පෙමාතුර – 09

විසල් මල්වැන්න ප්‍රකට රක්ෂණ සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් කළේ ය. ඔහු ගේ ගම නුවර කඩුගන්නාව ය. රක්ෂණ සමාගමේ මහනුවර ශාකාවට පසුව මාරුවක් ගන්නා බලාපොරොත්තුවෙන් කොළඹ පැමිණිය ද පසු ව ඔහු ඒ අදහස ඉවත් කර ගෙන තිබේ.

“මොකද කොළඹිං කෙල්ලෙක් හම්බ වුණා ද…”

පුංචි ඇසුවා ය. විසල් ගේ මුහුණට සිනහවක් ආවේ ය. මගේ පපුවේ ඇති වුණ දැවුම ගැන කිසිවෙකුට අවබෝධයක් වූයේ නැත. 

“මොනා වුණත් මෙහෙම ඇත්ත කියන කොල්ලො අඩුයි නේද නදී…කිසි කොල්ලෙක් කියන්නෙ නෑනෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියල”

එවර ඔහු මුහුණ මේසය වෙතට හරවා ගෙන සුප් බීවේ ය. ගෑනු ගෙදර ස්ත්‍රීන් ට පිරිමින් ගැන තිබෙනා අත්දැකීම් ඒ තරම් ප්‍රසන්න ඒවා නොවී ද ඔවුහු පිරිමින් පිළිකෙව් කරනා හුදු ස්ත්‍රී වාදීහු නොවෙති. පුංචි සේ ම නදීරා ද කඩවසම් තරුණයෙකු දුටු විට ළා බාල කෙල්ලන් සේ ඔහු ගැන කියවනා හැටි මම දැක ඇත්තෙමි. 

බොහෝ රෑ බෝ වන තුරු කතා බහ කරමින් සිට ඔහු නික්ම ගියේ අම්මා හැරෙන්නට අප තිදෙනා ට ම ෆේස් බුක් රික්වෙස්ට් එවා ඒවා ඇක්සෙප්ට් කිරීමෙන් ද අනතුරුව ය.

“ඒ සුප් එකනං කවදාවත් අමතක වෙන්නෑ. මාර රහයි එ්ක ආ..”

සමු ගන්නට මත්තෙන් විසල් එසේ කීවේ ය. නදීරා හා පුංචි උනුන් ගේ මුහුණු දෙස බලා හඬ නගා සිනහ වන්නට වූහ.

“ඇයි…මං මුකුත් වැරදි දෙයක්ද කිව්වෙ..”

“නෑ නෑ. කිසී වරදක් නෑ. මේ අපි දෙන්නා දන්න ශිල්ප ඔක්කොම දාල ඩිනර් රෙඩි කළා. හැබැයි අමතක නොවෙන්න මතක හිටියෙ කිසා ගෙ ටොමැටෝ සුප් එක”

එක නිමේශයකට අපේ සිව් නෙත් හමු විය. එතැන දී ඉපැදුණු කුමක්දෝ සිතිවිල්ලක් එසැනෙන් විශ්වය පුරා විසිර ගියේ ය. ඔහු නික්ම ගියේ, ඔහු ගේ පෙම්වතිය දුටු වෙලාවේ පටන් මා එකලස් කර ගන්නට හැදු සිතිවිලි මුළුමනින් කළඹා දමා ය. 

වෙනදා සේ රාත්‍රිය මවෙත නිදිමත ගෙන නො ආවේ ය. උණුහුමක් ද පරිසරයේ වූයෙන් මම දොර හැර ගෙන සඳැල්ලට ගියෙමි. විසල් ගේ කාමරය දෙසින් ගිටාරය වයනා හඬ පා ව ආවේ ය. ඔහු මේ කාමරයේ පදිංචියට පැමිණි තෙක් මීට පෙර ඒ මියුරු සර ඇසී තිබුණ බවට මතකයක් මට නැත. වේවැල් ඔංචිල්ලාවට වී පැද්දෙමින් මම ඒ හඬ අසා සිටින්නට වීමි. 

යළි තැන්පත් කර ගත නො හැකි තරමට ඔහු මගේ ගැහැනු හදවත කළඹා තිබුණේ ය. සැබවින් එය ඔහු හිතා මතා කළ දෙයක් නොවන්නට පුළුවන. ප්‍රේමයෙන් ආතුර වූයේ මා ය. ඔහු එක බැල්මක හෝ අනුබලයක් දුන්නා යි චෝදනා කළ නො හැකි ය. මගේ හදවත පුරා ඔහු උමතුවක් ව සරන්නට වූයේ ය. ඒ බාහිර පෙනුම පමණකුදු නොව ඔහු ගේ සිනහව, කටහඬ හා බැල්ම පවා මා වසඟ කර ගෙන තිබේ. එය ආදරයක් නොව ආකර්ෂණයක් කියා කෙනෙකු කියන්නට පුළුවන. නමුත් කෙතරම් මා ඔහු ට පෙම් කරනවාද කියා දන්නේ මා පමණකි. එහි ද ප්‍රමාණයක් තක්සේරු කිරීම කිසි සේත් කළ නො හැකි ය. 

නමුත් ඔහු ට ත් ඔහු ගේ ප්‍රේමයටත් හිමි කාරියක සිටී. ඒ බව දැනටමත් දන්නා නිසාවෙන් හරි නම් මා කළ යුත්තේ නිවැරදි සිහියෙන් මේ පටලැවිල්ලෙන් ඉවත් වීමයි. නමුත් පෙර කිසිදු අවස්ථාවකට වඩා මගේ හිත මට අකීකරු වී සිටියේ ය. එය අතිශය හිතුවක්කාර හා මුරණ්ඩු ලෙස ඔහු ට ම ප්‍රේම කරනා බව  මට පැවසී ය. මා සිටියේ කර කියා ගත හැකි කිසිත් නොමැතිව ය. අනුන් ගේ ප්‍රේමයකට අත තබන්නට යාම කෙතරම් පාප කර්මයක් දැයි ගැහැනු ගෙදර ගැහැනුන් විසින් දැනටමත් මට පසක් කොට දී තිබේ. නමුත් සමහර වෙලාවට අපි වැරදි බව දැන දැන ම වැරදි කරමු. එක අතකට ඔහු ව ඇගෙන් උදුරා හිමි කර ගන්නට සිහින දකින්නේ නැති නම් එහෙම පෙම් කිරීමේ පාපය කුමක් දැයි මම මගෙන් ම ප්‍රශ්න කළෙමි.

“උගුරට හොරෙන් බෙහෙත් ගිලින්න හදන්නෙපා කිසා. ඔය පිස්සුව ලොකු විනාසයක් කරන්න පුළුවන්”

හිත මට කීවේ ය. 

ප්‍රේමයකින් උමතු වීම කෙබඳු අත්දැකීමක් දැයි දන්නේ ඒ උමතුව වැළඳුණ පුද්ගලයෙකු ම පමණකි. එකී උමතුවත් සමගින් උදයෙන් ම කුළී රථයක් ගෙන්වා ගෙන මම තනියම ගාලු මුවදොර පිටියට ගියෙමි. අරමුණක් සමග ප්‍රේමයෙන් වෙළීමේ උණුහුම මට එහිදී ඉතා තදින් දැනිණ. 

ඒ දුරකතන ඇමතුම පැමිණියේ මා අව් රැස් කමින් ද මුහුදු සුළං වදිමින් ද හුදෙකලා ව ඇවිදිමින් සිටියදී ය. 

“ඔයා කොහෙද ඉන්නෙ කිසා..”

“ගෝල් ෆේස් එකේ”

සම්බන්ධය විසන්ධි වී ගියේ ය. මම ඒ ගැන නො හිතුවෙමි. විරංග කතා කළේ දේශීය දුරකතන අංකයකින් කියා හෝ කල්පනා කරන්නට තරම් මට උනන්දුවක් වූයේ ද නැත. ඒ ගැන කල්පනා වූයේ නැවත ද ඔහු කතා කළාට පස්සේ ය.

“මං ගෝල් ෆේස් එක ළඟ ඉන්නෙ. ඔයා ඉන්නෙ කොතනද කිව්වොත් මං එතනට එන්නං”

ඒ අනුව අපි තෙමසකට පසු හමු වුණෙමු. විරංග විදෙස් ගත ව සිටියේ සිය ව්‍යාපාර කටයුතු වලට අදාල කාරණා කිහිපයකට ය. ඔහුව මෙලෙස දුටුවා කියා මට කිසිදු විශේෂ හැඟීමක් දැනුණේ නැත. 

“කියන්නැතුව ම ලංකාවට ආවෙ ඔයාව සප්‍රයිස් කරන්න”

මම කට කොනකින් සිනහ වුණෙමි. ඔහු දුටුවා කියා මා තුළ කිසිදු උණුහුම් හැඟීමක් ඇති නොවූ බව ඔහු නොදුටුවා ය කියා නො සිතමි.

“තාමත් ඔයාගෙ හිත වෙනස් වෙලා නෑ වගේ…”

මා නැති බව හැඟවූයේ හිස යන්තම් දෙපසට සැලීමෙනි.

“ඔයා දන්නව කිසා..යූ නෝ හව් මච් අයි ලව් යූ…”

“බට්…”

මම අතර මගින් පැන්නෙමි.

“අදත් මට කියන්න තියෙන්නෙ එදා කියපු දේමයි විරංග. මට ඔයා ගැන ආදරයක් දැනිල නෑ. නෙවර්…”

මගේ හදවතට එකඟ ඇත්ත එයයි. වසර දෙකක පමණ කාලයක් තිස්සේ ඔහු මගේ ප්‍රේමය බලාපොරොත්තුවෙන් මා හඹා එයි. විරංග වූ කලී මා වැඩ කළ දැන්වීම් ප්‍රචාරක ආයතනයක් ලවා ඔහු ගේ ව්‍යාපාරයට අදාල වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කරවා ගත් පුද්ගලයෙකි. ඒ දැන්වීමෙහි පිටපත් රචනය සිදු වූයේ මා අතිනි. පසුව ඔහු නිතර මට දුරකතනය ඔස්සේ කතා කළේ ය. අපි සමීප හිතවතුන් බවට පත් වුණෙමු. ඔහු ගේ හිතේ මා කෙරේ ඇති ව තිබෙන පෙම් හැඟුම ගැන ඉතා ඉක්මනින් විරංග මා දැනුවත් කළේ ය. නමුත්,එදත් මට කියන්නට තිබුණේ මට ඔහු ගැන එහෙම නො දැනෙන බවකි.

“කමක් නෑ”

මම යන්තම් හිස හරවා ඔහු ගේ මුහුණ දෙස බැලුවෙමි. මට පෙනෙනුයේ ඔහු ගේ මුහුණෙන් අඩකි. එහි කිසි සේත් පරාජය පිළිගන්නට සූදානමක් මට දකිත හැකි වූයේ නැත.

“මට බලං ඉන්න පුළුවන්. ඔයා දවසක ආදරේ වෙයි”

මට සිනහ නැගිණි. අප සිටියේ ඔහු කැටිව යන්නට ගුවන් තොටුපළ වෙත පැමිණි ඔහු ගේ රියෙහි ය. රියදුරු ඔහු වෙත රිය භාර කොට කුළී රියක නික්ම ගොස් තිබිණි. විරංග සිය නිවසට හෝ කාර්යාලය වෙත හෝ නොගොස් කෙළින් ම මා දකින්නට පැමිණ තිබේ. මට ඔහු පව් කියා සිතිණ. නමුත් ආදරය කියන්නේ ඒ අනුකම්පාවට නොවේ.

“විරංග. ඔයාගෙ කාලෙ කොච්චර වටිනවද කියල මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. තත්පරයක් වුණත් ඔයාට ලක්ෂ ගණන් කෝටි ගණන් මිල කරන්න පුළුවන්. එහෙම කාලය මං වෙනුවෙන් මේ තරං කැප කරන්න එපා. බලං ඉන්න එපා. මං ඔයාට හුඟක් කැමතියි. ජස්ට් ෆ්‍රෙන්ඩ්ලි. බට්…යූ නෝ වට් අයිම් ගොයින් ටු සේ…වන් සයිඩඩ් ලව් එකක් කියන්නෙ කොච්චර දුකක්ද… කොච්චර බරක්ද…ඔයා ඒක විඳිනවට මං කැමති නෑ”

ඔහු ඒ මග මග ම තිරිංග තද කළේ ය. මම ඒ මූණ දෙස බැලුවෙමි. ඔහු ද මදෙස බලා ගෙන ම සිටියේ ය. ඒ මුහුණේ මා දුටුවේ මීට පෙර දැක නැති විදිහේ භීතියකි.

පිටුපස රිය පෙරහැර එක පෙළට නලා හඬවන්නට වූයේ ය. කලබලයෙන් වාගේ යළි රිය පෙරට ගත් විරංග, ඉඩ ඇති තැනක් බලා එය නතර කළේ ය.

“යූ ආ ඉන් ලව් දිස් මෝමන්ට් නෝ…ඉස්න්ට් ඉට්…”

ඔහු මගේ ඇස් වලින් මා කියවා ගෙන තිබිණ. කෙනෙකු ගේ දෑස් යනු ඔහු ගේ ආත්මය ප්‍රකාශ කරනා කැඩපත වේ. මුළු සිරුර ම පණ නැතිව ගියා සේ ඔහු රියදුරු අසුණේ වැතිර හොත්තේ ය. 

මට මහත් අනුකම්පාවක් දැනිණ. ඒ ඔහු ගැන පමණක් ම නොවේ. මා ගැනත් එක්ක ය. විරංග යනු යහපත් මිනිසෙකු බව මේ ටික කාලයට මම තේරුම් ගෙන සිටිමි. නමුත් යහපත කියන්නේ ආදරයට කියනා තවත් නමක් නොවේ. යහපත් වීම යනු ආදරය කරන්නට හෝ ආදරය ලබන්නට එක ම සුදුසුකම ද නොවේ. නරකයෙකු කෙරේ වුව ප්‍රේමයක් උපදින්නට පුළුවන. ප්‍රේමය කියන්නේ එහෙම දෙයකි.

“මගෙ ආදරෙයි ඔයාගෙ ආදරෙයි අතරෙ ලොකු වෙනසක් නෑ විරංග. ඒ අතින් අපි දෙන්න එකම බෝට්ටුවෙ”

මේ වෙලාවේ මම අවංක වන්නට සිතුවෙමි. එක ම අර්බුධයකට මුහුණ දී සිටින මිනිසුන් ට අවංක වීම හැර ඉන් එතෙර වීමට වෙනත් විකල්පයක් ඇතැයි සිතිය නො හැකි ය. ඔහු මදෙස බැලුවේ මා කී දේ ගැන අදහසක් නැතිව වාගේ ය.

“ඔයා ආදරේ කරන්නෙ ඔයාට ආදරේ කරන්නැති කෙනෙක්ට. මං ආදරේ කරන්නෙත් මට ආදරේ කරන්නැති කෙනෙක්ට. ඔයා ආදරේ කරන්නෙත් මං ආදරේ කරන්නෙත් වෙන කෙනෙකුට ආදරේ කරන කෙනෙකුට. ඒ අතින් අපි දෙන්නම සමානයි”

මගෙන් ලොකු සුසුමක් ගිලිහිණ. නමුත් මට කිසියම් නිදහස් හැඟීමක් දැනිණ. ඒ ආදරය ගැන විරංග සමග තරම් පහසුවෙන් මට වෙන කිසිවෙකු සමග කතා කළ නො හැකි වනු ඇත.

“මං දන්නව විරංග ඒක ලේසි දෙයක් නෙවෙයි කියල. දැන් මන් දන්නව ඒක කොච්චර අමාරුද කියල. ඒත්…හුඟක් අය නොදැන කරපු වරද දැන දැන කරන්න මට බෑ. අම්ම කෙනෙක්ට ආදරේ කරල වෙන කෙනෙක්ව මැරි කරල කිසිම තේරුමක් නැති ජීවිතයක් ගත කරල දැන් වයසට ගිහිං ඉන්නව. නදීරා..එතකොට පුංචි..ඒ හැමෝම වැරදි කෙනාට ආදරේ කරල හරි වෙන හැඟීමකට ආදරේ කියල රැවටිලා හරි ජීවිතේ අවුල් කරගත්ත අය. ඒක වයසට යද්දි මොන තරං අපරාදයක් කියල හිතනවද කියල මං හොඳට දන්නව. එයාල විඳින පසුතැවීම මං මගෙ ඇස් දෙකෙන් දකිනව. ආදරයක් දැනෙන් නැති කෙනෙක්ව මැරි කරන එක තරං වරදක්…කෙනෙක් තමන්ට කර ගන්න ඕන නෑ විරංග. අපි ඒ වරද නොකර ඉමු”

මා හුඟක් කතා කළාට ඔහු කළේ වැඩිපුර මුණිවත රැකීම ය. ඒ පිරිමින් ගේ හැටියක් බව මම අසා ඇත්තෙමි. ඔවුහු වැඩිපුර කතා නොකරති. නමුත් වැඩියෙන් සිතති.

මා ගෙදර ආවේ වෙනදාට නැති සැහැල්ලුවක් දරා ගෙන ය. විසල් ගෙනා කොෆී කේක් එක කපා පුංචි නෙස්කැෆේ හැදුවා ය. මට ඒ කේක් කෑල්ලේ දැනුණේ දිව්‍ය ලෝක රසයකි. මීට පෙර කවදාවත් ඒ වගේ කේක් කෑල්ලක් රස විඳ නොමැතිවා වාගේ හැඟීමකි එය.

මම එවෙලේ ම අන්තර්ජාලයට ගොස් කොෆී කේක් සදනා ආකාරය බැලුවෙමි.

“වෙලාවක හදන්න ඕනෙ”

කවුරුවත් ඒ ගැන වෙනසක් නො හිතන්නට ඇත. 

විසල් මල්වැන්න බැල්කනි වැටට බර වී ගෙන සිටිනු, කාමරයට ගිය මට දකිත හැකි විය. මම කාමරයේ විදුලි පහන් නො දල්වා, ජනේලය විවර නොකර, ඊට මුහුණ තබා වීදුරුවෙන් ඔහු දෙස බලා ඉන්නට වූයෙමි. ඒ උමතුවක් නම්, මා ඒ උමතුවට ද පෙම් කරනා බව දිව්රා කිව හැක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles