ප්‍රේමයේ අභිමන් – 04

“හැබැයි මටනං ආයෙ අඬගහන්න එපා ගෙවල් හොයන්න යන්න හරිද…අපි අනුංගෙ තැනක ඉන්නවනං ටිකක් ෆ්ලෙක්සිබල් වෙන්න ඕන. ඒ මිනිහ දැන් කී මනි වලින් මූණට දමල ගැහුවොත් අද රෑට ඉන්නෙ බස් හෝල්ට් එකකද…”

දේශිකා තදින් විමසුවා ය. ඒ වචන ටික නම් අපරාජිතා ගේ පපුවේ වැදුණේ ය. කැත්තට පොල්ල සේ ඉන්න ගියොත් හිසට සෙවනක් සොයා ගැනීම අපහසු වන බව වටහා ගත් ඕ යළිත් සෝෆාවේ කොනක හිඳ ගත්තා ය.

දම් පාට වොක්ස්වැගන් බීට්ල් රියෙන් බට වහා ම සසංක බැලුවේ මතු මහලේ පියගැට පෙළ දෙස ය. කුණු බාල්දිය තිබූ තැන එහෙම ම වේ. ගෙදර ඇත්තන් සිටිනා බව ද මෝටර් රථය තිබීමෙන් නිගමනය කළ ඔහු, එකතක ඇඟිලි වලින් ගෙල තෙක් දිගු වූ හිස කේ පිටුපසට කළේ ය.

“පව් බං. ඒ මිනිස්සුන්ටත් ගෙයි කුණු තියං ඉන්න බෑනෙ”

සසංක පිටුපස සිටි අසේල, ඔහු ගේ මිතුරා එසේ කීවේ කුණු බාල්දියෙන් ඉවතට ගත් ඇස් සසංක වෙත යොමු කරමිනි.

“මෙහෙම ගියොත් උඹට උඩ තට්ටුව වහල දාල තියාගන්න තමයි වෙන්නෙ. උඹේ ඔය ලෝ පාට් එක්ක මිනිස්සුන්ට ඉන්න බෑ. ආපු හැම එකාම ගියේ උඹේ නීති එක්ක වසන්න බැරුවනෙ”

සසංක චනයකුදු නො කියා යතුර ගෙන දොර හැරියේ ය. 

“ඒ වුණාට ඒ ගෑනිගෙ කටේ සැර බලහංකො”

“ඒකි කිව්වෙ ඇත්ත. රෙන්ට් එකට ගෙයක් දෙනවනං ඒ පහසුකම් දෙන්න ඕන. මොකද උඹෙං ගේ අරගෙන උං කුණු ටික කන්නයැ”

ශීතකරණය හැර වතුර බෝතලයක් බීගෙන බීගෙන ගිය සසංක තමන් ගේ ඉක්මන් කම ගැන පසුතැවුණේ ය. නමුත් මේ වෙලාවේ ඒ වරද පිළි ගෙන සමාව ඉල්ලීම කුළී කරුවන්ට යටත් වීමක් සේ දැනෙන නිසා ඔහු එසේ කරන්නට ගියේ නැත.

පසු දා උදේ ම පටිගත කිරීමක් යෙදී තිබූ නිසා අපරාජිතා පාන්දර ම නික්ම ගියා ය. පිය ගැට පෙළ බහිත්දී ඉස්සරහාට හමු වූයේ කුණු බාල්දිය ය. ඇය සිතින් ගෙහිමියා ට බැණ වැදුණා ය. 

“මූව කුණු බාල්දියට දාල වහල ට්‍රැක්ටරේට විසි කරල දානව අහු වුණොත්”

ඇගේ සිතිවිල්ල ඈ තුළ ම සිනහවක් ජනිත කරවන ලදී.

“ගෑනිත් එක්ක කොහොම ඉන්නවද දන්නෑ. අනේ ඒ ගෑනිට දෙයියන්ගෙ පිහිට තමයි. යක්ෂයා”

සසංක අවදි වූයේ කුණු ට්‍රැක්ටරයේ හඬට ය.

“කුණු ගේන්න කුණු…කුණු ගේන්න…”

වහ වහා නැගිට මූණ අතින් පිසිමින් ම ඔහු සිය කුණු බාල්දිය ගෙන මිදුලට බැස්සේ ය. ඒ ගමන් මතු මහලට යන පියගැට පෙළ දෙස බැලුණේ ඉබේට ය. දොර වැසී තිබිණ. මෝටර් රථය වූයේත් නැත. කිසිවෙකු ගෙදර නොවන බව පැහැදිලි ය.

“පවුනෙ”

ඔහු ඉක්මන් අඩි තබා අපරාජිතා ගේ කුණු බාල්දිය ද ගෙන ගොස් ට්‍රැක්ටරයට හැලුවේ ය. යළිත් එය සෝදා, පිටුපස මිදුලේ ඇය එය කලින් තබා තිබූ තැනින් තැබුවේ ය. 

“ආයෙත් මේක දෙන්න කට්ටියක් හොයන්න බෑ. මොනා වුණත් මේ මිනිස්සුන්ගෙන් වදයක් නෑ වගේ. කොයි වෙලාවෙත් ගෙදර නෑ”

මුළු ජීවිතය ම කරදරයක් බව ඇත්ත ය. නමුත් අප තෝරා ගත යුත්තේ කරදර අඩු ම දේ ය. ජීවිතය තරමක් හෝ පහසු වන්නේ එවිට ය. ගේ කුළියට දීමේ වදකාර අත්දැකීම් බොහොමයක් කාලයක් තිස්සේ ම සසංක ලබා තිබේ. සමහර පවුල් අතිශය ඝෝෂාකාරී ය. සමහරු මහ හඬින් රූපවාහිනිය හෝ සවනට ප්‍රිය නැති සින්දු හෝ දමා ගෙන දවස ම ගෙවති. සමහර පවුල් වල ළමයින් ගෙන් තියෙන්නේ පුදුම කරදරයකි. ඒ අතින් බලන විට මේ පවුල දාහෙන් සම්පතකි. කුණු බාල්දිය පිටුපස මිදුලේ තබා ගෙන හෝ ඔවුන් ව ගෙදර වැඩි කාලයක් රඳවා ගැනීම, අසේල කීවා සේ ම වාසියක් මිස අවාසියක් වන්නේ නැත.

අපරාජිතා ගෙදර ආවේ වෙහෙසට පත්ව ය. ගුවන් විදුලි නාට්‍යයේ සතියක කොටස් සතියේ එක දිනක හඬ ගත කිරීම සාමාන්‍ය සිරිතයි. ඉරිදා ට වැඩි වශයෙන් පටිගත කිරීම් සිදු වේ. නමුත් කණ්ඩායමේ වැඩි දෙනෙක් ක්ෂේත්‍රයේ කලා කටයුතු වල යෙදෙන අය වීම නිසා ඔවුන් ට දිනයක් වෙන් කර ගැනීමේ ගැටළු ද මතු වේ. එතකොට නාට්‍යයේ නිෂ්පාදක වරයා සියලු සාමාජිකයන් ට කතා කොට ඔවුන් ට පහසු දිනයක් යොදා ගනී.මේ සතියේ සඳුදා වැටුණේ එසේ ය. 

පිය ගැට පෙළ නගිනා විට ම ඇය ට කුණු බාල්දිය සිහි විය. නමුත් එය එතැන වූයේ නැත. සඳැල්ල වෙත ම නැගුණු ඕ ගෙවල් අයිතිකාරයා එය එතැන ගොස් දමා දැයි බැලුවා ය. එහි ද නොවී ය. ඕ වහා ම පිය ගැට පෙළ දිග දිව ගෙන පහළට බැස්සා ය. කුණු බාල්දිය පිටුපස මිදුලේ තැන්පත් කොට තිබිණ. ඇය එහි පියන විවර කොට බැලුවා ය. හිස් කොට එය සෝදා ද තිබිණ. අපරාජිතා ගේ මූණට ඇගේ ලස්සන මඳහස ආවේ ය.

“තැන්කූ”

කියා ඕ සසංක ට වට්සැප් පණිවිඩයක් යැව්වා ය. ඡායාරූපයක් නොමැති, උඩු මහල කුළියට ගත් කාන්තාවගේ යයි දැන් දන්නා අංකයෙන් ඒ පණිවිඩය එන විට සසංක හිටියේ දැන්වීම් ප්‍රචාරක ආයතනයේ මේසය ඉදිරියේ හිඳ පරිගණකයට මූණ ඔබා ගෙන ය. අලුත් වෙළෙඳ දැන්වීම වෙනුවෙන් කළ රූගත කිරීමේ වීඩියෝ දර්ශන ඔහු ට ලැබී තිබිණ.

ඒ කාර්ය අතරේ ම හෙතෙම ප්‍රශ්නාර්ථ ලකුණක් යැව්වේ ඇය ස්තූතිවන්ත වන්නේ කුමක් වෙනුවෙන් දැයි සැබවින් සිහි නොවූ හින්දා ය. ඒ වෙලාවේ සසංකගේ මනස මුළුමනින් වෙළෙඳ දැන්වීම තුළ විය. අපරාජිතා කුණු බාල්දියේ ඡායාරූපයක් ගෙන එය ඔහු වෙත යැව්වා ය. සසංක ගේ මුහුණට ක්ෂණික සිනහවක් ආවේ ය. ඔහු ඇඟිල්ලෙන් ලැප්ටොප් එක ක්‍රියාකාරී වීම නවතා, අතකින් නිකටත් මුවත් වැසෙන සේ වැලමිට මේසය මත තියා ගෙන, මේසය මත වන ජංගම දුරකතන තිරය දෙස බලා ගත්තේ ය. හිතට දැනුණ සැහැල්ලුව විශේෂයෙන් ඔහු වින්දේ ය. තමන් විසින් ම පනවා ගන්නා නීති රීති වලින් කොටු වී හිර වී හුස්ම ගන්නට බැරිව දඟලනවා වෙනුවට, මඳක් නම්‍යශීලී වීම තුළ හදවතට දැනෙන්නා වූ පහසුව මේ ය. 

“කාත් එක්කද ඒ ගමන හිනා වෙන්නෙ…කවුද අලුත් කෙල්ල…”

ඒ නෝක්කාඩු කතාවත් සමග ඔහු වෙත ආවේ සමින්දි ය. සසංක ඉක්මනට පරිගණකය ක්‍රියාත්මක කළේ ය. මේ ආයතනයට ඇය පැමිණියේ වෙනත් දැන්වීම් ප්‍රචාරක ආයතනයක සිට ය. පිරිමි ඇසුර ගැන ඇය පෙන්වූ විවෘතභාවය නිසා ම ඔවුන් දෙදෙනා අතරේ සමීප ඇසුරක් ඇති විය. නමුත් ඇය ඔහු ව ඇගේ අත් අඩංගුව යටතේ තබා ගන්නට සැරසෙන බවත්, ඇය හා ඔහු ට යන්නට ඕනෑ නැති විවාහයක් කරා යන යටි අරමුණකින් ක්‍රියා කරන බවත් දැනුණ වහාම සසංක සමින්දි ගෙන් දුරස් ව ඉන්නට උත්සාහ කළේ ය. 

“කොහෙ හරි යං…ටිකක් දුර…මට නිදහසේ ඉන්න ඕනෙ ඔයත් එක්ක. මේ වීකෙන්ඩ් එකේ යන්ද…”

ඇය බොරු හුරතලයක් පෑවා ය. 

“බැරිවෙයි. වීකෙන්ඩ් එකේ වැඩ ගොඩයි”

“ඔයා මාව මගඅරිනව දැං”

“මං ඔයාව කසාද බඳිනවයි කියල කවදාවත් කියල නෑ සමින්දි. ලීව් මී අලෝන්”

ඔහු නැගිට දුරකතනය ද ගෙන ආයතනයේ පිටතට ගියේ ය. හිතට දැනුණ නොරිස්සුමත් එක්ක සසංකට ඕන වුණේ එතැනින් පිට වී යන්නට ය. කොහොමටත් වෙළෙඳ දැන්වීමක රූ ගත කිරීමක් සඳහා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟහල ආශ්‍රිත ප්‍රදේශය සුදුසු දැයි බැලීමේ අවශ්‍යතාවයක් තිබිණ. ඔහු මේ වෙලාවේ ඒ කටයුත්ත නිම කිරීමට සිතුවේ ය. 

නුගේගොඩ සුපර් මාකට් අසල රථ ගාලෙහි රිය නවතා අපරාජිතා පිටතට ආවා ය. අවශ්‍යතා කිහිපයක් වෙනුවෙන් සාප්පු කිහිපයකට යාමේ අවශ්‍යතාව ඇය ට විය. නගරය පෙළූ සූර්යා බටහිර අහසේ විඩා නිවමින් සිටියේ ය. මග අයිනේ වන තුරු මුදුන් නිසා කොහොමත් හිරු කිරණ මුවහ වී තිබුණේ ය. අහස තැන් තැන් හි සුදු කැටි වලා සිය ගමන නතර කොට පොළොව දෙස බලා සිටිනවා යි අපරාජිතා ට සිතිණි. ඒ මේ අත දිවෙන රථ වාහන ද ඉසිඹු නැති ගමනෙක යෙදී සිටින ගැහැනු මිනිසුන් ද අතරින් දෙපා නගා යත්දී අපරාජිතා ට ගැඹුරු හඬකින් ගැයෙනා ගී හඬක් ඇසිණි. කිළිටි වූ සුදු පොලිතීන් කොළයක් බිම එලා ගෙන, ඒ මත හිඳ ඩොල්කියක් ගසමින් වයස්ගත මිනිසෙකු මිල්ටන් පෙරේරා ගේ ගීයක් ගයමින් සිටියේ ය. 

“ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඬල හිනැහුණා..ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා..

ඒ වචන ටිකත් ඒ හඬත් යන දෙක ම අපරාජිතා ගේ සිත සසලවා ගල් කරන ලදී. ඇය ඒ මහළු ගායකයා ගේ හඬ ඇහෙන හා ඔහු පේන මානයේ කොංක්‍රීට් බංකුවක අසුන් ගත්තා ය.

“වැසු විමන් පියන් පියවා රඳවන්න මට හිතයි..උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි..ඇස රැඳුණ රැඳුන තැන් වල මුව මඬල හිනැහුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා..ඇස රැඳුණ රැඳුණ තැන් වල මුව මඬල හිනැහුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා..”

නතර වී ඒ හඬේ වේදනාත්මක ස්වර අතරේ කම්පිත වෙන අවකාශයක් කිසිවෙකුට වූවේ නැත. ඉඳ හිට කෙනෙකු එතැනින් නො නැවතී යන ගමන් වේගය මඳක් බාල කොට කාසියක් හෝ අඩු ම වටිනාකමක් ඇති නෝට්ටුවක් ඔහු ඉදිරියේ වූ බඳුනට දමා ගියෝ ය. නමුත් අපරාජිතා නම් මුළු හදවත ම නතර කොට ගෙන බලා සිටියා ය. ගායනයත් සමග ම ඔහු ගේ වියපත් අතැඟිලි ඩොල්කිය මත පතිත වන්නේ ලතාවට ය. රටාවට ය. ඒ ගීය නිමා කොට ඔහු ඊළඟ ගීය පටන් ගන්නට පෙර කිළිටි වූ ප්ලාස්ටික් බීම බෝතලයකට පුරවා තිබූ වතුර ටිකක් උගුරට හලා ගත්තේ ය. ඩොල්කිය ළඟට ගෙන යළි හරි බරි ගැහුනේ අලුත් ගීයක් පටන් ගන්නට ය. බංකුව මතින් නැගිට ගත් අපරාජිතා ඉක්මන් අඩි තබා ගොස් කහ පාට නෝට්ටු දෙකක් ඔහු ඉදිරියේ වන බඳුනෙන් දැමුවා ය. ඊට යාබද බංකුවක හිඳ ගෙන නිකටෙහි අතක් ගසා බලා උන් සසංකට, තරුණියගේ ක්‍රියාව දැක සිනහවක් නැගුණේ ය. ඔහු ඇය ව දුටුවේ පැත්තට ය. බේජ් පැහැති සැහැල්ලු කපු කලිසමක් හා හයිනෙක් ස්ලීව්ලස් පන්නයේ මුද්‍රිත රෙද්දකින් නිමවූ කෙටි බ්ලවුසයක් හැඳ උන් ඕ සේද දුඹුරුවන් කොණ්ඩය කරලකට ගොතා අගට දුඹුරු පාට බූල් බෑන්ඩ් එකක් දමා ගෙන සිටියා ය. පහත් වී මුදල් දමත්දී, ගෙතූ කරලට හසු නොවූ සිනිඳු කෙහෙ රැල් මූණ දෙපැත්තෙන් කඩා වැටී කම්මුල් වසා දැමුවෙන් සසංකට ඒ මූණ හරි හැටි පෙනුණේ නැත. නමුත් හුරු පුරුදු ගතියක් ඔහු ට දැනිණ. නුගේගොඩ නගරයේ උදේටත් හවසටත් එහෙ මෙහෙ යන මිනිසුන් හුරු පුරුදු සේ දැනීම පුදුමයක් නොවන බව ඔහු දනී. 

ඇය ට වේදනාවක් දැනෙමින් තිබිණ. අපරාජිතා නොසන්සුන් වූවා ය. ඇගේ ඇස් අහේතුක ව තෙත් වන්නට හැදුවේ ය. කලබලයෙන් එතැනින් නික්ම යත්දී මුදල් පසුම්බියත් සමග එකට තබා අල්ලා ගෙන උන් ජංගම දුරකතනය ලිස්සා වැටුණේ ය. හිතේ වූ කලබලය නිසා ඇය ට ඒ බව දැනුණේ නැත. බංකුව මත හිඳ උන් සසංකට වහා නැගිටිණ. ඔහු ඉක්මන් කොට දුරකතනය වෙතට දිගු අඩි තැබූවේ එය ඇහිඳ ඈ අත පත් කරන්නට ය. නමුත් ඊට පෙර කවුදෝ වෙනත් තරුණයෙකු ඉක්මන් වූයේ ය. සසංකගේ දෙපා නතර විය.

“තෑන්ක් යූ මල්ලි”

ඇය එසේ කියනවා ඇහුණාට වඩා දකිත්දී සසංක ඉක්මන් සිනහවක් නගා ගත්තේ ය.

‘මල්ලි’

ඔහු ගේ සිත යළි එය ම කීවේ ය. කිසිදු විනිශ්චයකින් තොර ව එසේ මල්ලී කියා පිරිමින් අඅමතීමේ ස්ත්‍රීන් ගේ ආරක්ෂිත ක්‍රමවේදය සසංක ගේ හිත් ගති.

“ගෑනු අතරෙ වෙනස් ගෑනු”

ඔහු ගේ හිත කොඳුරා කීවේ ය. ඒත් එක්ක ම ඔහු ට උඩු මහලෙන් පැමිණි පණිවිඩය සිහි විය.

‘තැන්කූ’

එය ලියැවී තිබුණේ සිංහල අකුරෙනි. කුණු බාල්දියේ ඡායාරූපය දැක නැවත ද ඔහු ට සිනහ ගියේ ය.

“යූ ආ මෝස්ට් වෙල්කම් ආන්ටි”

ඔහු වේගයෙන් ටයිප් කොට එය සෙන්ඩ් කළේ ය. ආන්ටි…ඒ වචනය ඇය කෝප ගැන්විය හැකි ආකාරය ඔහු සිතින් මවා ගෙන යළිදු තනිව සිනහ වූයේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles