සහෝදර පෙම

කල්හාරි ගෙට ගොඩ උනේ දොර වහන ගමන්.කැබිනට් එක උඩ තිබුණ ජංගම දුරකථනය පරීක්ෂා කරනකොටයි ඇය දැක්කේ අනුරගෙන් මගහැරුන ඇමතුම් කීපයක්ම තිබුනා කියලා.කල්හාරි වතුර එකක් බොන ගමන්ම  අනුරට ඇමතුමක් ගත්තා 

” කොහෙද කල්හාරි ඔයා මෙච්චර වෙලා හිටියෙ ? මොබයිල් එක ආන්සර් කරන්නෙ නැති නිසා මම ලෑන්ඩ් ලයින් එකටත් ගත්තා ” 

අනුර ගේ හඬේ තිබුණේ කලබලකාරී බවක් 

” මං එහා ගෙදර විමලා අක්කත් එක්ක කතා කර කර හිටියේ අනේ. ගේට්ටුව ගාව හිටපු නිසා ෆෝන් දෙකම රිං වෙනවා ඇහුණෙ නැහැ. ඔයා දන්නවාද , අර කඩේ බියංකාගෙ කෙල්ල පැනලා ගිහින් නේ ” 

කල්හාරි කිව්වෙ සමච්චල් සහගත ලෙස සිනාසෙමින් 

” මේ. මම ඔයාට ගත්තෙ ඔය ඕපදූප අහන්න නෙමේ. අන්න ගිම්හානිගේ බෝයිෆ්‍රෙන්ඩ් , අසංක accident වෙලාලු.ඔයාලගේ අම්මා කෝල් කරල මට කිව්වේ. පොඩ්ඩක් ගෙවල් පැත්තේ ගිහින් බැලුවා නම් හරි, මමත් කලින් එන්නම් ” 

ටික වෙලාවකට කලින් කල්හාරි ගේ අම්මා ඇඬූ කඳුලින් කියපු ආරංචිය අනුර කල්හාරි ට කිව්වේ ගිම්හානි කියන්නේ කල්හාරි ගේ එකම නංගි නිසා

” ආ. wedding එකත් අත ළඟ තියාගෙන අසංක මොනවා කර ගන්නවද මන්දා. කොහොමත් ඉතින් වාහනය අතට ගත්තටම එයා පියාඹනවනේ ” 

සිද්ද වෙලා තියෙන දේ ගැන කල්හාරි ට ඒ තරම් ගානක් නෑ කියලා අනුරට වැටහෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ 

” මේ. මේක පොඩි ඇක්සිඩන්ට් එකක් නෙමෙයි.අසංක ICU  එකේලු. ඔයා අම්මට කෝල් එකක් දීලා ඉක්මනට ගෙදර යන්න. අම්මා ගෙදර ෆෝන් එකට අරන් තිබ්බා. ඔයා ආන්සර් කරල තිබ්බෙ නැති නිසා තමයි මට ගත්තෙ “

” මම ගිහින් මොනව කරන්නද අනේ ? අනික මට බෑ මේ දවාලේ බස් ගානේ රස්තියාදු වෙන්න. ඔයා ආවාම අපි හවස් වෙලා යමු.අම්මට කෝල් එකක් දීලා බලන්නම්කෝ මම ” 

අනුර දුරකථන ඇමතුම විසන්ධි කළේ කල්හාරි ගේ හැටි දන්න නිසා. කල්හාරිට ගිම්හානි එක්ක එක්ක තියෙන තරගය මේ වගේ වෙලාවකදි වත් වෙනස් වෙන්නේ නෑ කියලා අනුරට තේරුණා 

” අපේ නංගි හිතාගෙන ඉන්නේ මහ ඉහළින් wedding එක ගන්න. ඕවා මහා විකාර අනේ ” 

කල්හාරි උදේ කෑම කන ගමන් කියපු හැටි අනුරට මතක් උනා

” එයාලා දෙන්නා ඉතුරු කරපු සල්ලි තියනවනේ. ඒ නිසා එයාල ආස විදිහට wedding එක අර ගනි.අපිත් ඔය පුළුවන් විදිහට මොකක් හරි උදව්වක් කරමු ” 

සාමාන්‍ය රජයේ රැකියාවක් කරපු අනුර වියදම් කළේ බොහොම අරපිරිමැස්මෙන්. රැකියාවක් නොකරපු කල්හාරි හැමවෙලාවෙම උත්සාහ කළේ තමන් සතු දේවල් වලට වැඩිය දේවල් තියනවා කියලා හැමෝටම පෙන්වන්න 

” අසංකට හොඳටම අමාරුයි ලොකු දුව. ඔයා පොඩ්ඩක් ඇවිල්ල නංගිත් එක්ක හිටිය නං තමයි හොඳ ” 

සීතා එහෙම කිව්වේ මොකක්දෝ නරක දේක සේයාවක් හිතට දැනෙමින් තිබුන හින්දා 

” මට මතක් වෙන්නෙම අසංක කාර් එකේ නැගලා උජාරුවට යන හැටි.එක අතකට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක ඔහොම උන එක හොඳයි ” 

කල්හාරි කිව්වේ ඇඟට පතට නොදැනී 

” මොනාද ලොකු දූ ඔය කියන කතා ? මේ වගේ වෙලාවක ඔහොම කියන්න හිත හදා ගන්නේ කොහොමද ? ” 

” නෑ ඉතින් මං කිව්වේ ඇත්ත නේ. අපි තාම කුලියට ඉන්නවා , නංගි අලුතෙන් ගෙයක් හදනවා කියලා අම්මා මට කොච්චර නම් දේවල් කිව්වද ? දැන් තේරෙනවද ? ” 

” මම ඔයාට නරකක් කිව්වද ? මම කිව්වේ කීයක් හරි ඉතුරු කරගෙන තමන්ට කියලා තැනක් හදාගන්න කියලා. මම එහෙම කිව්වේ ඔයා wedding එකට අරගත්ත ලෝන් එකත් තාම ගෙවන නිසා. ඔය ලෝන් එක ගත්තෙ නැත්තං ඔය දෙන්නට මේ වෙනකොට ගෙයක් හදාගන්න තිබුනනෙ ” 

” හහ්. අම්මටත් ඉතින් හැම වෙලාවෙම ලොකු වෙන්නේ නංගිගේ ලොකුකම නේ. අම්මා තමයි එයාව හුරතල් කරන්නේ. දැන් දැක්කනේ වෙච්ච දේ ” 

සීතාට තමන්ගේ වැඩිමහල් දියණිය ගැන දැනුනෙ කළකිරීමක්. හැම වෙලාවෙම අනිත් අයගේ අඩුපාඩු දකින කල්හාරි ගේ ගතිගුණ ගිම්හානිට ගෑවිලාවත් තිබුනෙ නැති නිසා සීතා ගිම්හානි ගැන හිතලා හිත හදාගත්තා. 

” අසංක නැති වෙලා ” 

රෝහලට යන්න සූදානම් වෙලා ඉන්න කල්හාරිට ඒ ආරංචිය ගෙනාවෙ අනුර

” දැන් ඉතින් අපි ගිහින් වැඩක් නැහැනෙ ? ” 

කල්හාරි කිව්වේ පීරලා තිබුණ කොණ්ඩය ආපහු පුරුදු විදිහට ගැටගහගන්න ගමන් 

” නොගිහින් කොහොමද කල්හාරි ? ඒ ඔයාගේ නංගි බඳින්න හිටපු මනුස්සය. මේ වෙලාවේ ඔයා ගෙදර අය එක ඉන්න ඕනේ නැද්ද ? ඔයා යුතුකම් කියලා දෙයක් දන්නෙම නැද්ද කල්හාරි ? ” 

අනුර තරමක් තරහෙන් ඒ විදිහට අහපු නිසා කල්හාරි ආපහු ලෑස්ති උනා.සීතාගෙන් අහගත්ත මග සලකුණු වලට අනුව අසංකගේ ගේ හොයාගෙන කල්හාරිත් අනුරත් ආවේ අඳුර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි. හැඬූ කඳුළින් ඉන්න තමන්ගේ නැගණියව දැකලා කල්හාරි හෙමින් සැරේ එතනට ගියා.

” අනේ අක්කේ ” 

ගිම්හානි තමන්ගේ සොහොයුරියව වැළඳගෙන හඬන්න පටන් ගත්තා

” මොනවා කරන්නද නංගී. අසංක ගෙනාපු ආයුෂ එච්චර වෙන්න ඇති ” 

ඒ වචනවලින් විතරක් හිත හදාගන්න ගිම්හානිට පුළුවන් වුණේ නැහැ. දින දෙකක් ඇතුළත අවමංගල්‍ය උත්සවයේ කටයුතු ඉතා චාම් ලෙස අවසන් කරන්න පවුලේ අය වගේම නෑදෑ හිතවතුන් හැමදෙනාම කටයුතු කළා.අසංක කියන්නේ ගුණ යහපත් තරුණයෙක් නිසා ඔහු වෙනුවෙන් කළ යුතු දේවල් කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වෙලා තිබුණා. 

” දැන්වත් අපේ නංගිගේ ලොකුකම බැස්සොත් ඇති ” 

කල්හාරි කිව්වේ අවසන් කටයුතු වලට සහභාගි වෙලා ගෙදර ආවට පස්සෙ 

” එයාගෙ තිබ්බ ලොකු කමක් නෑ කල්හාරි. ඔයාලගේ අම්මා කියන්න වගේ ගිම්හානි කියන්නේ තමන්ගේ අනාගතය ගැන හිතලා හැමදේම plan කරලා වැඩ කරපු ළමයෙක්. ඔයාට එහෙම කරන්න බැරි වෙච්ච නිසා තමයි ඔයා නංගිට ඔය විදිහට සලකන්නේ ” 

අනුර කිව්වේ දැඩි හඬකින් 

” ආ.. අපේ අම්මා ඔයාගේ ඔලුවටත් එක එක ඒව දාල ද කොහෙද. අසංකට අරක තියනවා මේක තියෙනවා කිය කිය නංගි කයිවාරු ගහපු හැටි ඔයාට මතක නැද්ද ? ” 

” කයිවාරු ගහන එක වෙනයි , තමන් ට කියන දේවල් ගැන කියන එක වෙනයි කල්හාරි “

අනුර තුවාය අරගෙන නාන කාමරයට ගිහින් දොර වහගත්තා. 

” හහ්. කසාද බඳින්න කලින් පෙන්නපු ලොකුකම් වල හැටියට ඔහොම වෙලා මදි අපේ එකීට. ඔක්කොටම පේන්නත් එක්ක මේ පාර අපේ ඇනිවසරි එක ලොකුවට ගන්න ඕනේ ” 

කල්හාරි එහෙම හිතුවේ මල ගෙදරින් අරගෙන ආව සීනි පාර්සලය සීනි බෝතලයට දාන ගමන් 

අසංකගේ තුන් මාසයේ දානය ඉවරවෙනකොටම ගිම්හානි ඔහු එක්ක එකතු වෙලා හදන්න පටන් අරන් තිබුණ අලුත් නිවසේ වැඩකටයුතු ඉවර කරලා තිබුණා.

” එයාටනම් boyfriend මැරුණා කියලා ගානක්වත් නැද්ද කොහෙද ? ඒ තකහනියේ ගේ හදලත් ඉවර කරලා “

ගිම්හානි ඇගේ අලුත් නිවසේ වැඩ කටයුතු ඉවර කරපු ආරංචිය දැනගත්තාම කල්හාරි හිතුවේ එහෙම 

” ලොකු දුව. නංගි ලබන මාසේ රට යනවා ” 

සීතා කිව්වෙ කල්හාරි දුරකථන ඇමතුමක් දුන්න වෙලාවක 

” ඒ මොකද මේ හදිස්සියේ ” 

” නංගී වැඩ කරපු තැනින් තමයි එයාව යවන්න ලෑස්ති කරලා තියෙන්නේ. දැන් ඉතින් අසංක ත් නැති නිසා නංගි ඒ ගමන යන්න කැමැති වුණා. පුළුවන්නම් නංගි යන්න කලින් ඇවිල්ලා එයාට කතා කරලා යන්න ” 

” අපිට නම් එන්න වෙලාවක් නැහැ අම්මේ.අනුරටත් මේ ටිකේ ගොඩක් වැඩ ” 

තමන්ගේ පෙම්වතාගේ මරණයේ වේදනාවත් අරගෙන ගිම්හානි විදෙස් ගත වුණා. ඇයට සමු දෙන්න හිටියේ කවුද , නොහිටියේ කවුද කියලා හිතන්න ඇය වද වුණේ නැහැ 

ගිම්හානි විදෙස්ගත වෙලා සති කිහිපයකට පස්සේ කල්හාරි අනුරත් එක්ක මහ ගෙදරට ගොඩ උනා. 

” ඔයාට ඉතින් එන්න වෙලාවක් තිබුණෙ නැහැ කියලා කියපු නිසා කරදර කරන්න ගියේ නැහැ මං. නංගි යනකොට මේක ඔයාට දෙන්න කියලා ගියේ ” 

සීතා අල්මාරියෙ තිබුන ලිපිගොනුවක් අරගෙන කල්හාරිගේ අතේ තිබ්බා.කල්හාරි අනුරත් එක්ක ඒ ලිපි ගොනුව විවෘත කරලා බැලුවේ කුතුහලයෙන් 

” නංගි එයා අලුතෙන් හදපු ගෙදර ඔයාට ලියලා ” 

අනුර කිව්වේ සුසුමක් හෙලන ගමන්.ඒ සුසුම්වල තිබුණේ තමන් විසින් තමන්ගෙම නංගිට කියපු ඇනුම්පද වල බර කියලා  කල්හාරිට හිතුනේ දෑස් වලින් එක පේලියට කඳුළු කඩාගෙන වැටෙනකොට.

More Stories

Don't Miss


Latest Articles