මගේ කෑ ගැසීමත් ඉකි ගැසීමත් තුනී වූවාට පස්සේ මට වැස්සේ හඬ ඇසෙන්නට ගති. විශ් යූ හි ඇස්බැස්ටෝස් තහඩු මතට වැහි වැටෙන හඬින් එය කෙතරම් තද වැස්සක් දැයි අනුමාන කළ හැකි විය. ඒ වැහි හඬ අතරින් නෙතු ඔසවා මම විහාර ගේ මුහුණ දෙස බැලුවෙමි. බොඳ කඳුළු ඇස් වලින් මා දුටු අගාධ දෑස් මත්තේ උහුලා ගත නො හැකි ආදරයක සේයාවක් බොඳ වී පෙනණේ ය. එකෙනෙහි ඔහු සිය දෑත් මා මතින් යවා මා සිය පපුවට තද කර ගත්තේ ය.
“සොරි…සොරි…අයිම් සෝ සොරි”
විහාර ගේ හඬ බිඳී ගියේ ය. මා ඔහු ගේ පපුතුර මුහුණ හොවා ගෙන ද ඔහු මගේ හිස මත නිකට තද කර ගෙන ද විනාඩි කිහිපයක් ගෙවී යන්නට ඇත. නැවත ද වරක් වැස්සේ හඬ ඇසෙන්නට ගත්තේ ඉනික්බිති ය. සිදු වූ දෙන නැවත මගේ මනසේ පිළිරැව් දෙන්නට ගත්තේ ය. මා හැසිරුණේ කෙතරම් නම් උමතුවකින් ද? මගේ නියපොතු පහර වැදී විහාර ගේ වැලමිට සන්ධිය ඇතුලු පැත්තේ සීරුම් රේඛාවක් දිග ලේ බිඳිති කිහිපයක් මතු වී තිබිණි. ඒ මොහොත ඒ තරම් හැඟීම්බර හා ආවේගශීලී වෙතැයි මම නො සිතුවෙමි. නමුත් එසේ නොවී තියෙන්නේ කොහොම ද? හොරු අරගෙන ගියා වාගේ ඔහු අතුරුදන් වූයේ ය. ආයේ නො එතැයි සිතා උන් වෙලාවක, මන්දාරම් අහසක අහම්බ දේදුන්නක් සේ යළි පහළ වූයේ ය. ඒ දෙක මගේ හදවත තුළ යම් ස්ථානයක දී එක ට ගැටුණේ, ඉහළ අහස මත්තේ ගැබ්බර වලාකුළු දෙකක් එකට ගැටෙන්නා සේ ය. වලාවන් දෙකක් එකට හැපීමේදී මෘදු තෙරපුමක් විනා ඒ සා අකුණු පුපුරා යාමක් ඇති වේවීයි සිතිය හැකි ද? මා තුළ ඇති වූ ගැටීමත් එබඳු ය. සිතිවිලි පරම්පරාවන් කැළඹී කෑ ගැසීමක් හා ඉකි ගැසීමක් සරින් සියල්ල පුපුරා ගියේ ය.
විහාර වෙතින් මිදුණු මම පුටුව මතට වැටුණෙමි. ඔහු මා අභියස පුටුව ඇද එහි අසුන් ගත වූයේ ය. ඔහු ගේ දණහිසක් මගේ පයක ස්පර්ශ වී තිබිණ. ඒ කකුල පණ නැතිව යනවා සේ දැනුණ ද මට එය ඉවතට ගන්නට ඕන වුණේ නැත. ඒ ස්පර්ශය මුළුමනින් විඳ ගැනීමේ හදිසි ආශාවක් මා අවුළුවන්නට ඇත. කොහේ කොතැන කොයි ලෙස මෙතෙක් පැවතිය ද ඔහු මගෙන් මිදී ගොස් නැතිය යන හැඟීම එතැන විය. ඒ දෑස් මා වසා ගෙන මා මත වැතිර තිබිණ. ඒ බැල්ම අස නැවත ද මට හීල්ලිණ.
“කෝ ඔයාගෙ බෙස්ට්මන් ආවෙ නැද්ද…මං ඒත් හිත හිත ආවෙ…මේ මාස කීපෙට මොනා වෙන්න බැරිද…ඔයා එයාව බැඳල වෙන්නත් ඇති කියල හිතුණ”
මම ඔහු ට රැව්වෙමි. විහාර ගේ දෙතොල් පෙති ලිහී ලස්සන සිනහ රැල්ලක් නැගුණේ ය. දෙවියනි ඒ මන්දාහාසයේ ලස්සන! ඒ ඔහු සිනහ වූයේ එදා මුල් ම වතාවට ය.
“වෙච්ච දේවල් වලට කොහොම මූණ දුන්නද කොහොම ආයෙ මං මේ විදිහට මෙතනට ආවද කියල හිතා ගන්න බෑ ශික්ෂා”
විහාර කතා කළේ සිහිනයකින් සේ ය. වචන අතරේ සුසුම් කැරලි පැටලී ගෙන තිබිණ. මේසය මත වූ ඔහු ගේ දිගටි ඇඟිලි සහිත අතක් තදින් අල්ලා ගන්නට මට ඕනෑ විය. ඔහු ගේ හිස මගේ ළයෙහි හොවා ගෙන,
“මොන තත්වෙකින් ඔයා ඇවිත් තිබුණත් ආදරේ වෙනස් වෙලා නෑ විහාර. කාත් එක්ක ඔයා කොහොම කොයි විදිහෙ ජීවිතයක් ගෙව්වත් ඔයාට මං නැති වෙලා නෑ. මට ඔයා නැති වුණත් ඔයාට මං නැති වෙන්නෙ නෑ විහාර”
කියමින් ඉකි ගසන්නට මට ඕන වුණේ ය. ඒ තරම් දුකකින් පපුව හිර වී තිබිණ. ඔහු ඔය කියන්නට යන්නේ අමේලි එක්ක අලුත් ජීවිතයක් පටන් ගත් බවට කතාවක් වන්නට පුළුවන. මේ තරම් කාලයක් වචන දෙකක තරම් පණිවිඩයකින් මා සමග සම්බන්ධ විය නො හැකි වූයේ ඔහු ට ඒ බැඳීම තුළ සිර වන්නට වූ නිසා විය හැක. ඔහු ආයේ ආවේත් අමේලි එක්ක ම වන්නට පුළුවන. ඒ වුණත් මා ආදරේ බව විතරක් කියා ගන්නට මට හැකි වී නම්….අනුන්ගේ පිරිමියෙකුට ප්‍රේම කිරීමේ මහා පාපයට ඔහු හින්දා කැමැත්තෙන් ම දැනටමත් මා කර ගසා ඇති බවක් මට ඔහු ට කියන්නට හැකි නම්…ඒ ප්‍රේමය මගේ සංසාරය දිගු කරනු ඇති බවත්, සංසාරය කෙළවර වන තෙක් මට ඉන් ගැලවී ගත නො හැකි වනු ඇති බවත් කියන්නට හැකි නම්…නමුත් ඒ කිසිවක් ම ඔහු ගේ මූණ බලා ගෙන කියා ගත නො හැකි තරමින් මගේ උගුර ගොළු ගැසී තිබිණ. උගුර ගොළු වෙන වෙලාවට ඇස් කතා කරයි. මට කියා ගත නො හැකි වූ සියල්ල ඇතැම් විට ඔහු මගේ ඇස් වලින් කියවා ගන්නට ඇත.
“එක අතකට මං වචනයක්වත් ඔයාට කියල එව්වෙ නැත්තෙ…එහෙම බරක් ඔයාගෙ හිතේ පටවන්න ඕන නැති නිසා. අනිත් එක අර බෙස්ට්මන් එක්ක සතුටෙන් ඉන්න ඒ වචනයක් වුණත් බාධාවක් වෙන්න ඕන නැති නිසා. ඇත්තටම ඔයා සතුටෙන් ඉන්න ඕන පොඩි ගෑනු ළමයෙක්…කසාද බැඳපු මිනිහෙක්ගෙ ජීවිතේ සංකීර්ණ ප්‍රශ්න දැකල ඔයා ආපහු හැරෙන්න ඕන නෑ කියල මට අනන්තවත් හිතුණ…ඒ වරද ඔයාට කරන්න ඕන නෑ කියලම මට හිතුණා”
“ඔයා මොනාද විහාර මං ගැන දැන්නෙ…මොනාද දැනං ඉඳල තියෙන්නෙ”
මම මේසයෙහි හිස ගසා ගන්නට ගියෙමි. නමුත් මේසයත් මගේ නළලත් අතරේ ඔහු ගේ අත්ල තැබී මා ඒ රිදුමෙන් සුරැකිණි. ඒ අත්ලෙහි මගේ කඳුළු අහුරක් එකතු වෙන්නට ඇත.
“අමේලිට කොහොමද දැං…”
“එයාට තිබුණෙ බ්‍රේන් ටියුමර් එකක්. මං යනකොටත් ඒක ඇනලයිස් කරල සර්ජරි එකකින් අයින් කරන්න ඩොක්ටර්ස්ල ඩිසයිඩ් කරල තිබුණෙ. අමේලි ඒක නිසා ලොකු පේන් එකක් උහුලල තියෙනව. එයා සර්ජරි එකට ෆේස් කළේ බයක් නැතුව. ඇත්තටම ඒ වේදනාවෙන් නිදහස් වෙන්නයි එයාට ඕන වෙලා තිබුණෙ. ඩිවෝස් එකක් ගැන මං ඒ වෙලාවෙ කතා කරන්න ගියෙ නෑ. ඇත්තටම එහෙම දේකට සුදුසු තත්වයක් තිබුණෙත් නෑ. අමේලිට වඩා මං බයෙන් හිටියෙ සර්ජරි එක ගැන. කොහොම හරි සර්ජරි එක කළා. ඒත්…”
“ඇයි විහාර…”
දෙවියනි මගේ හදවතට දැනුණු ගැස්මක්! එහෙම කම්පනයක් කිසිදු හිතකට නො දැනිය යුතු ය. පින්තූරයකින්වත් දැක නො තිබි අමේලි කෙනෙකු වෙනුවෙන් ඒ මොහොතේ මගේ හදවත නතර නො වුණා පුදුම ය.
“සර්ජරි එකෙන් පස්සෙ එයාට කෝමා එකක් ආව”
විහාර ගේ හිස පහළට කඩා වැටිණ.
“අනේහ්”
මම ඔහු ගේ අත් බාහුවක් අල්වා ගතිමි. දුක් ඇස් අයා ඔහු මදෙස බැලුවේ ය. ඒ බැල්මේ කැලතී තිබූ හැඟුමන් වල පටලැවිලි ලිහා වෙන් කොට ඒවා කියවා ගන්නට කැළඹීමක සිටි මට ඒ වෙලාවේ කිසිදු හැකියාවක් වූයේ නැත.
“කෝමා එකක් කියන්නෙ කවදාවත් තමංගෙ කෙනෙක්ට නෙවෙයි හතුරෙක්ටවත් වෙනව දකින්න ඕන නැති දෙයක් ශික්ෂා. එයා දවස් ගණන් සති ගණන් ඇස් අරින්නැතුව එක ම නින්දක නිදියනකොට…ඔව් අපි වෙන් වෙලා තමයි හිටියෙ…ඒත් මං කොහොම එහෙම දෙයක් බලං හිටියද කියල කියන්න මට තේරෙන්නෑ. ඒ මගෙ දුවගෙ අම්ම ශික්ෂා. කෝමා එකක් කියන්නෙ ජීවිතයක් මරණයෙන් වෙන් කරන කෙස් ගහක් තරං තික්නස් එකක් නැති මායිමක්. අමේලි අන්න ඒ මායිමේ ඉන්නකොට…එයා ජීවිතේ පැත්තට වැටෙයිද මරණය පැත්තට හැරෙයිද කියල කාටවත් කියන්න බැරි තත්වෙක ඉද්දි…මං කොහොමද බලං ඉන්නෙ…ඔයාට තේරෙනවද මං මේ කියන දේ…අපිට අපි ඕන නෑ කියන තැනට අපි ඇවිත් හිටිය තමයි. ඒත් මගෙ දුවට එයාගෙ අම්ම ඕනෙ. හැම තත්පරේකම මං දෙයියන්ගෙන් ඉල්ලුවෙ මගෙ දුවට අම්ම නැති කරන්න එපා කියලයි…ඒ අස්සෙ අසෙලියා දුව අම්ම ගැන මගෙං අහන දේවල් වලට උත්තර හොයා ගන්න බැරුව මං මොන තරං අසරණ වෙලාද හිටියෙ…ඒ හැම මොහොතක ම මට ඔයා මතක් වුණා. හැම හුස්මකදිම ඔයා මගෙ හිතේ හිටිය. කෝල් එකක් අරං හැම දේම ඔයාට කිය කිය අඬන්න අනන්ත වාරයක් මට හිතුණ. ඒත්…මාව පස්සට අදින හේතුවකුත් තිබුණ. ඔයා එයාට කැමති වෙලාද…ඔය දෙන්න ආදරේ කරනවද…එහෙමනං මං කතා කරන එකත් සම්පූර්ණයෙන් වැරදියි කියන දේ මගෙම හිත කෑ ගහල මට කිව්ව…”
මගේ කොපුල් තලා දිග කඳුළු ගලා යමින් තිබිණ. එදා නූරි ගේ මංගල උත්සවය දා කෙත්මින් සමග මා එහෙම ප්‍රීතිමත් හැසිරීමක් පෙන්වූ නිසා විහාර එදා ම අමේලි වෙත යන්නට තීරණය කළ එක ගැන මේ මොහොතේත් මට දැනුණේ සැනසිල්ලකි.
“ඩොක්ටර්ස්ල කියල තිබුණෙ කෝමා එකෙන් සිහිය එන්න වැඩි ප’සන්ටේජ් එකක් තියෙන්නෙ මාස තුනක් ඇතුළෙ කියල. ඒ මාස තුන ගැන මං පුදුම විදිහට බලාපොරොත්තු තියං හිටිය. ඒත් මාස තුනක් පහු වෙලා ගියේ හීනයක් වගේ. ඊට පස්සෙ එනන එන්නම සිහිය ලැබෙන්න තියන ඉඩ අඩු වෙලා යනව. ඇස් ඉස්සරහම තමන්ගෙ කෙනෙක් එහෙම තත්වෙක ඉන්නව බලන් ඉන්න ලේසි නෑ ශික්ෂා. ඇත්තටම බලන් ඉන්න බෑ. මරණයක් දරා ගන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් බෑ. දුවව තුරුල් කරන් බලං ඉන්න එක විතරයි මට කරන්න තිබුණෙ. ඇත්තටම අපි කාටවත් කරන්න දෙයක් තිබුණෙ නෑ. හැම දේම තිබුණෙ දෙවියන්ගෙ අතේ. අන්තිමට බලාපොරොත්තු අන්තිමටම අතෑරිල යන්න අරං තිබුණ වෙලාවක…ඒ කියන්නෙ කෝමා එකට මාස හයක් වෙද්දි එක පාරටම එයා ඇස් ඇරිය”
“දෙයියනේ…”
මට කෑ ගැසිණ. මගේ අතින් මගේ ම මුව වැසිණි.
“මේ ලෝකෙ ප්‍රාතිහාර්ය කියන දේවල් වෙනව ශික්ෂා. ඒක ප්‍රාතිහාර්යක් මිසක් වෙන කිසි දෙයක් නෙවෙයි. එහෙම සැනසීමක්…දුවට ආයෙ අම්ම ලැබෙද්දි…”
විහාර අත් දෙකෙන් මොහොතකට මුහුණ තද කර ගත්තේ ය. ඒ ඇස් මත ඒ මොහොතේත් තුනී කඳුළු පටලයක් බැඳී තිබිණ.
“අනේ…මට හරි සතුටුයි විහාර. ඔයා විශ්වාස කරයිද කියල මං දන්නෑ…ඔයාට තරමටම මට විශ්වාසයි. මේ ලෝකෙ කිසිම දරුවෙක්ට අම්මවත් තාත්තවත් නැති වෙන්න ඕන නෑ…ඉතිං දැන් එයාට හොඳයිද…”
“අන්ඩර් ට්‍රීට්මන්ට්ස් තමයි ඉතිං…හැබැයි එයා රිකවර් වෙයි ඉක්මනට…එයා ඒ තරමට ස්ට්‍රෝං. ඒ නිසයි කෝමා එකෙන් වුණත් නැගිට්ටෙ…එයා නැගිටල දවස් පහකට පස්සෙ මං ලංකාවට ආවෙ. ඇත්තටම මං ගෙදර ආවෙ මීට පැය දෙකකට විතර කලින්…”
ඒ කියන්නේ ගෙදර ආ ගමන් ඔහු ඇවිත් තිබෙන්නේ විශ් යූ වෙතට ය.ඒ ආරංචිය මගේ ග්ලැසියර සිසිල ආත්මයට හිරු කිරණ කදම්බයක උණුහුම දෙන්නට සමත් විය. මම කෝපි පිළියෙල කරන්නට සූදානම් වීමි. නූරි තවමත් නැත. වැස්ස මුල දී තරම් සැඩ නැත ද තවමත් වසියි.
“ඔයා නැති අතරෙ මෙහෙත් හුගක් දේවල් වුණා විහාර. ඔයා ගියේ නූරි ගෙ වෙඩින් එකට පහුවදා. දැන් එයාල ඩිවෝස් වෙන්න නඩුත් දාල”
“ආ…”
මම නූරි ගැන ද අද දහවල හදිසියේ ම විශ් යූ වෙතට කුසක් දරා ගෙන පැමිණි මගේ නංගී ගැන ද සැකෙවින් විස්තර කීවෙමි.
කුණාටු හමා ගියාට පස්සේත්, මහ වැහි වැස්සාට පස්සේත්, සමුදුරු ගොඩ ගැළුවාට පස්සේත් ශේෂ වන සියල්ල මහ පොළොව තරමට දරා ගත හැකි දෑ ය. මේ තරම් දේවල් සිදු වූවාට පස්සේත් අප වෙනුවෙන් අප ට බලා සිටිත හැකි වූවා කියන්නේ කොහොම දෙයක් ද? දවසක මා වියපත් වී සම රැළි වැටුණු දාක ඔහුත් එක්ක චොක්ලට් කේක් කැබැල්ලක් කමින් කෝපි එකක් බොන්නට හැකි දිනයක් ගැන පෙරුම් පිරූ මට මේ තරම් ඒ අවස්ථාව උදා කර දුන් ඉරණමට මම සිතින් ස්තූති කළෙමි.
නූරි ආවේ මා වැහි පොදය අතරින් මිදුලට එබී කිහිප වරක් ගෑ ගෑවාට පස්සේ ය.
“මං දැක්ක ඔස්ටින් එක ඇවිත් තියනව. ඒකයි එන්නැතුව හිටියෙ”
ඇය ඇතුළට ආවේ මගේ කනට කොට එහෙම මුමුණා ගෙන ය. මම තොල පිට පෙරළා තරවටු බැල්මක් හෙළුවෙමි.
කාලෙකට පස්සේ විශ් යූ තුළ හදවතින් ම උපන් සිනහවන් දෝංකාර නැගුණේ ය. වැස්ස අතරේ කෝපි සුවඳ හැමුවේ ය. චෙරි වලින් සැරසූ චොක්ලට් කේක් වල මිහිරි ම රසයක් වූයේ ය.
“පහු ගිය කාලෙ මට හුඟක් දේවල් තේරුං ගියා ශික්ෂා. ජීවත් වෙනව කියල අපි සමහර වෙලාවට කරන්නෙ මොන විහිළුද…ඩිවෝස් එකක් ගැන කතා කරන්න හිතං හිටියට මට කවදාවත් ඒක කර ගන්න බැරි වුණා. අනිත් එක මොකද්ද අයිතිය කියල කියන්නෙ කියන එකත් දරුණුවට මට දැනුණ. ඒක නිසා ඩිවෝස් එකක් ගැනවත් දුවගෙ අයිතිය ඉල්ලන එකක් ගැනවත්…මං ආයෙ කවදාවත් අමේලි එක්ක කතා කරන එකක් නෑ. මට එහෙම කරන්න බැරි වෙයි…”
මම විහාර ගේ මුහුණ දෙස බැලුවෙමි. සමාව ඉල්ලනවා වාගේ බැල්මක් ඒ ඇස් මත වූවා දැයි කිව නො හැක. නමුත් කිසිදු චලනයක් මසිත්හි ඇත් නොවූ බව විශ්වාස ය. ඒ වාගේ අපරිමිත උත්තම පුරුෂයෙකුට තනිව පෙම් කිරීම වුව අප්‍රමාණිත ය.