරි ක්‍රිකට් මැච් එක බලන්න යනවා කියලා හිතන අතරේ 

“මොනවටද ඕව බලල.කොහොමත් පරදින එකනෙ.”

ජය පරාජය කියන දේ කල් තියා නිගමනය කරන්න බැරි බව අනුරාධා කියනකොට චාමර අනුරාධා දිහා බලාගෙන හිටියේ කේන්‍තියෙන්.ඊටත් පස්සේ දුරකථනය අතට අරගෙන අනුරාධාගේ ෆේස්බුක් ගිණුමට ගිය චාමර මොනවදෝ හොයන්න පටන් ගත්තා.

“එක එක ක්‍රිකට් කාරයන්ට ක්‍රෂ් වෙන්න ලැජ්ජා නැද්ද අනූ? තමුසෙ ඇයි මේ ක්‍රිකටර්ස්ලගෙ පෝස්ට් මෙච්චර ශෙයා කරන්නේ?”

කඩවසම් ක්‍රිකට් තරුව සම්බන්ධ පෝස්ට් ශෙයාර් කරන්න හේතුව ඔහුගේ දක්ෂතා ගැන තියන අභිමානය මිසක් ඔහුගේ රූපයට තියන ලෝබකම නෙවෙයි කියලා චාමරට පැහැදිලි කරන විදිය ගැන අනුරාධා කල්පනා කළා.කොච්චර කල්පනා කරත් ඒවා විසඳුම් ලැබෙන කතා නෙවෙයි.

“ඔය කෙහෙම්මල් මැච් බලන්න යන්න ඕන නෑ.කෙල්ලන්ට මොකටද ක්‍රිකට්.”

ඒක තමයි චාමරගේ අවසාන තීන්දුව!

“චාමර මම ඔයාටත් එක්ක ටිකට් ගන්නනෙ හැදුවේ.තනියම යන්න නෙවෙයි.මේ මම ආස දෙයක්නෙ.”

අනුරාධා එහෙම කියද්දිත් චාමර කළේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇලුම් කිරීම ගැන දිගින් දිගටම අනුරාධාට බනින එක.

ආසාවෙන් අහන සින්දුවක ඉන්න ගායකයාට බැනීම,රියැලිටි තරගවල ඉන්න පුංචි පිරිමි ළමයි පවා අනුරාධාගේ ඒකපාර්ශවික ප්‍රේමවන්තයෝ කියලා බැන වැදීම,හැම මිතුරෙක්ම ආස්සරේ කරන්නේ මිතුරුකමට නොවෙන බව සහතික කිරීම හැම වෙලාවෙම කරන චාමර එක්ක ජීවිතය පහසු නැති වග අනුරාධා හිතන්න ගත්තේ දිගින් දිගටම මෙහෙම සිදුවීම් වෙනකොට.

“චාමර ඔයා හැමවෙලාවෙම මට කාවම හරි ජෝඩු කරලා බනින්නේ ඔයාට මාව අවිශ්වාස නිසාද?”

දවසක් එහෙම අහන්න අනුරාධා තීරණය කළේ රිදවුම් ඕනෑවටත් වඩා දරා ගනිමින් ගමනක් යාම අපහසු බව දැනෙන්න ගත්තු නිසා.

“ගෑනුන්ට ඕනවට වඩා නිදහස දෙන්න හොඳ නෑ.ගෑනුන්ව ඕනවට වඩා විශ්වාස කරන්න හොඳත් නැහැ.”

චාමර කියන්නේ තමන්ගේ තීරණයේ තරයේ එල්බ ගෙන.තටු කැපූ කිරිල්ලියක් වෙලා ජීවිත කාලෙම දුක් විඳින්න වෙන බව අනුරාධා තීරණය කළා.

“චාමර,මං ආදරේ කරන්නේ ඔයාට.ඒ ඔයා අනිත් අයට වඩා මට විශේෂ වෙලා පෙනුණු නිසා.ඔයා වෙනුවට කිසිම කෙනෙක් ආදේශ කරන්න මට බලාපොරොත්තුවක් තිබුණේ නෑ.යාළුවෙක් ආස්සරේ කරන්න නොදී ආසා ගමනක් බිමනක් යන්න නොදී මාව හිර කරන්න හදන්න එපා.මම දකින ඕනෑ මනුස්සයෙක් එක්ක යාළු වෙයි කියලා හිතලා ඔයා කරන්නේ මට අපහාසයක්.මට එහෙම දේවල් කරන්න උවමනා නැහැ.ඒත් ඔයා මාව අනිවාර්තෙ සැක කරනවා නම් මට ඔයා එක්ක එකට ගමනක් යන්න ඕන නෑ චාමර.”

අනුරාධා එහෙම කියලා නැගිට්ටේ හිතේ බර බිමින් තියලා.සමාවක් නැති වැරදි කියලා තමන්ගේ ජීවිතේ ඕනෑවට වඩා පාලනය කරන කෙනෙක් එක්ක එකට ගමනක් යාම අසීරු බව ඇය හිතුවා.ජීවිතේ තවත් අමාරු නොකර මේ කතාවට නැවතීමේ තිත තියන්න ඕනෑ.

අනුරාධා එහෙම හිතුවේ ආපසු නොහැරී යන්න යන අතරේ.

More Stories

Don't Miss


Latest Articles