(අ) හිමි සිහින -217

මරණයක හෝ මංගල්ලයක චාරිත්‍ර පවතිනවා.සමහර රටවල තරමට තදට නැතත් අපේ රටේ ද එවැනි දේ පවතිනවා.නමුත් ඒවා කරන්නට සුධාරකගේ පවුලක් හරිහැටි තිබුණේ නෑ.එහෙත් ඔහුට හදවතින් ආදරය කළ ඔහුගේ ආදර ගෞරවය ලැබූ බිරිඳක් ඔහුට හිටියා.බිරිඳක් කියන්නේ සැමියාට කන්න බොන්න දී දරුවන් වදන දාසියක නෙවෙයි.එසේම බිරිඳක් යනු මානසික ශාරීරික වද දී මිනිසෙක් මරණයට තල්ලු කරගෙන යන මාර දූතියක් ද නොවෙයි. ගැහැනියක් කියන්නෙ ජීවිතයක් දෙන කෙනෙක් මිස ජීවිතයක් ගන්න කෙනෙක් නෙවෙයි.

චිතකය ලඟින් මෑත් වූ මා නැවත දියණිය මා ලඟට ගෙන්වාගත්තේ තම ඥාතියාගේ දේහයට අවසාන ගෞරවය දක්වනු වස් චිතකය වටා තෙවරක් පැදකුණු කිරීමේ චාරිත්‍රය ඉටුකරන්නටයි.පෙට්ටියට අතගැසීමට මා පමා වූ ඇසිල්ලෙන් පවුලක් කියාගෙන පැමිණ තිබූ නාට්‍ය කණ්ඩායම මට ඉස්සර වී තිබුණා.මා එසේ කියන්නේ ඔවුන්ට අපහාස කිරීමට යැයි ඔබ වරදවා වටහාගන්නට එපා. සත්‍යයනම් එය ඊට වඩා හොඳින් කියන්නට සිංහලයේ වෙන භාවිතා කළ හැකි වචන නොමැති නිසා එසේ කියන්නට හිතුවා.

සුධාරකගේ චිතකය වටා යන්නට පෙරමුණ ගත්තවුන් අතර පුතාට වස්කවි කියවූ පුතුගේ මරණයෙන් මතු ලැබෙන වන්දිය ඔහු ජීවත්ව ඉද්දීම ගන්නට හැදූ මවක්,සහෝදරයා ගිලන් වූ පසු ඔහුගේ රෝගයට අවශ්‍ය ප්‍රතිකාර කරනු වෙනුවට ඔහුගේ නිවෙස මංකොල්ල කන්නට ආ සහෝදරියන් හා ඔවුන්ගේ සැමියන් වගේම සුධාරක සමග බද්ධ වෛරයෙන් පෙලුණු ඔහු මුහුණට මුලිච්චි වන්නට පවා අකමැතිව සිටි ඥාතීන් ඉතා ශෝකාකූල මුහුණින් යුතුව ඇස්පියන් තද කරමින් ගත් කඳුලු ද ඇතිව චිතකය වටා යන්නට පෙරමුණ ගෙන සිටියා.සැබවින්ම චිත්‍රපට ක්ෂේත්‍රයට ඔවුන් යැව්වානම් වඩා තාත්වික රංගනවේදීන් බිහිකරගන්නට තිබුණා යැයි මට හැමවිටම සිතී තිබුණා. ඒ නිසාම නීතිය කෙසේ වුණත් සුධාරක ට ආදරය කළ ඔහුව ජීවත් කළ ඔහු වෙනුවෙන් අදටත් නොබියව කතාකරන බිරිඳ ලෙස පසුපසින් යන්නට වුණත් මා එතැනට පැමිණීම ගැන මට තිබුණේ විශාල ආත්මාභිමානයක්.

මට ඉදිරියෙන් ගිය උන් හැරි හැරී බල බලා මට අනේක කතා කිව්වා.මම ඒවා තඹයකට මායිම් කළේ නෑ. අපහාස නම් ඕනෑ කෙනෙකුට කළ හැකියි එහෙත් ඇත්ත බොරු කිරීමට කිසිදා බැහැ.ඒ නිසා මට ඔවුන් කියන කිසිදු දෙයක් නිශ්ඵල වචන මිස වැදගත්කමක් තිබූ ඒවා ලෙස දැනුණේ නෑ.ඔවුන්ට මා වලකාලන්නට කශේරුකාවක් තිබුණේ ද නෑ.පලකර තිබූ දැන්වීම් වල ප්‍රකාශ කර තිබූ වේලාවන් ද වෙනස්කරමින් බොහෝ සැලසුම් කර ඔවුන් බලාපොරොත්තු වූ දෙය ඔවුන්ට කරගන්නට හැකියාව ලැබුණේ නෑ.ඒ වනවිටත් ඔවුන් හිටියේ මගේ පැමිණීම ගැන වික්ෂිප්තවයි.

චිතකය වටා පැදකුණු කරන අතරතුර මා එක් දෙයක් කිය කියා ගියා.

“මගේ රත්තරන් මහත්තයා ඔයා උපදින හැම ආත්මයකම මටම හම්බවෙන්න ඕනෙ.උපනූපන් ජාතිත් මේ වගේ හිතක් පපුවක් නැති මිනිස්සු අතර නොඉපදී කළ්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබෙන්න ඕන.ඔයා මේ රටට කරපු සේවයම ඇති ඔයාට හොඳ භවයකට යන්න.එතකන් පරිස්සමට ඉන්න.මං ඔයා කියපු විදියටම ඒ දේවල් කරනවා මගෙ රත්තරන් මහත්තයා”

චිතකය වටා තෙවරක් පැදකුණු කර දුවත් මමත් මණ්ඩපයට නැවත එනවිට අපට අප සිටි ස්ථානය අහිමිව තිබුණා .එතැන ඔවුන්ට හිතවත් අවශේෂ මිනිසුන් මටත් දුවටත් එතැන රැඳෙන්නට ඉඩ නොලැබෙන සේ අහුරාගෙන සිටියා.ඒත් ඔවුන් සිටින තැන පිටුපසට යනවා වෙනුවට මම ඔවුන්ට ඉදිරියෙන් නතර වුණා.මම ඒ ඒ අවස්ථාවට අනුව මුහුණදෙන කෙනෙක්.ජීවිතයේ අපි සැලසුම් කරගෙන එන දේවල් හැමවිටම සිදුවන්නේ නැහැ.සැලසුම් අවුල් වූ විට හෝ සිතූ දෙය නොසිදුවෙනකොට එයට කලබල නොවී තීන්දු තීරණ ගත යුතුයි.ඔවුන්ට ඉදිරියෙන් සිටගත් මා තෙරපී පස්සට තල්ලු කරන්නට ඔවුන්ගත් උත්සාහය අසාර්ථක වුණා.

මේ සියලු දේ අකුරක් නෑර සිදුවූ සත්‍ය සිදුවීම් බව අවමංගල්‍ය වීඩියෝව අදටත් සාක්ෂිදරනවා. මේ කතාව පුරා මම කිසි විටෙකත් කිසිවෙකුට මඩ ගසන්නට හෝ ඔවුන්ව හෙළා දකින්නට කිසිදු බොරුවක් කියා නැහැ කියන එකයි මගේ අදහස.මා කියනා දෙයින් කිසිවෙකු අපහසුතාවයට පත්වූවා නම් මට ඉන් කරන්නට දෙයක් ද නැහැ.මා කියන්නේ මගේ සත්‍ය ජීවිත කතාවයි.

මේ සියලු දේ සිදුවෙද්දී චිතකය දල්වනු ලැබුවා.මා සිටියේ වැඳගෙනම යි.වටේ සිටි මිනිසුන්ට ඒ වෙලාවෙත් කරන්නට සැලසුම් තියෙන්නට ඇති.ඒත් මට තිබුනේ මගෙන් සමුගන්නා මගේ ආදරණීයයාගේ වියෝවෙන් අනේක වාරයක් කඩාහැලෙමින් තිබුනු මගේ හදවතේ වේදනාව දරාගැනීමේ සටනක්. චිතකයේ දුම් කවුළුව දෙසම මා බලාසිටියේ හිස් අරමුණකින් උනත් මම එතැනින් පිටවන යමක් බලාපොරොත්තුවෙන් සිටි බව පමණක් මට මතකයි.ඒ බලාසිටි දෙය මද වේලාවකින් මට දැකගන්නට ලැබුනා

මා ආදරය කළ මිනිසා!!
අනේක දුක් දොම්නස් විඳ දරාගෙන නිහඬව සිටීමේ විපාකයෙන් ඔහු ගැන නොදත් උන්ට වරදකරුවෙක් වූ ඒ අහිංසක හදවතක් තිබූ මිනිසා.රටක් ජාතියක් බේරාගන්නට සිය පනස් හතරක් වූ ජීවිතකාලයෙන් වසර තිස් හතරහමාරක්ම යුධබිමේ ඉදිරියෙන්ම සටන්කල ඒ අභීත විරුවා!

අනිත්‍ය අප කාටත් පොදු දෙයක් බව මට නැවත නැවතත් මතක් කරමින් දවා හලු වී චිතකයේ දුම් කවුළුවෙන් වාතලයට දුම් රොටුවක් වී එක්වෙන හැටි මා කඩාහැලෙන කඳුලු වලින් බොඳවූ දෙනෙතින් බලාසිටියා.

“නිමා නොවුණු ගමනක් නිමාකරන්නට මතු භවයකදී මුණ ගැසෙනතුරු ඔබට සුභ ගමන් මගේ පණ”

මා එවලේ ඉහළට ගත් හුස්ම ලෙස මම ගත්තේ ඔහුගේ ප්‍රාණ වායුවත් ඔහුගේ දැවුණු සිරුරේ උණුසුමත් මුසුවූ වාතය යැයි මට සිතුණා.ඒ සුවඳ උණුසුම අදින් පසු මා ගන්නා හැම හුස්මක් හුස්මක් ගානේ මගේ පෙනහලු පුරවාවි. ඒ හුස්ම මගේ මරණය තෙක් මාව ගෙනියාවි.

ඒ පැතුමත් බලාපොරොත්තුවත් මා තවතවත් ශක්තිමත්කරන්නට ඇති.වීරයෙකුගේ උණුසුම් සුසුම් මුසුව මා ගන්නා හුස්ම පොද ඔහුගේ මරණයෙන් මතු මට ලඟ ලඟම එමින් තිබූ මර උගුල් සියල්ලටම නිර්භයව මුහුණදෙන්නට ශක්තිය ගෙනාවේ කෙසේදැයි මම ඔබට හෙට කියන්නම්

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles