සිහින අසපුව – 32 කොටස

තමා විසින් ලියන ලද ‘සිහින අසපුව’ නවකතාවේ අවසානය සටහන් කළ ආරාධ්‍යාට දැනුනේ සැහැල්ලු හැඟීමකි. ඇය නැගිට කාමරයේ ජනෙල් පෙළ අසළට ගියාය. විවෘත ජනෙල් පෙළ අතරින් මුහුද දෙසින් හමා එන සුලඟේ සිහිලස දැනේ. අහස කෙළවර දිස්වන පුරපස සඳවතෙහි ආලෝකයෙන් මුහුද පැහැදිලිව දිස් නොවුවද, රාත්‍රී කාලයේදී රිද්මයානුකූලව වෙරළට පෙරළී එන රළ පෙළෙහි සුන්දරත්වය ඇය මනසින් දුටුවාය. 

“ජීවිතය පුදුමයි.”

ආරාධ්‍යා තමාටම පවසා ගත්තාය. පසුගිය දින වල සිදු වූ සිදුවීම් සිහිනයක්ද, එසේත් නැත්නම් චිත්‍රපටයක ජවනිකාදැයි සිතා ගත නොහැකි තරම්ය. දැන් ජීවිතය පරිපූර්ණ වෙමින් තිබේ. තම ජීවිතය පමණක් නොවේ. සියලු දෙනාගේම ජීවිත පරිපූර්ණ වෙමින් තිබීම මොන තරම් නම් සතුටක්දැයි ආරාධ්‍යා කල්පනා කළාය.

විහාරා නැවත නිවසට පැමිණ සිටියි. ආයුෂ්ගේ මව බලා ගැනීම සඳහා කෙනෙකු ලැබෙන තුරුම ඇය දින කිහිපයක් ස්වේච්ඡාවෙන් එහි නතර වී සිටියාය. ආපසු නිවසට පැමිණි විහාරා දැන් කලකට පෙර සිටි විහාරාමය. ඇය මහ හඬින් සිනාසෙයි. ගී ගයයි. නටයි. විහිලු තහලු කරයි. කලකට පෙර අන්ධකාරයේ ගිලී තිබූ නිවස යළිත් ආලෝකමත් වී තිබේ. මලීෂ ද නිවසට පැමිණියේ නම් සියලු දෙනාගේම ජීවිත මොන තරම් නම් සුන්දර වනු ඇත්දැයි ආරාධ්‍යාට සිතිණ. ඔහු නිවසට ගෙන්වා ගැනීමට තාත්තා පොරොන්දු වී සිටියි. මලීෂ රඟපාන ටෙලි නාට්‍යය විකාශය වෙන්නට පෙර රූපවාහිනිය නරඹන්නට කතා කරන්නැයි තාත්තා පමණක් නොව විහාරා ද තමාගෙන් ඉල්ලා සිටි බව ආරාධ්‍යාට සිහි විය. ඇය වේලාව බැලුවාය. වේලාව හතයි පනහ ලෙසින් සටහන් වී තිබේ.

“කමක් නෑ. දැන්මම කතා කරනවා. ඒවෙනතුරු නිව්ස්වත් බලන්න පුලුවන්නෙ.

ආරාධ්‍යා කාමරයෙන් පිට වූවාය. විහාරාගේ කාමරය තුළින් ගී හඬක් ඇසේ. එය ඉංග්‍රීසි ගීයකි. විහාරාගේ කටහඬ බෙහෙවින් මිහිරිය. ඇය ගීතය ගායනා කරන හඬ වසා ඇති කාමරයේ දොර අසළ නතර වූ ආරාධ්‍යා අසා සිටියාය. 

I get wings to fly

Oh… oh… I ’m live

විහාරා ගායනා කරන්නේ සෙලින් ඩියොන්ගේ ගීතයකි. ආරාධ්‍යාගේ මුවග සිනාවක් නැගිණ. විහාරාගේ කටහඬ මිහිරිය. ඇය ගී ගයන අයුරු අසා සිටින්නට ආසා සිතෙයි.

When you call on me

When I hear your breath

I get wings to fly

I feel that I’m live

When you look at me

I can touch the sky…. 

තවදුරටත් ගීතය අසා සිටින්නට සිතුණද කාලය කෙමෙන් ඉක්ම යන බැවින් ඇය විහාරාගේ කාමරයේ දොරට තට්ටු කළාය. ගිටාරය වයමින් පැමිණි විහාරා දොර හැරියාය.

“ටෙලි ඩ්‍රාමා එක බලනවද?”

“නැතුව?”

විහාරා සිනාසුනාය.

“එහෙමනම් පස්සෙ එන්න. මං යනවා නිව්ස් බලන්න”

“නිව්ස් කියලා දෙයක් තියෙනවද? අම්මෝ… මතක ඇති කාලෙක මම නිව්ස් බැලුවෙ නෑ. යමු. මාත් එන්නම්.”

ගිටාරය යහන මත තැබූ විහාරා කාමරයෙන් පිටතට පැමිණියාය.

“මට පියාඹන්න හිතෙනවා.”

විහාරා දෑත් විදහා වටයක් කරකැවුනාය.

“ඔයාට මොනවද හිතෙන්නෙ අක්කෙ?”

“මට ඔයා පියාඹන දිහා බලාගෙන ඉන්න හිතෙනවා.”

ආරාධ්‍යා සිනාසුනාය.

“හරි නරකයි. හැබැයි අක්කෙ. මං ඔයාට ගොඩක් ආදරෙයි. ඇයිද දන්නවද? මගේ නපුරුකමට හිතුවක්කාරකමට කරන්න බැරි වුන ගොඩක් දේවල් ඔයා කරපු හැටි නම් අපූරුයි.”

“ඒ මොනවාද?” යි ආරාධ්‍යා නොඇසුවාය.

“එහෙම නොවුනානම් මගේ ජීවිතේ යන්නෙ කොහෙද කියලා මටවත් හිතාගන්න බැරි වෙනවා. ”

ආරාධ්‍යාගේ අත අල්ලාගෙන පියගැට පෙළ බසින විහාරා පැවසුවාය.

“අනේ පව් මැඩම්. මං එන්න ලෑස්ති වෙද්දි අඬපු හැටි මතක් වෙනකොට මටත් හරියට ඇඬුනා.”

“මැඩම්?”

“නෑ… නෑ ආන්ටි. ඔයාගෙ නැන්දම්මා.”

විහාරා සිනාසුනාය.

“ඇත්තමයි අක්කෙ. හිතේ ධෛර්යයට ආන්ටිව බලාගත්තට අනේ මට ගොඩක් මහන්සි දැනුනා. එයා මහතයිනෙ ගොඩක්. නැගිට්ටන්න වාඩි කරවන්න, හාන්සි කරවන්න ගියාම කොන්ද හොඳටම රිදෙනවා. සමහර දවස් වලට මම බාත් රූම් එකට ගිහින් අඬනවත් එක්ක. දැන් ඉන්න කෙනා නම් මං වගේ ඇටිකිච්චියක් නෙමෙයිනෙ. එයා ආන්ටිව ආදරෙන් බලා ගනීවි.”

ආරාධ්‍යා සහ විහාරා යනවිටත් කවීන් හිඳගෙන ප්‍රවෘත්ති විකාශය නරඹමින් සිටියේය. ආරාධ්‍යා කවීන් අසළින් හිඳ ගත්තාය.

“ඔන්න. මම කලින්ම ඇවිත් නිව්ස් බලන්න ගත්තා. නිව්ස් ඕනවටත් නෙමෙයි. ඩ්‍රාමා එක මග ඇරේවි කියලා බයට. ඒකනෙමෙයි. අද අම්මා එනවා. අවෝඩ් එක ගත්ත සතුටට අපිත් මොනවා හරි කරන්න ඕන.”

“අම්මා කීයටද එන්නෙ තාත්තෙ?”

“කෙලින්ම ගෙදර එන එකක් නෑ. කට්ටිය එහේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තියෙනවලු. ඒකට ඉඳලා එක්කො පාන්දර ඒවි. නැත්නම් හෙට උදේ ඒවි. දන්නවනෙ. අම්මගෙ ජීවිතේ තියෙන්නෙ එතනනෙ.”

“තාත්තෙ…”

ආරාධ්‍යා කිසිවක් පවසන්නට මුව විවර කරත්ම විහාරා නැගී සිටියේ ප්‍රීතියෙන් කෑගසමිනි.

“අන්න… අන්න… සුහේල්…”

හිඳගෙන සිටි පුටුවෙන් නැගිට ආරාධ්‍යා බදා ගත් විහාරා කෑගැසුවාය.

“අනේ… සුහේල් වෙනස් වෙලා. කොණ්ඩෙත් කපලා. දැක්කද? දැක්කද අක්කේ… අර බලන්නකො… සුහේල්…”

ආරාධ්‍යා රූපවාහිනී තිරය දෙස බලනවිට සුහේල් දක්නට නොවූ අතර, සම්මානය අතින් ගත් සුහර්ෂා මාධ්‍යවේදීන් අමතන ආකාරය ඇය දුටුවාය. මව පසෙකින් හසිත් ද සිටින අයුරු ඇය දුටුවාය.

“සුහේල්ව දැක්කා. අම්මව දැක්කෙ නෑ.”

ආරාධ්‍යා, විහාරාට සෙමෙන් ටොක්කක් ඇන්නාය.

“අම්මව හැමදාමත් දැක්කනෙ. අනේ… සුහේල්… සුහේල් දැක්කෙ කොච්චර කාලෙකින්ද?”

විහාරා මුහුණ වසාගෙන ඉකිබිඳ හැඬුවාය. කවීන් කිසිවක් නොපවසන ලෙස ආරාධ්‍යාට ඇසෙන් ඉඟි කළේය. සැබවින්ම විහාරාට ඇගේ හැඟීම් මුදා හරින්නට ඉඩ දිය යුතු යයි ආරාධ්‍යාට ද සිතිණ.

                    *

ආයතනයේ සේවක සේවිකාවන් විසින් පවත්වන ලද පිළිගැනීමේ උත්සවය නිමා වන විට හැදියම් රැය ද ගත වී තිබුනෙන් සුහර්ෂා නිවසට නොගොස් ආයතනයේම නතර වූවාය. දැඩි වෙහෙස නිසා යහනට වන් සැනින් නින්දට වැටුණු ඇය පිබිදුනේ ඇගේ ජංගම දුරකතනයෙහි හඬිනි. දුරකතන තිරය දෙස නොබලාම ඇය දුරකතනය සවනත තබා ගත්තාය.

“මැඩම්…”

හසිත්ගේ කටහඬ ඇසුණු සැනින් ඇය යහන මත හිඳ ගත්තාය.

“සමාවෙන්න මැඩම් මම නින්දට බාධා කළානම්.”

හසිත්ගේ කටහඬ හැඬුම්බර යයි ඇයට සිතිණ.

“ඇයි හසිත්? මොකක්ද ප්‍රශ්නෙ?”

හසිත් මොහොතක් නිහඬ විය. ආයතනයට පැමිණි මොහොතේම ඔහුට මුහුණ දීමට සිදු වූ ප්‍රශ්නය කුමක්දැයි සුහර්ෂා කල්පනා කළාය.

“කියන්න හසිත්. මොකක්ද ප්‍රශ්නෙ?”

ඇය කාරුණිකව විමසුවාය.

“දැන් කෝල් එකක් ආවා මැඩම්. තාත්තට හොඳටම අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා කියලා.”

හසිත් පැවසුවේ ශෝකී කටහඬිනි.

“මොකක්ද මගෙන් වෙන්න ඕන?”

“මම දැන්මම ගෙදර යන්න ඕන මැඩම්.”

සුහර්ෂා මොහොතක් කල්පනා කළාය. ගමන් විඩාවත්, පියාගේ අසනීපය නිසා ඇති වූ චිත්ත කම්පනයත් නිසා ඔහු තනිව නිවසට යාම නොසුදුසු සේ ඇයට හැඟිණ.

“හොඳයි. තනියම යන්න එපා හසිත්. ඩ්‍රයිවර් කෙනෙක්ව දෙන්නම්. ගිහින් එන්න.”

“එපා මැඩම්. මම තනියම යන්නම්. උදේ වැඩ පටන් ගන්න ඉන්න බැරි වෙන එක ගැන කණගාටුයි.”

“පිස්සු කතා කරනවද හසිත්? වැඩ කරගන්න බැරියැ? ඔයා ගිහින් එන්න. යන්න කලින් මාව හම්බ වෙන්න එන්න.”

නින්ද අමතක කළ සුහර්ෂා නිදන ඇඳුම් මාරු කොට වෙනත් ඇඳුමක් ඇඟ ලා ගත්තාය. ඇය කාර්යාලයට ගොස් එහි හිඳගත්තද නිදිමතත්, වෙහෙසත් නිසා හිස ඔසවා ගෙන සිටීම පවා අසීරු සේ  ඇයට දැනිණ.

“මැඩම්…”

කාර්යාලයට පිටතින් හසිත්ගේ කටහඬ ඇසිණ.

“එන්න හසිත්…”

පිටත්ව යාමට සූදානම් වු හසිත් කාර්යාලයට පැමිණියේය. ඔහුගේ මුහුණ දුක්මුසු යයි සුහර්ෂාට සිතිණ.

“තනියම යනවනම් පරෙස්සමෙන් යන්න ඕන හසිත්. ගිය ගමන් මට කෝල් එකක් දෙන්න ඕන.”

“හොඳයි මැඩම්.”

“කෝ ඔයාගෙ රූම් එකේ නතර කර ගත්ත ළමයා?”

“සුහේල් ද මැඩම්? මං අහන්නමයි ආවෙ. ඒ මල්ලිවත් ගෙදර ළඟින් දාගෙනම යන්නම්.”

“හොඳයි.”

මඳක් කල්පනා කළ සුහර්ෂා පැවසුවාය.

“කෝ දැන් සුහේල්?”

“එළියෙ ඉන්නවා මැඩම්. මං එන්න කියන්නම්.”

හසිත් වහා පිටතට ගොසන් සුහේල් කැඳවාගෙන පැමිණියේය.

“සුහේල්… හසිත් එක්ක ගෙදර ගියාට කමක් නෑ. අම්මව තාත්තව බලලා ඉක්මනින් ආපහු එන්න ඕන. අපේ අලුත් ප්‍රොජෙක්ට් එක සුහේල්ට භාර දෙන්න මගේ අදහසක් තියෙනවා.”

සුහේල් කතා බහක් නොමැතිව හිස නැමුවේය. ඔහුගේ දෙනෙත් වල කඳුලු පිරී දිළිසෙන අයුරු සුහර්ෂා බලා සිටියාය. 

“මං හෙට විශේෂ වැඩක් දාගෙනයි හිටියෙ හසිත්. ඔයාව ආයතනයෙ මැනේජින් ඩිරෙක්ටර් විදියට ඇපොයින්ට් කරලා මං ටිකක් වගකීම් වලින් නිදහස් වෙන්න ඕන කියලා හිතාගෙන හිටියෙ. කමක් නෑ. ගිහින් ආවම හැමදේම සැලසුම් කර ගනිමු. දෙන්නම පරෙස්සමෙන් ගිහින් එන්න.”

හසිත් නැඹුරු වී සුහර්ෂාගෙන් සමු ගත්තේය. සුහේල් ද සුහර්ෂාට වැඳ සමු ගත්තේය. ඇය මුදල් සහිත ලිපි කවර දෙකක් හසිත් සහ සුහේල් අත තැබුවාය. 

“පරෙස්සමෙන්… ගිහින් කෝල් එකක් දෙන්න. සුහේල්… මං කියපු දේවල් මතකයි නේද?“

“ඔව් මැඩම්. අපි යන්නම්.”

“යන්නම් නෙමෙයි. ගිහින් එන්නම් කියන්න හසිත්. තෙරුවන් සරණයි.”

හසිත් සහ සුහේල් පිටව ගිය පසු සුහර්ෂා  ඇගේ කාමරයට ගියාය. යහන මත වැතිරුණද, ඇගේ දෙනෙත් වලට නින්ද ළං නොවීය. අතීතය සිතුවම් පටයක්ව ඇගේ මනසෙහි දිග හැරෙන්නට වූයේ ඇගේ මනසට විවේකයක් ලබා නොදෙමිනි.

“කවුරු මොන විදියට හිතුවත් මම කරන්නෙ මට හරියි කියලා හිතෙන දේ.”

යහනෙහි අනෙක් පසට හැරුණ සුහර්ෂා තමාටම පවසා ගත්තාය.

“කරන්නේ විතරක් නෙමෙයි. කළෙත් මට හරියි කියලා හිතෙන දේම තමයි. මම තාත්තගෙම දුවනෙ.”

මඳ සිනාවක් නැගූ සුහර්ෂා දෙනෙත් පියා ගත්තාය.

*

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles