බිම්මල් – 37 කොටස

 වෛද්‍ය කුෂ්වාන්ත් සිං තෙවන මහලේ පිහිටි මගේ කාමරයට මා ගෙනැවිත් හැරලන්නට ඇත්තේ අලුයම් කාලයේදී විය යුතුය. එතෙක් වේලාවක් මගේ මුලු ජීවිත කතාවම මම ඔහු ඉදිරියේ වැමෑරුවෙමි.  ඔහු ඒ සියල්ලටම ඉවසිල්ලෙන් සවන් දී සිටියේය. ඉන්පසු මගේ සිතට ඇති වූ සැනසීම සහ සැහැල්ලුව කෙතරම් ද කිවහොත් මට පුලුන් පෙඳක් සේ පාව යන්නට සිතිණ. ඔහු මා කාමරයට කැඳවාගෙන පැමිණෙන විට ජ්‍යෝති නින්දට වැටී සිටියාය. ජ්‍යෝති ඇහැරවා මා ඇයට භාර දිමෙන් පසු වෛද්‍ය කුෂ්වාන්ත් සිං පිටව ගියේය. මා නින්දට වැටුනේ සැනසීමෙනි.

*

මා පිබිදුනේ වෙනදාට වඩා පමා වී වුව ද, වෙනදා උදෑසන නින්දෙන් පිබිදෙද්දී දැනෙන ශාරීරික අප්‍රාණිකත්වය හා වෙනත් අපහසුතා නොදැනුනේ මන්දැයි යහන මත වැතිරගෙනම මම කල්පනා කළෙමි. ජ්‍යෝති ජනෙල් තිර හැර දමා වැව දෙස බලා සිටියාය. හේෂාන් පිළිබඳ මතකයට සිතට පිවිසෙන්නට ඉඩ නොදීමට මා මහත් වෑයමක් ගත යුතු විය. තවදුරටත් ඔහු පිළිබඳව සිතන සිතිවිල්ලක් පවා ඵලදායී එකක් නොවන බව පසුගිය රාත්‍රියේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැවසූ වදන් මගේ යටි සිත පතුළේ නිරන්තරයෙන් දෝංකාර දුන්නේය.

“මැඩම් නැගිටලා.”

මා පිබිද ඇති බව ඉවෙන් මෙන් දැනුන ජ්‍යෝති මා දෙසට හැරුණාය.

“ගුඩ් මෝනින් මැඩම්. මං හිතුවෙ තවම නිදි ඇති කියලා.”

“ගුඩ් මෝනින්.”

මම ඇයට සුබ පැතුවෙමි. ඇය අදහා ගත නොහැකි වූවාක් මෙන් මා දෙස බලා සිටියාය. පෙර දින සැන්දෑවේ උමතු වූවෙකු මෙන් හැසිරුන මගේ ස්වභාවය මෙතරම් තැන්පත් වූයේ මන්දැයි ඇය සිතන්නට ඇත. 

“මිස් පූනම් මැඩම්ගෙ බෙහෙත් අරගෙන ආවා. නිදි නිසා ආපහු ගියා. මම ඉක්මනටම කිරි ගේන්නම්. බීලා බෙහෙත් ටික බිව්වනම් තමයි හොඳ.”

ජ්‍යෝති කාමරයෙන් පිටව ගියාය. මම යහනෙන් බැස ජනෙල් පෙල අසළට ඇවිද ගියෙමි. පසුගිය රාත්‍රියේ සඳරැසින් නැහැවෙමින් තිබූ වැවත්, අවට ඇති ගහකොළත් ප්‍රාණවත් හිරු කිරණින් නැහැවෙමින් තිබූ අතර, එය අතිශයින් මනස්කාන්ත දසුනක් විය. බොහෝ නින්ද නොමැති රාත්‍රී කාලයන්හිදී සඳලුතලයේ හිඳගෙන වැව දෙස බලා සිටීම තමා පුරුද්දක් කරගෙන ඇති බව වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැවසුවා මට මතකය. තම පෙම්වතිය මියගිය පසුත් ඇය වෙනුවෙන් සේවයක් කරමින් ඔහු ජීවිතයට මුහුණ දෙන ධෛර්යසම්පන්න ස්වභාවය සැබවින්ම ආදර්ශයට ගත යුත්තකි.

“මම ජාන්සි වෙනුවෙන් සදාකාලිකවම අවිවාහකව ඉන්නවා කියලා තීරණය කරලා ඉවරයි.”

ඔහු එසේ පැවසූ අයුරු ද මගේ මතකයට නැගිණ. ඔහු ජාන්සි වෙනුවෙන් කළ ආකාරයේ පරිත්‍යාගයක් මට හේෂාන් වෙනුවෙන් කළ නොහැකිය. ඔහුත්, මගේ මිතුරිය අරුණෝදිත් මා කෙතරම් රැවටීමකට ලක් කළේද?

ජ්‍යෝති ඉක්මනින්ම මගේ කිරි වීදුරුව රැගෙන පැමිණියාය. කිරි පානය ඒවනවිට ප්‍රිය නොවුවද, ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීම වෙනුවෙන් මා කිරි පානය කළ යුතුම විය. ජ්‍යෝති බොහෝ විට කිරි වීදුරුවට කහට හෝ කෝපි කළවම් කර දුන්නේ මට දැනෙන අප්‍රියතාවය අඩු කරනු පිණිසය.

“මම අද නාන්න ඕන.”

ආපසු යහන අසළට පැමිණි මම පැවසුවෙමි.

“ඒක හොඳයි. ඇඟට සනීපවත් බවක් දැනෙනවා එතකොට. ඇඟට විතරක්ම නෙමෙයි. හිතටත්…”

කිරි වීදුරුව මා අත තැබූ ජ්‍යෝති පැවසුවාය.

“අපි නාලා එළියෙ ටිකක් ඇවිදින්න යමු මැඩම්. ඩොක්ට කිව්වා මැඩම් කැමතිනම් ඇවිදින්න එක්ක යන්න කියලා.”

කිරි පානය කිරීමෙන් පසු මා නාන කාමරයට කැඳවාගෙන යන ජ්‍යෝති පැවසුවාය. සැබවින්ම පසුගිය රාත්‍රියෙන් පසු මට ජීවිතයේ වෙනසක් උවමනා වී තිබිණ. මා බලවත් ලෙසින් රැවටීමට ලක් කළ හේෂාන් පිළිබඳව තවදුරටත් සිතීමෙන් පලක් නොවන බව මේවනවිට මට අවබෝධ වී හමාරය. ආයාසයෙන් හෝ අතීතය සහමුලින්ම මතකයෙන් මකා හැර ජීවත් වීමට මම අදිටන් කරගෙන සිටියෙමි.

මා දිය නා අවසන් වනවිට ජ්‍යෝති මගේ උදෑසන ආහාරය රැගෙන විත් තිබිණ. කෙතරම් සිතින් ශක්තිමත් වෙන්නට උත්සාහ කළ ද, ඇති වන ආහාර අරුචිය මේ වනතුරුත් පහව නොතිබිණ.  ආහාර ගෙන අවසන් වු පසු පූනම් හෙදිය මගේ බෙහෙත් වේල රැගෙන ආවාය.

“අද නම් මිස් ඩිනාලි ඉන්නෙ සතුටෙන්.”

බෙහෙත් වේල ලබා දෙන අතරතුර ඇය පැවසුවේ මගේ මුහුණ දෙස උවමනාවෙන් බලමිනි.  පසුගිය සැන්දෑවේ සිදු වූ සිදුවීම් ඇයට සිහි වන්නට ඇතත් ඇය ඒ පිළිබඳව වදනක් හෝ කතා නොකළාය. 

“ජීවිතේ හරි පුදුමයි මිස් ඩිනාලි. හැමතිස්සෙම මිරකල් එකක් සිද්ද වේවි කියලා හිතාගෙන ජීවත් වෙන්න අපි පුරුදු පුහුණු වුනේ නර්සින් වලට ආවට පස්සෙ. ඒක හරිම පුදුම දෙයක්. එහෙම හිතද්දි සතුට අපි කරා එන්නෙ බලාපොරොත්තු නැති විදියට.”

“මාත් එහෙම හිතන්න පුරුදු වෙනවා.”

“මේ හොස්පිටල් එකේ ඉන්න පේෂන්ට්ස්ලා අතරින් මිස් ඩිනාලි ගොඩක් වාසනාවන්තයි. අපි වෙලාවක කතා කරමු. මගේ ජීවිත කතාව ඇහුවොත් මිස් ඩිනාලි පුදුම වේවි මං මෙහෙම හිනාවෙලා ඉන්නෙ කොහොමද කියලා.”

මම පූනම් හෙදියගේ මුහණ දෙස බැලුවෙමි. මුහුදෙහි රළ නැගෙන්නාක් මෙන් නිරතුරුව සිනාවෙන් පිරුණු ඇගේ ජීවිතය  තුළ ද කිසියම් වේදනාවක් ඇති බව ඇය පැවසූ වදන් වලින් මම වටහා ගතිමි.

“සතුටින් ඉන්න.”

මගෙන් සමු ගත් පූනම් හෙදිය ට්‍රොලිය තල්ලු කරගෙන කාමරයෙන් පිටව ගියාය.

“ෆිල්ම් එකක් බලනවද මැඩම්?”

ජ්‍යෝති ඇසුවාය.

“අද බෑ ජ්‍යෝති.”

චිත්‍රපටයක් නැරඹීමට වෙනදා ඇති උනන්දුව මා තුළ ඇති නොවීය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං‘ රැගෙන එන ලද සඟරා කිහිපය අතට ගත් මම යහන මත දිගා වූයෙමි. හේෂාන්ගේත්, අරුණෝදිගේත්  මංගල සේයා රූ සහිත සඟරාව ද ඒ සමග තිබූ නමුත් එය දිගහරින්නට පවා මට නොසිතිණ. ධනාත්මක චින්තනය පිළිබඳව ලියා තිබූ සඟරාවේ පළමු පිටුව දිග හරිත්ම කිසිවෙක් දොරට තට්ටු කරන හඬ ඇසිණ.

“ඩොක්ට පීහු ඇවිත් ඇති.”

ජ්‍යෝති ගොස් දොර හැරියාය. පැමිණ සිටි තැනැත්තා දර්ශනය නොවුව ද, මා දෙස හැරී බැලූ ජ්‍යෝතිගේ දෑස් විශාල වී තිබුනේ හොල්මනක් දුටුවාක් මෙනි.

“එන්න…”

ඇය සෙමෙන් පවසන හඬ යන්තමින් මට ඇසිණ. කාමරය තුළට ඇතුලු වු හේෂාන් දකිත්ම මගේ ශරීරයම ගිනි ගන්නාක් මෙන් මට දැනිණ. එහෙත් හඬා නොවැටෙන්නටත්, ශක්තිමත් වන්නටත් මගේ යටි සිත මට බල කර පවසා සිටින්නාක් මෙන් මට දැනිණ.

“තමන්ට මොන විදියකින් හරි ද්‍රෝහි වුන කෙනෙක් ඉස්සරහ කඳුලක් හෙලන්න එපා ඩිනාලි. කඳුලු කියන්නෙ වටිනා දෙයක්.”

පසුගිය රාත්‍රියේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැවසූ වදන් මට ඇසෙන්නාක් මෙන් විය. හේෂාන් කාමරය තුළට පිවිසුනේ සෙමෙනි. එක්වරම නතර වූ ඔහු සිය දෙනෙත් අදහා ගත නොහැකි වූවාක් මෙන් මා දෙස බලා සිටියේය. සැනෙකින් ඔහුගේ දෙනෙත් කඳුලින් බොඳ වන බව දුටුවද මම ගල් පිළිමයක් සේ නොසැලී සිටියෙමි.

“ඩිනාලි…”

සම්පූර්ණයෙන්ම මුඩු වූ හිසක් සහිතව සිටින මා දුටු ඔහුට ඇති වූ හැඟීම් කවරේදැයි මට වටහා ගත නොහැකි විය. යහන අසළට පැමිණි හේෂාන් මගේ දෑත් අල්ලා ගන්නට සැරසුණද, මම මගේ දෑත් ඉවතට ගතිමි. එවර ඔහු පහත් වූයේ සුපුරුදු පරිදි මගේ නළලත හාදුවක් තබන්නට වුව ද, මම මුහුණ ඉවතට හරවා ගතිමි.

“එපා හේෂාන්… එපා…”

මට කෑගැසිණ. ඔහු විමතියෙන් මදෙස බලා සිටියේය.

“ගොඩක් වැඩ තිබුනා ඩිනාලි. ප්‍රින්ටින් එක්සිබිෂන් එක බලන්න ගියා. තරහ වෙන්න එපා බලන්න නාවට.”

මම නිහඬවම හේෂාන් දෙස බලා සිටියෙමි. හේෂාන්ගේ අතෙහි මංගල මුද්ද දක්නට නොවීය. මා දකින්නට පැමිණෙන්නට පෙර ඔහු මංගල මුද්ද ගලවා තබන්නට ඇතැයි මට සිතිණ.

“යාලුවෙකුත් ආවා ඔයාව බලන්න.”

දුර්වල සිනාවක් මුවට නංවා ගත් හේෂාන් පැවසුවේය.

“ඊයෙ මට අරුණෝදි හමු වුනා. මං අද ඔයාව බලන්න යනවා කිව්වම එයාටත් යන්න ඕන කිව්වා ඔයාව බලන්න.”

මම ඇතුළතින් සිනාසුනෙමි. ඔහු මෙතරම් මුසා බස් පවසන්නේ අරුණෝදි සමග කලින් කතා බහ කරගෙන බව දැන සිටියද, මා කිසිත් නොදන්නා බව හේෂාන්ට දැනෙන්නට ඉඩ තැබිය යුතුය.

“කෝ දැන් අරුණෝදි?”

“එයා විතරක් නෙමෙයි. එයාගෙ අම්මත් ආවා. අම්මා නම් මහන්සි කියලා කා එකේ. අරුණෝදි ඩොක්ට පීහු එක්ක කතා කරනවා.”

හේෂාන්… මා ආදරය කළ හේෂාන් මෙතරම් මුසා බස් පවසන්නට දැන සිටි අයෙක් නොවේ.   ඔහු මෙසේ පවසන්නේ අරුණෝදිගේ පිටපතකට අනුවද?

“ඔයා අද හරි වෙනස් ඩිනාලි.”

ජ්‍යෝති කාමරයෙන් පිටව යන තෙක් බලා සිටි හේෂාන් පැවසුවේ දුක් හඬිනි.

“ඔව්. මං වෙනස්. දැන් මං කැන්සර් පේෂන්ට් කෙනෙක්. කොණ්ඩෙ සම්පූර්ණයෙන්ම ගිහින්. මරණ සහතිකය අතින් අරගෙනයි මං ඉන්නෙ හේෂාන්.”

“එහෙම කියන්න එපා. ඔයාට හොඳ වෙන බව විශ්වාසයි.”

අරුණෝදි දොර හැරගෙන කාමරයට පිවිසියාය. ඉතාමත් සුන්දර ගවුමකින් සැරසී සිටි ඇය කාමරය තුළට පිවිසෙත්ම මට දැනුනේ නොපුරුදු විලවුන් සුවඳකි. මා දෙස ඇසිපිය නොහෙලා ඇය බලා සිටියේ සිය දෙනෙත් අදහා ගත නොහැකි වූවාක් මෙනි. අනතුරුව මා අසළට පැමිණි ඇය මා වැළඳගෙන මහ හඬින් හඬා වැටුනාය. මම නොසැලී සිටියෙමි. ගල් පිළිමයක් සේ නොසැලී සිටියෙමි. අරුණෝදිගේ සිරුරට අතක් තැබීමටවත් මට නොසිතිණ. 

“කෝ අම්මා?”

බොහෝ වේලාවක් හඬා වෙහෙසට පත්ව මා ඉදිරියේ හිඳ ගත් අරුණෝදිගෙන් මම ඇසුවෙමි.

“අම්මා?”

අරුණෝදි විස්මයෙන් යුතුව හේෂාන් දෙස බැලුවාය.

“අම්මට ටිකක් සනීප නෑ ඩිනාලි. දන්නවනෙ. ප්‍රෙෂර් වැඩිවෙලා. නැත්නම් එයත් අද අපි එක්ක එන්නයි හිටියෙ.”

මම හේෂාන් දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණ විකෘතව තිබුනේ ලජ්ජාව නිසා විය යුතුය.

“සොරි මෙච්චර දවසක් එන්න බැරි වුනාට. මට ඔයාව නිතරම මතක් වුනා ඩිනාලි. අනේ… ඔයා ගොඩක් වෙනස් වෙලා…”

අරුණෝදි මගේ මුහුණ අතගෑවාය. එවර මම ඇගේ දෑතින්ම අල්ලා ගතිමි.

“කෝ වෙඩින් රිංග් එක?”

අරුණෝදිගේ අතෙහි ද මගුල් මුද්ද නොදුටුවෙන් මම ඇසුවෙමි. අරුණෝදි කතා කර ගැනීමට නොහැකිව හේෂාන් දෙස බැලුවාය.

“මොනම හේතුවකටවත් මගුල් මුද්ද ගලවලා තියන්න එපා. ”

“ඩිනාලි… මේ… මේ…”

අරුණෝදි තැතනුවාය. හේෂාන් ඉවතට හැරෙන අයුරු මම දුටුවෙමි.

“මම හැමදේම දන්නවා අරුණෝදි. මං තරහ නෑ. කවදාහරි හේෂාන් ගෙ පරම්පරාවෙ නම ගෙනියන්න පුතෙක්ව හදලා දෙන්න. ඔයගොල්ලො ආයෙ මාව බලන්න නොආවට කමක් නෑ.”

එම වදන් මගේ මුවට ගලා ආවේ කෙසේදැයි මම නොදැන සිටියෙමි. කිසිදිනෙක නොවූ අයුරින් බරැති ගුලියක් වැනි යමක් ලය තුළ හිර වී ඇති සේ දැනුන ද, මගේ දෙනෙතට කඳුලක් නොනැගිණ. 

“ලස්සනයි වෙඩින් ෆොටෝස්.”

හේෂාන්ගේ සහ අරුණෝදිගේ මංගල සේයා රූ සහිත සඟරාව ගෙන එය අරුණෝදි වෙත දැක්වු මම පැවසුවෙමි. අරුණෝදිගේ පමණක් නොව හේෂාන්ගේ ද දෙනෙත් විස්මයෙන් විශාල වන්නට ඇත. හේෂාන් මට නොපවසාම කාමරයෙන් පිටතට දිව ගියේ ඔහුට හඬන්නට උවමනා වූ නිසා විය යුතුය. එහෙත් දැන් සියල්ල සිදු වී හමාරය.

“අපට සමාවෙන්න ඩිනාලි.”

අරුණෝදි හඬමින් පැවසුවාය.

“හේෂාන්ගෙ අම්මලා ගෙනාව ප්‍රපෝසල් එකක් මේක. අපි දෙන්නා යාලු වුනා නෙමෙයි. ආන්ටිට ඕන වුනේ ඔයාලගේ වෙඩින් එකට නියම කරගත්ත දවසෙම අපේ වෙඩින් එක ගන්නයි. හේෂාන් ඇක්සිඩන්ට් වුන නිසා ඒක මග ඇරුණා. ඊටපස්සෙ ඉක්මනින් හැමදේම සිද්ද වුනා.”

මම නිහඬවම අරුණෝදි දෙස බලා සිටියෙමි. ඇය කෙරෙහි තරහක් හෝ අනුකම්පාවක් මා තුළ කිසිසේත්ම ඇති නොවීය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles