බිම්මල් – 06

මම දෙනෙත් විවර කරන්නට තැත් කළෙමි. එහෙත් දෑස් පියන්පත් විවර කරන්නට නොහැකි තරමට ඇසිපිය බරැති ඒවා ලෙස දැනෙයි. යන්තමින් විවර වූ දෙනෙත් වලට දිස්වන ඡායාවන් මට පැහැදිලි නොවීය. මා යහනක් මත වැතිර සිටින බවත් යහන වටා කිහිප දෙනෙකු සිටින බවත් පමණක් යන්තමින් දර්ශනය වුවද, ඒ කිසිවකු හඳුනා ගැනීමට නොහැකි වූයේ ඇසිපිය නිසි ලෙසින් විවර නොවීම නිසා විය යුතුය.

“ඩිනාලී…”

අම්මාගේ කටහඬ මට ඇසිණ. ඒ හා සමගම මගේ අතැඟිලි තදින් අල්ලා ගත් අතැඟිලි වල උණුසුම අම්මාගේ බව මම වටහා ගතිමි.

“ඩිනාලී… කොහොමද මගෙ පුතේ ඔයාට?”

අම්මාගේ කටහඬ වෙනස් වී ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙලෙන කලෙක මෙනි.

“මට මොකක්ද වුනේ අම්මා?”

මා සිටින්නේ රෝහලක යයි අනුමානයෙන් සිතූ බැවින් මම ඇසීමි. එහෙත් අම්මාගෙන් පිළිතුරක් නොලැබිණ. කිහිප වරක් ඇසි පිය සැලීමෙන් අනතුරුව මම එවර දෑස් හැරියෙමි. අම්මා පමණක් නොව හේෂාන් ද, සුදු නංගී සහ වජිරා ද කම්පිත මුහුණින් යුතුව මා දෙස බලා සිටින අයුරු මම දුටුවෙමි. හේෂාන් මගේ අත අල්ලා ගත්තේය.

“මට මොකක්ද වුනේ හේෂාන්?”

සිදු වී ඇත්තේ කුමක්ද යන්න වටහා ගත නොහැකි වූයෙන් එවර මා ඇසුවේ හේෂාන්ගෙනි. 

“ඒ හැටි දෙයක් නෑ ඩිනාලි. චුට්ටක් අසනීප වුන නිසා හොස්පිටල් ඇඩ්මිට් කරා. ඒකයි. අද හෙටම ගෙදර යන්න පුලුවන් වේවි.”

මම සිනාසෙන්නට උත්සාහ කළෙමි. එහෙත් දෙතොල් පවා බරැති ඒවා ලෙසින් මට දැනෙයි. ඒවනවිට තද පිපාසයක් ද දැනෙමින් තිබුණෙන් සීතල වතුර වීදුරුවක් එක හුස්මට පානය කරන්නට මට සිතිණ. මම නැගිටින්නට උත්සාහ කළෙමි.

“හා… හා… නැගිටින්න එපා.”

අම්මා මා වැළැක්වූවාය.

“මට… මට… වතුර ඕන.”

“චුට්ටක් ඉන්න. මම අහලා එන්නම්.”

අම්මා මගේ යහන අසළින් ඉවත්ව ගියාය.

“තිබහයි හේෂාන්..”

කිසිදු හේතුවක් නොමැතිව දෑසින් වැටෙන කඳුළු බිඳු මැඩ පවත්වා ගැනීමට උත්සාහ කරමින් මම පැවසුවෙමි. හේෂාන් සෙමෙන් මගේ වියළි දෙතොල් සිය ඇඟිලි තුඩින් පිරිමැද්දේය. ඔහුගේ මුහුණ ද මලානික වී ඇතැයි මට සිතිණ.

“දැන් මට හොඳයි.”

මම පැවසුවෙමි.

“මට ගෙදර යන්න පුලුවන් වේවි නේද?”

“පුලුවන් ඩිනාලි. ඉන්න. අපි ඩොක්ට ආවම අහලා බලමු.”

මගේ දකුණු අතට සම්බන්ධ කර ඇති සේලයින් වයරය මා දුටුවේ එවරය. එපමණක් නොව අනෙක් අතට කැනියුලාවක් ද සම්බන්ධ කර තිබිණ. සේලයින් බෝතලයෙන් රිද්මයානුකූලව සේලයින් බිඳෙන් බිඳ වෑස්සෙන අයුරු මම බලා සිටියෙමි. සුදු නංගී මේවනතුරුත් ගොලු වූවාක් මෙන් නිහඬව සිටියාය. වෙනදා අතොරක් නොමැතිව කියවන ඇයගේ මුව තුළම වදන් ගොලු වී ඇත්තාක් මෙනි.

“සුදු… කෝ කතා පෙට්ටිය? ගෙදර තියලද ආවෙ?”

මම ඇසුවෙමි.

කිසිවක් නොපැවසූ සුදු නංගී මගේ අතැඟිලි අල්ලා මිරිකූ තරමට මට රිදිණ.

“හොස්පිටල් එකේදි කියවන්නෙ නැතිව ඉන්න කියලා මැඩම් සුදු බබාට අවවාද කරලයි එක්ක ආවෙ ලොකු බබා.”

වජිරා පැවසුවාය. 

“ඒක හොඳයි. ඒත් මොනවා හරි කියන්න සුදු. මට පාලුයි.”

අම්මා හෙදියක් ද සමග මා අසළට පැමිණියාය. හෙදිය අත කුඩා කෝප්පයක් ද හැන්දක් ද විය.

“දැන්ම වතුර ගොඩක් බොන්න හොඳ නෑ මිස්. යන්තම් තොල් තෙමන්නම්.”

හෙදිය හැන්දෙන් වතුර බිඳක් මගේ දෙතොල් තෙමෙන තරමට පමණක් වත් කළාය, පිපාසයෙහි තරමට එය මට කිසිසේත්ම නොසෑහිණ.

 “දැනට දෙන්න වෙන්නෙ මෙච්චරයි. ඔයාට ඔපරේෂන් එකක් කරලනෙ තියෙන්නෙ මිස්. සෑහෙන්න ප්‍රවේශම් වෙන්න. තව ටිකකින් ඩොක්ට ඒවි. ඒ ආවම අපි වතුර දෙන්නද කියලා අහලා බලමු.”

“ඔපරේෂන් එකක්?”

මම අම්මාගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ මුහුණ අඳුරු වී තිබිණ.

“ඇයි මට ඔපරේෂන් එකක් කළේ? මට මුකුත් අමාරුවක් තිබුනෙ නෑ නේ.”

“ඔයාට තද බඩේ කැක්කුමක් තිබුනා නේ ඩිනාලි. ඒකයි. පුංචි ඔපරේෂන් එකක් ඒක. බය වෙන්න දෙයක් නෑ. පුංචි එකක්.”

හේෂාන් පැවසුවේ තතනමිනි.

දකුණතට සේලයින් වයරය සම්බන්ධ කර තිබුණෙන් මම මගේ වම් අත යන්තමින් ඇදුම් දෙන  කුස කරා ගෙන ගියෙමි. උදරය හරහා තදට යොදා ඇති ප්ලාස්ටරයක් මගේ අතට හසු විය.

“අනේ ඇයි මේ?”

මම හැඬුම් හඬින් ඇසුවද, කිසිවකුගෙන් පිළිතුරක් නොලැබිණ.

“පේෂන්ට්ට ඉන්ජෙක්ෂන් දෙන්න තියෙනවා.”

හෙදියක් බෙහෙත් ට්‍රොලිය ද තල්ලු කරගෙන මගේ යහන අසළට පැමිණියාය. ඒවනවිට අවසන් වෙමින් තිබූ සේලයින් බෝතලය ඉවත් කර වෙනත් බෝතලයක් සවි කළ ඇය, මගේ අතට සවි කර තිබූ කැනියුලාවට එන්නත් ලබා දෙන අයුරු මම බලා සිටියෙමි.

“පේෂන්ට්ට තව ටිකකින් නින්ද යාවි. ඔයාලත් දැන් ගිහින් හවස ආවනම් තමයි හොඳ.”

ඒවනවිට රෝගීන් බැලීම සඳහා වෙන් කළ කාලය අවසන් වෙමින් ඇතැයි මට සිතිණ. රෝගීන් බැලීමට පැමිණ සිටි එකා දෙන්නා වාට්ටුවෙන් පිටව යමින් සිටියහ. 

“මම බබා ළඟ ඉන්නවනෙ. මැඩම්ලා යන්න.”

වජිරා පැවසුවාය.

“වජිරා ගෙදර යන්න. මම ඉන්නම්.”

අම්මා පසෙකට හැරුණේ දෑසට නැගෙන කඳුලු වසන් කර ගැනීමට යයි මට සිතිණ.

“මැඩම් සුදු බබා එක්ක ගෙදර යන්න. ගිහින් විවේක ගන්න. ඊයෙ මුලු රෑම නින්දක් තිබුනෙ නෑනෙ. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. මම බබා ළඟ ඉන්නම්.”

“යන්නෙ හිතකින් නෙමෙයි. එහෙමනම් අපි ගිහින් හවසට එන්නම් පුතේ.”

අම්මා පහත් වී මගේ නළළත සිප ගත්තාය. ඇගේ දෑස් වලින් වට කඳුලක උණුසුම මගේ කොපුලකට දැනිණ. සුදු නංගී ද මගේ මුහුණ සිප ගත් අතර හේෂාන් මගේ නළළ මත ඔහුගේ නළළත තබාගෙන මඳ වේලාවක් සිටියේය.

“අපි ගිහින් එන්නම් ඩිනාලි. බය වෙන්න කිසිම දෙයක් නෑ.”

අනතුරුව ඔහු පැවසුවේය.

“වෙඩින් කාඩ්ස්…?”

“මම ඒවා ලියලා හෙට පෝස්ට් කරන්නම්. ඒ ගැන හිත කරදර කරගන්න එපා.”

ඉවත බලාගත් අම්මා පැවසුවාය.

“අපි යන්නම්. අනේ වජිරා… බබාව ඇස් දෙක වගේ බලාගන්න.”

අම්මා ද, හේෂාන් ද, සුදු නංගී ද පිටව යන අයුරු මම බලා සිටියෙමි. ජීවිතයේ කිසිදිනෙක රෝහල් ගත වී නොසිටියෙන් මගේ සිතට මහත් අමුත්තක් දැනිණ. දෑස් කඳුලින් බොඳ වන බව දැනුන ද, ඒ හා සමගම දැඩි නිදිමතක් ද දැනෙන්නට වූයේ ස්වල්ප වේලාවකට පෙර නිද්‍රාජනක ඖෂධ ලබා දීම නිසා විය යුතුය. වාට්ටුවෙහි වූ අනෙක් ඇඳන් මත රෝගීන් වැතිර සිටින බව මා දුටුවේ එවේලෙහිය. ට්‍රොලියක තබාගෙන රැගෙන ආ රෝගියකු කෙලවරම වූ ඇඳට මාරු කරන අයුරු යන්තමින් පියවෙන දෙනෙත් අතරින් මම දුටුවෙමි.

“ඩිනාලී..”

ගැඹුරු පිරිමි කටහඬක් මගේ යහන අසලින් ඇසුණෙන් මම දෑස් විවර කළෙමි. හමුදා ඇඳුමින් සැරසී සිටින තාත්තා කම්පිත දෙනෙතින් යුතුව මදෙස බලා සිටියේය. මට මගේ දෙනෙත් අදහා ගත නොහැකි විය. මා අසනීප වූ බවත්, රෝහල් ගත කළ බවත් තාත්තා දැනගත්තේ කෙසේද?

“මට උඹලා කිසිම කෙනෙක්ගෙන් වැඩක් නෑ.”

යනුවෙන් පවසා සිය ඇඳුම් පැළඳුම් සහ ඔහුට අයත් සියලු දෑ රැගෙන නිවසින් නික්ම ගිය තාත්තා මා දකින්නට පැමිණ ඇත්තේ ඇයි? මා රෝහල් ගත කර ඇති බව ඔහුට දැනුම් දුන්නේ කවරෙක්ද? මා දෑස් පියාගත්තේ ඔහුට මුහුණ දීමේ නොහැකියාව නිසාය.

“ඩිනාලි…”

යළිත් තාත්තා මා අමතන හඬ ඇසිණ.

“ඇස් දෙක අරින්න ඩිනාලි.”

ජීවිතයේ කිසිම දිනෙක එවන් කාරුණික හඬකින් තාත්තා මා අමතා නොතිබිණ. මම ආයාසයෙන් දෙනෙත් විවර කළෙමි. මගේ යහන අසළ සිටගෙන සිටියේ තාත්තා නොව තරුණ වෛද්‍යවරයෙකු බව මා වටහා ගත්තේ ඔහුගේ ස්ටෙතස්කෝපය නිසාය. ඔහු මා සිටින වාට්ටුව භාර වෛද්‍යවරයා විය යුතුය. අඩ නින්දේ මෙන් සිටියදී මා දුටු සිහිනය සමග වෛද්‍යවරයාගේ කටහඬ සම්බන්ධ වූයේ කෙසේදැයි මම කල්පනා කළෙමි. 

“දැන් කොහොමද ඩිනාලි ඔයාට?”

සිනාමුසු මුහුණින් යුතුව වෛද්‍යවරයා ඇසුවේය.

“මොනවත් අමාරුවක් කැක්කුමක් එහෙම තියෙනවද?”

“නෑ. දැන් මට හොඳයි. මට මොකක්ද වුනේ ඩොක්ට?”

මේ දක්වා මගේ සිතට වද දුන් පැනය මා නොදැනුවත්වම මගේ මුවගින් පිට විය.   

මගේ පැනයට පිළිතුරු නොදුන් තරුණ වෛද්‍යවරයා ඇඳ ඉහපත අතට ගත්තේය. ඔහු මහත් ඕනෑකමින් මගේ වාර්තා කියවා බලන අයුරු මම බලා සිටියෙමි. යළි යළිත් එම පැනය ඔහුගෙන් අසන්නට මට නොසිතිණ. මට සෑදුන අසනීපය කුමක්ද යන්න විමසද්දී සියලු දෙනාම නිහඬ වන්නේ ඇයි? මට හදිසි ශල්‍ය කර්මයක් කරන ලද්දේ කවර නම් හේතුවක් නිසාද?

“ඩිනාලි… තද බඩේ කැක්කුම නිසා පොඩි සර්ජරි එකක් කළා. බයවෙන්න දෙයක් නෑ.”

මගේ වාර්තා කියවා බලා, කිසිවක් ලියා හෙදිය අතට දුන් වෛද්‍යවරයා පැවසුවේය.

“හෙට මට ගෙදර යන්න පුලුවන්ද ඩොක්ට?”

මම ඇසුවෙමි. පිළිතුරක් නොදුන් වෛද්‍යවරයා සිනාසුනේය.

“ගෙදර යන්න හදිසි වෙන්න එපා. තව දවසක් දෙකක් ඉන්න වේවි. ඩිනාලිගෙ අම්මා මා එක්ක කතා කළා. ප්‍රශ්නයක් නෑ. සතුටින් ඉන්න. හැමදේම හොඳ විදියට සිද්ද වේවි.”

වෛද්‍යවරයා මගේ උරහිසට තට්ටු කර අනෙක් යහනෙහි සිටි රෝගී කාන්තාව වෙත යන අයුරු මම බලා සිටියෙමි. වයස අවුරුදු තිස්පහක් පමණ වන එම කාන්තාව හඬමින් වෛද්‍යවරයා සමග කිසිවක් පවසන බව දුටුවද, ඇය පවසන කිසිවක් මට නෑසිණ.

“සනීප වුනාට පස්සෙ බබාලා බලන්න යන්න පුලුවන් අම්මේ. ඔයාට යන්න ඕන කියලා එහෙම ඉක්මනට ටිකට් කපන්න බෑ. සනීප වෙලා ඉන්න ඕනනේ. තව දවස් දෙක තුනකින් ඔයාට ගෙදර යන්න පුලුවන්.”

කාන්තාව ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බවත් මා සිටින්නේ ශල්‍ය වාට්ටුවක බවත්  ඒවනවිට මම තේරුම් ගනිමින් සිටියෙමි. 

වාට්ටුව කෙලවර යහනෙහි සිටි මැදිවියේ කාන්තාව වේදනාවෙන් කෙඳිරි ගාන හඬ වරින් වර ඇසිණ. ශල්‍ය වාට්ටුවක් යනු වේදනාවන් රැසක් එක්තැන් වූ ස්ථානයක් නොවේදැයි මට සිතිණ. ශාරීරික වේදනාවන් පමණක් නොව කිසිවක් කර කියා ගත නොහැකිව දින ගණනාවක් මෙසේ සිටියදී එක් එක් රෝගීන්ට ඇතිවන මානසික වේදනාවන් ද විවිධාකාර විය යුතුය. මගේත්, හේෂාන්ගේත් මංගල උත්සවයට සුදානම් වීමට යෙදවීමට ඇති කාලය මෙසේ රෝහල් වාට්ටුවක ගත කිරීම මට මහත් මානසික වේදනාවක් වනවාක් මෙන්ම දරුවන් නිවසෙහි දමා පැමිණීමට සිදු වීම වැනි වෙනත් බොහෝ හේතූන් නිසා මෙම වාට්ටුවේ සිටින බොහෝ කාන්තාවන් පසුවන්නේ සිත් වේදනාවෙන් විය යුතුය. හෙදියක් පැමිණ කැනියුලාවට එන්නතක් ලබා දී පිටව ගියාය. ඒවනවිට වාට්ටුවෙන් පිටතට ගොස් සිටි වජිරා මා වෙත පැමිණියාය.

“ඩොක්ට ආවා. වජිරා කොහේද ගියේ?”

මම ඇසුවෙමි. අත තිබූ පසුම්බිය හා පුවත්පත ලාච්චුවට දැමූ වජිරා අත සෝදන දියරය ස්වල්පයක් දෑතට දමා පිරිමදින්නට වූවාය. ඒ හා සමගම මිහිරි සඳුන් සුවඳක් මගේ නාසයට දැනිණ. 

“මං ටිකකට එළියට ගියා බබා ෆෝන් එකට රීලෝඩ් එකක් දාගන්න. කියවන්න පත්තරේකුත් ගත්තා. බබාට නින්ද ගිහින් හිටි නිසයි කියන්නෙ නැතිව ගියේ. ”   

මගේ හිස සෙමෙන් පිරිමදින වජිරා පැවසුවාය. මම දෙනෙත් පියාගතිමි. 

“දෙයියන්ගෙ පිහිටෙන් බබාට දැන් හොඳයිනෙ. කිසිම දෙයක් ගැන හිතන්න ඕන නෑ.”

වජිරා තවත් බොහෝ දෑ පවසන්නට ඇතත් ඇගේ කටහඬ කෙමෙන් නෑසී ගියේය. මට ලබා දී තිබූ නිද්‍රාජනක ඖෂධ නිසාත්, වජිරා හිස පිරිමදිද්දී දැනුන සුවයත් නිසා යළිත්  ඉක්මනින් නින්ද මා දෙනෙත් වෙත ළඟා වන්නට ඇත. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles