නිබ්බුත ගීත -41

වෛද්‍යවරියක ලෙස මට ප්‍රථම පත්වීම ලැබුණේ රජරට ප්‍රාදේශීය රෝහලකට ය. හැම තත්පරයක ම කුමක් හෝ වැඩක නිරත වෙමින් මාව අමතක කරන්නට ඕනෑ වී තිබි නිසා ඒ වගේ දුෂ්කර පෙදෙසක දුක් විඳින මිනිසුන්ට සේවය කිරීමට අවස්ථාව ලැබීම මම භාග්‍යයක් කොට සැලකුවෙමි. මේ වෙත්දී මාත් එක්ක වෛද්‍ය පීඨයේ උගත් මිතුරු මිතුරියන් හැම කෙනෙක් ම වාගේ විවාපත් වෙමින් සිටියහ. දන්නා කියන අය මගේ ප්‍රමාදයට හේතු විමසීම වැළකිය හැකි වූයේ නැත. ඒ නිසා මේ විදිහට ඈත පලාතක තනි වීම හිතට සැනසිල්ල ගෙනාවේ ය. ගෙදර හිටියොත් අම්මා ද විවාහයක් ගැන දිනකට කිහිප වර මතුරන්නට වූවා ය. මල්ලී ද විවාහ වීම සඳහා මේ වෙත්දී තරුණියක තෝරා ගෙන සිටියා ය. ඇය අපේ ගෙදර යමින් එමින් ද මල්ලී ගේ ව්‍යාපාර කටයුතු වලට උදව් වෙමින් ද සිටි අතර එය මගේ මහත් සැනසිල්ලට හේතු විය.

“මල්ලි දැන් ඉතින් බැන්දනං හරිනෙ. මදූ ගෙදරම නතර වුණානං මගෙත් හිතට ඒක සැනසිල්ලක්. අම්මව බලා ගන්න හරි ගෙදර තව ගෑනු කෙනෙක් ඉන්න නිසා”

ගෙදර ගිය වෙලාවක හවසක තේ බොන අතරේ මම මල්ලී ට කීවෙමි. සාප්පුවේ වැඩට ළමයෙකු ගෙන සිටි නිසා දැන් ඔහු ඒ වැඩ වලින් මඳක් නිදහස ලබා සිටියේ ය. මා ඒ ප්‍රකාශය කළ විට මල්ලී මදෙසට හෙලුවේ දැඩි බැල්මකි.

“මං බඳින්න කලින් සුදූ බැඳල ඉන්න එපැයි”

මම මඳහසකට ඇවිත් මුහුණේ නතර වෙන්නට ඉඩ හළෙමි.

“එහෙම එකක් නෑ. ගෑනු ළමයෙක් ඉන්න නිසා ඔයා බඳින්න. මං කෙනෙක් හොයං ඉන්න එපැයි. මදූ වගේ ළමයෙක් මේ ගෙදරට එන එක ලොකු දෙයක්. මට ඔය දෙන්නා ගැනම හිතේ බරක් නෑ එතකොට”

“ඔයා ගැන අම්මගෙයි මගෙයි හිත් වල තියෙන බර ගැන ඔයාට දැනෙන්නැද්ද සුදූ…”

මල්ලිගේ ඒ ප්‍රශ්නයත්, එය විමසීමේ දී ස්වර තානයෙහි වූ රිද්මයත් යන දෙක මා පොළොවට ම සමතලා කොට දමනා ලදී. මට බිම බැලිණ.

“ඔයා ගැන බලන්නැතුව මට බඳින්න කියලද කියන්නෙ…”

“හරි ඉතිං…මං බඳිනව. ඒක කොයි වෙලේ වෙයිද කියන්න බෑනෙ”

“උසාවියෙදි ගමේ කට්ටියක් හම්බ වෙලා ඇහුව නිබ්බුතා බැන්දද කියල. මං ඔව් කිව්ව”

හිතේ ඔඩු දුවමින් පැවති මූසල ගතිය පහ ව යන්නටත් එක්ක මම හඬ නගා සිනහ වීමි.

“ඒක හොඳයි. ඕන කෙනෙක්ට එහෙම කියන්න”

“ඒක ඇහිල මහ ගෙදර ගෑනු බලං හිටියෙ ඇස් හතරෙන්. මුං අපිටත් නොකියා මගුල් කෑව එහෙනං කියල දැං බණිනව ඇති”

මහ ගෙදර අය දැන් අප සමග බද්ධ වෛරයකින් පසු වෙති. අම්මා ගේ කොටස ඉල්ලා මල්ලී දැමූ නඩුව නිසා ඔවුන් ගේ බොරුව ලෝකය ඉදිරියේ නිරුවත් විය. මහ ගෙදර ඔප්පුව තිබී ඇත්තේ සීයා ගේ නමට නොවේ. ඔහු ගේ මුල් බිරිඳ නොහොත් අම්මා ගේ මව ගේ නමට ය. සීයා මිය ගිය පසු මහ ගෙදර කට්ටිය එකතු වී හොර ඔප්පුවක් ද සාදා ගෙන බොරුවෙන් රජ වී සිටියහ. එහි සැබෑ උරුම කරුවා වන අම්මා ව දර මඩුවට දැමූහ. දැන් නඩුව එහි අවසාන භාගයට එළඹ තිබේ. මීළඟ නඩු වාරයේ දී මහ ගෙදර අම්මාට භාර දෙන ලෙස අවසාන තීන්දුව ලැබෙනු ඇති බව මල්ලි ගේ නීතීඥයා පවසා තිබේ. මල්ලී කියන්නේ ඒ පැත්ත පලාතේවත් පදිංචි වීමට ඔහු ගේ අදහසක් නැති බවයි. මහ ගෙදර හා ඉඩම විකුණා අප දෙදෙනා වෙනුවෙන් යාබද ඉඩම් දෙකක් මිල දී ගන්නට ඔහු බලාපොරොත්තුවෙන් සිටී. ඔහු මහ ගෙදර පැත්ත පලාතේ යන්නට නොසිතන හේතුව මට එහි දී ලෝචන වැඩි වැඩියෙන් සිහි වෙන එක වැලැක්විය නො හැකි වීමය කියා මම දන්නෙමි.

“මට මොකටද ඉඩං…මට ඕනැති දෙයක් නෑ. ඔයා හොඳ තැනකින් ඉඩමක් අරං ගේ හදන්න. අම්මට ඔයාල ළඟ වෙනසක් නැතුව හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න විතරයි මට ඕනෙ”

මහ ගෙදර අයිතිය අපට ලැබුණා කියා විශේෂ සතුටක් දැන් මට නැත්තේ ය. මීට කලකට පෙර නම් එවන් සතුටකට ඉඩ තිබුණ ද මේ වන විට මම ඒ වයස පසු කොට විත් සිටිමි. ජීවිතය එහෙම ය. කාලය ජීවිතයේ හැඩය ද වර්ණය ද වෙනස් කරයි.

අනිත් අතට බුද්ධ දර්ශනය යනු තදින් මා අදහන ධර්මයකි. අද අප විඳිනා බොහොමයක් දේ අප විසින් සසරේ එක් රැස් කර ගන්නා ලද කුසල අකුසල කර්ම වල විපාක යයි මම තරයේ විශ්වාස කරමි.  යම් අකුසල කර්මයක් වුව අහෝසි කොට දැමිය හැකි කුසල කර්ම වැඩිය යුතු යයි දැන් මම තදින් සිතමි. එහෙව් කුසල කර්මයක් තිබුණේ වී නම් ලෝචන මට අහිමි කරන්නට හේතු වූ අකුසල කර්මය අහෝසි කොට දමන්නට තිබිණි ද?

ලෝචන මදුරාපුර දැන් මගේ හිතේ ඉන්නේ කොතැනක කවර වේශයකින් ද යන පැනය මගේ ය කියනා දෙතුන් දෙනා වන මල්ලී, අම්මා හා සඳනි ගේ සිත් තුළ වන බව මම දනිමි. දවසකට එක වතාවක් හෝ, අඩු ම තරමින් නිදන්නට මොහොතකට පෙර යහනේ සිට හෝ සඳනි මට දුරකතන ඇමතුමක් දෙයි. නැතහොත් මම ඇය අමතමි.  ඒ කිසිවෙකු ලෝචන පිළිබඳව කෙළින් මා නො විමසති. නමුත් මගේ හිත ගැන යම් හෝඩුවාවක් දැන ගැනීමෙන් මඩනා ලද සිත් වලින් පසු වෙති. මම ඔවුන් වෙත කිසිදු සලකුණක් ශේෂ නොකරන සේ කතා කරන්නට පරිස්සම් වෙමි.

එනමුදු මගේ හිතෙන් සැඟවී ගන්නට මට හැකි වූවා නොවේ. ලෝචන මදුරාපුර ට දැන් මගේ හිතේ තියෙන්නේ කොයි වාගේ ඉඩක් දැයි අමුතුවෙන් හිත විමසන්නට මට උවමනා නැත. මේ මොහොත වන විට ඔහු කොහේ කොතැනක කා ළඟ සිටිනු ඇත්දැයි මම නොදනිමි. උන් හිටි ගමන් ඔහු මා හැර දමා ගියේ ඇයි ද කියාත් මම නොදනිමි. නමුත් එක දෙයක් හොඳාකාරව මම දනිමි. ඒ සදාකල් මා පෙම් කරනු ඇත්තේ ඔහු ට පමණක් වන බවයි.

මම ඔහු ගැන හිතමින් ඉන්නට මොහොතක් හෝ ගත නොකරමි. සැබවින් මට උවමනා ඔහු ගැන නො හිතා ඉන්නට ය. නමුත් හුස්මේ පැටලී ගෙන හැම තත්පර සියයෙන් පංගුවකමත් ඔහු හිටියේ ය. එදා මෙදා තුර මට හමු වූ කිසිවෙකු, ලෝචන මදුරාපුර ව විස්ථාපනය කොට මගේ හිතේ ඔහු අල්ලා ගෙන ඉන්නා ඉඩ අයිති කර ගන්නට සමත් නොවුණේ ය. එය එසේ වීද හැම දා ම තනිකඩ ව සිටිය හැකි දැයි මම නො දැන සිටියෙමි. අම්මා ගේ හා මල්ලී ගේ සතුට වෙනුවෙන් හෝ දිනෙක මට විවාහයක් කර ගන්නට සිදු වනු ඇත. 

ඒ සිතිවිල්ල ඔස්සේ දුරට දිගට සිතා ගෙන යත්දී මදුරාපුර මැතිණිය සිහි වීම වැළකිය නො හැකි ය. හදවතින් මිය ගිය ගැහැනියක ලෙස වුව ඇය බිරිඳක ගේ හා මවක ගේ භූමිකාව තුළ අති සාර්ථක ලෙස ජීවත් වූවා ය. එසේ නම් මට එසේ කළ නො හැකි ද?

තරිඳු වනසිංහ ගැන ඔබට කිව යුතු ම අවස්ථාව මේ යයි මම සිතමි. ඔහු මට හමු වන්නේ රාජාංගනය යාය එකොළහ ප්‍රාදේශීය රෝහලේදී ය. කොළඹ ප්‍රධාන බාලක පාසලකින් උසස් පෙළ සමත් ව පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් ඔහු වෛද්‍ය උපාධිය ලබා ගෙන තිබිණ. දුෂ්කර ජීවිත ගෙවන රජරට ජනතාව වෙනුවෙන්  උපරිම ව කැපවීමේ බලවත් උනන්දුවකින් ඔහු රාජකාරී කළේ ය. අප මුලින් ම හමු වූයේ අප දෙදෙනාගේ ම ප්‍රථම පත්වීම ඔස්සේ වී ද වෛද්‍ය පීඨ විශ්ව විද්‍යාල දෙකකට අයිති වුණ මුත් කොළඹ පාසල් වල අධ්‍යාපනය ලැබීම තුළ අප දෙදෙනා එක කුලකයකට වැටී තිබිණ. දෙදෙනාගේ ම ප්‍රථම පත්වීම ද ඔහු ට වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරන්නට තිබූ අධික උනන්දුව ද මට ලෝචන ගෙන් හිස් වූ ජීවිතයේ හිස් තැන් පියවා ගනු වස් වැඩ කිරීමට තිබූ උනන්දුව ද නිසා අප දෙදෙනා බොහෝ දුරට එකට පෑහිණ.  සමහර දවසක රෝහල තුළ රාජකාරී කිරීමෙන් නිදහස් වෙලාවට ඔහු ප්‍රදේශයේ ගැමි නිවෙස් බලා සිය කුඩා මෝටර් රථයෙන් ගියේ ය. එසේ ගොස්, සිය ශරීරයට වැළඳී ඇති විවිධ ව්‍යාධි හා කැක්කුම් වේදනා ඉබේම හොඳ වෙයි කියා සිතා වෛද්‍ය උපදෙස් නො පතා හිඳින ගැහැනු මිනිසුන් ද කුඩා දරුවන් ද පරීක්ෂා කළේ ය. අවශ්‍ය අය ව රෝහල කරා යොමු කළේ ය. 

ඔහු ගේ සමාගමය ද ඔහු ගේ චර්යාව ද මගේ සිත් ගත්තේ ය. අප කුඩා කල අසනීපයක් වැළඳුණ විට රජයේ රෝහලේ හෝ ප්‍රාදේශීය බෙහෙත් ශාලාවේ හැරුණ විට මුදල් ගෙවා පෞද්ගලික ව ප්‍රතිකාර ලද හැකි මගක් නොවූ හැටි මට මතක ය. බොහෝ විට පවුලෙන් එක්කෙනෙකු අසනීප වී ද ආණ්ඩුවේ ඉස්පිරිතාල පෝලිමේ අපි තුන් දෙනා ම කල් මරමින් දුක් වින්දෙමු. මා වෛද්‍යවරියක වී සිටියදී දුෂ්කර ගම්මානයක ප්‍රාදේශීය රෝහලක බාහිර ප්‍රතිකාර අංශය දකිත්දී ඒ අතීත මතක මගේ සිත ඉදිරියට පැමිණියේ නිරායාසයෙනි. අපේ අම්මා ද අපට බෙහෙත් ගත්තා ට ඇගේ අසනීපයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබන්නට රෝහල වෙත ගියේ ඉතා කලාතුරකින් බැරි ම වූ අවස්ථාවක ය. ඒ ගැන සිහි වෙත්දී මට තරිඳු ව පෙනුණේ දෙවියෙකු සේ ය. අම්මා අසනීපයෙන් දර මඩුවේ ගෙයි වැතිර කෙඳිරි ගාමින් සිටි හා කර කියා ගත හැක්කක් නොමැතිව මා හා මල්ලී අසරණ ව උන් වෙලාවක තරිඳු වාගේ දූතයෙකු එවන්නට දෙවියන් ට අමතක වූයේ ඇයි කියන සන්තාපයෙන් මඬිනු ලැබූ මම, මගේ උපරිමය ඒ අහිංසක රෝගීන් වෙනුවෙන් කළෙමි. අප දෙදෙනාට ම එක වර සේවයෙන් බැහැර ව සිටිය හැකි වූ වෙලාවක නම් තරිඳු සමග මම ද ඔහු ගේ වෛද්‍ය දූත ගමන් වලට සහභාගී වීමි.

“කොල්ලෙක් ඉන්නවද…නැති වෙන්න බෑ. ඩොකෙක්ද…”

කියා එහෙව් දවසක ඔහු අසන්නට ඇත.

“නෑ ඉංජිනේරුවෙක්”

මා එසේ කියා හයියෙන් සිනහ වූවා මතක ය. ඒ වෙලාවේ මගේ කම්මුල් සතුටෙන් පුපුරු ගැසුවේ ය. ඇස් වල තෙතමනයක් ද වන්නට ඇත. තරිඳු එක එල්ලේ මදෙස බලා සිටියේ ය.

“මොකක් හරි අවුලක්ද…”

ඒ බැල්මෙන් අනතුරුව ඔහු සන්සුන් ව ප්‍රශ්න කළේ ය.

“ඇයි අවුලක් වගේ ද…”

“මං ඉතිං මොනා වුණත් දැං දොස්තර කෙනෙක්නෙ නිබ්බුතා. ලෙඩෙක්ගෙ මූණෙං කියන දේවල් වලට වඩා නොකියන දේවල් තේරුං ගන්න හොඳ දොස්තරෙක්ට පුළුවන් කියල ඉස්සර අපේ ප්‍රොෆෙසර් කෙනෙක් කියනව”

“දැං ඔය කියන්නෙ මං ලෙඩෙක් කියලද…”

“අපි කවුරුත් එක එක විදිහෙ ලෙඩ වලින් ඔත්පල වෙච්ච මිනිස්සු”

මගේ අර ප්‍රබෝධවත් සිනහව අතුරුදන් ව යමින් තිබිණ. ඒ වෙනුවට අතීතයට අයිති ශෝකයක සෙවනැල්ලක් මුහුණ මත වැතිර ගන්නා සෙයක් මට දැනිණ. ඉරියව් පිළිබඳ විශේෂඥ වරයෙකු සේ තරිඳු ගේ ඇස් මා නිරීක්ෂණය කළේ ය.

“වෙන්නැති. මාත් ඔත්පල වෙලා තමයි. අවුරුදු ගාණක ඉඳන්”

මගේ හඬ මට දැනුණේ මෙතෙක් මා නො දැන උන් තැනැත්තියක ගේ හඬක් සේ ය. 

“ජීවිතේ කියන්නෙ කොච්චර අනිත්‍ය දෙයක්ද කියල බුදු හාමුදුරුවන්ට පස්සෙ වැඩියම හොඳට දන්නෙ කව්ද කියල ඇහුවොත් මං කියන්නෙ ඩොක්ටර්ස්ල කියල. ජීවිතයක් කොච්චර කෙටි වෙන්න පුළුවන් ද කියල මං ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ කෙටි ජීවිතේ ජීවත් වෙන්න ඕන නිබ්බුතා”

ලෝචන මදුරාපුර පිළිබඳ සියලු තතු මා තරිඳු වනසිංහ සමගින් පැවසූයේ ඒ වෙලාවේ ය. ඔහු සාවධානව අසා සිට මෙසේ කීවේ ය.

“ආපහු එනවනං එයාට එන්න හොඳටම කල් ඇති කියල ඔයාට තේරෙනවනෙ. ලෙඩකට ට්‍රීට්මන්ට්ස් වලට රටකට ගියා වුණත් මෙලහකට ඇවිත්නෙ. අනික එහෙම අසනීපෙකට ට්‍රීට්මන්ට්ස් කරල හොඳ වුණානං එයා ඔයාට කතා නොකර ඉඳියි කියල මං හිතන්නෑ. වෙන හේතුවකට එයා ඔයාගෙන් වෙන් වුණා කියන එක පිළිගන්න උත්සාහ කරන්න”

ඔහු එහෙම කීවේ මගේ යහපතට ය. මා ඇසුරු කරන බුද්ධිමත් සමාජය මගේ ප්‍රශ්නයට දෙන නියත පිළිතුර එය බව මමදනිමි. ලෝචන එතැයි බලාපොරොත්තුවක් දැන් මගේ ද හිත් කොනක හෝ නොවන්නේ ය.එසේ නම් හමු වූ අවස්ථා කිහිපයෙන් එකකදී මධාරා අක්කා ඒ පිළිබඳ ඉඟියක් නොදී සිටිතැයි සිතිය ද නො හැකි ය. ඒ කවරක් කෙසේ වී ද ඔහු මගේ හිතේ කූඩැල්ලෙකු සේ එල්ලී ගෙන මා අතැර නොයා සිටි බව මා තරම් දන්නා කෙනෙකු නැත.

තරිඳු වනසිංහ මට විවාහ යෝජනාවක් ගෙනාවේ මේ අතර කාලයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles