නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා නග්න ව තිබි පොළොව මත පතිත වන ප්‍රථම වැස්ස මේ ය. බුරුල් වී තිබි පස් අංශු වැහි දියේ මුහු වී බොර වතුරක් ව ගලා යන්නට විය. කාලයකට පස්සේ වහින අලුත් වැස්ස පොළොවේ ගැඹුරට උරා ගැනීම නිසා  නැවුම් සුවඳක් හමා ආවේ ය. මම මහත් ඕනෑ කමින් ඉස්තෝප්පුවේ කොට තාප්පයෙන් එබී ගෙන මුහුණ මිදුලට යොමා ගෙන ඒ සුවඳ ඉව කළෙමි. හීන් හිරිකඩ අහුරක් හුළඟ සමග විත් මුහුණ මත තෙතක් ඉතිරි කොට නික්ම ගියේ ය. මම මන්දාරම් අහසට සිනහ වීමි.

දැන් මට සිනහ වෙන්නට පුළුවන. ඒ කටුක වූ අතීතය ගෙවී අවසාන වී තියේ. තව දුරටත් එහි සරමින් හිත රිදවා ගත යුතු නැත. අනාගතය ගැන සිතනා විට බියක් හිතට කාන්දු වන එක වැළකිය නො හැකි නිසාවෙන් මම ඒ ගැන නො සිතා ඉමි. හෙට කියන්නේ තවමත් නූපන් දිනයකි. නූපන් යමක් ගැන හිතා ප්‍රීති වීම හෝ දුක් වීම අනුවණ කමකි. ජීවත් විය යුත්තේ ගෙවී ගිය අතීතයේ හෝ නූපන් අනාගතයේ හෝ නොවේ. මේ මොහොත තුළ ය. 

සතුටෙන් හුස්ම ගන්නට කාරණා ඕනෑ තරම් මට මේ වර්තමානයෙහි වේ. අපි කාමර දෙකක් සහිත අපේ හැටියට ඉහටත් උඩින් වන අංග සම්පූර්ණ නිවසක දවස ගත කරමු. සුරක්ෂිත හැඟීමෙන් දොර ජනෙල් වසා ගෙන රාත්‍රිය ගත කරමු. බිත්ති වලින් හමනා තීන්ත සුවඳ ජීවිතය ගැන නැවුම් බලාපොරොත්තු දල්වාලයි.

ඉතා විශාල භූමියක් වන නිසා මල්ලී පාත්ති කෙටුවේ ය. අපි ඒවායේ එළවළු පැළ ද මඤ්ඤොක්කා හා බතල දඬු ද මිරිස්,කෙසෙල් හා පැපොල් ද සිටවීමු. ඒවායේ අලුත් දලු නැගී එන්නේ අපට හෙට ගැන බලාපොරොත්තු දෙමිනි. මේ වැස්ස ඒ පැළ වලට මහානුභාව සම්පන්න ආශීර්වාදයක් වනු ඇත. 

ජීවිතය නවමු මුහුණුවරකින් අප ඉදිරියට පැමිණෙමින් සිටී. ඉතින් දෝත පා ආදරයෙන් වැළඳ ගන්නවා මිස ඒ ජීවිතය ප්‍රතික්ශේප කළ යුතු ද? 

ආච්චි මමී එදා හරි බරි ගැසී අපේ සම්බන්ධය ගැන මදුරාපුර වැඩිහිටියන් දන්නවාද කියා විමසූ වෙලාවේ මා කැළඹුණ බව මම ඔබට කීවෙමි. ආච්චි මමී වාගේ සට කපට ගැහැනියක ගේ වෙට්ටු දැමීම් ඉදිරියේ නිබ්බුතා කියන්නේ හතර ගාතෙන් වැටිය හැකි විදිහේ කෙල්ලකි. නමුත් ඇය සූදානම් වන්නේ කුමකට දැයි ඉවෙන් වාගේ  දැනුණෙන් මම මනා සිහිය පවත්වා ගතිමි. කෙසේ වෙතත් මා පිළිතුරු දෙන්නට කට අරිනකොට ම මල්ලී විදිලියක් සේ කුස්සිය දොරෙන් මතු වූයේ ය.

“ඔව් දන්නව. ලෝචන අයියයි මධාරා අක්කයි දෙන්නම මේ අපි දෙන්නත් එක්ක තියෙන සම්බන්දෙ ගැන ඒ මිනිස්සු හොඳට දන්නව. ඒකනෙ තමුංගෙ කියන එවුං හිටිය පැලත් ගිනි තියල පාරට දාද්දි ඒ මිනිස්සු කුළියට දීල ගාණක් හොයා ගන්න පුළුවන් මේ ගේ අපිට නිකංම ඉන්න දුන්නෙ..ගේ විතරක්ද…ගෙදරකට ඕන කරන බඩු මුට්ටු පවා ගෙනල්ල දීල ගියේ ඒකනෙ. තමංගෙ එවුං පොඩි කාලෙ අපිට විසිකරන පැන්සල් කොටයක් තරං නොදී හංග ගද්දි…විලිවහගනිල්ල කියල පරණ රෙදි කෑල්ලක් හරි දීල මේ ගාණට උස් මහත් වෙන්න අපිට උදව් කළේ උං. තමුංගෙ උං අපි බඩ ගින්නට කන්න කියල හිටෝගත්ත කිරි අල පඳුරු දෙකත් මදුරුවො බෝ වෙනව කියල ගලෝල විසි කරද්දි මොනා හරි වවා ගනිල්ලා කියල බිම කොටන්න උදැල්ලක් පවා ගෙනත් දුන්නෙ උන්. තමුංගෙ එවුං අපි පාඩං කරනවට ලයිට් එකක් දාල නොදී ඉද්දි  තමංගෙ සල්ලි වියදං කරගෙන මේ ගෙදර තීන්ත ගාල අලුත් කරල දුන්නෙ උං. ඉපදිච්ච දවසෙ ඉස්පිරිතාලෙ ඇඳේ මිසක් මේ වෙනකල් ඇඳක නිදා ගෙන නැති මට පරණ ඇඳක් ගෙනත් හයි කරල නිදාගනිං කියල කිව්වෙ උං. ඉතිං එහෙව් උං දන්නැද්ද අපි අතරෙ තියෙන සම්බන්දකං ගැන…අමුතුවෙං ගිහිං ඒ මිනිස්සුංගෙ කනේ කේලං ටික තියන්න ඕන කමක් නෑ. මේ ගෙට ගොඩ වුණාම පේන්නැතිනෙ අපි අතරෙ තියන සම්බන්දකං ගැන. දෙයියංගෙ නාමෙට දැන්වත් අපිට අපේ පාඩුවෙ ඉන්න දෙනවද…අවුරුදු දහ අටක් තිස්සෙ තිබ්බෙ නැති නෑ කමක් දැන් මොකටද…අපිට එහෙම නෑ කමක් අලුත් කර ගන්නවත් පවත්තන්නවත් කිසී ඕන කමක් නෑ”

ආච්චි මමී අහසින් පොළොවට වැටුණා සේ කම්පිත ව බලා සිටියා ය. මට සිතුණේ මල්ලී ව බදා වැළඳ ගන්නට ය. හැමදාමත් මගේ හිතේ තිබුණා වුණත් කවදාවත් කියා ගන්නට මට දිරියක් නැති ඒ සියල්ල ඔහු වක්කඩ කැඩුවා සේ කියා ගෙන ගියේ ය.

“යක්…කෝ…මූ බලපංකො”

කියා ගෙන ආච්චි මමී පුටුවෙන් නැගිට ගත්තා ය. 

“වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩං වැටෙනව කියන්නෙ මේවට තමයි”

කියමින් පරණ සාරියේ පොට ඉනේ ගසා ගත් ඕ තොමෝ ගස්සාගෙන ඉස්සරහා මිදුලට බැස්සා ය.

“යමං වසන්තියො යන්න. මනුස්සකමට මුංගෙ දුක සැප බලන්න ඇවිත් මදැයි අහ ගත්ත හරිය. ඉහට වහළක් හම්බ වුණයි කියල මුංගෙ ඌස්නෙ බලහල්ලකො. හරියට මේව ඔප්පු තිරප්පු වලින්ම ලියල දීල වගේනෙ. හම්බ වෙද්දෙන්කො නන්දනී මං කියන්න ඕන හරිය කියන්න”

“අනේ මේ අනුංගෙ ඒවයෙ ඔප්පු තිරප්පු අපට ඕන නෑ. හැබැයි අපිට අයිති එකේ ඔප්පු තිරප්පු වෙන් කරල ලියල දෙන්න ලෑස්ති වෙලා හිටියොත් හොඳයි”

මල්ලී ඉස්තෝප්පුවට විත් කීවේ ය. මම ඔහු ගේ අතේ වැලමිට සන්දියෙන් අල්ලා ඔහු වැලකීමේ උත්සාහයක් ගතිමි. ආච්චි මමී වඩාත් පරල වූවා ය.

“ආ වරකො ලියල දෙන්න බොට.  උරුමෙ ඉල්ලගන්නයි මූ මේ බලං ඉඳල තියෙන්නෙ”

ආච්චි මමී කියවමින් ගේට්ටුව වෙතට ම ගියා ය.වසන්ති පුංචී ඇය අනුව පසුපසින් නික්මුණා ය. “එන්නං නිබ්බුතා” කියා ඇය මට කීවේ අභිනයෙනි.

“ආයෙ ඒක අරගෙනම තමයි පස්ස බලන්නෙ”

ආච්චි මමී මදුරාපුර මැදුරට මොන විදිහේ ආරංචියක් දෙනු ඇත්ද යන බිය මසිත් හි නොවූවා ම නොවේ. නමුත් ළමයින් දෙදෙනා තරමට ඒ දෙමව්පිය දෙදෙනා ගමේ මිනිසුන් ඇසුරු නොකරන නිසාවෙන් එවන් අවස්ථාවක් උදා නොවනු ඇතැයි මල්ලී විශ්වාසයෙන් කීවේ ය.

ලෝචන මදුරාපුර අප මේ ගෙදර පදිංචි වූවාට පස්සේ වැඩිපුර මෙහි යන එන එක අඩු කළේ ය. ඉස්සර නම් ඔහු මල්ලී සමග ක්‍රිකට් ගසන්නට ආවේ ය. මගෙන් ප්‍රේමය විමසන්නට පෙර වී ද ඔහු ගේ ඇස් ගුරු පාරේ සිට අපේ ගේ පැත්තට දැල්වෙන හැටි මම බලා ඉමි. ඔවුන් ක්‍රිකට් ගසනාතරවාරයේ පේන මානයක හිඳ පොතක් බැලීම මගේ සිරිත ය. නමුත් පොත කියවූවා ද හෝ කියවූ යමක් හිතේ රැඳුණාද කියන එක වෙන ම ප්‍රශ්නයකි. 

දුරින් හිඳ හෝ දවසකට දෙකකට වරක්වත් ඔහු දකින්නට තිබුණා නම් කියනා සාංකා සිතිවිල්ල මා තුළ දැන් දැන් වැඩිපුර පහළ වේ. උදේ කාලයේ දී සුබ පැතුම් හා බුක් මාක් තනනු මිස මා දැන් අම්මා සමග මදුරාපුර මැදුරට යන්නේ නැත. ලෝචන හා මා ගැන ඉඟියක් වැරදීමකින් හෝ ඒ ගෙදර ඇත්තන්ට හැඟේවී යන නිශ්චිත බිය ඊට හේතුවයි. නමුත් බාච්චු ගවුමක් හැඳ ගත් කොස්ස තරම් වත් උස නැති කුඩා කෙල්ලක, වරින් වර ගවුම් කර අතින් ඔසවමින් බිම අමදින ගමන් ඒ සුන්දර කාමරය දෙසට බැලුම් හෙළනා අතීත මතකයක් හැම මොහොතක ම හිතේ එහෙ මෙහෙ වේ. නොස්ටැල්ජියානු හීනයක ඇස් පියාගෙන විනාඩි කිහිපයක් ජීවත් වීම තුළ වන්නේ වෙනම ම මිහිරකි. අතීතය ගෙවී අවසන් වී ද අතීත කාමය මුළුමනින් බිඳ හෙළීම පහසු නැත.

වැස්ස අතරින් ම ගේට්ටුව ළඟ රියක් නැවතෙනවා පෙනිණ. මඳ වෙලාවකින් වෛවර්ණ කුඩයක් ගේට්ටුවට මත්තෙන් පෙනිණ. වැඩ කරන දිනයක ලෝචන මෙහි පැමිණිය නො හැකි බව යටි හිතෙහි වූයෙන් මේ කවුද යන ගැස්ම වළකාලිය නො හැකි විය. අවන්ත හිතට එන එක ද අසාමාන්‍ය දෙයක් නොවිණ. නමුත් ගේට්ටුව විවර කර ගෙන ඇතුළට ආවේ වෙනකෙකු නොව ලෝචන ම ය. මන්දාරම් අහසේ වැහි අඳුර අතරින් ම හිරු පායා ආවා වන් උණුහුම් ප්‍රභාවක් හදට දැනිණ. ඔහු කුඩය යටින් ගෙට ගොඩ වෙන්නත් පෙර ම මම කුඩයක් නැතුව ම මිදුලට බැස සිටියෙමි. අප එක කුඩයක් යටට වූයේ විශ්වයේ කැරකෙමින් පැවති ආකර්ෂණ නීතියකට යටත්ව යයි සිතමි.

“ඇති යන්තං”

මම නතර වී ඔහු ගේ මූණ දෙස බලා ගෙන කීවෙමි.

“ඇයි…”

“මං හිතුව ආයෙ කොහොම කවදා දකින්න හම්බ වෙයිද දන්නෑ කියල”

“වැඩ ටිකක් වැඩි වුණා නිබ්බුතා. ලොකු කන්ස්ට්‍රක්ශන්ස් වගයක් යනව මේ දවස් වල. දවසම සයිට්ස් වල. මේ පේන්නැද්ද කළු වෙලා…”

“සුදට හිටිය වගේ”

මම සිනහවකින් විකසිත වෙමින් කීවෙමි. ලෝචන ඇස් පිය නො සලා ඒ සිනහව තුළ දිය වූයේ ය.

“මට ගෙට කතා කරන්නෙවත් නැද්ද ඉතිං…”

අප සිටින්නේ මිදුල මැද වැස්ස අතරින් කුඩය යට බව මට සිහි වූයේ ඒ වෙලාවේ ය. 

“ඔෆිස් යනව වගේ ආවෙ. උදේවත් නිකමට ඇඟෙව්වෙ නෑ අද නිවාඩු දැම්ම කියල..නැත්තං ඕගොල්ලංගෙ අම්ම පණ ගැහි ගැහි ඉඳී කෙල්ල තනියම ගෙදර ඉද්දි මං එයි කියල. නැත්තං ඔක්කෝටම කලින් එයා නිවාඩුවක් දාල එයි”

ලෝචන ගෙට ගොඩ වූයේ එහෙම කියමිනි. මම හොඳට ම සිනහ වීමි. නමුත් ඒ සිනහවේ සැඟවුණ සීතල ගැස්මක් තිබුණ බව මට දැනෙන්නේ දැන් ය. ඒ සීතල ඒ අකල් වැස්සට අදාල වූවක් නොවේ. මම ඔහු ගේ සීතල හිනාවට ආත්මයේ ගැඹුරෙන් ම ඒ වෙලාවේ උමතු වෙමින් සිටියෙමි. ඒ සිනහව මේ මොහොතේ හදිසියෙන් දුටුවක් නොවේ. නමුත් ඒ උමතුව හරි හදිසියේ ඇති වූවකි. මගේ සිනහව ඒ උමතුව ඔහු ගෙන් මතු නොව මගෙන් පවා සඟවා ගන්නට දැරූ ගැහැනු වෑයමකි.

“කෝපි හදන්නං…”

එසේ විමසමින් මා ඉක්මනින් කුස්සියට රිංගා ගත්තේත් මෝසම් සුළගක් වගේ හිත කැළඹෙමින් තිබි නිසාවෙනි. වතුර ලිපේ තියා මා ආපසු හැරෙත්දී ලෝචන කුස්සියේ උළුවස්ස උඩ ඇද වූ ඉරියව්වක හිඳිමින් මදෙස බලා සිටියේ ය. පිරිමියෙකුගේ එහෙව් පිරිමි පෙනුමක් ගෑනුකම් වෑහෙන ගෑනු හිතක පත්ලේ ටර්නාඩෝ කුණාටු කරකවන බව ඒ වෙලාවේ මම නො දැන සිටියෙමි. ඔහු ඉදිරියේ අහිංසක භූමිකාව තුළ පවතින්නට ඕනෑ වූයේ යම් සේ ද මා නගා ගත් සිනහව එබඳු ය. නමුත් ලෝචන ගේ මුහුණේ ඒ වෙලාවේ වූයේ සිනහවක් නොව ඊටත් වඩා හැඟීම් දනවන සිනහවෙන් තොර බැල්මකි.

“මො…කද…ඔහොම බලන්නෙ…”

නැලවිලි ස්වරයකින් එසේ අසමින් මම ඔහු වෙතට ම වීමි. ගොදුරක් වෙන්නට යනවායි ඉව වැටෙත්දී එතැනින් ගැලවී පැන ගන්නා සියුම් ඉවක් කුඩා සාවියකයට වුව වන්නේ ය. නමුත් ප්‍රේමයේ ගොදුරක් වීම ස්ව කැමැත්තෙන් සිදු වීම ලෝක ධර්මයයි. අවන්ත මදෙස බැලූ බැල්මක්  පිළිකෙව් කළ හදවත, ලෝචන ගේ බැල්මක් තුළ ඉසියුම් ඉවසීමක තත් පිරිමැද්දේ එසේ ගොදුරු වීමට ඇති කැමැත්ත නිසා බව දැන් මම දනිමි. අකමැත්තෙන් හෝ බලහත්කාරයෙන් පිරිමියෙකු සිය මුහුණ ඉඹිත්දී මෙන් නොව ස්ව කැමැත්තෙන් පිරිමියෙකුට එසේ කරන්නට හැරීමේදී සිරුර තුළ රළ නගා යන ස්ඵන්දන තරංග වල සංඛ්‍යාතය වෙනස් බව මා දැන ගත්තේ ඔහු ගෙනි. 

ලිහිල් ව ගොතා තිබූ මගේ වරල තුළ, සවනට පිටුපසින් ලෝචන ගේ දිගු ඇඟිලි රිංගා යනු මට දැනිණ. ඔහු ගේ දෙතොල් වල සීතල කොපුලක් මත හැපෙනු මට දැනිණ. මම මගේ දෑත ම ඔහු ගේ බඳ වටා යවමින් තව තවත් ඔහු ට ලං වීමි. 

වැස්සේ හඬ උස් ව නැගෙන්නට ගත්තේ ය. එතෙක් වැස්සේ නැත්ද? නැත්නම් පායා තිබී අලුතෙන් වහින්නට පටන් ගත්තා ද? වතුර කේතලය උතුරනු මට ඇහෙන්නට ගති. ඉස්කෝලේ ඇරී මල්ලී ගෙදර එන්නට වෙලාව හරි ඇතැයි මට සිතුණේ ය. මම ලෝචන ගෙන් මිදී ගතිමි.

“කෝපි”

ඔහු නෝක්කාඩු බැල්මක් හෙලුවේ ය. මා කෝපි හදත්දීත් ලෝචන වරින් වර කොණ්ඩා කරලත් ගෙලත් සිප ගනිමින් සිටියේ ය.

අප කෝපි බීවේ ඉස්තෝප්පුවේ ප්ලාස්ටික් පුටු තියා ගෙන ය. වැස්සත්, කෝපි සුවඳත් ඔහු ගේ ප්‍රේමයේ දඩබ්බර බවත් අමුතු රෝමාන්තික බවක් සිත්තම් කොට තිබිණ. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles