එදා මංජරී විශ්ව විද්‍යාලයට ආවේ නෑවිත් බැරි කමට ය. අයානා ගේ කරුණාවන්තකම ප්‍රතික්ෂේප කරන්නට බැරි කමට ය. උඩහමුල්ලේ සිට විශ්ව විද්‍යාලය දක්වා ම පයින් එත්දී ඇයට අමුතු වෙහෙසක් දැනිණ. නිර්වාණය ළඟ මොහොතක් නතර වී වතුර වීදුරුවක් බී විශ්ව විද්‍යාලයට ගිය පසු ඒ අමුත්ත පහ ව යාවියි ඇය සිතුවා ය. පෞද්ගලික වූ යමක් කතා කළ හැකි හිතවතියක ඇයට සිටියේ ද නැත. දුල්නෙත් අතැර උන් හිටි ගමන් ඇය විදුර සමග ඇති කර ගත් පටලැවිල්ල නිසාවෙන් තිබූ හිතවත් කම් ද අමතක කොට සමහරු ඇය මගහැරියහ.
කෙසේ වෙතත් ඇඟට දැනුණ අමාරුව නිසා එදා මංජරී අවසාන දේශනයට පවා සහභාගී නොවී පිටත් වූවා ය. විජේරාම හන්දියෙන් ත්‍රීවීලරයකට ගොඩ වූ ඕ උඩහමුල්ලේ නිවස ළඟින් බැස ගේට්ටුව හැරියේ හිස කැරකෙනවා වාගේ දැනෙත්දී ය. නමුත් ඕ හිත හයිය කර ගෙන එය වසා දමා පිය ගැට පෙළ දක්වා ඇවිද ගියා ය.
“අද හස්බන් එක්ක නෙවේද ආවෙ…”
ගෙහිමි කාන්තාව මල් පැළයකට සාත්තු කරමින් සිට මංජරී විචාලා ය.
“නෑ අක්කෙ. වැඩ වගේකට එයා කොළඹින් පිට මේ දවස් ටිකේ”
මංජරී එසේ අර්ධ සත්‍යයක් කීවේ සයුරංග එන නො එන එක ගැන සැබවින් ම ඇයට ස්ථිර විශ්වාසයක් නොවූ නිසා ය. ඒත් එක්ක ම ඇය කේන්ද්‍ර කොට ගෙන මුළු ලෝකය බමන්නට ගති. මංජරී පිය ගැට පෙළෙහි යකඩ වැට අල්ලා ගත්තා ය. ලෝකය කළු කුහරයක් සේ අඳුරු වී ගියා කියා විතරක් ඇයට මතක ය. නැවත මංජරී සිහි ලද්දේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් තුළ දී ය. ගෙහිමි කාන්තාව හෙදියක් වීම නිසා ඉතා කඩිනමින් මංජරී වෙනුවෙන් කළ යුතු සියලු පරීක්ෂණ සිදු විය. කළලය පිහිටා ඇත්තේ ගර්භාෂ බිත්තිය මත නොව ෆැලෝපීය නාලයෙහි බව වෛද්‍ය නිගමනය විය. එය දරුවෙකු වැඩෙන්නට කිසි සේත් සුදුසු තැනක් නොවූයෙන් කළලය ඉවත් කෙරිණ.
ගෙහිමියන් දුන් දුරකතන ඇමතුමකට අනුව විදුර රෝහල කරා පැමිණියේ කළලය ඉවත් කරනු ලැබූ බවත් ස්ථිරව දැන ගත්තා ට පස්සේ ය.
“මදැයි ඔය විදිහට ඒ කරදරේ ඉවර වුණා”
ගිලන් යහන මත උඩුකුරුව වැතිර උන් මංජරී ට පමණක් ඇසෙන සේ ඔහු ඉතා හෙමිහිට එහෙම මිමිණුවා ය. වියළී ඉරිතලා ගොස් තිබි මංජරී ගේ දෙතොල් අතරින් සුසුමක් මිස එක වචනයක් හෝ පිට වූවා නොවේ. ඇය මහත් හිස් කමක් අත් විඳිමින් සිටියා ය. සියල්ල සිහිනයක් සේ ය.
දරුවෙකු පිළිසිඳගෙන ඇති බව මංජරී දැන ගත්තේ මාස තුනක් පමණ ඉක්ම ගියාට ද පසු ය. ස්ත්‍රීත්වයේ මාසික සලකුණ ඇස නො ගැටී කෙතරම් කලක්දැයි නිශ්චිතව ඇයට නිර්ණය කළ හැකි වූයේ නැත. නමුත් එය ඉතා ඈත බවක් සිහිපත් වෙත්දී ඇය යම් කැළඹීමකට ලක් වූවා ය. ෆාමසියකින් මිල දී ගත් ගර්භණී බව නිර්ණය කරනා කඩදාසි තීරය නිහඬ ව කියා පෑවේ ඇය බලාපොරොත්තු නොවූවා යි කිව නො හැකි ආරංචියකි. ඇය එය දැන ගන්නා මොහොත වන විට විදුර හිටියේ ඇගේ අතින් ගිලිහී ගිය සරුංගලයක් සේ ඈතකට යමිනි. ඔහු දෙදිනක් ම ගෙදර නෑවිත් ද සිටියේ ය. මංජරී වෙව්ලන සුරතින් දුරකතනය සවනෙහි රුවා ගෙන ඒ තිගැස්ම විදුර ට කීවේ ය.
“තමුසෙට මං ඕක කිව්ව. කොහෙද…තමුසෙගෙ විසේ නිසා තමයි මේ ඔක්කොම කරුම. ඕක නැති කරල දානව”
ඒ වෙලාවේ මංජරී ගේ උදරයේ පෙරළීමක් සිදු විය.
ඇය ට දරුවෙකු ඕනෑ වී තිබුණේ නැත. නමුත් ඔවුන් අතරට දරුවෙකු පැමිණියේ වී නම් විදුර ඇගේ මිටෙහි රඳවා ගත හැකැයි විශ්වාසයක් මුල සිට ම ඇයට තිබිණ. නමුත් ඔහු ගේ මේ ප්‍රකාශයත් සමග ඒ බලාපොරොත්තුව සුණු විසුණු වී ගියේ ය.
තාත්තා කෙනෙකු නැතිව දරුවෙකු හදා ගන්නේ කොහොමද කියන පැනය මංජරී ගේ හිතට ආවේ දෙවනුව ය. ඇය තවමත් සරසවි සිසුවියකි. ඇයට රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නැත. රාජාංගනයේ ගෙදර හැරුණු විට නොමිලයේ එක රැයක් හෝ වැටී ඉන්නට තැනක් නැත. මාස නවයක් දරුවෙකු කුස දරා ගෙන දෙදෙනෙකු ගේ ජීවිත සරි කර ගන්නේ කෙසේ ද? කළලය ඉවත් නො කරන්නේ වී නම් සයුරංග ඇගෙන් ඉවත් ව යන වග මංජරී සක් සුදක් සේ දැන සිටියා ය.
කළලය ඉවත් කරනවා ද දරුවෙකු වැඩෙන්නට අරිනවා ද…කළලය ඉවත් කරනවා ද දරුවෙකු වැඩෙන්නට අරිනවා ද…මංජරී ගේ ගෑනු හිත වේදනා කලාපයක දෝලනය වූයේ දරුණු කටු තුඩු ඇනී හිත හීරෙත්දී ය. දරු ගැබක් විනාශ කිරීමේ භයානක බව ද නීති විරෝධී බව ද පිළිබඳව ඇය නො දැන සිටියා ම නොවේ. ඒ ගැන විවිධ අත්දැකීම් ලැබූ අයගේ සටහන් ඇය කියවා තිබිණ. සිය ජීවිතය ගැන ලොකු ම භීතිය මංජරී ට දැනුණේ ඒ ගැන සිතත්දී ය.
කුසයට ආ දරුවෙකු විනාශ කිරීමේ නීතිමය හැකියාවක් ලංකාව තුළ නැත. කළ හැක්කේ අනවශ්‍ය ගැබ් ගැනීම් නතර කර ගන්නා එක පමණකි. නමුත් ඒ සියලු සීමා පැනවීම් වලින් රිංගා කළල පිළිසිඳ ගන්නා අවස්ථා මෙතෙකැයි කිව නො හැක.
“එන්න ඉන්න අය එනවමයි”
ඒ කාලේ නිතර ගැබ් ගැනීම පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවිකාව ගෙදරට ම විත් දොස් කියමින් අවවාද කරන අවස්ථා වල පරාජිත සිනහවකින් අම්මා මිමිණූ හැටි මංජරී ට මේ දැන් වාගේ සිහි කර ගත හැක. සිය කුස ඔත් දරුවාත් එසේ එන්න ම උන් අයෙකු ද? නැතහොත් ඒ දරුවාට යන්න ඇරිය යුතු ද?
කිසිම ගැහැනියක කැමැත්තෙන් ඒ පියවර තබතැයි දැන් නම් මංජරී ට සිතිය නො හැකි ය. සිය ජීවිතය ගැන අවදානම පවා නො තකා ඒ තරම් භයානක පියවරක් තබනුයේ ඒ දරුවා ලෝකයට බිහි කිරීම ඊටත් වඩා භයානක අත්දැකීමක් විය හැකි නිසා නො වන්නේ ද?
මංජරී දරුවන්ට කවදත් ආශා නොවූවා ය. ඒ ගෙදරදී ළමයින් නිසා ඇය අත්විඳි කරදර නිසා ම ය. ඇගේ ලෝකයෙහි ළමයින් කියන්නේ කරදර කාරයන් ය. ඒ නිසා සමහර ගෑනු ළමයින් පුංචි දරුවෙකු දුටු විට පෙන්වනා ප්‍රීති ප්‍රමෝදය, දරුවෙකු නිසා කිසි දා ක මංජරී ට දැනී නැත.
නමුත් කුස හිස් වී යළි වාට්ටුවට ආවාට පස්සේ පහදා කිව නො හැකි පුදුමාකාර හිස් කමක් ඇයට දැනෙන්නට ගති. මංජරී හිස් කුස මත අත තියා ගෙන බොහෝ වෙලාවක් ඒ යන්නට ගිය කළලය ගැන ශෝක වූවා ය. කිරි වලින් පපුව බර වෙනවා වාගේ පීඩනයක් ඇයට දැනිණ. ඒ තරම් ඉක්මනට සිය කුස අතැර නික්ම යන්නට තරම් ඔහු ට ඕනෑ වූයේ තමන් දයාබර මවක නොවෙන නිසාවෙනැයි සිතත්දී උදරයේ දැවීමක් ඇය අත්වින්දා ය. මේ ගබ්සාව ඇය විසින් සිදු කරනු ලැබූවක් නොව විශේෂ වෛද්‍යමය හේතුවක් මත සිදු කරන්නක් වී ද හදවත හෝදා පාළු වී ගිය බවක් ඇයට දැනිණ. යළි කිසි දාක, සසරේ කිසි දාක දරුවෙකු ඇගේ කුස තෝරා නො ගනු ඇත්ද යන බිය මංජරී ව අකර්මන්‍ය කරවී ය.
හදවතට එල්ල වූ දරුණු ප්‍රහාරය නිසා ඇය ට මුළු ලෝකයෙන් ම සැඟවී පළා යන්නට ඕනා විය. මංජරී දුරකතනය ක්‍රියාත්මක කෙරුවේ ම නැත. අයානා හැමදා ම නිර්වාණයට ඇවිත් යන්න කීවා ය. ඇය දේවතාවක සේ රස මසවුළු පිස ගෙන තමන් එන තුරු මග බලා සිටිනු මංජරී මනස් රූප වලින් දුටුවා ය. ඇය දුරකතනයට ඇමතුම් ගන්නවා ඇත. නමුත් අයානා ට කතා කරන්නට බැරි දුර්වල බවක් මංජරී ව පෙළුවේ ය.
“දෙයියො බැලුව වගේ ඒකත් හරි තැන නතර වෙලා නැත්තෙ”
ඇනෙක්ස් එකට කැටිව ආවාට පස්සේ සයුරංග එසේ කියත්දී මහත් පිළිකුළකින් මංජරී වෙව්ලා ගියා ය. ඇයට සයුරංග කියන මිනිහා පේන්නට බැරි සෙයක් දැනිණ. ඔහු ගේ මූණ දකින්නටවත් ඇය කැමති නොවූවා ය.
“හරි හරි ඉතිං..කේන්ති ගන්න ඕන නෑ. ළමයි හදන වැඩ පස්සට කරන්න බැරියෑ”
ඔහුත් එක්ක දරුවන් තනන්නට නොව තව එක දිනක් හෝ මේ වහළ යට ගෙවන්නට ද ඇය කැමති නැති බව ඇත්ත ය. නමුත් මේ තත්වයත් එක්ක කොහේ කියා යන්න ද? ඊළඟ දවසේ විශ්ව විද්‍යාලයට එන තුරු මංජරී ඉවසා ගත්තා ය.
“අනේ දෙයියනේ.. එහෙනං ඒක එහෙම වුණා. මටනං පුදුම විදිහට දුකයි”
අයානා ඇස් වල කඳුළු පුරවා ගෙන සිටියා ය.
“ඒ බබාව කවදාවත් හදන්න බෑ කියල ඩොක්ටර් කිව්ව. එතන බබෙක්ට ලොකු වෙන්න ඉඩ නෑලු. එක අතකට එහෙම වුණ එක හොඳයි අයානා. පස්සෙ කල්පනා කරද්දි තමයි ගොඩක් දේවල් මට හරියට පේන්න ගත්තෙ. සයුරංගට කොහොමත් ඕන වුණේ බබා නැති කරන්න. මන් දන්නව එයා කවදාවත් මට ගෞරවයක් දීල මාව එයාගෙ වයිෆ් විදිහට බාර ගන්නෙ නෑ. බබා සාමාන්‍ය විදිහට හැදුණනං…ඒක මට ලොකු චැලේන්ජ් එකක් වෙයි. මං දන්නෑ මං මොනා කරන්නවත්ද කියල. ඒක නිසා මේක මට සැනසීමක්”
අයානා නම් හිටියේ කම්පනයක වාගේ ය. ඒ කළලය මංජරී ගේ කුස ඔත් එකක් වී ද අයානා ඒ දරුවාට ආදරය කරන්නට පටන් ගෙන සිටියා ය.
“දෙයියන්ට පින් සිද්ද වෙන්න ඔහොම වුණා. එහෙම නැත්තං මංජරී ඒක නැති කරන එක තමයි කරන්න තියන හොඳ ම දේ”
දුරාශා, සිය අභියෝගාත්මක තියුණු දෑසින් බලා අයානා ට අවධාරණය කළා ය.
“පව් කතා කියන්න එපා”
“අයානා…ඔයා තාම බැඳල නැති දරුවො හදල නැති ගෑනියෙක් නිසා ඔය දර්ශනවාදී වාක්‍ය කියයි. ඒත් ඔයා දන්නවද ගෑනියෙක්ට තනියම දරුවො හදං මේ වගේ රටක ජීවත් වෙන්න තියන අමාරුව…මං මේ කසාද බැඳපු ගෑනියෙක් වෙලත් මොන ප්‍රශ්න තිබුණත් කසාදෙ ඇතුළෙ රිංගගෙන ඉන්නෙ ඇයි…එළියට බැහැල තනියම ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න බැරි නිසා…මංජරී වගේ බැඳලත් නැතුව දරුවෙක් හම්බ වෙන ගෑනියෙක්ට ඒක කොච්චර අමාරු වෙයිද කියල ඔයාට හිතා ගන්නවත් බෑ. අපි හිතෙං මවා ගන්න ලෝක ඇතුළෙ ප්‍රැක්ටිකලි ජීවත් වෙන්න බෑ අයා. අර එළදෙනට දැංවත් මොළේ පෑදුණොත් හොඳයි”
පිරිමියෙකු වී දුල්නෙත් පවා හිටියේ කාටවත් කියා ගත නො හැකි කැළඹීමක ය. අයානා ඒ කැළඹීම ඉතා හොඳින් ම දුටුවා ය.
“මං දන්නව ඔයත් ශොක් කියල. මංජරීට කරදරයක් වුණා නං කොච්චර වුණත් ඔයාට ඒක දරා ගන්න අමාරු වෙයි. ආදරේ කරපු කෙනෙක්ට හොඳ වැඩේ කියල කියන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි ඔයා”
තද වැස්ස නිසා දුරාශාව ගෙදරට බස්වන්නට ගෙදර මෝටර් රථයෙන් දුල්නෙත් සමග ගිහින් එන ගමන් අයානා ඔහු ගේ වමත් බාහුව දෑතින් ම අල්ලා ගනිමින් කීවා ය. දුල්නෙත් යටි තොල් පට සපා ගත්තේ ය. ටික වෙලාවක් යන තුරු ඔහු නිහඬ ව සිටියේ ය. ඒ ඇස් තෙත පාටට දිළිසිණි.
“එයාම එහෙම නොකරපු එක ලොකු දෙයක්”
දුල්නෙත් සුසුමක් අත්හැරියේ ය. අයානා ඔහු ගේ උරහිස මත යන්තමින් හිස තැබුවා ය.
“පව් මංජරී”
අකුණක් පිපිරුවේ වහින අහසේ නොවේ. අයානා ගේ හදවත මැද්දේ ය. ඇය ඒ ඉරියව්වේ ම සිට තත්පර දෙක තුනක් කල්පනා කළා ය. ඊළඟට දුල්නෙත් දෙසට බර වී ඒ මුහුණට එබුණා ය.
“ඔයාට මංජරී ගැන අනුකම්පාවෙන් හරි ආයෙ එයා ළඟට යන්න ඕන කියල හිතෙයිද දුල්නෙත්”
දුල්නෙත් තිගැස්සිණි. අයානා ඇස් පිය නො සලා ඔහු දෙස ම බලා සිටියා ය.
“පිස්…සු..ද…මොනාද ඔයා කියන්නෙ…මං කිව්වෙ ඒ මෝඩි කර ගත්ත දේ ගැන දුකයි කියන එකයි”
“ඔයාට එහෙම යන්න ඕන වුණත්…දෙපාරක් හිතන්න එපා. මට ඒක නොකියා ඉන්නත් එපා. මං කවදාවත් ඔයාට එපා කියන්නෑ දුල්නෙත්”
හඬන්නට සිටියා නොවේ. නමුත් නෙත් බැමි පුපුරා ගොස් කඳුළු සොරොව් බිඳිණි. දුල්නෙත් අතුරු පාරකට රිය හරවා මග අයිනට කොට ඒ නතර කළේ ය.
“ඔය ඉතිං…”
ඊළඟ මොහොතේ අයානා හිටියේ දුල්නෙත් ගේ පපුතුරත් දෑතත් අතරේ ය.
“හිතනවද මට එහෙම යන්න ඕන කියල…ඔයාගෙ ළඟ ඉඳල ආයෙ මට යන්න තියෙන්නෙ අන්තිම ගමන විතරයි. බොරුවට හිත රිදෝගන්න එපා”
කඳුළු තැවරී ගත් කොපුලක දුල්නෙත් ගේ අකීකරු පිරිමි දෙතොල් හැපිණ. අයානා ඇස් දෙක තද කොට පියා ගත්තා ය.