හැදූ වැඩූ ලොකු අම්මාගේ දේපල විකුණා මහමඟට ඇද දැමීමට හැදූ පුතෙක්.

නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.

දරුවෙකුට අම්මා අහිමි වීම එතරම් සුළු කර තකන්න පුළුවන් දෙයක් නෙමෙයි.යමක්කමක් තේරෙන වයසකට පැමිණෙන්නට පෙර දරුවෙකුගේ ලෝකයෙන් අම්මා නික්මී ගිය පසු බොහෝ විට දරුවාට අම්මා වන්නේ අත්තම්මා.නැතිනම් ලොකු අම්මා හෝ පුංචි අම්මා කෙනෙක්.ධනුජට අම්මා හිමි වන්නේ ඔහු දස හැවිරිදි කුඩා දරුවකු කාලයේදි.පිළිකාවක් නිසා අම්මා ජීවිතෙන් සමු ගත් පසු ඔහු වඩා ගැනීම ඔහුගේ ලොකු අම්මා වූ නාලිනි බාර ගන්නවා.

“ඔයා කසාදයක් බැඳලත් නෑ.ඔයාට පුලුවන්ද ළමයො ධනුජ පුතාව බාර ගන්න.ඒ ළමයගෙ අම්මා මැරුණට තාත්තා ඉන්නවනෙ.ඒ මනුස්සය ළමයව බලාගනියි.”

විවාහ වෙන වයස පසුකරමින් අවිවාහකව ජීවත්වන නාලිනීට ගන්නට යන තීරණය සම්බන්ධයෙන් බොහෝ ඥාතීන් අනතුරු අඟවනවා නමුත් නංගි ජීවිතයෙන් සමු ගැනීම ධනුජගේ මානසිකත්වය පහලට ඇද දමන්නට උවමනා නැති බව සිතමින් ඇය ධනුජට හොඳ අම්මා කෙනෙක් වෙන්නට තීරණය කරනවා.

“ඔව් ඉතින් සාගරේ වගේ දේපල තියෙනවනේ.තිස්සෙම වත්ත පිටියේ දේවල් අත ගගා ඉන්න නාලනිට දරුවෙක් හදාවඩා ගන්නත් ආස ඇති.”

දන්න හඳුනන අය ඊළඟ තීරණයට එළඹෙන්නේ ඒ ආකාරයෙන්.

ධනුජ ලොකු අම්මාගේ නිවසේ සහ තාත්තා සමඟ මාරුවෙන් මාරුවට වාසය කිරීමට පටන් ගන්නවා.

“මම ආපහු කසාද බඳින්න හිතුවා.පුතාට මාත් එක්ක ඉන්නත් පුළුවන්.එයා කැමති තැනක හිටපුදෙන්.”

ධනුජගේ තාත්තා නැවත විවාහ වන තීරණය ගැන ධනුජගේ අත්තම්මාට සහ ලොකු අම්මාට හෙළි කරනවා.ඔහු නැවත විවාහ වූ පසු නිවසට එන කුඩම්මා ධනුජට සැලකීම හෝ නොසැලකීම ගැන ගැටළු ඇති කරගන්නට නාලනීටවත් ඇගේ අම්මටවත් උවමනා වන්නේ නෑ.වතුපිටිවලින් ලැබෙන ආදායමෙන් ධනුජ හොඳින් රැක බලා ගන්නට නාලිනීට ශක්තිය පවතිනවා.ඒ නිසා ඇය ධනුජට හොඳින් උගන්වන්නේ ඉතාමත් සන්තෝසයකින්   

“දරුවාට කියලත් මොනවා හරි තියෙන්න ඕනේ අම්මේ.මං හිතුවේ පුතාගේ නමට ඉඩම් කෑල්ලක් ලියන්න” 

ධනුජට වයස අවුරුදු පහලොවක් පමණ වෙද්දී ඔහු නමට ඉඩමක් ලියන්නට නාලිනීට අවශ්‍ය වෙනවා.ඇය එය ඔහුට ලියන්නේ දරුවාගේ භාරකාරයා ලෙසට ඔහුගේ අත්තම්මා පත් කරමින්.බාල වයස් කරුවෙකු නමට ඉඩමක් පැවරිය හැක්කේ ඒ ආකාරයටයි. දරුවාගේ නමට තෑගි ඔප්පුවකින් ඉඩමක් පැවරිය හැකි අතර තාවකාලිකව භාරකාරයෙකු ද පත් කළ යුතු වනවා.භාරකරු දරුවා වෙනුවෙන් ලියකියවිලිවලට අත්සන් කළ යුතු වෙනවා.මේ සියල්ල නීත්‍යනුකූලව සිදු සිදු කරන්නට නාලනී වග බලා ගන්නවා.තමන් කිසිවක් නොමැති කෙනෙක් යන හැඟීම ධනුජට දැනෙන්නට ඉඩ නොහැරීම නාලිනීගේ එකම අභිප්‍රාය වී තිබුණා.

ධනුජගේ තාත්තා වූ සමන් සහ ඔහුගේ නව බිරිඳ ලතා ඉතා නාස්තිකාර යුවළක්.ඔවුන් තමන් සතු සෑම දෙයක්ම ඉතා ඉක්මනින් නැති නාස්ති කරගන්නවා.නමුත් එය ධනුජගේ ජීවිතයට කිසිලෙසක බාධාවක් වන්නේ නැහැ.ඔහු සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ කරන්නට නගරයේ පාසලකට ඇතුල් වන්නේ ලොකු අම්මාගේ දැඩි කැපවීම සහ වියදම් කිරීමේ හැකියාව නිසා.ඉගෙනීමට සමත් ධනුජ උසස් පෙළ ඉහළින්ම සමත් වී ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලබන්නේ නාලනීගේ කැපවීමට ඉහළ ප්‍රතිඵල අත්කර දෙමින්.එහි අධ්‍යාපනය හැදෑරීමෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන්නට ඔහුට උවමනා වෙනවා.

“ඒ වෙනුවෙන් වියදම් කරන්න ඕන නම් මට පුළුවන් පුතේ.මගේ පුතා යන්න පුළුවන් තරම් ඉහලටම යන්න”

නාලනී පුතුට එසේ ආශිර්වාද කරමින් ඔහුගේ ඊළඟ සිහිනය ඉටු කර දෙන්නට කටයුතු කරනවා.නමුත් විදේශ ගත වී ටික කාලයක් යද්දි ලොකු අම්මා සමග සියලුම සම්බන්ධතා අත් හරින්නට ධනුජ කටයුතු කරන්නේ සිත්පිත් නොමැති ලෙසටයි.වසර ගණනාවක් තිස්සේ ඇය අතහැර දැමූ ඔහු ගැන ඥාතීන් සහ හිතවතුන් ප්‍රශ්න කරද්දී පවා නාලනී ඒවාට පිළිතුරු දෙන්නේ කිසිම සිත් වේදනාවකින් තොරව.ඇයට සැබෑවටම ධනුජ සමඟ වෛරයක් ඇති කර කර ගන්නට උවමනා වූයේ නැහැ. 

“කමක් නෑ.දරුවාට කාත් කවුරුත් නැති කාලේ මං එයාව බලා ගත්ත.දැන් එයා ලෝකය දැක්ක ලොකු ළමයෙක්.එයාට හොඳ දෙයක් කරපුදෙන්.”

නාලිනි හිත හදාගන්නේ ඒ ආකාරයෙන් සිතමින්.කාලය ගලා යන අතර දැන් ධනුජ තිස් දෙහැවිරිදි වියේ පසුවන තරුණයෙකු වෙනවා.ඔහු දැන් විවාහකයි.තාත්තාගේ අභාවයෙන් පසු ඔහු පුංචි අම්මා වූ ලතා සමඟ එක් වී ලොකු අම්මා ඔහුට පැවරූ ඉඩම ඉඩම් කැබලි කර විකුණන සමාගමකට පැවරීමට කටයුතු කරනවා.නාලිනී ඔහුට ලබා දී තිබුනේ ඇය ජීවත් වන ඉඩමෙන් කොටසක්.ඇගේ නිවස තිබෙන්නේ ඒ ඉඩමේ.මේ වනවිටත් නාලිනී නීතිමය තහනමක් දමමින් එය වසර දෙකෙන් දෙක අලුත් කරමින් තිබෙන නිසා ඇයට ඉඩම විකිණීම සම්බන්ධයෙන් දැනගන්නට ලැබෙනවා.ඒ ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහායි.

තෑගි පවරන ලද ඉඩමක් මෙසේ විකිණීමට හැකිද? ඉඩම් නඩු සම්බන්ධයෙන් ඔබ නොදන්නා කාරණයක් ගැන අද ඔබව දැනුවත් කරන්නට නීතිවේදිනිය සූදානම්.

අතීතයේ තෑගි ඔප්පු සම්බන්ධයෙන් පැවතුණු නීතිය වූයේ තෑගි ඔප්පුවක් ලියා වසර දහයකට පසුව එය එය අවලංගු කිරීමට නොහැකි බවයි.එය නැවත තෑගි ඔප්පුවකින්ම පවරා ගැනීමට හැකියාව අතීතයේදී තිබුණා.නමුත් 2017 වසරේදී නැවත පනතක් පැමිණියා,”තෑගි දීමනාකරුට තෑගි ලැබුම්කරුගෙන් වන සැලකීම ගැන ගැටලු තිබේනම්”  ඒ සම්බන්ධයෙන් තෑගි දීමනාකරුට නඩු පැවරීමේ හැකියාව පවතිනවා.ඒ අලූත් නීති ප්‍රතිපාදන යටතේ නාලනී විසින් ධනුජට එරෙහිව දිසා අධිකරණයේ දී නඩුවක් පවරනු ලැබුවා.

වෙනදාට කතා කරන මාතෘකා තරමට මේ මාතෘකාව සංවේදී බවින් අඩු වන්නට පුළුවන්.නමුත් නීතිය සම්බන්ධයෙන් ඔබ නොදන්නා කාරණා අතර මේ ඉඩම් නඩු සම්බන්ධ වැරදි අවබෝධ ද පවතිනවා.තෑගි ඔප්පුවකින් ඉඩමක් පැවරීම ඉතා පහසුවෙන් කළ හැකියි.එය නැවත පවරා ගන්නට තෑගි ඔප්පුවක් ම භාවිතා කරන්නට දැන් හැකියාව නැහැ.නමුත් දීමනාකරුට වන අසාධාරණයන් හිදී ඒ සම්බන්ධ නඩුවක් පවරා එය නිවැරදි ව ඔප්පු කළ පසු ඔබට නැවත තමන්ගේ දේපල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

අපේ දෙමාපියන් හෝ වැඩිහිටි ඥාතීන් ඔවුන් සතු දේපල අපට ලබාදිය යුතු බව අප බහුතරයකගේ අදහස වී තිබෙනවා.තමන් වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ වැඩිහිටියන්ට සැලකීම දරුවෙකුගේ යුතුකමක්.එසේම දෙමාපියන් හෝ වැඩිහිටියන් පවරා දෙන දේපල අත්තනෝමතික ලෙස භාවිතා කරන්නට තරම් අපි අඥාන විය යුතු නැහැ.මිනිස්කම පවතින්නේ සියල්ලටම ඉහළින්.

ඉඩම් නඩු ඉතා කාලාන්තරයක් තිස්සේ ගණුදෙනු කළ යුතු නඩුවක් බවට සමාජයේ මත පැතිර තිබෙනවා.නමුත් එය එසේ වන්නේ ද නැහැ.සාක්ෂි නිසි ලෙස ඔප්පු කර ඔබට නිවැරදි තීරණය ඉක්මනින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.ඒ නිසා ඉඩම් සම්බන්ධ ගැටලුවකදී නීති මාර්ගයට පිවිසීමට පසුබට වන්නට එපා.

නීතිය පවතින්නේ සියල්ලටම ඉහළින්.හදාවඩාගත් දරුවෙකු අතින් හෝ ඔබට අසාධාරණයක් වෙනවා නම් සොබාදහම යුක්තිය පසිඳලන තුරු කල්මරන්නට එපා.නීතියේ පිහිට පතන්න.නීතිය සෑම විටම සාධාරණ පාර්ශවය සමඟ සිටින බව අමතක කරන්නට එපා.

Related Articles

Don't Miss


Latest Articles