තත්පර, විටෙක මීටර සියය දුවමින් ද තවත් විටෙක නැවතිල්ලේ හා ඉබි ගමනේ යෙදෙමින් ද ගෙවෙන්නට විය. මේ වසරේ වස්සානය හුඟක් දිග සේ දැනිණ. වැස්ස ද වරෙක මොරසූරන වැස්සක් ව වැටුණේ ය. තවත් වරෙක පිනි පොද ඉහිරවමින් උකටලී ව සිටියේ ය.
වැස්සා ය කියා නතර වෙන්නට විදිහක් ජීවිත වලට නැත්තේ ය. අපරාජිතා ට ද ඕනෑ තරම් වැඩ තිබිණ. ඇය ටෙරාරියම් තැනුවා ය. සසංක ගෙනැවිත් තැබූ රාක්කය කෙමෙන් ටෙරාරියම් බඳුන් වලින් ඉඩ අල්ලා ගන්නට විය. මේ කාලයේ ඇය බොහෝ විසිතුරු පැළ එකතු කළා ය. ඇගේ බැල්කනියත් පඩි පෙළත් ගෘහාශ්‍රිත ශාක වල කදිම එකතුවක් බවට පත් වෙමින් තිබිණ.
මේ වෙත්දී අනන්‍යා අරවින්ද සමග හෝරා කිහිපයක් ගත කරන්නට හිත හදා ගෙන සිටියා ය. සැබවින් ඇය ඒ තත්වයට පත් කොට තිබුණේ අපරාජිතා තුළ සිටිනා අම්මා ය. තාත්තා දැකීමේ දොළක් පහළ වී තිබුණත් අනන්‍යා හැඟවූයේ එය අම්මා ගේ වදයට පොරයට සිදු වන දෙයක් සේ ය. නමුත් දියණිය කිසිවක් සඳහා ඇගේ අකමැත්ත මත තල්ලු කොට දැමිය නො හැකි බව අපරාජිතා දැන සිටියා ය. එසේ කළ හැකි නම් ඇය අරවින්ද දකින්නට ගොස් සතියක් ගත වී තිබිය යුතු ය.
අපරාජිතා අනන්‍යා ව කිරුලපන හන්දියේ අරවින්ද ගේ කාර්යාලය වෙත ඇරලුවා ය. ප්‍රධාන කාර්යාලය ලෙස ඔහු විසින් භාවිතා කරන එතැන ද මෝටර් රථ අංගනයකි. අපරාජිතා ගේ රන් අභරණ උකස් තබා මිල දී ගත් එක ඉඩමක් විකිණීමෙන් අනතුරුව ඔහු පැමිණි මාර්ගයේ අද වන විට ලෝකයේ විවිධ රට වලින් ආනයනය කරන නවීන ම හා සුඛෝපභෝගී ම මෝටර් රථ ප්‍රදර්ශනය හා අලෙවි කරනා අංගන කිහිපයක් දිවයින පුරා වේ. ඊට අමතර ව ඉඩම් හා දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ අරවින්ද සමරදිවාකර යනු නම ගිය ව්‍යාපාරිකයෙකි.
අනන්‍යා පැමිණෙන බව අපරාජිතා කල් ඇතිව අරවින්ද ට දැනුම් දුන්නා ය. ඔහු ගේ මුහුණේ කාලෙකට පස්සේ සිනහ රේඛාවක් ඇඳුණ බව රොෂෙල් නිරීක්ෂණය කළා ය. අරවින්ද කාර්යාල කුටිය තුළ ඒ මේ අත සක්මන් කරන්නට වූයේ සිය හැඟීම් වල බර ඔහු ට ම දරා ගත නො හැකිව ය. සමහර වෙලාවට ඔහු ම නො දැනී ඔහු ගේ තොල් සිනහ වුණේ ය.
“මාත් එන්නද…”
රොෂෙල් ඔහු ගේ මුහුණේ ඉරියව් වඩා හොඳින් දැක ගනිමින් විමසුවා ය.
“කොහෙද…”
ප්රශ්නය කුමක්දැයි දන්නා අවස්ථා වල පවා අප ඒ ගැන ප්‍රති විමසීමක් කරන්නේ වඩා හොඳින් ඊට මුහුණ දෙන්නට අවැසි නිසා ද නැත්නම් ඉන් පළා යාමට අවශ්‍ය නිසා ද කියා සිතා ගත නො හැකි ය.
“ඔයයි අනන්‍යායි එක්ක එළියට යන්න”
සිය සපත්තු අඩි ටයිල් පොළොවේ වැදීමෙන් නැගෙනා හඬට කන් දෙමින් අරවින්ද තත්පර වූයේ ය.
“ඕන්නෑ”
ඔහු ගේ තනි වචනයේ පිළිතුර වීදුරු කුටිය තුළ මතු නොව සිය හද සන්තානය තුළ ද නින්නාද වන හැටි, සක්මනෙහි යෙදෙමින් ම හෙතෙම අසා සිටියේ ය. සැබවින් ඒ වචනය උගුරෙන් පිටතට ඇද දැමීම පහසු වූයේ නැත. අසීරුවෙන් වුව එය මේ මොහොතේ කිව යුතුමයි වාගේ ඔහු ට දැනිණ. සමහර දේවල් ගැන තීරණ ගත යුත්තේ ඒ සඳහා උදා වන්නා වූ ප්‍රථම අවස්ථාවේ ය. එසේ නොවීම බොහෝ අර්බුධ ඇති කරන්නේ ය.
“ඇයි…මං ඔයාගෙ වයිෆ්නෙ”
“ඒක මං දන්නව. ඒක අනන්යාත් දන්නව”
“ඉතිං…මං ගියාම මොකද…”
“තවත් අනන්‍යා ගෙ හිත රිද්දන්න මට ඕන්නෑ”
“මගෙ හිත රිදුණට කමක් නෑ…”
“රොෂෙල්..තේරුං ගන්න ප්ලීස්”
“දැං එතකොට මම මේ සිද්ද වුණ හැම දේටම වැරදිකාරි…”
අරවින්ද වීදුරු දොර හැර ගෙන කුටියෙන් පිටතට ආවේ ය. රොෂෙල් ඇද ගන්නේ ම ඕනෑ නැති කතාවල් සේ ඔහු ට දැනෙයි. කාර්යාලයෙන් බැහැර ව වාහන අංගනය වෙත පැමිණි හෙතෙම, එහි වන නවීන මාදිලියේ මිලාධික රථ වාහන දෙස හිස් බැල්මකින් බලාන හිටියේ ය. ජීවිතය කියන්නේ කිසි දා මුළුමනින් පිරවිය නොහැකි බඳුනක් ද? මේ පුරුදු සදාකාලික හිස් හැඟීම මරණය තෙක් ම පසු පස හඹා එන එකක් ද? තුරුණු වියේ දී ඔහු සිතුවේ ඇති වෙන්නට මුදල් හරි හම්බ කිරීම මත ජීවිතයේ සතුට තීරණය වන බවයි. අපරාජිතා සමගින් ජීවත් වන කාලයේ දී සතුට වන්නේ රොෂෙල් අස යයි ඔහු කොතෙකුත් සිතා තිබේ. එතැනත් නැති බව දැනෙන්නේ ලං වී බැලු විට ය. එසේ නම් සතුට කියන්නේ ලං වෙන්නට වෙන්නට තවත් දුර ඈතට පැන දුවනා මිරිඟුවක් ද?
අපරාජිතා ගේ රිය පාර අයිනේ නැවතිණ. අනන්‍යා ව නොව ඔහු දුටුවේ අපරාජිතා ව ය. ඇය මඳ සිනහවක් ඇතිව අනන්‍යා ට කුමක් හෝ කීවා ය. ඈ වෙත ශෝකයක, තැවීමක හෝ කම්පාවක සලකුණක් හෝ දැකිය නො හැකි ය. ආලේපන බිඳකුදු නොමැති අපරාජිතා ගේ සියුමැලි වත කමල මත භාවනාවක ශාන්තිය වේ. ඒ සිනහව අව්‍යාජත්වයේ කැඩපතකි. ඇය තවත් තුරුණු පැහැයක් ගෙන තිබේ. මේ ටික දවසට ඇය තවත් ලස්සන වී තිබේ.
අරවින්ද සිය හිටපු බිරිඳ දෙස බලා උන්නේ අද ඈ දුටුවා මෙනි. නමුත් අපරාජිතා ඔහු ගේ ඇසට ඇස හසු වන්නට හෝ ඉඩක් නො තැබුවා ය.
“ඉක්මන්ට ගෙදර යන්න ඕනෙ”
අනන්‍යා අරවින්ද ඉදිරියට ඇවිත් කී මුල් ම වචන කිහිපය ඒ ය. ඔහු දියණිය ගේ පිටට අත තබා ඇතුළට යන්නට ඉඟියෙන් ඇරයුම් කළේ ය. අනන්‍යා ගේ පපුව තුළ මොකක්දෝ වෙනසක් වෙනවා ඇය ට දැනිණ. මේ ඇය ට නුපුරුදු තැනක් නොවේ. පාසල් ඇඳුම පිටින් පවා ඇය ඕනෑ තරම් මේ ඉසව්වේ දුව පැන ඇවිද තිබේ. රොෂෙල් ගේ ඇස් වීදුරු දොරට ඔබ්බෙන් දැල්වෙනවා අනන්‍යා දුටුවා ය. ඇය අරවින්ද ගේ එක ම දියණිය ලෙස අරවින්ද ට්‍රේඩර්ස් වෙත ආ ගිය පහු ගිය කාලයේ රොෂෙල් වූ කලී එහි සේවිකාවකි. අරවින්ද ගේ පුද්ගලික ලේකම් වරිය ය. ඒ කාලයේ නො දැනුණ නො අයිතිය ගැන දරුණු හැඟීමක් අනන්‍යා ගේ පපුව හිර කරවනා ලදී. දැන් මේ සියල්ල රොෂෙල් ගේ ය. සම අයිතිය සිය තාත්තා ගේ අලුත් බිරිඳ වන ඇගේ ය. එතකොට තමන්ට මෙහි වන අයිතිය කුමක් ද යන පැනය අනන්‍යා තුළ ඇති විය. අම්මා ද ඇය ද අයිති වෙන්නේ පරණ මතක වලට ය. අලුත් අයිතිකාරිය වෙන කෙනෙකි. ඈ ඉදිරියේ අනන්‍යා ට පිටස්තර හැඟීමක් දැනිණ. තාත්තා ධනවත් ව්‍යාපාරිකයෙකු වූයේ අම්මා ගේ රන් අබරණ උකස් තැබීමෙන් බව අනන්‍යා අසා තිබේ. එතකොට තාත්තා මෙතැනට ගෙන එන්නට දර දිය ඇද තිබෙන්නේ අම්මා ය. අද ඒවාට අයිතිවාසිකම් කියන්නට ඉන්නේ වෙන කෙනෙකි. රොෂෙල් තාත්තා ගේ බිරිඳ ය.
දරුණු චිත්ත පීඩාවක් සිය හුස්ම හිර කරන්නට හදනවා වාගේ අනන්‍යා ට දැනිණ.
“මට බෑ”
ඇය පාර පැත්තට හැරෙමින් කීවා ය.
“ඉක්මන්ට ගෙදර යන්න ඕනෙ”
ඇය නැවත ද කීවා ය. අරවින්ද අනන්‍යා ගේ පිට මත අතක් තබා ගෙන කැටිව ගොස් ඇය ව ඔහු ගේ රියට ගොඩ කරවූයේ ය.
“ඔයා කැමති ඕනම වෙහිකල් එකක් මං ඔයාට ගිෆ්ට් එකක් විදිහට අරං දෙන්නං. කැමතිනං එහෙ පාවිච්චි කරන්න. නැත්තං ස්ටඩීස් ඉවර කරල ලංකාවට ආවහම”
දියණිය තුළ වූ කාර් පිස්සුව ගැන දැන සිටි අරවින්ද, ඇයට ඒ සිහිනය සැබෑ කොට නොදී පාසලෙන් සමු ගත් ගමන් විදේශ ගත කරන්නට සිදුවූ බව සිහි ව කීවේ ය.
“ඕන වෙන එකක් නෑ”
අනන්‍යා ගත් කටට ම කීවා ය.
“මට මගෙ සල්ලි වලින්ම ගන්න පුළුවන් වෙයි දවසක”
තාත්තා ගෙන් ඇය වෙන් වෙන්නට යන බවත්, ඒ වෙන් වීම අනන්‍යා ට කිසි සේත් බලපෑමක් නොවන බවත් අපරාජිතා විසින් කියනු ලැබූ දිනය අනන්‍යා ට මතක ය. අම්මා හුඟක් දේ නිවැරදිව ම අනුමාන කරන බව ඇය දනී. නමුත් ඒ අනුමානය නම් නිවැරදි වූයේ නැත. අනන්‍යා ට ඒ දික්කසාදය බලපෑමක් නොවිණි ද? දැන් තාත්තා සේ ම ඔහු ගේ වස්තුව දේපල ද රොෂෙල් ගේ ය. “මේ අපේ කා සේල් එක” යනුවෙන් යළි කිසි දා ක තමන් ට කිව හැකි දැයි අනන්‍යා සිතුවා ය. කවුරු මොනවා කීවත් එසේ කිව නො හැකි ය. එසේ කියන්නට රොෂෙල් සිටී. ඇගේ දරුවන් සිටිනු ඇත. හැම දේම කාලයකදී අවලංගු වී යන්නේ ය. තමන් අරවින්ද ගේ දියණිය යන්නත් එසේ අවලංගු වී ගොස් ඇතිවා නොවේ දැයි අනන්‍යා දැඩිව රිදෙන හිතකින් සිතුවා ය. කෙසේ වෙතත් ඇය හඬන්නට ඇස් වලට ඉඩ දුන්නේ නැත.
ඇය හා තාත්තා අතර වූ සියලු බැඳීම් උන් හිටි ගමන් අහෝසි වී ගොස් ඇති බවක් අනන්‍යා ට දැනේ. ඔවුන් දෙදෙනා අතරේ යෝධ ගලිවරයෙකු සේ රොෂෙල් සිට ගෙන සිටී.
අනන්‍යා කතා කළ වචන දහයක් අතරෙන් පහක් ‘සසංක අංකල්’ ට වෙන් වූ බව අරවින්ද නිරීක්ෂණය කළේ ය. අනන්‍යා සසංක ට ‘අංකල්’ යන තනතුර ලබා දුන්නේ අරවින්ද ඉදිරියේ දී ඔහු රිදවීමට භාවිතා කළ හැකි අවියක් ලෙසිනි. ඇගේ ජීවිතයේ අරවින්ද උන් තැන ‘සසංක අංකල්’ විසින් විස්ථාපනය කර නොව ආක්‍රමණය කර ඇතැයි අරවින්ද ට සිතුණේ ය. එය ඔහු තුළ ඇති කරවූයේ ඊර්ෂ්‍යාකාර හැඟීමකි. අපරාජිතා සිය දියණියව මුළුමනින් ඔහු ගෙන් දුරස් කළා යයි ක්ෂණික සිතිවිල්ලක් හරි හදිස්සියේ හිත තුළ ලියලා වැඩෙන්නට ගති. මේ සියල්ල මෙසේ වන්නට එක ම වැරදිකරුවා අපරාජිතා ලෙස ඔහු සිය හෘද උසාවියේ පැමිණිලි කොට නඩු අසා තීන්දුව ද දුන්නේ ය.
සසංක යනු අපරාජිතා වෙසෙන ඇනෙක්ස් එකේ හිමිකරු බව අරවින්ද දැන ගත්තේ අනන්‍යා ගේ කතා වලිනි. ඔහු තනිකඩයෙකි. අපරාජිතා එවන් තැනක ම නවතින්නට ගියේ නිකං ම නොවේ. වෛද්‍ය පාරේ සුඛෝපභෝගී නිවෙසක් ඔවුන් වෙනුවෙන් පවරා දෙත්දීත් ඇය කුළී නිවසකට ගියේ නිකං ම නොවේ. හදිසියේ අපරාජිතා ට දික්කසාදය ඕනෑ වන්නට හේතුවත් සසංක ය. දැන් ඇය අලුත් ප්රභාවකින් හෙවත් ඕරාවකින් බැබලෙන්නට හේතුව ද මේ රහසිගත ප්‍රේමයයි.
බලවත් ඊර්ෂ්‍යාවක් ඔහු ගේ හදවත් පේෂි අකාරුණික ලෙස විඩාපත් කරවී ය. ඒ දිවා ආහාරය අරවින්ද ට ප්‍රණීත එකක් වූයේ නැත. අපරාජිතා මොනවා කර ගත්තත් දැන් තමන්ට කම් නැතැයි සිත රවටා ගන්නට ඔහු තැත් කළේ ය. ප්රශ්නය එය නොවේ. ඇය සසංක කෙනෙකු පෙන්වා අනන්‍යා ව ඔහු ගෙන් දුරස් කරවීම ය.
අනන්‍යා ගන්නට ඔහු කියනා තැනකට එන්නම් කියා අපරාජිතා කියා තිබියදීත් අරවින්ද දියණිය ව ඇනෙක්ස් එක ළඟට ම කැටිව ගියේ සසංක කියනා හාදයාව යම් හෙයකින් දැක ගත හැකි වේය යන හැඟීමෙනි. නමුත් සසංක ඒ වෙලාවේ හිටියේ දැන්වීම් ප්රචාරක ආයතනයේ වැඩක යෙදී ය. අරවින්ද ගෙන් ඇමතුමක් ලැබෙන තෙක් අපරාජිතා ගෙදර වැඩ අතරේ කාර්ය බහුල වූවා ය. අනන්‍යා රියෙන් බැස ගත්දී බැල්කනිය අතුගාන අපරාජිතා ව අරවින්ද රිය තුළ සිට දුටුවේ ය. අපරාජිතා කොසු මිටෙහි නිකට තියා ගෙන අනන්‍යා පිය ගැට පෙළ නැග එන තෙක් බලා සිටියා ය.
“මං මේ කෝල් එකක් එනකල් ඉන්නව..”
“තාත්ති එක්ක එන්නං කිව්ව”
“කොහොමද පුතේ…තාත්ති සතුටෙන් හිටියද ඔයා එක්ක..ඔයා එයාගෙ හිත රිදෙන දෙයක් කිව්වෙ නෑ නේද…”
“මං මොනා කියන්නද…අනික අපේ හිත් රිදෙව්වෙ එයානෙ. අරවින්ද ට්‍රේඩර්ස් වල අයිතිකාරිත් හිටියෙ..තාත්ති කාත් එක්කද මේ කතා කරන්නෙ කියල ඇස් ලොකු කරං බලාගෙන. අපේ හැම දේම අයිති කරගෙන මෙතන…”
“තාත්තිගෙ සෙකට්‍රි වෙලා ඉන්න කාලෙ එයත් මහන්සි වුණා ඔය බිස්නස් වෙනුවෙන්. තාත්ති ඔයා වෙනුවෙන් යුතුකම් ඉෂ්ට නොකර ඉන්නෑ. ඔයා ඒ ගැන වද නොවී ඉන්න”
මේ තරම් පහසුවෙන් සියල්ල අතැර හිත හදා ගන්නට අම්මාට හැකි වූයේ කොහොමද කියා සිතා ගන්නට අනන්‍යා පොහොසත් වූයේ නැත.
ඒ සියල්ල අමතක කරන්නට අරවින්ද කිහිප වර උත්සාහ කළේ ය. නමුත් එය හිතූ තරම් පහසුවෙන් කළ හැකි වූවා නොවේ. අත් හළ දෑ වෙනුවෙන් යළි යළිත් වද විය යුතු නැති බව අමතක කරන්නට තරම් ඊර්ෂ්‍යාව බලවත් වූයේ ය. අවසන සිය හදවතේ වහලෙකු නොවී ඉන්නට ඔහු ට හැකි වූයේ නැත. අරවින්ද ඔහු ගේ රිය තිබියදී අපරාජිතා ට පුරුදු නැති රියක නැගී ජය පාරේ සසංක ගේ නිවස ඉදිරියට පැමිණියේ ය. ඔහු පාරෙන් අනිත් පසට කොට රිය නතර කර ගෙන සසංක ගේ නිවස වෙත අවධානය යොමු කොට ගෙන සිටියේ ය. අපරාජිතා සඳැල්ලෙහි මල් පැල වලට සාත්තු කරමින් සිටියා ය. පහළ මහලේ කිසිවෙකු ඉන්නා බවක් නොපෙනිණ. දම් පාට වොක්ස්වැගන් බීට්ල් රිය පැමිණියේ ඒ වෙලාවේ ය. දුරස්ථ පාලකයෙන් ගේට්ටුව විවර වන තෙක් සසංක ගේ දෑස් යොමු වූයේ පාර අයිනේ නතර කොට තිබූ නුපුරුදු රිය වෙතට ය. සාමාන්‍යයෙන් අසල් වැසියන් ගේ වාහන ඔහු හඳුනයි. අඳුරු කළ වීදුරු තුළින් රිය ඇතුළ පැහැදිලිව පෙනුණේ නැත. ඒ අසල්වැසි නිවසකට පැමිණි අමුත්තෙකු වන්නට ඇත ය යන සිතිවිල්ලෙන් ඔහු සිය රිය වත්ත ඇතුළට ගත්තේ ය. අපරාජිතා සඳැල්ලෙහි වූවා ය. සසංක කෙළින් ම පැමිණියේ පිය ගැට පෙළ වෙතට ය.