මල් තුහින -32

“මුලින්ම ඔය වේදනාවෙන් මිදෙන පාර හොයා ගන්න.මට ආයේ ආයෙ කියන්න තියන දේ තමයි, ඔයා නවීන්ට තවම ආදරෙයිද කියන එක පැහැදිලි කරගන්නේ නැතුව ඉස්සරහට යාමක් නෑ. ඔයා දන්නවද ඔයාට ඔය ඉන්න වේදනාවෙන් මිදෙන එක නවීන්ගෙන් ඈත් නොවී කරන්නත් පුලුවන්. ඈත් වෙලා කරන්නත් පුලුවන්. ඔයා හරිම පරිස්සම් වෙන්න ඕන. වැඩිපුර ඉවසන්නත් ඕන.”

ඒ උපදේශය මලිතිට දිනක් ලැබුණේ රුවිනිගෙනි. ඇය ඒ උපදේශය පිළි ගත්තා ය. නවීන් තමන්ට තවමත් උවමනාදැයි සිතන්නට ඇය බොහෝ කාලයක් ගත්තා ය.

දැන් ඒ කාලය අවසන් වී තිබේ. ඇය හිඳින්නේ ක්‍රමයෙන් නවීන්ගෙන් දුරස් වන අන්දම සැලසුම් කරමිනි. සහමුලින්ම ඔහු හැර යාම ගැන ඇය බියටත් වේදනාවටත් පත් වෙමින් සිටියත් එය කළ යුතුම බව ඇය තේරුම් ගනිමින් සිටියා ය.

“අප සමාන්තර ලෝක දෙකක එකම ඉරණමට ලක් වූ ජීවින් වීම දෛවයේ සරදමක් ද එසේත් නැත්නම් දෛවයේ නිර්මාණයක් ද සැක සහිත ය. ඔබ ඔබේ ලෝකයේ තනිව හිඳියි. එහෙත් ඔබට ඔබ අසලින් කුඩා සුරඟනක් හෝ හිඳියි. ඇය කිනම් මොහොතක හෝ ඔබට අහිමි වේදැයි බිය මිස මට මෙන් තනිකමක් නොදැනීම ම ජීවිතය ඔබට දුන් ත්‍යාගයකි.

ප්‍රේමයෙනි, 

අන් කවරදාටත් වඩා ප්‍රේමයෙනි.

නුඹට නුඹ අහිමි වී යන මොහොතක පවා නුඹ ළඟ රැඳෙන්නට කැමැත්තෙනි. “

ටික කාලයකට පසු ඇගේ දිනපොත ලියන්නට මලිතිට සිත් වූවා ය. මෙහි මුර පදය රුවිනිට ලබා දී ජීවිතය අතැර යන්නට සිතුණහොත් ඒ සියළු සටහන් තුහිනට පෙන්වන්නැයි කී දවස මලිතිට මතකය.

නමුත් දැන් ඇයට ජීවිතය අත්හැර දමන්නට උවමනාවක් නැත.

” මට ඇත්තටම මං ආදරේ ශේන්යාටද තුහිනටද කියලා පැහැදිලි කරගන්න ඕන.”

ඇය ඒ පණිවිඩය රුවිනිට ලියා අනතුරුව මකා දැමුවා ය. රුවිනි සම්බන්ධයෙන් වාදයක් ආරම්භ කරන්නට ඉඩ තිබේ.විවාද වල පැටලෙන්නට මලිතිට මේ මොහොතේ හිතක් නොවේ.

ඇය තුහින ඇමතී ය.තුහින සිටියේ රෝහලේ ය. ශේන්යා අතැර නිවසට යන්නට ඔහුට හිත නොදේ. අනෙක් අතට ඔහු මත්ද්‍රව්‍ය වලින් මිදෙමින් හිඳින කාලයක තනිවන්නට සැබෑ බියක් ඇත. තනිවන මොහොතක වේදනාව සමනය කරගන්නට පැරණි ඇබ්බැහිවීම් පෙරට එන්නට ඉඩ තිබේ.

ඔහුට මලිති අමතන්නට සිතුණේ සිතුවිලි කරදර කරමින් තිබූ මොහොතක ය. අතීත දවසක උපකාරක පන්තිවලදී දුටු අහිංසක යුවතිය ඈ තුළ නොවේ. නමුත් ඔහු තදින් ඇයට ඇබ්බැහි වෙමින් සිටින බව තුහින තේරුම් ගත්තේ ය.

“මට ආයේ රමෝද් වෙන්න බෑ.”

ඇයට ආදරය කරන්නට හිතෙන මොහොතක ඔහු කළේ ඔහුටම තර්ජනය කර ගැනීම ය.

“මං රමෝද් වුණා කියලා ඒ ලෙවල් පන්තියෙ හිටිය මලිතිත් එතන නෑ. දැන් ඉන්නේ කසාදයක් බැඳලා ඒ කසාදෙත් එපා වුණු ගෑනියෙක්. ඒ ගෑනිට ළං වෙන්න ඕන රමෝද් නෙවෙයි, තුහින.”

ඔහු තමන් තර්ක කරමින් සිටියේ ය. ඒ මොහොතේ මලිති ඇමතුමට සම්බන්ධ වූවා ය.

“දුකින් ද?”

ඈ අසන ස්වරයට ඔහුට සිනාවක් ඉපදිණ.

“දරුවා අසනීපෙන්. ගෑනි මඩ ගහනවා. මට මොකක්ද මලිති හිනා වෙලා ඉන්න තියන හේතුව?”

ඔහුගේ කටහඬ ගැනම ඇයට සොවක් ඉපිදේ. මීට පැය බාගයකට පමණ පෙර ද ඔහුට ඇමතුමක් ගත් බවත් ඔහු ඒ මොහොතේ ද සිටියේ ශෝකයෙන් බවත් ඇය සිහි කළා ය.

“වේදනාවම හෝද හෝද මඩේ දාන්න ඕන නෑ. අපි සමහර වෙලාවට හිතේ තියන දුකයි, ප්‍රශ්න ගැනයි කියෝනව නේද? සදාකල් දුකම තමයි.”

ඒ රුවිනි අදහන සත්‍යයකි. ඇතැම්විට එය ඇත්තක් විය යුතු බව මලිතිට ද සිතේ. නමුත් හිනැහෙන්නට කාරණා ඇයට හෝ තුහිනට නොවේ.

“අහන්නකො. මේ ප්‍රශ්න ටිකක් අඩු වුණාම අපි ඒ ලෙවල් කාලේ යාලුවෝ ආයේ සෙට් වෙන්න පොඩි ගෙට් එකක් ලෑස්ති කරමුකො”

මලිති යෝජනාවක් ගෙනාවා ය. මෙවැනි කතා කියන්නට මේ මොහොත නොවන්නටත් පුලුවන. නමුත් ඇය ළදැරියක පරිද්දෙන් යෝජනා කළා ය.

“96 ෆිල්ම් එක වගේ හිත් අලුතින් පාරා ගන්නද?”

හිත් අලුතින් පෑරෙන්නට දෙයක් නැත. ඇය කොහොමටත් වේදනාවෙනි. ඔහු ද එහෙම ය. නමුත් තුහින හේතු සොයා දෙමින් තමන් පාරන්නේ වසර ගණනාවකට පෙර කළ ප්‍රතික්ෂේප කිරීම හන්දා බව විශ්වාස කරන්නට මලිති කැමති ය.

“ඊටපස්සෙ නුවන්ව දැකලා හිත රිද්දන් තවත් ඔලුව අවුල් කරගන්නද ඔයාට ඕන? “

ඔහු අසයි. ඇය නිරුත්තරව අසා සිටියා ය.

(මලිතිටත් තුහිනටත් ඔබේ ආදරය කමෙන්ට් එකකින් තබා යන්නේ නම් එය ලියන්නට ශක්තියකි.)

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles