(අ)හිමි සිහින -189

මේ හැම කොටසක්ම නොවරදවා උනන්දුවෙන් කියවන ඔබ මගෙන් නිතර අසන ප්‍රශ්නයක් තිබෙනවා.

” අනේ මේ කරදරවල කෙළවරක් නැද්ද?ඔයා කොහොමද මේවා දරාගත්තේ?.අපට මේවා අහලා ම හරි වෙහෙසයි”

ඔබ දැන් මෙය කතාවක් ලෙස කිය වූවාට එහි ජීවත්වන්නට සිදු වූ මට ආ පීඩනය වේදනාව කලකිරීම සහ කෝපය ගැන කියන්නට මට වචන නැහැ.මේ කතාව කතාවක් ලෙස කියවන විට ඔබට ඕනෑම තීරණයකට එන්නට පුලුවන්. නමුත් ඊලඟ තත්පරයේ දී කුමක් සිදුවේදැයි අදහසක් හෝ නොමැතිව කතාව තුළ ජීවත් වූ මට ඕනෑම තීරණයකට එන්නට නොහැකි බව බුද්ධිමත් ඔබ වටහාගනීයැයි මම සිතනවා.   

එළඹුණු හැම ව්‍යාකූල අවස්ථාවකම මා ගත්තේ ඒ මොහොතේ ගත හැකිව තිබූ හොඳම තීරණයයි.ඒ තීරණ මා ජීවිතයේ පහළට ඇද දමමින් හෝ ඉදිරියට ගෙන ගියා මිස කිසිදා මා පරාජයට පත් කළේ නෑ.ඔබ මේ කියවන්නේ මගේ කතාවේ එක්තරා සිදුවීම් ස්වල්පයක්  පමණයි.සැබවින්ම මා මුහුණ දුන් සියලු දේ ඔබ දන්නවා නම් අද වන විට මා ජීවතුන් අතර සිටීම ගැන ද ඔබට පුදුම සිතෙන බව සහතිකයි.

කතාව කියවන ඔබ සමහර දෙනෙක් මට “ඔයා විහින් ඔය කරදර දාගෙන තියෙන්නෙ හරි තීරණයක් ගන්නෙ නැතුව.සුධාරකව බැන්ද නම් ඔය ප්‍රශ්න නෑනේ” කියමින් මට දොස් නඟන බව මම දන්නවා.

 දික්කසාදය ගොනු කර තිබුණාට දිල්හානිට සිතාසි යවන්නට ලිපිනයක් නොමැති වීම නිසා අපි එතැන සිරවූ බවමම මීට පෙරද පවසා ඇති.හෘද සාක්ෂියට එකඟව හිතන ඕනෑම දෙයක් කරන්නට මම කිසිදා මැලි නොවුණත් නීති විරෝධී දේ කර හිරේ විලංගුවේ වැටෙන තරමට මෝඩ වැඩ කරන්නට මම අඥානවන්න වූයේ නෑ.

මෙතන ඇත්තේ සුධාරකගේත් මගේත් කසාදය ගැන ප්‍රශ්නයක් නොවෙයි.කසාද අයිතිය තිබූ අය හෝ උප්පැන්නයට නම දී තිබූ අය ඔහුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් කිසිදු දෙයක් නොකිරීම මෙතැන ගැටලුව වුණා.මා කළේ කිසිදු අයිතියක් නැතිව නින්දා අපහාස ගැරහීම් සියල්ල දරාගනිමින් තනි ගැහැනියක් ලෙස නොසැලී සියල්ල දරාගනිමින් ඔහු බේරාගන්නට සටන් කිරීමයි.

මේ කතාවේ ඔබ මා කළ කී දේ තක්සේරු කරන්නට යනවාට වඩා ගැහැනියකගේ දරාගැනීමත් ඉවසීමත් ආදරණීයයන් අත්නොහැරීමත් ගැන යමක් ඉගෙනගන්නවා නම් එය වඩාත් වටිනා බව මගේ හැඟීමයි.

Facebook හි පළ වූ මඩ post එකට සාර්ථක ප්‍රතිචාර ලැබෙමින් තිඹුණා යැයි දිල්හානි සතුටින් පිනායන්නට ඇති.ෆේක් ගිණුම්වලින් දමන්නට යෙදුණු comments අතර සුධාරකට ද නොසෑහෙන සේ අපහාස කර තිබුණ

“ඇඳේ ඉන්න එකා තමයි නියම නලුවා”

“ඕකට හොඳ වැඩේ”

“දිට්ඨ දම්ම වේදනීය කර්ම පල දීලා”

මෙසේ දමා තිබූ comments වලට දිල්හානි ඇගේ ෆේස්බුක් ගිණුම හරහාම හාට් රියැක්ෂන් මෙන්ම 🙏වැනි ඉමෝජි එකතු කර  සතුට පළ කර තිබුණා. විවාහ සහතිකය ගැන කියමින් රෝගියාගේ අයිතිය කියාපාමින්  “විවාහක බිරිඳ” ලේබලය ගසාගෙන සිටි ගැහැනිය එවැනි දේ කරන්නට සසැලුණේ නෑ

මා කළ ඉල්ලීම ගැන වෙබ් පිටුව කළ තැනැත්තා තැකූ බවක් පෙනෙන්නට තිබුණේ ද නැහැ.සමහරවිට ඔහු ඒ බව කියා අනෙක් පාර්ශවයෙන් නැවත මුදල් ගන්නට ඇති.කල දුටු කල වල ඉහ  ගන්නට මාන බලන මිනිස්සු ඉන්නා රටක මනුස්සකමට වටිනාකමක් නැති බව මම සිතුවා.

මුලදී මේ මඩ post එකට මට නින්දිත ලෙස අපහාස කළ දේවල් වලට අමතරව මගේත් චමල්ගේත් විවාහ සහතිකයේ පින්තූරත් මගේ දියණියගේ උප්පැන්න සහතිකයේ පින්තූරත් මගේ රාජකාරි නිල ඇඳුම සහිත පින්තූරත් මගේ දෙමාපියන්ගේ නිවසේ ගේට්ටුව සහිත පින්තූරත් වැනි අතිශය පෞද්ගලික දේ යොදා අපහාස කොට තිබුණා.ඔවුන් මාගේ තොරතුරු සොයන්නට කෙතරම් වෙහෙස වී තිබෙනවාද? අනේ ඒ කාලයෙන් ස්වල්පයක් හෝ අර රෝගියා වෙනුවෙන් වැය කළානම් යැයි මට සිතුණා.

මටත් සුධාරකටත් හිත හොඳ අවංක, විවිධ තරාතිරම් තනතුරු දරන හිතමිතුරන් ඕනෑතරම් සිටිනවා.ඔවුන් එක දිගට මා අමතමින් අසා සිටියේ එක් දෙයයි.ඒ ඔවුන්ගේ  බලතල පාවිච්චි කර ඒ විවාහ සහතික සහ උප්පැන්න සහතික සියල්ල අන්තර්ජාලයෙන් මකා දමන්නද යන්නයි.නමුත් මා එය අනවශ්‍ය යැයි පැවසුවා.මම කිසිදා මගේ දියණිය සුධාරකගේ යැයි කියා නැහැ.එනිසා ඇගේ උප්පැන්න සහතිකය සමාජගත වූවාට මම බිය වූයේ නෑ.එසේම මම කිසිදු තැනක මා සුධාරකගේ බිරිඳ යැයි කියාගෙන ද නැහැ.මම ඔහුගේ පළමු බිරිඳයි.ඒ තැන ගන්නට දෙවෙනි බිරිඳට බැරි බවත් ඒ නිසා එයද ලෝකයා දැනගත්තාට මට කමක් නැති බවත් මම සිතුවා.

නින්දා අපහාස සිදු වනවිට ඒවා ඇඟට ගෙන කෝප ගන්නේ කොතැනක හෝ ඊට සම්බන්ධයක් කෙනෙකුට ඇත්නම් පමණක් බව මම විශ්වාස කරනවා.සැඟවෙන්නට හෝ මුළු ගැන්වෙන්නට සිතන්නේත් එකට එක කරන්නේත්  බිඳක් හෝ තමා අත වරදක් ඇති බව හිත කියන නිසා බව මම පැහැදිලිවම හිතන දෙයක්. මට ඔය නිශ්ඵල දේට වද වෙනවාට වඩා වැදගත් කාර්යයන් එමට තිබුණා.අප කළ කී දේවල් දන්නේ අපේ හෘද සාක්ෂියයි.ඒ නිසා අවශේෂ මිනිසුන් ඔබට නින්දා අපහාස කරන විටදී වුණත් සොබාදහම විශ්වාස කර නිර්භයව නැගී සිටින්න. ඔබේ නිදොස් බවට ඊට එහා සාක්ෂි අවශ්‍ය වන්නේ නෑ. 

එසේ දින කිහිපයක් එක දිගට මට මඩ ගැසූ comments අතරට තව අමුතු යමක් එක් වෙමින් තිබුණා.මහා දිගට මා නිර්දය ලෙස  විවේචනය කර තිබූ comment අතර එක පේලියක් දෙකක් සුධාරකගේ නැගනියන්ටත් මවට හා මස්සිනාලාටත් දොස් පවරා තිබුණා.එය නැවක හාල්ගෙනවිත් මිටක් තරම් කැඳ හැදුවා වාගේ වැඩක්.මට කරන්නට හැකි තරම් නින්දා කර එක පේලියකින් ඔවුන් තමන්වම විවේචනය කර ගෙන තිබුණා.

මා මේ සියලු කරදර මධ්‍යයේ  වුණත් මගේ කිසිදු වැඩක් අත් හැරියේ නෑ සුධාරක වෙනුවෙන් කළ සියලු දේ එකක් හෝ අතපසු නොකර මම ඉටු කළා.මෙසේ දැඩි කාර්යබහුල වී සිටි මට දිනක් පොලිසියකින් ඇමතුමක් ලැබුණා.

“මේ මිසිස් අනුරාධා ද.?ඔයාට විරුද්ධව අපහාස චෝදනාවක් තියෙනවා ඒක විභාග කරන්න හෙට පොලීසියට එන්න”

මට දැනුණේ පුදුම සතුටක්.කවුරු හෝ මට මේ  කරන අපහාස ගැන දුක්වී පැමිණිලි කළාවත්ද?

“කවුද කාටද අපහාස කරලා තියෙන්නේ? මට කරපු අපහාසයක්ද ?”

මම ඇසුවේ සැබෑවටම සතුටකින්.

“නෑ..ඔබතුමිය වෙනත් අයට අපහාස කරලා”

මට ඇත්තේ උභතෝකෝටික ගැටලුවක්.එහෙත් එය දැන ගත හැකි වන්නේ හෙට පොලීසියට ගියොත් පමණක් බව මට තේරුම් ගියා.

ඔව්! ඒ ගමන ගැන අපි හෙට දැන ගනිමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles