අනන්‍යා ඉගිල ගොස් අරවින්ද වෙනුවෙන් ගේට්ටුව ඇරියා ය. ඊළඟට අරවින්ද ව දෑතින් ම බසා ගෙන ඔහු ගේ පපුවේ මූණ තියා ගත්තා ය. ඒ එක මොහොත තුළ, ඔවුන් වෙන් වී නැති බවට හැඟීමක් ඇය හදවත පුරා වින්දා ය.
අපරාජිතා සසංක ගේ මුහුණ දෙස බැලුවා ය. ඇය හිඳින්නේ කුණාටු කලාපයක බව ඒ එක බැල්ම ඔහු ට කීවේ ය. ඒ නිසා ම අරවින්ද කියන මිනිසා ගැන උපන් කේන්තිය හෝ නො රිස්සුම හෝ ඊර්ෂ්‍යාව හෝ තමන් තුළ හිර කර ගන්නට තරම් හික්මෙන්නට සසංක ට සිදු විය.
“අරවින්ද ඇයි මෙහෙ ආවෙ…”
හදවත තුළ කවර තත්වයක් පැවතී ද එය අරවින්ද ට පෙනෙන්නට නොදී අපරාජිතා නිවුණු සමාධියකින් විමසුවා ය. නමුත් අරවින්ද ට දැනුණේ එය ඔහු ගේ කන හරහා එල්ල කරන ලද අතුල් පහරක් සේ ය. සිය ආධිපත්‍යය ප්‍රතික්ෂේප වෙනවා කියා දැනෙන වෙලාවකදී, අපරාජිතා සන්සුන් ව සිටියදී පවා කෑ කෝ ගසා සිය බල පරාක්‍රමය පවත්වා ගන්නට උත්සාහ කළ කෙනෙකි අරවින්ද කියන්නේ. අපරාජිතා වඩාත් ම පිළිකුල් කළ ඔහු ගේ ගතිගුණ අතරින් ප්‍රධාන ම එකකි එය. මේ වෙලාවේ ත් ඔහු හැසිරෙන්නට තැත් කළේ එහෙම ය.
“ඇයි මට එන්න බැරි…මං ආවෙ මගෙ දරුව බලන්න. කාටවත් බෑ මාව අනන්‍යා ගෙන් ඈත් කරන්න. එහෙම කරන්න මාර ට්‍රයි එකක් දෙනව කියල මට පේනව”
එහෙම කියමින් ඔහු බැලුවේ සසංක දෙස ය. අපරාජිතා ගේ පපුවෙන් ගිනි මැලයක් බුරා නැගුණේ ය. සසංක ගේ ඇස් වල වන ඉවසීමේ සීමාව පන්වා ගෙන යන බැල්ම ඈ වඩාත් බිය කරන්නට සමත් විය.
“මට එහෙම අවශ්‍යතාවයක් නෑ කියල අනන්‍යා දන්නව. ඔයා ඒක ඔයාගෙ දුවගෙන් අහල දැනගන්න. දවස පුරාම වුණත් ඔයාට පුළුවන් එයාව එක්ක ගිහින් ඔයා ළඟ තියා ගන්න. හැබැයි මෙහෙට ඇවිත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා”
“මොනාද අනවශ්‍ය ප්‍රශ්න…මං මෙහෙට එනවට තමුං ඔච්චර අකමැති…මොකෙක්හරි ඉන්නවද මට මෙහෙ එන්න එපා කියන්න…”
එයත් සසංක වෙත කෙලින් ම එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකි. ඔහු ගේ අත මිට මෙලවුණේ ය. මේ ආත්මාර්ථකාමී මිනිසා ගේ මානය බිඳ දැමීමේ වියරුවක් ඔහු ව යට කර ගත්තා වී ද, එය දැනුණා සේ අපරාජිතා හෙළු කරුණාවේ බැල්ම ඇවිලෙන්නට පෙර ගින්නක් මත අමා පැන් ඉසීමක් සරි විය.
“සසංකට ලේට් වෙනව නේද…අනේ සොරි උදේ පාන්දරම අපි නිසා ඔයාට කරදරයක් වුණා නං”
ඇය නොකියා කීවේ ඔහු ට නික්ම යන ලෙසට බව වටහා ගත් සසසංක රියට නැගුණේ ය. ඒ අරවින්ද දෙස බලා ගත් වන ය. අපරාජිතා ට සැනසුමක් දැනුණේ රෝලර් ගේට්ටුව හැරී වැසුණ පසු ය.
“අලුත් මනමාලයට මාර ආදරෙයි වගේ නේ…”
අරවින්ද ගේ තොල් කොනක් ඇද වී සමච්චල් සිනහවක් නැගුණේ ය. නමුත් ඒ සමග ම මුහුණේ මස් පිඬු කිහිප විටක් ගැහී ගියේ ය. එහි වූයේ සිනහවක් නොව මහා විකෘති පෙනුමකි.
“මොනාද ආ මේ කියන්නෙ…ඔයාට ලැජ්ජාවක් කියල එකක් නැද්ද දරුවත් ඉස්සරහ මේ වගේ දේවල් කියන්න…ඔයා ඉස්සරටත් වැඩිය පහළට වැටිලද ඉන්නෙ අරවින්ද…කරුණාකරල ඔයා දැන් මෙතනිං යන්න. මං හිතන්නෙ ඒක තමයි හොඳම දේ”
ඇය ගැහෙමින් සිටියා ය. හැකි තාක් සන්සුන් වන්නට ඇය උත්සාහ කරමින් ද සිටියා ය.
“අම්…මි”
“ඔයා මැද්දට පනින්න හදන්නෙපා අනන්‍යා. දෙයියන්ගෙ නාමෙට දැන්වත් මට මගේ පාඩුවෙ ජීවත් වෙන්න ඉඩ දෙන්න අරවින්ද. මෙන්න වැන්දා”
ඇය ආවේගයෙන් ම දෑත් එක් කළා ය. අපරාජිතා ගේ දෙතොල් වෙව්ළුවේ ය.
“මං කියන්න හොඳ නෑ. තමුන් ළමයවත් මෙතන තියාගෙන අරූ එක්ක මගුල් නටන්න හොඳයි”
“මං මොන මගුලක් නටා ගත්තත් ඔයාට ඒක අදාල නෑ. අනන්‍යා…ඔයා තාත්තිත් එක්ක ඕන දිහාකට ගිහිං කතා කරන්න. එයාව මෙහෙට ගෙන්නන්න බෑ හැබැයි”
ඇය දියණිය වෙතට ඇඟිල්ල දිගු කළා ය. අපරාජිතා පෙර නොවූ විරූ ලෙස කෝපත් ව හිඳින බව අරවින්ද සේ ම අනන්‍යා ද වටහා ගන්නට ඇත.
“තාත්ති දැන් යන්නකො”
අරවින්ද ඔහු අත වූ බඩු මලු ටික අනන්‍යා ට දුන්නේ අපරාජිතා වෙතින් ඉවත් නොකර ගත් අවඥා සහගත බැල්මෙන් ම ය.
“අනිත් එක මෙහෙට බඩු මලු උස්සං එන්න ඕන නෑ. මට ජීවත් වෙන්න මං හම්බ කරනව. දික්කසාද වෙලත් ඔයාගෙන් යැපෙන්නයි ඔයාගෙ පදේට නටන්නයි තරං අහේනියක් මට නෑ”
“මං මේව ගෙනාවෙ මගෙ දරුවට”
“හරි. අනන්‍යා ඕව වෙනම තියාගෙන ඔයා යූස් කරන්න. කුස්සියෙ බඩු එක්ක තියන්න එපා”
“අරූගෙ හයිය වෙන්නැති නේ”
එය අන්තිම දුර්වල නිවට නියාළු ප්‍රකාශයකි. අපරාජිතා සමච්චල් සිනහවක් නගා ගත්තා ය.
“ගෑනියෙක්ට ජීවත් වෙන්නනං හැම වෙලේම පිරිමියෙක්ගෙ හයිය ඕනමයි කියල හිතන අන්තිම දුර්වල මිනිස්සු”
අපරාජිතා දවා හළු කරනා බැල්මක් හෙළු අරවින්ද හැරී වේගවත් ව නික්ම ගොස් රියට නැගුණේ ය. ඊට වඩා හයියෙන් අපරාජිතා මතු මහළට නැගුණා ය.
අම්මා හා දූ අතරේ ටික වෙලාවක් යන තෙක් හාවක් හ්ම්වක් වූයේ නැත. සුළඟ පවා බුම්මා ගෙන ඉවත ගියේ ය. චුරු චුරුවක් ව ඇරඹුණ වැස්ස දවස පුරා ම අල්ලා හිටින බවක් කියා පාමින් අහස වැහි වලාකුළින් බර වූයේ ය. හදිසියේ ම හිත මූසල ව ගියා සේ අපරාජිතා ට දැනිණ. ඇය ඇඳෙහි ගුලි වූවා ය. පෙර දා රාත්‍රිය වෙනුවෙන් පිලියෙල කළ අහර උදේට පිරිමසා ගත හැකි බව දැන සිටිය ද ඒවා හෝ රත් කොට අනුභව කරන්නට තරම් සිතක් ඇය ට නොවී ය. හිත ඉල්ලා සිටියේ හූල්ලමින් ගුලි ව ඉන්නට විතර ය. එහෙම වෙලාවට හිතට ඉඩ දිය යුකු බව අපරාජිතා දැන සිටියා ය. ඒ හැඟීම් තුට්ටුවකට මායිම් කරන්නේ නැතිව යකඩ ගැහැනියක සේ සවස එක්ක ඔට්ටු වෙනවාට වඩා, ඒ විදිහේ විවේකයක් රිදුණු හදකට අවැසි ම ය. එය යළිත් දුක සමග ඔට්ටු වන්නට සවි ලබන්නේ ඒ ඔහේ සිටීම මගිනි.
අනන්‍යා කෑම රත් කොට අම්මා ට කන්නට කතා කළා ය. අපරාජිතා හෙමිහිට කුරුලු අත් වලින් බත් පත අත පත ගෑවා ය.
“පව් අම්මි තාත්ති”
එතෙක් හිතේ හිර කර ගෙන උන් යමක් වී නම් එය සාරාංශ කොට අනන්‍යා විසින් පිටතට දමනු ලැබුවා ය. අපරාජිතා ගැස්සී ගියා ය. ඇය දික්කසාදය පමා කරමින් ඉන්නට හේතුව ද එයයි. කවදා හෝ දවසක අනන්‍යා පව් කියන්නේ වසර ගණනාවක පීඩනයක් උහුලා ගත් ඇය ට නොව තාත්තා ට බව ඈ දැන උන්නා ය. අනන්‍යා දැනුම් තේරුම් වයසේ දී ද කීවේ එය ම ය. මහත් හිස් හැඟීමකින් අපරාජිතා අඩ පණ ව ගියා ය.
“ඉතිං තාත්ති මෙහෙ ආවහම මොකෝ…මං ආස නෑ අර රොෂෙල් නිසා ඔෆිස් එකටවත් යන්න. තාත්ති මෙහෙ ආවහම අපිට ආයෙ එකට සතුටෙන් ඉන්න පුළුවන්. ඒ ටික වෙලාවට හරි. අනිත් එක තාත්ති ගෙනාපු දේවල් එපා කියල නොකියන්නයි තිබුණෙ. එයාට දුක හිතුණා”
ලොකු වැඩ කරන්නට ගියාට අනන්‍යා ට තියෙන්නේ කෙතරම් නො මේරූ බොළඳ හිතක් ද? අපරාජිතා ලොකු හුස්මකින් උරස් කුහරය ද උදර කුහරය ද පිරෙන්නට හැරියා ය.
“එයා ඔයාගෙ තාත්ති තමයි පුතේ. ඒත් එයා දැන් මගෙ කවුරුවත් නෙවේ. ඒ වගේම එයා රොෂෙල්ගෙ හස්බන්. බඩු මලු උස්සගෙන එයා එක්ස් වයිෆ්ගෙ ගෙදර එන එක ලොකු වරදක්. මං තාත්තිගෙ වයිෆ් විදිහට ඉන්න කාලෙ රොෂෙල් මොකක් හරි වරදක් කළා කියල අපි කියනවනං…දැං තාත්තිව මෙහෙට ගෙන්නගෙන අපි කරන්නෙත් ඒ වරදමයි. එයත් ගෑනියෙක්නෙ. එයා කොහොමද ඉවසන්නෙ තාත්ති බඩු මලු උස්සගෙන මෙහෙට එනවයි කියල දැන ගත්තහම…ඒකත් පවුලක්නෙ. දැන් තාත්ති වුණත් හිතන්න ඕන ඒ පවුල රැක ගන්න විදිහ ගැන. මං දන්නව එයාට අපි ගැන තියන බැඳීම එක පාරටම උසාවියෙන් කෙලවර කරන්න බෑ. ඔයා තාත්ති එක්ක සම්බන්දකං තියන එක වෙනම දෙයක්. හැබැයි එයාට ඔය විදිහට හැසිරෙන්න දෙන්න බෑ”
අපරාජිතා වචන හැසිරවූ විදිහේ වූයේ ස්ථිරසාර බවකි. අනන්‍යා ට නිහඬ වන්නට සිදු වූයේ ඉන් ඔබ්බෙහි කිසිදු බුරුලක් අම්මා ගෙන් බලාපොරොත්තු විය නො හැකි බව දන්නා නිසා ය.
ඒ වස්සානයේ දිගු දිනයේ පොතක් එක්ක දැහැන් ගත වෙන්නට අපරාජිතා ට සිතක් වූයේ නැත. ටෙරාරියම් එකක් කරනා අදහසක් වත් අත පොවන මානයක නොවිණ. ඇය මල් පැළයක් දෙස ඇහැක් ඇර බැලුවේ හෝ නැත. ජීවිතයේ එහෙම දවස් ඒ විලසින් ම ගෙවෙන්නට හැරිය යුතු ය. ඒ නිස්සාර හුදෙකලාව තදින් පපුවට තුරුලු කර ගෙන සිටිත යුතු ය.
දැන්වීම් ප්‍රචාරක ආයතනයටත් ඒ වැස්ස වැස්සේ ය. සසංක ගේ කුටියේ කවුළුවෙන් වැහි බින්දු පෙනුණේ ය. වැහි හඬ ඇසුණේ ය. තරුණයා ගේ පපුව මැද නොයෙක වර විදුලි කෙටුවේ ය.
“දෙයියංගෙ නාමෙට අනුංගෙ ගාබේජ් ට්‍රක් ළඟින්වත් යන්න හිතන්න එපා. දන්නවනෙ ස්මෙල් එක…”
අසේල මිතුරාට අවවාද අනුශාසනා කළේ ය.
“එහෙම කොහොමද…ඌට අයිතියක් නෑනෙ බලහත්කාරෙන් අපරාජිතා ගෙ ඇනෙක්ස් එකට රිංගන්න. හොම්බට අනිනව මං තව ටිකක් බලල”
“ඌට නැති අයිතියක් උඹට තියෙනවද…ආ…උඹ ඇනෙක්ස් එකේ අයිතිකාරය විතරයි. අපරාජිතා ඊට වැඩිය අයිතියක් උඹට දීල නෑනෙ..දීල තියනවද…මං නොදැනුවත්ව එහෙම දෙයක් වෙලා තියෙනවනං කියපං. ඉල්ලා අස් කර ගන්නං මෙච්චර වෙලා කියපු දේවල්”
සසංක ගේ පිරිමි පපුවේ තදින් ම ඇමිනුණේ මිතුරා කී ඒ වචන ටික ය. සැබවින් ම අපරාජිතා යනු කවුද? ඔහු ඇගේ කවුරුන් ද? ඇය ඔහු ගේ කවුරුන් ද? ඇස් බැල්මකිනිදු ඇය ඔහු ට අනුබලයක් දී නැති බව විශ්වාස ය. තේ කෝප්පයක් දෙත්දීවත් ඇඟිලි තුඩක් ස්පර්ශ වන්නට ඇය ඉඩක් තබා නැති බව විශ්වාස ය. එනයින් ඔහු මේ හැටි ඈ ගැන වද වෙන්නේ ඇයි?
ඒ වැහි හැන්දෑවේ මිතුරෝ මධු විත සාදයකට රොක් වූහ. පසුගිය ටිකේ ම ඒ මිත්‍ර සමාගම් මගහැර ගෙදර ගිය සසංක එදා මිතුරන් සමග පමා වූයේ ය.
එදා රොෂෙල් සිටියේ මූණ එල්ලා ගෙන ම ය. අරවින්ද උදේ ම පිටතට ගියේ ය. යන එන තැනක් ගැන ඇයට කීවේ නැත. අනන්‍යා පිටින් තබා ඔහු කවර නැටුමක් නටනවාද යන සැකය ඈ තුළ විය. ඔහු අපරාජිතා ගේ සැමියා ව සිටියදී ඇයත් සමග ආ ගිය ගමන් අමතක කළ නො හැකි ය. අපරාජිතා සමග නොවුණද දැන් වෙනත් ස්ත්‍රියක සමග ඔහු ට එසේ කළ නො හැකි ද? රොෂෙල් නිරයක පැසවමින් සිටියා ය. එතැන්හිදී ඇයට ඔහු ගේ මානසිකත්වය වටහා ගැනීමේ ඉඩ ප්‍රස්ථා ගිලිහී ගියේ ය. සැකය කියන විෂ රසායනය ඔවුන් දෙදෙනා අතරේ හදවත් ගනුදෙනු අත්හිටුවා දමන ලදී. එතැන්හිදී අරවින්ද ට කරන්නට තිබුණේ සියල්ල අමතක කරනු වස් ඇල්කොහොල් වල පිහිට පතනා එක විතර ය.
අපරාජිතා අනන්‍යා සිටින නිසා ම දවල්ට බතක් මාළුවක් පිසුවා ය. බැල්කනියට අලුතෙන් එක් කරන ලද වේවැල් පුටුවේ ගුලි වී ගෙන හවස් කාලයේ වැස්ස දෙස බලා සිටියා ය. අනන්‍යා කළේ යහන බදා ගෙන නිදනා එක ය. වැහි බීරම තීව්‍ර වත්දී පරිගණකය උකුල මත තියා ගෙන නිර්ණාමික ලියන්නී පිටුවෙහි ඕ කවක් කුරුටු ගෑවා ය.
කුවන්නා,
මට ඇහෙනවා මේ වැස්ස අතරින්
ඔබේ ඉකි හඬ
හෙණ හඬක් සේ පතිත වෙයි
සක්වලක් සසැලූ විලාපය…
දැදිරි වී ඉරි තලා ගිය ළමැද
අන්තිම ම ලේ බිඳත් කිරට හළ
දිසාලාවරු මතුත් උපදවන
කුවන්නා ඔබ ය මම…
කුවන්නා,
එක ම කුලකයක ගැහැනුන් ය අප
ජීවිතේ මහා පොදු සාධකය
ආදරය කියා තවමත් හිතන…
විවර වූ රෝලර් ගේට්ටුවෙන් දම් පාට කුරුමිණියා රිංගා ආවේ ය. හදවතේ කොහේදෝ ඈතක අකුණක් පුපුරා යනවා අපරාජිතා බලා සිටියා ය. ඊට වඩා ඈ සසැලී ගියේ රියෙන් බට සසංක විසි වී වැටෙන්නට යත්දී ය.