මල්වර මල් සර – 17

ෆේස් බුක් ප්‍රොෆයිලයට පහේ පන්තියේ දී ගත් ඡායාරූපයක් එක් කළ අයානා සඳැල්ලට ආවා ය. ඒ පින්තූරය ගත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දින වල මහරගම ඩයස් ස්ටූඩියෝ එකෙනි. එහි ඇය වැවී ගෙන එන කොණ්ඩය මැදින් බෙදා දෙකරලකට ගොතා පොත් දෙකක් අත තියා ගෙන හිඳී. පිරුණු ඇගේ මුහුණ පියකරු ය. යන්තම් සිනහ රැල්ලක් දෙතොල් අතරේ වේ. ඇස් දෙක දිළිසෙයි. 

පරණ පින්තූර ඇල්බමයක වූ ඒ පින්තූරය හොයා ගෙන මුහුණු පොතට එක් කරන්නට අයානා ට සිතුණ සිතිවිල්ල හදිසියේ උපන්නකි. හරි අහම්බෙන් ඇය ඒ පින්තූරයට ආදරය කරන්නට පටන් ගත්තා ය. දුරාශා ගිය ගමන් නිර්වාණය වසා දමා උඩු මහලට දිව ගිය ඕ පොත් පිරවූ කබඩ් එක පෙරළමින් පින්තූර ඇල්බම සෙව්වා ය.

“මොනාද ඔය තරං හොයන්නෙ”

ටිකක් වෙලා බලා සිටි අහවර නාලිනී විමසුවේ අයානා වෙතින් විද්‍යමාන වූ කලබලය නිසා ය. බිම හිඳ ගෙන පොත් පත්තර ඇද ගෙන සිටි අයානා නෙතු ඔසවා බැලුවේත් ඒ කලබලයෙනි.

” මගෙ පොඩි කාලෙ ෆොටෝස් කෝ…අර මං ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගර්ල්ස්කූල් එකට යන්න කලිං අන්තිමට ධර්මාශෝකෙට ගිය දවසෙ තාත්ත එක්කං ගිහිං ගත්ත ෆොටෝ එක…අනේ ඒක නැති වෙලාද අම්මෙ..මේ එක ඇල්බම් එකකවත් ඒක නෑනෙ”

එය හැඬෙන්නට ඔන්න මෙන්න තරම් වූ ස්වරයකි. 

“නැති වෙන්නනං විදිහක් නෑ. ඔය කොහේ හරි ඇති. ඉතින් මේ හදිස්සියෙ ඕක මොකටද…”

අයානා අම්මා අන්තිමට ඇසූ ප්‍රශ්නය උවමනාවෙන් ම මගහැර පළමුව කී කාරණය පමණක් ඉස්මතු කළා ය.

“නැති වෙන්න විදිහක් නෑ කියල බෑනෙ අම්මෙ. හොයල දෙන්නකො. ධර්මාශෝකෙ යුනිෆෝම් එකෙන් ගත්ත ෆොටෝ එකකට මට තිබුණෙ ඒක විතරයි”

අයානා ට දෙයක් ඕනේ කියා හිතුණොත් එය කෙසේ හෝ ලබා ගෙන මිස ආපසු හැරෙන්නේ නැත.  හිතුණ දෙයක් හිතුණ විදිහට ම ඉෂ්ට සිද්ද කර ගෙන මිස නතර වෙන්නේ නැත. අන්තිම මොහොතේ දී සිය විවාහය අවලංගු කර දමන්නට තරම් හිතුවක්කාර වූ ඇගේ හිතිවිලි ගැන දන්නා නිසා ම දියණිය බලාපොරොත්තු වෙන දෙයක් හැකි උපරිමයෙන් ඉටු කොට දීම නාලිනී ගේ ස්වභාවයයි. බිම හිඳ ගෙන පරණ ඇල්බම දිග හැර බලන්නට ඇය පෙළඹුණේ ඒක ය. අන්තිමට පින්තූරය සොයා ගත හැකි වූයේ නාලිනී ට ය.

“මේ තියෙන්නෙ…මං කිව්වෙ නැති වෙන්න විදිහක් නෑ කියල”

අයානා වහා ම පින්තූරය ඇල්බමයෙන් ගලවා ගෙන සිනහ මුවින් නැගී සිටියා ය.

“දැන් එතකොට මේව මංද අස් කරන්න ඕනෙ”

කබඩ් එකේ තිබී බිමට ඇද දමා තිබූ අඩුම කුඩුම දෙස බලමින් නාලිනී විමසූයේ බොරු නෝක්කාඩුවකිනි. ඒ සියල්ල එතැන තිබියදී පින්තූරය පපුවට තුරුලු කර ගෙන කාමරයට යන්න ගිය අයානා අම්මා දෙස බලා ලස්සනට සිනහ වූවා ය.

“මගෙ සුදු අම්මනෙ…ඔය ටික දාන්න ඉතිං…මං ලස්සන කහ රෝස පැළයක් අරං දෙනව”

අයානා එසේ කීවේ කහ රෝස ගහ මිය යාම ගැන අම්මා විස්සෝපයෙන් බව දැන සිටි නිසා ය.

මේ මොහොතේ අයානා සිටියේ ඇස් දෙක පියා ගෙන, මුහුණේ පතිත වෙන රාත්‍රී පවනැල්ලේ සිසිල විඳිමිනි. කොහේ හෝ වත්තක පිපුණ ඇට්ටේරියා මල් වලින් සුවඳ පොදක් එපවන සොරා ගෙන විත් තිබිණ.

“කොහොමද එච්චර කාලයක් මාව පපුවෙ තියං හිටියෙ…”

එහෙම ඇහුවේ අයානා ගේ හිත ය. ඒ සමග ම ඇය මුව මඳක් විවර කොට පෙනහලු පුරා හුස්මක් ගත්තා ය. එහෙම වෙලාවටත් පපුව රිදෙන්නේ ඇයි කියා නම් ඇය දන්නේ ම නැත.

දුර ඈත නම නො දන්නා මන්දාකිණියක තාරකා එළි තරම් ආත්ම ගණනක් හුරු පුරුදු ව තිබූ බැඳීමක සේයාවක් හදවතට දැනේ. ඒ සංසාර ගමනේ දී පපුවට තදින් තුරුලු කර ගෙන ආ තාරකා ආත්මයක් නිවි නිවී දැල්වෙන්නා සේ ය. සිද්ධ වෙන්නට යන්නේ කුමක් දැයි ඇය සිතන්නට නො ගියා ය. 

දුල්නෙත් ඒ පින්තූරය දෙස බලා සිටියේ හද ගැස්ම නතර කර ගෙන ය. සැබවින් ඔහුට විශ්වාස කර ගත නො හැකි ය. උරහිස ළඟට තරම්වත් දිග නැති පුංචි කොණ්ඩ කරල් දෙකක අග කළු පාට පීත්ත පටි වලින් ගැට ගැසූ, බෝල මූණක් හා ටීක් බෝල ඇස් දෙකක් ඇති ගෑනු ළමයා!

මේ භවයේ යළි කිසි දාක ඇය මුණගැසෙතැයි සිතිවිලි මාත්‍රයක් හෝ ඔහු වෙත වූයේ නැත. ඒ අතින් බලත්දී ජීවිතය කියන්නේ මායා සන්දර්ශනයක් වාගේ තැනකි. ඊළඟ මොහොතේ කුමක් සිදු වේදැයි කාට නම් කිව හැකි ද? දුල්නෙත් වහ වහා ඒ පින්තූරය සිය ජංගම දුරකතනයෙහි පින්තූර ගැලරියට ගබඩා කර ගත්තේ ය. බැච් ටොප් වීම වෙනුවෙන් ලැබුණ හොඳ ම තිලිණය!

“ඒ ෆොටෝ එකනං දැම්මෙ කොල්ලට දකින්නම තමයි. නෑ කියලනං කියන්නෙපා”

උදේ පාන්දර ම දුරාශා කෙලින් ම මාතෘකාවට බැස්සා ය. ඇය කැවූ බත් කට අයානා ට පිටි උගුරේ ගියේ ය.

“නෑ අප්ප…මට ඒක මතක් වුණා…හුඟ කාලෙකින් දැක්කෙ නැති නිසා හොයා ගත්ත. නිකමට එෆ් බී දාන්න හිතුණා ඉතිං”

“එච්චර පොඩි කාලෙ වෙච්ච දෙයක් මතක තියං හිටිය කියන්නෙ..ඒකා තමුසෙව හොය හොයා ඉන්න ඇති. හොයාගෙනම එන් ඇති…”

අයානා මිතුරිය නෑසුණා සේ වතුර ටිකක් බීවා ය.

“මං මුලදිම කිව්වෙ…ඒකගෙ ඇස් මොනා හරි හොයනව කියල”

අයානා ඒත් කතා නොකළා ය.

“ගොළුව වගේ ඉන්නැතුව දැං ඉතිං මොනා හරි කියනව. ඔක්කොම කරල ඉවර වෙලා දැං සද්ද නැතුව ඉන්න බෑනෙ”

“මො…නාද මං කළේ…”

අයානා හුරතල් නෝක්කාඩුවක් පෑවා ය.

“වතුරට වැටුණනං කොහොම හරි පීනන්න වෙනව. අත පය අකුලං නිකං ඉන්න බෑ. එතකොට ගිලෙනව. ගිලෙනවට වැඩිය ලේසියි කොහොම හරි පීනන්න බලන එක…”

පපුව පිච්චී ගෙන යනවා සේ අයානා ට දැනිණ. 

“හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙනෙ…කොහොමත් බොරුව කියන කළුවර අස්සෙ හැංගිල ඉන්නවට වඩා ඇත්තට මූණ දෙන්න හයිය ඇති කර ගන්න එක හොඳයි අයා. අපි අවුරුදු දහ අටේ විස්සෙ පොඩි උන් නෙවේනෙ දැං. රැළි දෙක තුනකට අහු වෙලා ගහං යන්න ගිහිං පිදුරු ගහේ එල්ලිල හරි මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්නෙ. දැං අපි ඉන්නෙ එහෙම ඉබාගාතෙ ගහං යන වයසක නෙවේ. කල්පනා කරල අපේ ගමන යන්න ඕන වයසක..දුල්නෙත් ඔයා ගැන බලාපොරොත්තු තියා ගන්නද කියල ඇහුවොත් දෙන්න උත්තරයක් ඔයා ළඟ තියෙන්න ඕන”

කොයි තරම් කල් ඇතිව දැන ගෙන සිටිය ද භූමි කම්පාවක් ඇති වෙත්දී ආත්මය දෙදරා යන්නේ ය. අයානා ද පත් වූයේ එවන් තත්වයකට ය. ඈ සිය මල් පෙති ඇස් පියන් බිමට හරවා ගෙන මේසයෙහි බලි කුරුටු ඇන්දා ය.

“ඒව සිද්ද වෙන්න පුළුවන් දේවල් නෙවේනෙ දුශ්”

ඒ සියුම් කෙඳිරිලි හඬ නැගී ආවේ දුර ඈත ග්‍රහ ලෝකයකින් සේ ය. දුරාශා වහා ම මිතුරිය ගේ අතක් මත අතක් තැබුවා ය.

“අයා මේ ඔයාගෙ ජීවිතේ. කාලයක්ම ඔයා ඒක ඔහේ පැත්තකට දාල තිබුණ. මං කියන්නෙ…නිර්වාණෙ ලස්සනට කරං යන්න විතරක් නෙවේනෙ ඔයා මේ ලෝකෙට ආවෙ. ඔයාගෙ ජීවිතේ සතුට අයිති ඔයාට. ඒක ඇති කර ගන්නවද නැද්ද කියන එක ඔයාගෙ අයිතියක්. ලෝකෙට බය වෙලා කවදාවත් අපිට සතුට හොයන්න බෑ. මේ වෙලාවෙ ලෝකෙ මිනිස්සුන්ට කුද ගහගන්න කියල මං ඔයයි දුල්නෙතුයි එක්ක ඉන්නව. හරිද…”

අයානා ගේ ඇස් වලට කඳුළක් කාන්දු වෙන්නට හැදුවේ ය. නමුත් ඇය ඊට ඉඩක් දුන්නේ නැත. වක්කඩ කැඩුවා වගේ මේ මොහොතේ දෝරෙ ගලන්නට පටන් ගත් සියල් හැඟීම් ටික දිනක සිට ඇය ඉතා තදින් හිතේ හිර කර ගෙන උන් ඒවා ය. 

වීදුරු දොර විවර වෙනවා දැනී තරුණියන් දෙදෙනා ම ඒ දෙසට හැරුණහ. ඔවුන් දෙදෙනා ගේ ම ඇස් විසල් වෙන්නට ගත වූයේ තත්පරයකින් සියයෙන් එකකටත් අඩු කාලයකි.

ඒ උදයේ නිර්වාණය පසු කරත්දී විදුර සයුරංග ඒකනායක රිය කවුළුවෙන් මඳක් නැවී නිර්වාණ ද්වාර නම් වූ පුවරුව දෙස බැලුවේ ය. සැබවින් ඒ අද ප්‍රථම වතාවට සිදු වූ දෙයක් නොවේ. ජපුරට පත්වීම ලද දා පටන් සිදු වූවකි. මංජරීව සිය රියෙහි නංවා ගෙන යන්නට පටන් ගත්තාට පස්සේ එය සිදු වූයේ ඇයට හොරෙන් යන්තමිනි. නමුත් අද ඔහු බලනු මංජරී ගේ අතට ම හසු විය. 

“මේක ඉස්සර මගෙ යාළුවෙක්ගෙ ගෙයක්. මං හිතන්නෙ දැං ඒගොල්ලො ෆ්‍රාන්ස් වල ඉන්නෙ”

“ඕකෙ ෆොටෝ කොපි කෙල්ලට තමයි දුල්නෙත් වහ වැටුනෙ…”

මංජරී එසේ කීවේ වචන වලින් දමා ගැසීමක් බඳු නොරිස්සුමකිනි. විදුර අතින් රියෙහි ගමන් වේගය නො දැනී ම අඩු වී නිර්වාණය මඳක් පසු කොට පාර අයිනේ එය නැවතිණ.

“ඇයි…”

මංජරී නළල රැලි ගැන්වූවා ය. විදුර හෑන්ඩ් බ්‍රේක් ඇද්දේ ය. ඔහු ගේ මූනට අමුතු තාලයක හිනාවක් ඇවිත් තිබිණ.

“නෑ…ඔයාව එපා වෙන්න තරංම ඒ ෆොටෝ කොපි කෙල්ලගෙ තියන විශේෂෙ මොකද්ද කියල බලන්න හිතුණා”

“අනේ මේ යමුද…විකාර නොකර…”

“මං ටක් ගාල එන්නං ඉතිං…කෙල්ලගෙ මූණ ස්කෑන් කර ගත්තා ආවා”

“සයුරංග අනේ මේ නිකං බාල වැඩ කරන්නෙපා. ඒ ගමන ඔයාටත් ඕන වුණාද ෆොටෝ කොපි කෙල්ලෙක් පස්සෙං යන්න…”

සයුරංග හඬ නගා හිනැහුණේ ය. ඒ ගැන ඒ තරම් බියක් දැනුණේ ඇයිද කියා මංජරී සැබවින් ම නො දැන සිටියා ය. රිය දොර හැර ඉන් බසිත්දීත් සයුරංග සිය දිවියෙහි වර්තමාන ගැහැනිය දෙස බලා සිනහ වූයේ ය. මංජරී ගේ මුහුණ රතු වී තිබේ. ඒ කේන්තියට හේතුව ඊර්ෂ්‍යාව මිස වෙනකක් නොවන බව පසු කර ගෙන ආ ගැහැනුන් පිළිබඳ අත්දැකීම් මත ඔහු දනී.  ගැහැනුන් කියන්නේ ඊර්ෂ්‍යාවට කියනා තවත් නමකි. එය වෙනස් කළ එක ම ගැහැනිය අයානා ය. ඔහු ට තවමත් ඇය අදහා ගත නො හැකි වස්තුවක් වන්නේ ඒක ය.

දුල්නෙත් ගේ හිත මංජරීගෙන් මිදිය හැකි තරමට ඈ වෙත ඇද බැඳ ගත හැකි ස්ත්‍රී රූපකාය දැක ගැනීම ගැන සයුරංග තුළ උපන්නේ උනන්දුවකි. ඊට අමතරව  කුතුහලයක් ද එහි පැටලී තිබිණ. ඒ මෙතැන සන්නිවේදන මධ්‍යස්ථානයක් ඇරඹීමේ නිධාන කතාව කුමක් ද යන්න ය. අයානා ට කුමක් සිදු වී ද දැන් ඇය කුමක් කරන්නේ ද යන කුකුස, දිනපතා විජේරාමට එන්නට ගත් පසු පාලනය කර ගත නො හැකි ලෙස ඔහුු තුළ වැඩී ගෙන එමින් තිබිණ.

ඒ කවදාවත් යළි සිදු විය හැකි හමුවීමකැයි අයානා සේ ම විදුර ද සිහිනයෙන් හෝ සිතා තිබුණේ නැත. එහෙම හමුවක් ප්‍රාර්ථනා කළේ ද නැත. අයානා නම් පැතුවේ මතු උපදින ආත්මයක හෝ එවන් මිනිසෙකු හමු නොවේවා කියා ය. නමුත් අප පතනා පැතුම් එලෙස ම ඉටු නොවෙන අවස්ථා ඕනෑ තරම් අපේ ජීවිත කරා එළඹේ. 

 සුළං සීනුවේ හිස නොගැටෙන සේ මඳක් පසෙකින් විදුර සිට ගත්තේ දෑත් කලිසම් සාක්කු තුල බහාලමිනි. එය අපූරු තැනක් බව ගොඩ වූ ගමන් ඔහු ගේ හිත පිළිගත්තේ ය. හෙතෙම මඳක් වට පිට බැලුවේ ඒ අපූර්වත්වය ඔහුව ගිල ගන්නට මාන බලත්දී ය. 

අයානා සුදු මැළි වන්නට වූවා ය. උගුරත් කටත් වියළි ගිහින් මහත් රළු බවක් ආහාර මාර්ගය ඔස්සේ දැනිණ. දුරාශා වමතින් අයානා ගේ අතක් අල්ලා ගනිමින් ම ලන්ච් ශීට් එක පිටින් කඩදාසිය ගුලි කළේ තවත් බත් ඉතිරිව තිබියදී ම ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles