බිම්මල් –  19 කොටස 

පසුගිය රාත්‍රියේ නිසි නින්දක් නොලද්දෙන් මා අවදි වූයේ අම්මා මගේ උරහිසින් අල්ලා සොලවද්දීය. ඒවනවිට උදෑසන හිරු එළිය ජනෙල් කවුලු තුළින් කාමරයට තුළට පිවිස මගේ යහන මත රටා මවමින් තිබිණ.

“ඩිනාලි… අවදි කරන්නත් ලෝබයි. සැපට නිදාගෙන ඉන්න විදියට. දැන් නැගිටිමු නේද පුතේ?”

මගේ නළලතට හාදුවක් දුන් අම්මා පැවසුවාය. මම යහන මත හිඳගෙන අම්මා වැළඳ ගතිමි.

“මම හීනයක් දැක්කා අම්මා.”

මම පැවසුවෙමි.

“හීනයක්?”

“ඔව්. හේෂාන් අපිව එක්ක ගියේ අර කිව්ව විදියෙ හොස්පිටල් එකකට නෙමෙයි. ගරා වැටිච්ච  පරණ හොස්පිටල් එකකට. ඒකෙ ලෙඩ්ඩු තියා එකම එක මනුස්සයෙක්වත් පේන්න හිටියෙ නෑ. අම්මා හේෂාන්ට කෑගැහුවා මේක හොඳ මැරිච්ච මිනිස්සුන්ට ඉන්න. හේෂාන් හිතන්නෙ මගේ කෙල්ල මැරිලා කියලද කියලා.”

මගේ මුහුණට වැටී තිබු කෙස් දොරක් ඇඟිලි තුඩු වලින් සකස් කළ අම්මා මුදු හඬින් සිනාසුනාය.

“නිදාගත්තම පේන හීන හරි පුදුමයි. මාත් මොනවදෝ හීන වගයක් දැක්කා. දැන් මතක නෑ. නැගිටලා ලෑස්ති වෙන්න වෙයි පුතේ. හේෂාන් කියපු වෙලාවට ඒවි. පරක්කු වෙන්නත් බැහැනෙ.”

“මට අම්මලාව දාලා යන්න දුකයි.”

“දුක්වෙන්න එපා. සනීප වෙලා ඉක්මනටම එනවනෙ. ආ… ඔන්න වජිරා තේ ගේනවා. තේ බීලා ලෑස්ති වෙන්න පුතේ. ඇඳගෙන යන ඇඳුම් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නෙ.”

අම්මා කාමරයෙන් පිටව ගියාය. 

“ගුඩ් මෝනින් බබා…”

වජිරා මගේ තේ කෝප්පය ද රැගෙන කාමරයට පිවිසුනාය.

“සැරයක් දෙකක් මං ඇවිත් බලලා ගියේ. බබා සැපට නිදි නිසා ඇහැරවන්න ලෝබ හිතුනා. හොස්පිටල් එක තියෙන්නෙ අනුරාධපුරේලු නේද බබා?”

“ඔව්. හේෂාන් එහෙම තමයි කිව්වෙ.”

“අනේ හොඳයි. කාලෙකින් අටමස්ථානෙ වන්දනා කරන්නත් බැරි වුනානෙ. බබාටත් පුලුවන් ඇඩ්මිට් වෙන්න කලින් රුවන්වැලි සෑය එහෙම වන්දනා කරගෙන ඉන්න.”

“පුංචි කාලෙ ගියාට පස්සෙ අනුරාධපුරේ යන්නත් බැරි වුනා තමයි වජිරා.”

මම තේ පානය කරමින්ම පැවසුවෙමි.

“එහෙනම් ලෑස්ති වෙන්න බබා. හේෂාන් සර් එනකොට අපි ලෑස්ති වෙලා ඉන්න එපායැ? මම  යන්නම්. වැඩ ගොඩක් තියෙනවා.”

වජිරා මගේ හිස අත ගා කාමරයෙන් පිටව ගියාය.

මම ඉක්මනින් තේ පානය කර රෝහලට යන්නට සූදානම් වුයෙමි. මා සූදානම් වී පහළට යන විට  පිටත්ව යාමට සූදානම් වූ අම්මා ද, සුදු නංගී ද ආලින්දයේ වාඩි වී සිටියහ.

“ආව්… මෙයාගෙ ලස්සන.”

සුදු නංගී විහිලු කළාය.

“හැබැයි ඉතින් ඔය ටොප් එකට ඩෙනිමක් ඇන්ද නම් මාර ලස්සනට තියේවි.”

“මොන ඩෙනිම් ද ළමයො. බඩේ තුවාලෙ හොඳ වුනාට තද වෙන්න අඳින්න හොඳ නෑ දැන්ම.”

අම්මා පැවසුවාය. මම අම්මා අසළින් හිඳ ගතිමි.

“බ්‍රෙක්ෆස්ට් ලෑස්ති කරලා තියෙන්නෙ හේෂාන්ටත් එක්කම. එයා ආවමම කමු නේද ඩිනාලි?”

සුදු නංගීගේ දෙනෙත් දිළිසෙන අයුරු මම දුටුවෙමි. ඇය කිසියම් දඟකාරකමක් කරන්නට ඇතැයි මට සිතිණ.

“වජිරා හදපු කෑම රහද බලන්න මම නම් ඉතින් ටිකක් කෑවා තමයි. හැබැයි හේෂාන් ආවම එයාව තනි කරන්න බැරි නිසා දෙවන වතාවටත් සළකා බලන්නම්.”

“හේෂාන්ගෙ තනියට අක්කා ඉන්නවා.”

අම්මා සිනාසුනාය.

“අක්කගෙ තනියට මං ඉන්නවා.”

“පිස්සු නොකියවා ඉන්නවා ළමයා. තව මොනවද ගෙනියන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. මේ ළමයගෙ කතා නිසා හැමදේම අමතක වෙනවා.”

“හරි. මං කතා නොකර ඉන්නම්කො. අම්මා ලොකූගෙ රිපෝට්ස් ටික මතක ඇතිව ගන්න ඕන කියලා කලින්ම ලෑස්ති කරානෙ.”

“රිපෝට්ස් නම් හරි.”

“අම්මා… මාව නතර කරලා අදම ගෙදර එනවද?”

මම ඇසුවෙමි.

“හිතුවෙ නෑ ඩිනාලි. අනුරාධපුරේ යන එකත් වෙලා ඔයාව රුවන්වැලි සෑය වඳින්න එක්ක යන්න ඕන කියලත් වජිරා කියනවා. අපි ගිහින් බලමු.”

“මට තනි දැනෙයි අම්මා.”

“නෑ. එහෙම වෙන්නෙ නෑ.”

අම්මා මගේ හිස අත ගෑවාය.

“ඒකනෙමෙයි. හේෂාන් එනවා කිව්ව වෙලාව නම් හරි. මං ගිහින් ගේට් එක අරින්නද?”

නංගී හදිසියේම නැගී සිටියාය.

“වෙලාව නම් හරි තමයි. මෙලහට එනවත් ඇති. ආව ගමන් බ්‍රෙක්ෆස්ට් අරගෙන ඉක්මනින්ම පිටත් වෙමු.”

නංගී දිවගොස් ගේට්ටුව විවර කරන අයුරු මම බලා සිටියෙමි. වජිරා ගෙතුළ තබා තිබු බෑග් සියල්ලම ගෙනැවිත් ආලින්දයෙහි තැබුවාය.

“ඔන්න බබාට පොත් ටිකකුත් දැම්මා ගෙනියන්න. හාවත් දාන්නද බෑග් එකට?”

“එපා.”

මම ලජ්ජාශීලීව පැවසුවෙමි.

“එයාව වොෂ් කරලා පරෙස්සමෙන් අරන් තියන්න මං ගෙදර ආවම ගන්න.”

වජිරා දෑස් වල කඳුළු පුරවාගෙන පැමිණ මා අසළින් සිට ගත්තාය. ඇය සෙමෙන් මගේ හිස පිරිමදින්නට වූයේ මා නික්ම යාමේ වේදනාව සඟවාගෙන විය යුතුය.

“මොකද හේෂාන් තව ආවෙ නැත්තෙ?”

අම්මා අත් ඔරලෝසුව දෙසට දෙනෙත් යොමු කරමින් පැවසුවේ සෑහෙන වේලාවකට පසුය.

“එනවා කියපු වෙලාව පහු වෙලා විනාඩි පහළොවකුත් ගියා.”

“එනවා ඇති මැඩම්. අන්න සුදු බබා නම් ගේට් එකත් ඇරගෙන බලාගෙන ඉන්නවා.”

“අපි කොච්චර දුර යන්න ඕනද? උදෙන් ගියානම් පහසුයි.”

අම්මා පවසන්නේ සත්‍යයකි. අනුරාධපුරයට යන ගමන දුෂ්කර එකකි. අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර් ගණනාවක් ඇතුළතට වන්නට ගමක් තුළ පිහිටා ඇති රෝහලට යන ගමන ද පහසු ගමනක් විය නොහැකිය. මට සිහිනයෙන් දුටු පැරණි රෝහල මතකයට නැගුනේ නිතැතිනි.

“අනේ මන්දා එක වෙලාවකට ආයුර්වේද ප්‍රතිකාර කරන්න බයත් හිතෙනවා. හේෂාන් විශ්වාසෙන්ම කියපු නිසා තමයි මං මේකට කැමති වුනේ.”

තවත් ස්වල්ප වේලාවක් ගත වූ පසු අම්මා පැවසුවාය.

“සමහර හොර වෙද්දු ඉන්නවනේ. ඒ නිසා හරියට කරන කෙනෙකුටවත් තැනක් නෑ නේද මැඩම්?”

අම්මා නොඉවසිල්ලෙන් නැවතත් අත් ඔරලෝසුව දෙස බැලුවාය. සැබවින්ම හේෂාන් පැමිණෙන බවට පැවසූ වේලාව ඉක්ම ගොස් විනාඩි තිහකට ආසන්න වෙමින් තිබේ.

“කෝකටත් හේෂාන්ට කෝල් එකක් ගන්න පුතේ.”

අම්මා පැවසුවාය. මම හේෂාන්ට දුරකතන ඇමතුමක් ගතිමි. එහෙත් එහි හඬ පටයෙන් කියවුනේ ‘ ඔබ ඇමතූ දුරකතනය ප්‍රතිචාර නොදක්වයි’ යන්නයි.

“ඇයි?”

අම්මා ඇසුවාය.

“ෆෝන් එක ඕෆ් අම්මා.”

“ඇයි ඒ? තව ටිකක් ට්‍රයි කරලා බලන්න.”

මම නැවත නැවතත් කිහිප වතාවක්ම හේෂාන්ට දුරකතන ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කළ ද ලැබුන ප්‍රතිචාරය එය විය.

“චාන්දනී කතා කරාවි කියලා ඕෆ් කරගෙන ඇති පුතේ. හේෂාන් ළඟම එනවා ඇති.”

අම්මා මා සනසන්නට පැවසුවද, ඇගේ කටහඬෙහි වූයේ බලාපොරොත්තු බිඳී ගිය ස්වභාවයකි.   ඒවනවිට හේෂාන් පැමිණෙන බව පැවසූ වේලාව ඉක්ම ගොස් පැයකට ද ආසන්න වෙමින් තිබිණ. සුදු නංගී ද බලාපොරොත්තු කඩ වූ ලෙසින් සෙමෙන් සෙමෙන් නිවස දෙසට පැමිණෙන අයුරු මා දුටුවේ කෙමෙන් කඳුලෙන් බොඳ වන දෙනෙත් අතරිනි.

“මේ ළමයා අපට බොරු කළාවත්ද?”

බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටි අම්මාට කියවිණ.

“අපටවත් යන්න තිබුනා. හොස්පිටල් එකක් ගැන කිව්වට තියෙන තැනක් අපි දන්නෙත් නෑනෙ.”

අම්මාගේ මුහුණෙන් පළ වන හැඟීම් වටහා ගැනීමට මා උත්සාහ කළ ද මට එය කළ නොහැකි විය. මගේ සිත රිදෙනු ඇතැයි බියෙන් ඇය වචන තෝරා බේරා කතා කරන සෙයක් මට දැනිණ.

“දැන් ඉතින් මොනවා කරන්නද? ගිහින් ඇඳුම් මාරු කරගන්නවා මිසක්.”

සුදු නංගී පැවසුවේ විඩාපත් ලෙස පුටුවෙහි වැතිරෙමිනි. මට කිසිත් සිතා ගත නොහැකි විය.  අද උදය වරුවේ මා කැටුව යාමට එන බව ස්ථිරවම පැවසූ හේෂාන් නොපැමිණියේ ඇයි? හේෂාන්ගේ මව ඔහුගේ ගමන වළක්වන්නට ඇත්ද?

“බබාට බෙහෙත් බොන්නත් වෙලා ගියා. දැන් ඉතින් කාලා හිටියනම්… හේෂාන් සර්ටත් එක්කනේ මං බ්‍රෙක්ෆස්ට් හැදුවෙ.”

“ඔව් හැබෑට. අපි යමු ඩිනාලි. බෙහෙත් බොන්නත් පමා වුනානෙ. යමු.”

අම්මා නැගිට මගේ අත අල්ලා ගත්තාය. මා නැගී සිටියේ යාන්ත්‍රිකව මෙනි. අම්මා මා ගෙතුළට කැඳවාගෙන ගියාය. සිත තුළ බුබුලු දමන ශෝකය නිසා ආහාර ගැනීමේ රුචිය මා කෙරෙන් ගිලිහී ගිය ද, මම මේසයට හිඳ ගතිමි. වජිරා මගේ පිඟානට කිරිබත් බෙදුවාය.

“හේෂාන් සර් ආස නිසාමයි කිරිබත් හැදුවෙ. පමා වෙලාවත් ඒවිද මන්දා.”

ඇය හාල්මැස්සන් බැදුම් හැඳි කීපයක් ද මගේ පිඟානට දැමුවාය.

“බබා ලුනු මිරිස් කනවානම් යාන්තමට දාගන්න. බෙහෙත් බොන නිසා හොඳ නැතිව ඇති. බඩ දැවිල්ල ඒවි.”

මා පමණක් නොව අම්මා ද, සුදු නංගී ද ආහාර ගත්තේ ඕනැවට එපාවට මෙනි. කිරිබත් කැටයෙන් අඩක් පමණක් අනුභව කර වතුර වීදුරුව අතට ගනිද්දී අම්මාගේ ජංගම දුරකකතනය නාද වන්නට වූයේ අප සිත් තුළ බලාපොරොත්තු ජනිත කරමිනි. 

“ෂුවර් හේෂාන්.”

සුදු නංගී පැවසුවාය. අම්මා දුරකතන තිරය දෙස බැලුවාය.

“අරුන්දතී… කේක් ෂොප් එකේ වැඩකට වෙන්න ඇති. මේ ළමයට මං කිව්වා අද ගමනක් යනවා, සැරෙන් සැරේ කෝල්ස් දෙන්න එපා කියලා.”

තමාටම පවසා ගනිමින් අම්මා දුරකතනය සවනත වෙත ළං කර ගත්තාය.

“කියන්න අරුන්දතී…”

ඇය පැවසුවේ වතුර වීදුරුවෙන් උගුරක් පානය කිරීමෙන් අනතුරුවය. 

“මොකක්?”

අනෙක් පසින් කරන කිසියම් විස්තරයකට සවන් දෙමින් සිටි අම්මා එක්වරම පුටුවෙන් නැගී සිටියාය.  ඇය හොරැහින් මගේ මුහුණ දෙස බලනු මම දුටුවෙමි. කිසිවක් වටහා ගත නොහැකිව මම සුදු නංගීගේ අත තදින් අල්ලා ගතිමි.

“අමාරුද?”

සුදුමැලි වී ගිය මුහුණින් යුතුව අම්මා ඇසුවාය. එයට අනෙක් පසින් අරුන්දතී දුන් පිළිතුර අපට නෑසිණ.

“රයිට්… මම දැන්මම එනවා.” 

 අම්මා කලබලයෙන් ස්ටූලය මත වූ අත් බෑගය අවුස්සා මෝටර් රියේ යතුර අතට ගත්තාය. මගේ හදවත නතර වූවාක් මෙන් මට දැනිණ.

“මොකක්ද අම්මා වෙලා තියෙන්නෙ?” යි අසන්නට උත්සාහ කළ ද මගේ හඬ පිට නොවීය.

“මගේ යාලුවෙක්ට සනීප නැතිව. සුදු… යනවනම් එන්න.”

අම්මා දිව ගියාය. සුදු නංගී ද ඇය පසුපසින් දිව යන අයුරු මම කැළඹුනු නෙතින් යුතුව බලා සිටියෙමි.

*

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles