සීත මාරුතේ -51

නිවැරදි සිහියක් මවෙත වූයේ නැත. ස්කූටිය කොයි දෙසට යොමු කර ගත යුතු ද, ඒ සඳහා කාල වෙලාවක් වේද කියා හෝ සිතා ගත නො හැකි විය. අවසන මට කළ හැකි වූයේ එක දෙයකි. ස්කූටරයේ තිරිංග තද කොට එය නවතා ගනිමින් ම මම ඇස් දෙක තද කොට පියා ගතිමි. මා ඉදිරියට එමින් තිබි රථය තව තත්පර දෙක තුනක දී ඉතා වේගයෙන් ස්කූටියේ හැපී මා විසි වී බිම වැටෙන හැටි මගේ මනසේ ඇඳී මැකී ගියේ ය. මුණිවර ගේ පියා ද මුණිවර ද රිය අනතුරු වලට ලක් වූ වේල්ලෙවල! පියෙකු ට ජීවිතය අහිමි කළ, ඔහු ගේ පුතු ට මතකයෙන් කොටසක් අහිමි කළ වේල්ලෙවල! මට කවරක් සිදු විය හැකි ද කියා හෝ සිතන්නට කාලයක් තිබුණේ නැත. මහ හඬින් තිරිංග තද කර ගෙන රිය නැවතෙන හඬ ඇසිණ. 

තවත් තත්පර බාගයක් පමණ මම ඇස් තද කර ගෙන ම සිටියෙමි. ඊළඟට එක ඇසකින් බාගයක් පමණක් හැර බැලුවෙමි. මට කිසිත් පැහැදිලි වූයේ නැත. අනතුරු ව ඉතා හෙමිහිට අනිත් ඇස ද හරිමින්, දෑස් දෙක ම හකුලා ගෙන බැලුවෙමි. මා තවමත් සිටින්නේ ස්කූටරයෙහි හිඳ දෙපා බිමට තබා ගෙන බව මට පසක් විය. මා රියෙහි ගැටී නැත!

“පිස්සුද ආ…මොන සිහියෙන්ද පාරෙ යන්නෙ…”

කන ළඟ බෝම්බයක් පිපිරුවා වන් විදාරණයකි එය. මම ඇස් දෙක හොඳින් හැර ඒ ගෝරනාඩු හඬෙහි හිමිකාරයා දෙස බැලුවෙමි. ගිනි පිට වෙන දෑසකින් මදෙස බලා උන් ඔහු නො සන්සුන් ව සිටි බව පෙනිණ.

“ස්..සො..රි..”

මම කෙඳිරුවෙමි.

“සොරි කිව්වහම ඔක්කොම හරි කියලද හිතන්නෙ…තමුං ඔය විදිහට පාරෙ ගිහිං හප්පල කී දෙනෙක්ව අමාරුවෙ දාන්නද හිතං ඉන්නෙ…මෙතන පාර බ්ලොක් කරන්න බෑ. අයිනට කරල නවත්තනව”

කෑ ගසමින් ම සිය කැබ් රථයට ගොඩ වූ තරුණයා, මග අයිනට කොට රිය නතර කළේ ය. මම සිහි එළවා ගනිමින් ඔහු කී පරිදි කළෙමි. දඩාං ගා රිය දොර වසමින් නැවත ද ඔහු බිමට පැන ගත්තේ ය.

“තමුන්ට ලයිසන් තියනවද බයික් පදින්න…”

මම හිස සැළුවෙමි.

“පොලිස්සියෙන්ද ලයිසන් දුන්නෙ..නැත්තං බීලද ඉන්නෙ…රෝං සයිඩ් යන්නෙ උණ විකාරෙංද…”

මට වචනයක් හෝ කියන්නට නොදී හෙතෙම කියවා ගෙන ගියේ බුරා හැලෙනා බල්ලෙකු මට සිහි කරවමිනි. ඒ වෙලාවේ හාත්පස පරිසරය මන්දාරම් වී තිබිණ. වැස්සක් අත ළඟ ද නැත්නම් මීදුම නිසා එවන් අඩ අඳුරක් ගලා හැලෙනවාද කියා හෝ මට නිනව් වූයේ නැත. මෝටර් රථ ධාවනය වන්නේ විදුලි පහන් දල්වාගෙන බව මා දුටුවේත් ඒ වෙලාවේ ය.

“මං හිතුවෙ නෑ බ්‍රේක් කර ගන්න පුළුවං වෙයි කියල. දෙයියො බලලද කොහෙද ඒක කරගන්න පුළුවන් වුණෙ. නැතතං තමුංව ගෙනියන්න වෙන්නෙ මෝචරියට. නිකං අපරාදෙ මටත් පොලීසි උසාවි ගානෙ යන්නයි වෙන්නෙ එහෙනං”

“මං දැං සැරයක් කිව්වනෙ සොරි කියල”

මම ද පිස්සු බැල්ලක සේ ඔහු වෙත කඩා ගෙන පැන්නෙමි. මොන වදයක් ද? වරදක් වූ බව ඇත්ත ය. නමුත් ඊට සමාව ඉල්ලා සිටියාට පස්සේ ද කෑ මොර දෙන්නේ මොන බලයක් පාවිච්චි කරමින් ද? ඔහු සිය රියට මා යට කොට දැමුවා නම් මීට වඩා හොඳ යයි මට සිතුණේ ය.

“ආ…එහෙමද නෝනා..එතකොට ඔක්කොම හරිද..මිණියක් මරල හරි කියන්න ලේසි වචනෙ නේ…සොරි. තමුන් දන්නවද තමුන්ල වගේ අය නිසා දවසකට ජීවිත කීයක් විනාස වෙනවද කියල..”

“ඔව් මං දන්නව. මං හොඳටම දන්නව. මං තරං කවුද දන්නෙ ඒක…ඔහේ දන්නවද ඔය බිරුවට..ඒ තත්වෙට පත් වෙච්ච මිනිස්සු ජීවත් වුණත් මැරි මැරියි ජීවත් වෙන්නෙ කියල…ඒ මිනිස්සුංගෙ ජීවිත වලට ළඟින් හිටිය අය ඊටත් වඩා අමාරුවෙනුයි ජීවත් වෙන්නෙ කියල..මැරෙන්නද අපිට කියන්නෙ…ආ…ඉතිං ඇයි අමාරුවෙන් බ්‍රේක් කරල බේර ගත්තෙ…හප්පල දාන්න තිබුණනෙ..මං වගේ අයට ඒක ලොකු උදව්වක්. එනව මෙතන වීරයෙක් වගේ කෑ ගහගෙන…”

මම රවා බලා ගෙන ඔහු ට කෑ ගහන්නට පටන් ගතිමි. නමුත් අතරින් පතර මගේ හඬ බිඳුණේ ය. වරින් වර හැඬෙන්නට ම ගියේ ය. ඔහු දෙස බලා ගෙන කියවා ගෙන යත්දී ය මා ඒ මූණ හොඳින් දුටුවේ. ඝණ ඇස් බැමි හා සිහින් දෑසක් හිමි, තද පාට සමක් ඇති හෙතෙම ජේත්තුකාරයෙකු සේ හිස කේ සකසා ගෙන සිටියේ ය. මගේ බැණ අඬ ගැසීමේ තැන් තැන් වලදී ඔහු ට සිනහ නැගුණ ද ඇතැම් තැන් වල ඔහු අසා සිටියේ යමක් වටහා ගැනීමේ කල්පනාකාරී බවිනි. කෙසේ වෙතත් අන්තිමට මගේ ඇස් කඳුළු වගුරුවමින් සිටියේ ය. මා හඬන්නට නිශ්චිත හෙතුවක් මට ම වුව වැටහුණේ නැත. නමුත් මම හැඬුවෙමි. දැන් මට සියල්ල අහිමි වී තිබේ. මා පෙම් කළ අතීතය මගේ පෙම්වතා ට අමතක ය. ටික කලක් හෝ මා ආදරයෙන් දුව පැන ඇවිදි මිස්ට් ෆීල්ඩ් දැන් මට අයිති නැති තැනකි. නො සතුටින් පැමිණි කඳුකරයේ උස් මුදුනක කණාමැදිරි එළියක් සේ මා තුළ බලාපොරොත්තුවක් දල්වාලූයේ මුණිවර අභිශේක් බණ්ඩාර ය. නමුත් ඔහු ගේ මතක ඉතිහාසයේ කොතනකවත් මා නැත. ඉතින් මේ ජීවිතයෙන් මා කුමක් නම් බලාපොරොත්තු වන්න ද?

“ඕකේ. දැං අඬන්න එපා”

අවසන ඔහු මුමුණනවා ඇසිණ. ගැහැනු දෑසක කඳුළු පිරිමි සිතක් දියාරු කරවන බව මා අසා තිබේ. ඔහු වීරයෙකු සේ පෙන්වන්නට උත්සාහ කළ ද මේ කෙට්ටු උස කළු කොල්ලා මගේ කඳුළු ඉදිරියේ සසැලී සිටියේ ය.

“කොහෙද ඔයා ඉන්නෙ…”

එවර ඔහු මොළොක් ලෙස විමසුවේ ය. 

“ගුරුතලාවෙ”

මම නාසය උඩට අදිමින් කීවෙමි.

“ඉතිං මේ වේල්ලෙවල ආවෙ..”

“නිකං..මන්දන්නෑ”

“පොඩි දුරක්ද ගුරුතලාවට…ගෑනු ළමයි මෙහෙම මුරණ්ඩු වෙලා කොහොමද අප්ප…”

හෙතෙම දෑත් කලිසම් සාක්කු වල ඔබා ගෙන මඳක් ඔබ මොබ සක්මන් කරමින් කල්පනා කළේ ය. 

“අනිත් එක හෙතුවක් නැතුව මෙහෙම ඈතකට එනවද බයිසිකලේක තනියම…දැන් යන්නෙත් ගුරුතලාවටද…”

“නැතුව ඉතිං මං අතරමග නතර වෙන්නයැ”

“ගෑනු ඔහොමම තමයි. මොන හරක් වැඩේ කළත් කටේ සද්දෙනං අඩු වෙන්නෑ”

ඔහු ට තමන් ගේ සීමාවේ ඉන්නා ලෙස කියන්නට මට ඕනෑ විය. නමත් ඒ අතරේ ඔහු ‘මචංලා’ කියමින් ඒ අසල කඩ කිහිපයක උන් පිරිමින් කිහිප දෙනෙකු කතා කර ගෙන මගේ ස්කූටරය ඔසවා සිය කැබ් රියට දමා ගත්තේ ය. 

“මොකද්ද කරන්න යන්නෙ..”

මම ඔහු ගේ ඇඟට කඩන් පැන්නෙමි. 

“කරන්න යන්නෙද…තමුන්ට ජීවිතේ ඕන කැති වුණාට තමුන් නිසා පාරෙ යන ජීවත් වෙන්න ඕන මිනිස්සුන්ට කරදරයක් වෙන්න අරින්න බෑනෙ දැන දැනම. ඒක නිසා නගින්න නෝනා කැබ් එකට. මං ගුරුතලාවෙන් දාන්නං”

ඒ වෙලාවේ මට ද ඕනෑ වී තිබුණේ මගේ බරින් නිදහස් වන්නට ය කියා සිතමි. නාඳුනන පිරිමියෙකු ගේ රියකට ගොඩ වීමේ අවදානම හිතට දැනුණේ නැත. ඇයිදෝ මන්දා කටෙහි පාලනයක් නැති මේ විවෘත තරුණයා ගැන මට බියක් දැනුණේ ම නැත. තව දුරටත් ඇවිටිලි කරන්නට ඉඩක් නො තබා මම ඔහු ගේ රියට ගොඩ වීමි.

අදීෂ් පණ්ඩිතරත්න නම් වන ඔහු ආසන්න තේ වත්තක වතු කලමණාකරුවෙකු ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලද්දේ ගුරුතලාව දක්වා රිය පදවන අතරේ ය. ඔහු ශාන්ත තෝමස් ආදි සිසුවෙකු වූයේ ය. මා උප විදුහල්පති රන්මුතුගේ සර්ගේ දියණිය බව දැනගත් හෙතෙම පෙර දැමූ සැර හොඳට ම බාල කොට ඉන්පසු තොරතුරු කතා බහ කළේ ය. පසුගිය වාර්ෂික ආදි ශිෂ්‍ය සුහද හමුවට ද ඔහු සහභාගී වී තිබූ අතර අප්පච්චි ව මුලින් ම දැක තිබුණේ එහිදී ය. මම මුණිවර ගැන කතා නො කොට සිටියෙමි. මගේ කඳුළු වලට හෝ හදවතේ වන තුවාල වලට හේතුවක් ඔහු විමසූයේ නැත. විශේෂයෙන් ම එය මට පහසුවක් විය.

“මේ පැත්තෙ ඉන්න හැම බෝයි කෙනෙක්ම ගුරුතලාවෙ ඕල්ඩ් බෝයි කෙනෙක්ද..”

මට එසේ නො විමසා බැරි විය. ඔහු ඊට තරමක් හඬ නගා සිනහ වූ අතර ක්ෂණික ව ඒ සිනහව අවසාන ද විය. ඊළඟට හෙතෙම යම් කිසි කල්පනාවකට වැටුණේ ය. ගුරුතලාවේ දී පාරේ ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු උදව් කර ගෙන ඔහු මගේ ස්කූටිය බිමට බෑවේ ය. ඔහු ට ස්තූති කරන්නට හෝ මට අමතක විය. අදීෂ් රිය පණගන්වා ගෙන නික්ම යන්නටත් පෙර මම පිවිසුම් දොරටුවෙන් ඇතුළට බයිසිකලය පැද ගෙන ගොස් සිටියෙමි.

“මං බලං හිටියෙ මෙච්චර වෙලා කොහෙ ගිහින්ද කියල”

අම්මා සීතලට දෑත් පොරවා ගෙන මිදුලේ සිටියා ය. මම පිළිතුරක් දෙන්නට නො ගියෙමි. තවත් දෙදිනක් ගෙවී ගියේ ගේ ඇතුළේ ම ය. නංගී හා යෙහෙළියන් දෙදෙනා සමග ද මම පිටතට යාම ප්‍රතික්ශේප කළෙමි. අප අඅවිද්දේ පාසල් වත්ත තුළ පමණ ය. මගේ රිදුණු බිඳුණු හිත හදන්නට ඔවුන් අපමණ උත්සාහ කරනා බවක් මට දැනිණ. නමුත් එහිත සුවපත් කරනු වස් ඔසු ගැල්වීමේ කිසිදු ප්‍රතිථලයක් නැති බව මම දැන සිටියෙමි. 

“මෙහෙම නිකංම ගෙට වෙලා ඉන්නකොට වෙන්නෙ අමතක කරන්න ඕන කියල හිතන දේවල් ගැන ම හිත හිතා ඉන්න එකයි. ලොකු ළමය බලන්න ඔයා කැමති ජොබ් වේකන්සි එකක් තියන තැනක් විපරං කරල. එහෙම වුණොත් අපි ආයෙ කොළඹ හරි යමු”

දෙදිනකට පස්සේ අප්පච්චි කීවේ ය. මම තිගැස්සී ගිහින් ඔහු දෙස බැලුවෙමි.

“එතකොට ඔයාට රිටයර් වෙන්නනෙ වෙන්නෙ. මවුන්ට් ලැවීනියා බ්‍රාන්ච් එකට දැන් වෙන සර් කෙනෙක්ව අරංනෙ තියෙන්නෙ”

අම්මා තිගැස්මෙන් කීවා ය. ජීවිතයේ සැඳෑ සමය මේ සොඳුරු කඳුකරයේ ගෙවා දැමීම අප්පච්චි ගේ සිහිනය වූ බව මම දනිමි. යළි කොළඹ ගිය හොත් එක්කෝ ඔහු විශ්‍රාම යා යුතු ය. නැත්නම් සාමාන්‍ය ගුරුවරයෙකු ලෙස යළි ගුරු සේවයට එක් විය යුතු ය. නැත්නම් වෙනත් පෞද්ගලික පාසලකට සම්බන්ධ විය යුතු ය.

“දැන් ඉතින් අපේ කාලෙ ඉවරනෙ දූලයි අම්මෙ. දරුවන්ට ඒගොල්ලන්ගෙ හීන වලට යන්න පාර කපල දෙන එක තමයි දැන් අපෙත් සතුට වෙන්න ඕනෙ”

නමුත් ඔවුන්ටත් සිය හීන දකින්නට ඉඩක් තිබිය යුතු ය. අපේ ළමා විය හා පාසල් සමය හොඳ තත්වයේ එකක් කරනු වස් බොහෝ කැප කිරීම් කළ අම්මා හා අප්පච්චි මෙහි පැමිණි පසු සැහැල්ලුවෙන් සිටියහ. මා නිසා ඔවුන්ට ඒ සැනසීම යළිත් අහිමි වෙනවා නම් එය මට සදා කාලික පසුතැවීමක් වනු ඇත.

“කොළඹ යන්න ඕන නෑ අප්පච්චි. අනික අමතක කරන්න කියල දෙයක් මට නෑ. බලමුකො…”

මුණිවර මා හැර ගියා නම් මට ඔහු ට දෙස් තබන්නට තිබිණි. ඔහු මා අමතක කළා නම් මට ඔහු ට වෛර කරන්නට තිබිණි. සිදු වූයේ එවැන්නක් නොවේ. මතකය ඔහු ට අමතක වූවා ට මට ඒ මතකය අමතක කොට දමන්නට උවමනා නැත. අවසන් හුස්ම හෙළනා තෙක් ම මට ඒ මතකය අමතක වී යන්නේ ද නැත. 

ලොකු තාත්තා මා බලන්නට ආවේ ය. ඔහු දුටු මගේ ඇස් තෙත් වූයේ ය. නමුත් මම කඳුළකට අවසර නොදී තෙත් වූ ඇස් වලින් සිනහවක් නගා ගතිමි.

“ඇයි දරුවො අපිට මෙහෙම වුණේ…මිස්ට් ෆීල්ඩ් එක පාළු වෙලා මූසල වෙලා ගිහිං…”

ඔහු ඉවත බලා ගෙන ඇස් මිරිකා හැරියේ ය. මම ලොකු තාත්තා ගේ අතකින් අල්ලා ගෙන සිමෙන්ති බංකුව වෙත ගියෙමි. එතැන අපිට වඩා නිදහසේ කතා කළ හැකි ය.

“මං ඒ තීරණේ ගත්තෙ මුණිවරගෙ හොඳට ලොකු තාත්තෙ. එයාට මතක නැති අතීතයක් ගැන කිය කිය මං එතන ඉන්න එක එයාට වදයක්. දැං එයාට පුළුවන් හිත හදා ගෙන ධාරා ගැන මුල ඉඳල හිතන්න”

“ඇයි අපි එච්චර ලේසියෙන් පරාද වෙන්න හදන්නෙ…මට දැනෙන්නෙ මං කරපු හැම දේම වතුරෙ ගියා වගේ”

“මං දන්නව ලොකු තාත්ත මට කොච්චර ආදරෙද කියල”

“මේ විදිහට කිසි දෙයක් සම්පූර්ණ නෑ පුතේ. කියා ගන්න නොතේරෙන අඩුවක් තියනව. ධාරා නෙවෙයි වෙන ගෑනු සීයක් ආවත් ඒ අඩුව සම්පූර්ණ කරන්න බෑ. මං දන්නව..මං දන්නව දුවට බෑ අඩු පිරිමහ පිරිමහ ඉන්න. දුවගෙ හිතේ ඇවිලෙන ගින්නෙන් අපිත් අවිලෙනව. මහ පුදුම අසරණ හැඟීමක් දෙයියනේ මේක”

“ලොකු තාත්ත”

“දුවෙක් නැති වුණත් කට පුරා දුවේ කියල කතා කරන්න පුළුවන් ලේලියෙක් ලැබෙනවනෙ කියන සතුටෙන් මං හිටියෙ. දැං ඉතිං මැරෙන්න වෙන්නෙ පුහුල් පොල මහ ගෙදර තනියම…ඇයි දෙයියනේ දෛවය මෙච්චර නරක සෙල්ලමක් අපිත් එක්ක කළේ…”

“ලොකු තාත්තට මං ඉන්නව” 

මම ඔහු ගේ දැඩි බාහුවක් තද කොට අල්ලා ගෙන කීවෙමි.

“මට වෙලාවකට හිතෙනව රජ්ජුරුවන්ගෙ ඔළුවට පොල්ලකින් තඩිබාන්න…හැම දේම මතක් වෙනකල්”

“අනේ ලොකු තාත්තෙ..මොනාද මේ කියන්නෙ..”

මම කඳුළු සීතල ඇස් වලින් සිනහ වුණෙමි. පපුව ඇතුලේ කිසි දා ඔවුන් වෙතින් වෙන් කළ නො හැකි පෙකණිවැල් බැඳීමක් වන බව ද මට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles