ප්‍රේමයේ අභිමන් -12

බටහිර අහස තැඹිලි හා ගිනි රතු වර්ණ වලින් අලංකෘත ව තිබුණේ බැස යන හිරුගේ සතුටට ඉඩ දෙමිනි. අපරාජිතා අවන් හලේ කෙළවර මේසයක හිඳ ඒ මනරම් දසුන දෙස බලා ගෙන සිටියා ය. ඇගේ හිත ප්‍රමුදිත ය. අලුත් සතුටක් වාං දමනා සෙයක් දැනේ. දේශිකා මග එනවා කී හින්දා ඇය තේ සහ පැටිස් ඇනවුම් කළා ය. කාලය කියන්නේ ගෙවී යන දෙයකි. එසේ ගෙවී ගිය තත්පර ගණන ගැන දැන් පසුතැවිලි වී පලක් ම නැත. ජීවත් වීම යනු හැම තත්පරයක් හරහා ම ගමන් කිරීම යයි  දැන් ඇය ට පසක් වී තියේ. හැම තත්පරයක් ම රස විඳිය යුතු ය. හැම තත්පරයක් ම බලාපොරොත්තුවක් කර ගත යුතු ය.

“ඒ නියමයිනෙ. ඉතිං අපි වැඩේට බහිමු එහෙනං”

දේශිකා පුටුවක් ඇද හිඳ ගත්තේ එසේ කියමිනි. අපරාජිතා ගේ මුහුණේ සංතෘප්තිමත් මඳහසක් වූයේ ය.

“මට ඒක හිතා ගන්නත් බෑ දේශි. ඒත් මට හිතෙනව අලුත් ජීවිතේකට දොර ඇරෙන්න යනව කියල. ඉස්සර සල්ලි කියන්නෙ මං වැදගත්කමක් දීපු නැති දෙයක්. බිස්නස් කිය කියා අරවින්ද සල්ලි පස්සෙම පන්නනකොට මට දැනුණෙ කියා ගන්න තේරෙන්නැති හිස් කමක්. ඒත් දැන් මං හිතනව අපි සල්ලි හම්බ කරන්නත් ඕන කියල..තන්හාවට පොදි ගහන්න නෙවෙයි. පහසුවෙන් ජීවත් වෙන්න ඇති තරමට. අම්මයි තාත්තයි දෙන්නම ටික ටික අසනීප වෙන්න අරං. ජීවත් වෙන කාලෙ එයාලව පහසුවෙන් තියන්න ඕන. එහෙම දේකටවත් සල්ලියක් අතේ නැතුව අසරණ වෙන එකට වැඩිය මහන්සි වෙලා හම්බ නරන එක හොඳයි. ඒක නිසා මං මේක කරනව. එයා කිව්වා ඒක දැක්කහම එයාගෙ ක්ලයන්ට්ස්ලගෙන් වුණත් ඕඩර්ස් එන්න පුළුවන් කියල. අමුතු බලාපොරොත්තුවක් මගෙ හිතේ පිනුං ගහනව වගෙයි දේශි. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ටාගට් කරන්න ඕන කම්පනීස්. ඉඳ හිට එකක් විකුණගන්න පුළුවන් වුණත්…මහන්සි වෙලා කැප වෙලා මං ලස්සනට ඒක කරන්න ඕන. ස්පෙශලි..තව ටිකක් ස්ටඩි කරන්න ඕන”

“මං ඉන්නව ඕන දේකට. අපි පටං ගමුකො”

හදිසියේ ම ඇය ට ඇය හමු වූවා සේ ය අපරාජිතා ට දැනුණේ. යන ගමන් ඕ පැපිලියානේ මහ ගෙදර ගියා ය. අම්මා මල් වලට වතුර දමමින් සිටියා ය. තාත්තා ඉස්තෝප්පුවේ හිඳ මල්ලී ගේ දරුවන් සමග කැරම් ගසමින් සිටියේ ය. ජීවිතයේ සැඳෑ සමය මේ විදිහට ඔවුන් තනි නොවී සිටීම ගැන අපරාජිතා ට දැනුණේ සැනසීමකි. තනිවීම කියන්නේ කටුක අත්දැකීමක් බව දැන් ඇය දනී. එය තරණය කරන්නට විශාල ආත්ම ශක්තියක් තිබිය යුතු ය. 

“කොහොමද තාත්තට දැන්..”

අපරාජිතා ඉස්තෝප්පුවේ හිඳ ගන්නා ගමන් විමසුවේ ඔහු ගේ සෞඛ්‍ය තත්වය ගැන ය. අම්මා වතුර කරාමය වසා දමා ඉස්තෝප්පුවට ගොඩ වූවා ය.

“අනේ ඉතිං අමුත්තක් නෑ දරුවො. ශරීරෙ කියන්නෙත් ඉතිං යන්ත්‍රයක්නෙ. වැඩ කරල කරල ඒකටත් දැන් විඩාවයි. ඒක ඉතිං ලෝක සොබාවෙනෙ. අපි හොඳට ජීවත් වුණා. දරුවො හොඳ තැනකට ගෙනාව. උන්ගෙ දරුවොත් හුරතල් කළා. ඔය මදැයි ඉතිං. කාටවත් කරදරයක් නොවී ඉන්න පුළුවන් තාක් ජීවත් වුණාම ඇති. දරුවන්ට වුණත් වද දෙන්න ඕන නෑ. දැන් බලන් ඉන්නෙ යන්න සූදානමින්”

“තාත්ත මොනා කියනවද මන්දා. බලන්නකො අම්මෙ. හරියට මේ..අත පය වාරු නැතුව එක්තැන් වෙලා වගේ”

අපරාජිතා අම්මා දෙස බලා නෝක්කාඩුවක් කීවා ය. ජීවිතයේ හැටි එහෙම බව හොඳින් දැන උන්න ද අම්මා තාත්තා ගැන එහෙම හිතන්නට මේ වයසේදීත් ඇය ට නොපුළුවන. මෙතෙක් ජීවිතයෙන් අඩක් ම මහ ගෙදරින් දුරස් ව ජීවත් වුණ ද අම්මා හා තාත්තා ඉන්නවා ය යන හැඟීම ඇයට පහසුවක් දැනවී ය. ඔවුන් ලෙඩ වෙන්නේ හෝ මිය යන්නේ නැතැයි ඇය සිත මතුපිට ආරක්ෂිත ස්ථරයක් තනා ගෙන සිටියා ය. දිවියෙහි හැත්තෑව දශකයට එළඹ සිටින ඔවුහු දැන් දැන් වැඩිපුර ලෙඩ රෝග ගැන වාර්තා කරති. ඔවුන්ගේ පරපුරට අයත් අයගේ නික්ම යාමක් ගැන අසන්නට ලැබෙන විට ඔවුන්ටත් වඩා ඇතුළාන්තයෙන් කම්පිත ව යන්නේ අපරාජිතා ය.

“එයාට ඩයබිටික්නෙ…හාට් ඇටෑක් තිබුණනෙ..කැන්සර් එක දැන ගත්තෙ පරක්කු වෙලානෙ. නැත්තං බේරගන්න තිබුණ…කාලයක් තිස්සෙ එයා ලෙඩ වෙලානෙ හිටියෙ”

එවන් නික්ම යාමක් ගැන දැන ගන්නට ලැබෙන වෙලාවක ඇය එසේ කියන්නේ අම්මා තාත්තා ගේ හිත් හැදෙන්නටත් වඩා ඇගේ ම හිත සකසා ගන්නට ය. ඒ අයට ඒ වාගේ හේතු තිබුණාට නික්ම යාම සඳහා අම්මාට හෝ තාත්තා ට එවන් හේතු නොමැති බව ඔවුන්ට ඒත්තු ගන්වා ඇයට ද ඒත්තු ගන්වා ගන්නට අපරාජිතා ට උවමනා විය. එවන් මරණයක කෙලවර දින කිහිපයක් ඇය තෝන්තුවාවේ සිටියා ය.

“එහෙම එක්තැන් වෙන්න කලින්නං යන්න යන එක හොඳයි. කවද හිටියත් යන්න වෙන එකනෙ. අපිට දැන් ආයෙත් ඔළුවට බරක් වුණේ ඔයා තනි වීම තමයි”

අම්මා අත තැබුවේ බලාපොරොත්තුවෙන් ම සිටි තැනකට බව අපරාජිතා වහා හැඳින්නා ය.

“අනේ ඒක අම්මල වදයක් කර ගන්න එපා. මට මොන තනියක්ද…අර බලන්නකො දේශිකා බඳින්නෙම නැතුව ඉන්නෙ. මට ලොකු දරුවෙක් ඉන්නෙ. අපෙයි කියල හිතන අය අතරෙ තනි වෙන එකයි අම්මෙ අමාරු. දැන් මට තනියක් දැනෙන්නෑ. මගෙ ජීවිතේ මං ආස විදිහට නිස්කලංකව ගෙවෙනව. ඒක සැනසීමක්”

“වෙලාවක එන්න ඕන එහෙ. දවසක් දෙකක් නැවතිලා ඉඳල එන්න. ඒත් දැං මිනිස්සු ගෙවල් කුළියට දෙන්නෙ ගෙදර ඉන්න ගාන අහලනෙ. පිටිං කවුරුත් ඇවිත් නවතිනවටත් කැමති නෑ. ටොයිලට් වළවල් පිරෙනව කියල”

“එහෙනං එහෙම කරදරයක් නෑ අම්මෙ”

අපරාජිතා ට සසංක සිහි විය. ඒ ගෙදර සිටින්නේ ඔහු පමණක් බව ඇය දැන ගත්තේ පමා වී ය. උඩු මහලේ කවුරුන් සිටිනවාද කියා තවමත් ඔහු හරියට ම දන්නේ නැත.

අම්මා ගේ වදය නිසා ඒ රාත්‍රිය අපරාජිතා මහ ගෙදර නතර වූවා ය. පොඩි උන් එක්ක රෑ වන තුරු සෙල්ලම් කොට දිය නාන්නට සැරසෙත්දී ය කලිසම් සාක්කුවේ වූ සිප්පි කටු ටික හසු වූයේ. ඇය ඒ ටික මේසය මතින් තබා නා ගත්තා ය. 

සසංක කිහිප වරක් මිදුලට බැස බැලුවේ ය. උඩු මහලේ විදුලි පහන් දැල්වුණේ නැත. එදා වූ සිදුවීම නිසා ඔහු ට පිය ගැට පෙළ නැගෙන්නටත් දෙගිඩියාවක් වේ. තරුණයා නො සන්සුන් ලෙස මිදුලේ සක්මන් කළේ ය. ඔහු ට අමුතු පාළුවක් දැනේ.

ඒ පාළුව නිසා සසංක තැති ගත්තේ ය.

මව් පියන් මරණයත් එක්ක නික්ම ගියාට පස්සේ ම සසංක ඔය ගෙදර සිටියේ තනිව ය. උඩු මහලට කවුරුන් කුළියට ආවද ඔවුන් සමග සසංක ගේ කිසිදු ඇයි හොඳයියක් වූයේ නැත. කිසිවෙකු උඩු මහලේ නොමැතිව ද මාස ගණන් එක දිගට ගත වී තිබේ. නමුත් අපරාජිතා නැති එක දවස ඔහු ව නො සන්සුන් කොට ඇත.

සසංක වහා දුරකතනය ගෙන ‘අද ගෙදර නැද්ද’ යනුවෙන් පණිවිඩයක් යැව්වා ය. අපරාජිතා දිය නා ගෙන විත් යහන මත හිඳ සිප්පි කටු අත්ල මත දිග හැර ගෙන බලා සිටියා ය. ඒවා එක එක හැඩැති ය. එක එක තරම් ය. එක එක මෝස්තර රටා වලින් අනූන ය.සොබා දහම කියන්නේ මොන තරම් නම් අසිරිමත් නිර්මාණකරුවෙකු ද? 

සසංක ගේ පණිවිඩය ආවේ එවෙලේ ය. අපරාජිතා අත්ල මත තබා උන් සිප්පි කටු වල ෆොටෝ එකක් ගෙන යැව්වා ය.

“අද ගෙදර එන්නැද්ද?”

අපරාජිතා ගෙන් මඳ සිනා මුහුණක ඉමෝජියකි. සසංක කෙතරම් නොසන්සුන් වූයේ ද යත් ඔහු ගේ පාලනයෙන් ඔහු මිදී සිටියේ ය.එහෙම ම ඇය ට දුරකතන ඇමතුමක් ගත් ඔහු සිය ආවේගය පිට කළේ වෙනත් ආකාරයකිනි.

“ඕගොල්ලො එන්නැත්තං කියන්න ඕන. ගේට්ටුව ලොක් කරල යන්න තිබුණ එන්නෙ නැත්තං. මනුස්සයො වුණහම වගකීමක් ඇතුව ජීවත් වෙන්න ඕන”

අපරාජිතා ට ඕනේ නම් ඒ වරද පිළිගෙන නිසල වෙන්නට තිබිණ. දැන් සිටිනා ඇය පත් වෙමින් සිටින්නේ එහෙව් නිසංසල බවකට ය. නමුත් මේ මොහොතේ වර්තමාන ඇය අභිබවමින් අතීත ඇය ඉස්මතු  වන්නට පටන් ගත්තේ ය. අපරාජිතාට ඇය වඩා සුරක්ෂිත සේ දැනෙන්නේ ඒ අතීත ඇය අස ය.

“ඒක මාර කතාවක්නෙ. අපි ඇනෙක්ස් එක රෙන්ට් එකට ගත්තෙ. යන එන තැන් එන නොඑන එක ගෙවල් අයිතිකාරයට කියන්න ඕනද..මේව මාර නීතිනෙ”

“ඒව නීති නෙවෙයි සිරිත්. කරන්න ඕන දේවල්.මනුස්සකං”

“එහෙම සිරිතුත් තියනවයි කියල ගේ ගන්නකොට කිව්වෙ නෑනෙ. හරි මීට පස්සෙ කියන්නං”

සසංක වහා දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. රණ්ඩු කර ගන්නට පුළුවන. නමුත් හිතේ වන ආවේගයට ඔහු කියනා දේවල් ඇය හැබැහින් ගනීදැයි ක්ෂණික බියක් ඔහු තුළ උපන. සැබවින් ම මෙතන වන්නේ ඈ ගෙදර නැති බවට ඔහු ට දැනෙනා සාංකා හැඟීම යයි කෙසේ නම් කියන්නද?

“ඇයි අප්ප”

තනි ව මුමුණමින් අපරාජිතා දුරකතනය පසෙකට විසි කළේ මූණ හකුළා ගෙන ය. ඇය ට දේශිකා ගේ අවවාද සිහි විය. එතැන වාගේ නිදහස් තැනක් හොයා ගැනීම පහසු වනු නැතැයි අපරාජිතා ට ද හැඟිණ. ටෙරාරියම් නිර්මාණයක් සඳහා ද ඇය ට ඇරයුම් ලැබී තියේ. නිදහසේ එවැනි කටයුත්තක නිරත වන්නට ඒ තරම් හොඳ තැනක් නැත. මුළු දවසේ ම ගෙහිමියා නිවසේ නොවේ. අපරාජිතා යළි දුරකතනය අතට ගත්තා ය.

“සොරි”

යනුවෙන් ටයිප් කොට වැව්වා ය. කේන්තියකින් වට්සැප් පණිවිඩය විවර කළ සසංක ගේ මූණට සිනහවක් ආවේ ය. 

පසු දා වැඩට යන්නට මැළි කරමින් ද පමා කරමින් ද ඔහු ගෙදර සිටියේ ය. අපරාජිතා ආවේ දහයට පමණ ය. ඇගේ රිය දකිත්දී ම ඔහු ට අරක් ගෙන උන් නොරිස්සුමත් නො සන්සුන් බවත් පහ ව සසංක සිසිල් වූයේ ය. රඹුටන් ගහ යට බංකුවේ හිඳ උන් හෙතෙම ඇස් යටින් බැලුවා විතර ය. අපරාජිතා නිහඬව ම පියගැට පෙළ නැංගා ය.

“එක්කෙනෙක් හරි ගෙදර ඉන්න.මේ දවස්වල හරියට හොරු. මේ ළඟ ගේකටත් ළඟදි හොරු පැනල තිබුණා”

අපරාජිතා අතර මග නතර වී අත් වැට අල්ලා ගෙන ම සසංක දෙස බැලුවා ය. 

“හස්බනුත් ආවෙ නෑ නේද..”

ඇය මඳහසක් නගා ගෙන පිළිතුරකින් තොර ව ඉතිරි පඩි කිහිපය නැංගා ය. 

සසංක ප්‍රීතිමත් බවක් අත් වින්දේ ය. අසේල කීවේ ඇත්ත බව ඔහු ට සිහි විය. සැමියා ගැන කියනා අසනා යමකට අදහක් පළ නොකර ඇය නිහඬ ව්‍රතයක් රකී. මතු මහළට ගිය පසු ඇය ව යළි දකින්නට හෝ නොමැති විය. සසංක කිහිප වරක් මිදුලේ කැරකුණේ ය. පලක් නොවන තැන කාර්යාලයට යන්න ගියේ ය. 

අපරාජිතා ගේ දවසෙන් වැඩි කොටසක් ගෙවී ගියේ  අන්තර්ජාලයේ ය. ටෙරාරියම් කලාව ගැන බොහෝ තොරතුරු ඇය අධ්‍යයනය කළා ය. සමහර නිර්මාණ වලින් ඇය විශ්මිත වූ අතර එවැන්නක නිර්මාපකයා වීමේ සතුට විඳ ගත යුතු යයි ද සිතුවා ය. ඕනෑ ම කටයුත්තක් සාර්ථකත්වය කරා ගෙන යන්නේ අධ්‍යයනයයි. එයින් ආත්ම තෘප්තියක් ලද හැකි වීම වටිනා ම දෙයයි. 

හැන්දෑවේ ඇය දියත උයනට ගොස් ටෙරාරියම් සඳහා ගැලපෙන පැළ ටිකක් ද සඳැල්ල වර්ණවත් කර ගැනීම පිණිස තවත් මල් පැළ ටිකක් ද වීදුරු බඳුන් කිහිපයක් ද මිල දී ගත්තා ය. ආපසු එන ගමන් දිය සෙවල හා මීවන වර්ග වැඩුණ තාප්ප තිබේ දැයි විමසමින් මග පමා වූවා ය. ජය පාරේ ම ඇය එසේ කාණුවක් ළඟ නතර වී මීවන ශාක ගලවත්දී සසංක ගේ දම් පාට වොක්ස්වැගන් රිය අපරාජිතා පසු කොට නතර විය.

“මොන වදයක් ද…මෙයා ඒකත් දැක්කනෙ”

ඇය තමන්ට ම මුමුණා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles