කර්මය

කෝසලා ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙනම කාර්යාල කාමරයට ඇතුළු වුණා.ඇයට කලින් මීනු ඇවිල්ල හිටපු නිසා කෝසලා කෙලින්ම ගියේ මීනු ලඟට

” මීනූ මේ. දැක්කද මේක ? “

” මොකක්ද කෝසලා ?”

ඉවර කරන්න තිබුණ වැඩක් උදේ පාන්දරම ඇවිත් හදිසියේ ඉවර කරන ගමන් මීනු එතරම් උනන්දුවක් නැතුව කෝසලා දිහාට හැරුණා

” ආදිත්‍යා ගේ අලුත් boyfriend. මතකද මෙයා කලිනුත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක එෆ්බී එකේ ෆොටෝස් දැම්මා. ඒ ෆොටෝස් මං ගාව තාම තියෙනවා “

මීනුට කෝසලා ගැන ඇති උනේ අපැහැදීමක්

” ඔයා මොකටද කෝසලා ඒ ෆොටෝස් තියාගෙන ඉන්නේ ? ඒවා ආදිත්‍යා ළඟවත් නැතුව ඇති.අනික ඒක මහ විකාර relationship එකක් .ආදිත්‍යා එකෙන් අයින් වුන එකමයි හොඳ “

” නැහැ අනේ මම නිකන් සේව් කරගත්තා ඒ දවස් වල.මේ එෆෙයාර් එකත් ටික දවසක් තිබිලා නැති වෙලා යයි.ආදිත්‍යා කොල්ලො මාරු කරන්න හරියට ඇඳුම් මාරු කරනවා වගේනේ අනේ “

” මේ ෆොටෝ එකේ ඉන්න බෝයිගෙ ගෙදරින් ඊයේ ආදිත්‍යා ව බලන්න ඇවිත් තිබුනා.මං හිතන්නේ මේක ඒ වෙලාවේ ගත්ත ෆොටෝ එකක් “

” ගෙවල්වලින් බලන්න ආව මිනිස්සුන්වම කසාද බඳින්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද අනේ “

සමච්චලයට වගේ එහෙම කියමින් හිනා වුන කෝසලා ඇගේ ආසනයට ගියා.කඩවසම් තරුණයෙක් සමග හිනාවෙමින් ඉන්න ආදිත්‍යා ගේ ඒ ඡායාරූපයත් කෝසලා ඇගේ දුරකථනයේ ගබඩා කරගත්තා.ප්‍රේම සම්බන්ධකම් කීපයක්ම අවසන් කරලා හිටපු කෝසලා ඒ වන විටත් විවාහයක් කරගෙන හිටියෙ නැහැ

ආදිත්‍යා කාර්යාල කාමරයට ඇතුළු වුණේ ඔය අතරේ.සුපුරුදු හිනාවෙන් ඇගේ මුහුණ සැරසිලා තියෙනවා දකිද්දි කෝසලා ආයෙමත් බැලුවේ දුරකතනයෙ ගබඩා කර ගත්ත පින්තූරය දිහා.ජීවිතය වරක් වැරදුණු කෙනෙකුට ජීවිතය හදාගන්න අවස්ථාවක් එනවා කියන එක කෝසලා අමතක කළා

” ආදිත්‍යාට අලුත් කොල්ලෙක් සෙට් වෙලා නේද ? “

කෝසලා ඇහුවෙ ආදිත්‍යා අසුන් ගන්නත් කලින්

” එෆෙයාර් එකට නම් අවුරුද්දකට වැඩියි කෝසලා.මම ඉතින් ඕක කාටවත් කියන්න ගියේ නැහැ.හරියට කතාබහ කරලා කන්ෆර්ම් වෙනකන් හිටියා.කලින් පාරත් හැමෝටම කියලා අනාගත්තානේ අනේ මම “

ආදිත්‍යා කතා කරන්නේ සැහැල්ලුවෙන්.ජීවිතයේ දී ලබන්න සිදුවුන අත්දැකීම් ඇයව පරිනත කරලා කියලයි මීනුට හිතුනෙ.මීනු නම් ආදිත්‍යා ට හදවතින්ම ආශිර්වාද කළා

සුපුරුදු දවස් කිහිපයක් ගෙවිල ගියාට පස්සෙ එක දවසක් ආදිත්‍යා කාර්යාලයට ආවේ සුපුරැදු ප්‍රබෝධමත් බවින් නෙමෙයි.ඇය කල්පනා කරමින් ඉන්න බව කිහිප වරක්ම දැක්ක නිසා මීනු ආදිත්‍යා ළඟට ගියා

” ආදිත්‍යා ඔයා හොඳින්ද ළමයො ?”

” වරදක් නැහැ මීනු, ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා “

” ඒ මොකක්ද ඒ ? “

ආදිත්‍යා ළඟට ගිහින් මීනු කතා කරන වෙලාවේ කෝසලා යටැසින් ඒ දිහා බලාගෙන හිටියා .

” දවස් කීපයකට කලින් කවුරුහරි රුක්ෂාන් ට ෆේක් ප්‍රොෆයිල් එකකින් මැසේජ් කරලා තිබුණා.මගේ කලින් එෆෙයාර් එක තිබුනු ගයාන් එක්ක ගත්ත ෆොටෝස් වගේකුත් එවලා තිබුණා මීනූ.රුක්ෂාන් දැකලා තිබුණේ ඊයේ අහම්බෙන් වගේ “

ආදිත්‍යා එහෙම කියනකොට මීනුට ඉබේම කෝසලා දිහා බැලුනා.ආදිත්‍යා සහ මීනු දිහාම බලාගෙන හිටපු කෝසලා ඉක්මනින් ඉවත බලාගත්තා

” රුක්ෂාන් කවදාවත් පටු විදියට හිතන කෙනෙක් නෙමෙයි මීනු .එයා ඕවා ගණන් ගන්නේ නැහැ.අනික හොඳම දේ ඒ ෆොටෝ හැම එකක්ම මම රුක්ෂාන් ට කලින් පෙන්නලා තිබුණා.ඒ නිසා එයාට පුදුම වෙන්න දෙයක් තිබුණෙ නැහැ “

” එහෙනම් ප්‍රශ්නයක් නැහැනේ කෙල්ලෙ ?”

” මට තියෙන ලොකුම ප්‍රශ්නේ රුක්ෂාන් ට ඕව යවන්න තරම් වැඩක් නැති මනුස්සයා කවුද කියලා මීනූ “

” jobless මිනිස්සු කොච්චර ඉන්නවද ආදිත්‍යා.තමන්ට කියලා විඳින්න ජීවිතයක් නැති උනහම ජීවිතේ විඳින මිනිස්සු දිහා එයාලා බලන්නේත් තරහෙන්.ඔයාලා ඕවා ගණන් ගන්න එපා අනේ “

එහෙම කියපු මීනු තමන්ගේ ආසනයට ආපහු ආවෙ කෝසලා දිහා උනන්දුවෙන් බලන ගමන්.දවල් කෑම වෙලාවෙදි ආදිත්‍යා එළියට ගියාම මීනු හැරුනෙ කෝසලා දිහාවට

” අර වැඩේ කලේ ඔයා නෙමෙයි නේද කෝසලා ?”

මීනු කතා කළේ කෝසලාගේ ඇස් දිහාම බලාගෙනයි

” ඔ..ඔයාට පිස්සුද මීනු ? මගේ ෆෝන් එක කැඩිලා එක හදන්න දීලා තියෙන්නේ “

” නෑ ඉතින් ඔයා ගාවත් ඒ ෆොටෝස් තිබුනනෙ නේද ? ඒකයි මම නිකමට වගේ ඇහුවෙ “

එහෙම කියපු මීනු ආපහු ඇගේ වැඩවලට අවධානය යොමු කරා.කෝසලා තරහෙන් වගේ කල්පනා කරමින් ඉන්න හැටි මීනු දෑස් කොනෙන් දැක්කා

දවස් කීපයකට පස්සේ ආදිත්‍යා ගේ විවාහයට දින නියම වුණ බවත් ඇය ලහි ලහියේම විවාහයට සූදානම් වන බවත් කාර්යාලයේ බොහෝ දෙනාට දැනගන්නට ලැබුණා.හැමෝම වගේ ආදිත්‍යාගේ වැඩ වලට සහයෝගය දුන්නේ විවාහයේ කටයුතුවලට සූදානම් වෙන්න ඇයව නිදහස් කරන ගමන්.

එක දවසක් උදේ පාන්දරම අඳුරු කරගත්ත මුහුණෙන් යුතුව කෝසලා කාර්යාලයට ඇතුළු වුණා.බොහෝ වේලාවක් යනතුරු ම කාත් එක්කවත් කතා නොකරපු ඇය ලිපිගොනු වලටම මුහුණ ඔබාගෙන හිටියා.දවල් වෙනකොට කෝසලගේ වෙනසට හේතුව කාර්යාලය බොහෝ දෙනා දැන ගත්තා.සමාජ මාධ්‍ය හරහා සැරිසරන ” ලීක් ” වුන ඡායාරූප කිහිපයක ප්‍රධාන චරිතය කෝසලා බවට පත්වෙලා හිටියා

” මොකක්ද කෝසලා ඔයා මේ කරගත්තේ ?”

ආරංචිය දැනගත්ත ගමන්ම මීනු කෝසලා ළඟට ඇවිත් ඇහුවෙ බැරෑරුම් හඬකින්

” අනේ මීනු. මට තේරෙන්නේ නැහැ අනේ.පහුගිය දවස් වල මගේ ෆෝන් එක හදාගන්න බැරිව තැන් කිහිපයකට දුන්නා.සමහරවිට එහෙම තැනකින් වෙන්නැති මේ දේ වෙන්න ඇත්තෙ “

කෝසලා කතා කලේ හඬමින්

” ඒ කෙනා ඔයත් එක්ක දැන් එෆෙයාර් එක තියෙන එක්කෙනා ද කෝසලා ?”

” මට දැන් කොල්ලෙක් නැහැ අනේ .ඔය පරණ ෆොටෝ වගයක් ෆෝන් එකේ තිබිලා.මම උදේ ඔෆිස් එන ගමන් මේක දැනගත්තේ මීනූ.අනේ ඇත්තමයි කලින් දන්නවා නං ඔෆිස් එන්නෙත් නැහැ “

බොහෝ දෙනා කෝසලා දිහා බැලුවේ උපහාසයෙන් වගේ.කාර්යාලයේ බොහෝ දෙනෙකුට නිතර නිතර ඇනුම්පද කියන සහ පෞද්ගලික දේවල් ඕනාවට වඩා හොයලා බලන කෝසලා ගැන ඒ හැමදෙනාටම තිබුණේ අපැහැදීමක්.

” වෙච්ච දේවල් උනා කෝසලා.ඔයා දැන් ඒව හිතන්න එපා.ඔයාට අපි ඉන්නවනේ “

කෝසලගේ ළඟට ආපු ආදිත්‍යා කතා කළේ කරුණාවෙන් ඇගේ හිස අත ගාන ගමන්.ආදිත්‍යා ගේ ඒ හැසිරීමට කෝසලගේ හැඬුම් වැඩි වුණා

” අනේ මට සමාවෙන්න ආදිත්‍යා “

” ඔයා මට වරදක් කරලා නැහැනේ. මොකටද මගෙන් සමාව ඉල්ලන්නේ කෝසලා ? “

” ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට අර පරණ ෆොටෝස් යැව්වෙ මම “

කෝසලා හීන් හඬින් එහෙම කියනකොට ආදිත්‍යා පුදුමයෙන් පුදුමයට පත් වුණත් මීනු නම් ඒ තරම් පුදුමයට පත් වුණේ නැහැ

” මං එහෙම කලේ නිකමට වගේ.කිසිම වරදක් නොකරපු ඔයාට එහෙම කල නිසා මට මෙහෙම උනාද කියලා හිතෙනවා ආදිත්‍යා “

කෝසලා කඳූලු පිහින්න පිහින්න ඇගේ කඳුලු අලුත් වුනා. ආදිත්‍යා නිහඬවම ගිහින් ඇගේ ආසනයේ වාඩිවුනේ කල්පනාබරව.

” තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ටත් නොකර ඉන්න කෝසලා “

මීනූ ඇගේ ආසනයට ගියේ කෝසලාට ඇහෙන්න එහෙම කියන ගමන්

More Stories

Don't Miss


Latest Articles