සියක් සියපත් 01

සියපත් සඳපිනි සූරියගොඩ ලක ලැහැස්ති වී මුළුතැන්ගෙට ආවා ය. එතකොටත් අම්මා, සුජීවා, ඉඳි ආප්ප වට්ටි වලට ඉඳි ආප්ප මිරිකමින් සිටියා ය. තාත්තා, ශාන්ත, ලොකු රාස්පානක කිරි හොද්දක් ළිප තියාන කාල් ගාමින් සිටියේ ය. මුලින් ම සිදු වූයේ සියපත් ගේ පපුව දැවී යන එකයි. ඇය පෙනහලු පිරෙන්නට හුස්මක් ගත්තා ය. ඒ හුස්මේ වුව කිසිදු සීතලක්, තෙතමනයක් වූවා නොවේ. ඒ හුස්මත් ගිනියම් ය. ගිනි ගෙයක් සේ මුළු ගේ ම හැම විට ම උණුහුම් වායු අංශු වලින් පිරී තිබේ. ඉතින් හුස්ම විතරක් සීතල වන්නේ කෙසේ ද?

ඉඳි ආප්ප වට්ටියකට ඉඳිආප්පයක් මිරිකා අවසන වංගෙඩියට අලුත් පිටි ගුලියක් දමන්නට එය විවර කරනා පමාවට සුජීවා ගේ නෙත් කොනට සියපත් හසු විය. ඇය වඩා හොඳින් නෙතු විවර කොට බලනා ගමන් මුව පුරා සිනහවක් නගා ගත්තා ය. සැබවින් ඒ සිනහව, අදහා ගත නො හැකි විශ්මයකින් නැගුණා වන්නට ද පිළිවන. සියපත් මේ විදිහට හැඳ පැළඳගෙන ගෙන් පිට වෙනු දකින හැම වෙලාවක ම අදහා ගත නො හැකි යමක් ගුලියක් සේ සුජීවා ගේ පපුවේ හිර වෙයි. ඇය සුරංගනාවක් ය. දිව්‍යාංගනාවක් ය. ඒ මූණ කට අඟ පසඟ ඇය දැකි ඇති දේවතා රූපයකට මිස වෙන කිසිවෙකුට අයිති ඒවා නොවේ. බිත්තියේ ගසා ඇති ඒ දේවතා රූපය සහිත කැලැන්ඩරය වෙත සුජීවා ගේ ඇස් යොමු වූයේ ය. ඔය කැලැන්ඩරය මීට අවුරුදු දහයකටවත් වඩා පැරණි විය යුතු ය. ඒ දේවතා රූපයේ  දෙවඟන ඉසුරට අධිපති වන්නා වූ බව කාගෙන් දැන ගත්තාද කියා හෝ ඇය නො දනී. ඉතින් දින සටහන් කෙතරම් පැරණි වෙමින් ගිය ද සුජීවා හෝ ශාන්ත හෝ දේවතා රූපය එතැනින් ඉවත් කරන්නට පෙළඹී නැත. ගෙදර දරුවෙකුට එහෙම කරන්නට ඉඩ දී ද නැත. ජීවිතය මත්තේ නරා දුක් විඳිමින් වුව ඔවුන් ඒ රුව සමග වන රන් රුවන් මිල මුදල් ගැන සිහිනයක්  සිත්හි දරා ගෙන සිටිති.

“මැණික යන්නද…”

“යන්න අම්මෙ. අට වෙනකොට ඒ ගේ ළඟට එන්න කියලයි කිව්වෙ. මං පුළුවන් තරං ඉක්මන්ට එන්නං. ඇවිත් වැඩ ටිකක් කරන්නං”

“හරි හරි අපි ඒව බලා ගන්නං. සියපත් ඒ ගැන හිතන්නැතුව රස්සාව හරියට කරන්න බලන්නකො. මට මේ කඩයප්පන් ටිකේ වැඩේ නොතිබුණානං මං එනව පුතාව ඇරලවන්න”

“ඕන්නෑ තාත්තෙ. මට යන්න පුළුවන්”

සියපත් අම්මා හා තාත්තා අස නැවී ඔවුන් ගේ දෙපා අතින් ස්පර්ශ කරමින් වැන්දා ය.

“හරි හරි මේ දැළි කුණු ගොඩේ වඳින්න ඕන නෑ”

ශාන්ත එසේ කීව ද මේ අම්මාටත් තාත්තාටත් මොන තරම් වැන්දත් පවු නැති බව සිතී සියපත් ගේ උගුර දැවී ගෙන ගියේ ය.

“බස් එකට සල්ලි ගත්තද පුතේ..”

“ගත්ත තාත්තෙ. මං යන්නං”

“ගිහිං එන්නං කියන්න පුතේ”

“ගිහිං එන්නං තාත්තෙ. බුදු සරණයි අම්මෙ”

“මගෙ මැණිකට බුදු සරණයි. පරිස්සමෙන් රත්තරනේ”

සියපත් සිය පැරණි අබලන් නිවෙසින් පිට වූයේ ආදරයෙන් හිත පුරවා ගෙන ය. පෙත් මග දිග ඇවිද ආ ඕ, ඒ වන විටත් සෙනග පුරවා ගෙන පැමිණි බසයකට ගොඩ වූවා ය. මේ කාර්යාල වේලාව නිසා අසුන් බලාපොරොත්තු ව හිඳීම විහිළුවකි. සියපත් ට ඕන වුණේ නරක පිරිමින් ගේ අමානුශික බලපෑම් වලට හසු නොවී ගමන් කරන්නට පමණි. ඊයේ හැන්දෑවේ පංකජී බස් එකෙන් බැස්සේ හැඬුම්බර ව බව ඇයට සිහි විය.

“අනේ අක්කෙ”

ඇය සියපත් ගේ අතේ එල්ලුණේ දරා ගත නො හැකි අප්‍රසන්න හැඟීමකිනි. උදේ පාසල් ගොස්, උසස් පෙළ ශිෂ්‍යාවක ලෙස හවස උපකාරක පන්ති වලට ද සහභාගී වී දැඩි කායික මානසික වෙහෙසකින් යුතුව ගෙදර පැමිණෙන නව යෞවනියක වශයෙන්, අසහනකාරී පිරිමින්ගේ ගොදුරු බවට සෙනග පිරුණු බස් රථයකදී හසු වන්නට වීම බරපතල මානසික තැවුලකි.

“ජරා මිනිහෙක් මට මොකද්ද කළා”

මග අඳුරු වෙමින් තිබී ද පංකජී ගේ ඇස් වල දිය වී තිබූ අසරණකම, සියපත් ට මැනවින් දැක ගත හැකි විය.

“දෙන්නනෙ තිබුණෙ අනිත් පැත්ත හැරිල අත දික් කරල එකක්”

සියපත් ගේ ඇස් වල කෝප දීප්ත බවක් විය. නමුත් එහෙම කරන්නට බැරි ලැජ්ජාවකින් පෙළුණ අතීතයක් තමන්ට ද වූ බව ඇය ට අමතක කළ නො හැකි ය. ඒ වැඩි ඈතක නොවේ. දෙතුන් වසරකට පෙර ය.

“මට පන්ති යන්න බෑ අනේ”

දවසක් ගෙට ගොඩ වූ ගමන් ඇය ඇඳේ පෙරළී හැඬුවා මතක ය. තද බද වූ බස් රිය තුළ දී ඒ මිනිසා ඇයට දුන්නේ අසීමිත වදයකි. ඇගේ සිරුරට තද වීමටත්, සිරුරේ යම් යම් තැන් නො දන්නා සේ ස්පර්ශ කිරීමටත් උත්සාහ කළ ඒ මිනිසා ගෙන් බේරෙන්නට ඇය ඒ මේ අතට ඇඹරුණා ය. නමුත් ආරක්ෂාව පතා අයිනකට වෙන්නට හෝ ඉඩක් නොවුණෙන් ඇය වඩ වඩා අසරණ ද වූවා ය. බස් රියෙන් බැස ගත්තේ ම යළි පන්ති නො යනවා යන වේදනාබර සිතිවිල්ලෙන් වී ද එසේ කළ නො හැකි බව පසක් වන්නට ගත වූයේ තවත් දිනක් පමණි. පන්ති නොයා උසස් පෙළ කඩ ඉම පැන ගැනීම පහසු නැති බව ඇය දැන සිටියා ය. විශේෂයෙන් ම ඊළඟ දිනයට නියමිත වූ භෞතික විද්‍යාව පන්තියට නොයා සිටිය නො හැකි විය. ඊට පස්සේ සිය ආරක්ෂාව වෙනුවෙන් හැකි පමණ සටන් කරන්නට සියපත් සිතා ගත්තා ය. වදයක් වී ගෙන එන පිරිමින්ට තද වැලමිට පහර අනින්නට හෝ කුඩයෙන් අනින්නට ඇය පෙළඹුණා ය. බෑග් එකේ වන කුඩය බසයට නගිත්දී අතට ගත්තේ ම ඒ වෙනුවෙනි. බිය නොවී ඔවුන් ගේ මුහුණු දෙස හොඳින් බලා රැවීම මගින් ඔවුන් පලවා හැරිය හැකි බව ද ටික කලක දී ඕ වටහා ගත්තා ය. ඊයේ ගෙදර එන ගමන් ඇය සිය නැගණිය පංකජී ට ඒ ගැන උපදෙස් කිහිපයක් ලබා දුන්නේ සිය අත්දැකීම් ඇසුරෙනි. මෙවන් අනතුරු වලට අමතරව, පන්ති ගිහින් එන ගමන් නුගේගොඩ මංසන්ධියේ දීම ඇය ලිංගික අවයව ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශනය කාමය නමැති මානසික රෝගය සහිත පිරිමින් නිසා කිහිප වරක් ම අපහසුතාවයට පත් වී සිටියා ය. එවන් නිමේශයක ක්නික කම්පනයකුත්, උහුලා ගත නො හැකි ලැජ්ජාවකුත් දැනුණ බව ඇයට අමතක නැත. තමන්ගේ රටේ තමන්ගේ ම සහෝදරියන්ට, දියණි වරුන්ට නිදහසේ ජීවත් වෙන්නට ඉඩක් නෑ කියා සිතීමත් හද දවනා බරපතල ඛේදවාචකයකි.  ඉතා ම අහිංසක හා ලැජ්ජාශීලී ගැහැනු ළමයින් සේ පෙන්වීම මේ ලිංගික අඩන්තේට්ටම් වලට අනුබල දීමකැයි දැන් සියපත් දනී. එවන් අසහනකාරී මිනිසුන් අරබයා අක්කා ගේ චණ්ඩිකම් කිහිපයක් අසා දැන ගත් පංකජී ගෙදර ආවේ හොඳට ම සිනහ වෙමිනි.

බස් එකෙන් බැස ගන්නා විට පෙරවරු අට උදා වෙන්නට තිබුණේ විනාඩි පහළොවක් පමණකි. සියපත් පය ඉක්මන් කළා ය.

“වෙලාවට යන්න හරිද…එයාලගෙ බොස් හරි එක විදිහක් කියල පුංචි කිව්ව”

හිරුෂි ගේ වචන සවන් තුළ ප්‍රතිරාව දෙන්නා සේ දැනුණෙන් සියපත් මං සලකුණු ගැන විපරම් කරමින් ම අඩිය ඉක්මන් කළා ය. මේ රැකියාව ලැබෙනවා නම් ඇයට එය මහ මෙරකි. ගෙදර ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ එනු වස් උදේ හවා ළිප ළඟ ගිනි කමින් අම්මාත් තාත්තාත් වෙන වෙහෙස ගැන ඇගේ තුරුණු හද තුළ වන්නේ නො නිවෙනා ගින්දරකි. උසස් පෙළ නිමා වූ දා පටන් ඇය රැකියාවක් සෙව්වේ වෘත්තීය සුදුසුකම් වෙනුවෙන් පාඨමාලා වලට ගෙවන්නට ලක්ෂ ගණනින් මුදල් ඒ අසරණ දෙමාපියන් සතු නොවෙනා බව ඉඳුරා දැන උන් නිසාවෙනි. උසස් පෙළ සඳහා ගණිතය විෂය ධාරාව තෝරා ගන්නේ නැතිව තරමක් පහසු විෂයක් තෝරා ගත්තා නම් කෙසේ හෝ විශ්ව විද්‍යාලයට යා හැකි වන්නට තිබිණැයි පසු තැවීමක් දැන් ඇයට දැනේ. දක්ෂ සිසුවියක වූ ඇයට විශ්ව විද්‍යාල වරම් අහිමි වූයේ සුළු ලකුණු ගණනකිනි. උසස් පෙළ කඩඉමේදී තරුණ ජීවිත විශාල ගණනක් අතරමං කොට දැමීම ඔවුන්ගේ නොව රජයේ දුර්වලකමකි. එක අරමුණක් වෙනුවෙන් තව දුරටත් කාලය හා දෙමාපියන් දුක් මහන්සියෙන් උපයනා රුපියලක්වත් වියදම් නො කරන්නට සියපත් දැඩි තීරණයකට එළඹ සිටින්නී ය. මේ රැකියා අවස්ථාව ගැන කීවේ ඇගේ මිතුරියක වන හිරුෂි ය. හෙදියක වන ඇගේ පුංචි අම්මා, මේ රැකියාව ලබා දෙන නිවසේ සිටිනා රෝගී තරුණියක වෙනුවෙන් සිය සේවය ලබා දෙන්නී ය. ගිලන් තරුණිය සමග කාලය ගෙවන්නට කාරුණික තරුණියක අවශ්‍ය වී තිබේ!

සියපත් සිය අතේ වූ කොළ කැබැල්ලේ ලියා ගත් අංකය අනුව නතර වූයේ නිවසක් නොව මන්දිරයක් අභියස ය. රත්තනපිටියෙන් එගොඩවත්ත පාර දෙසට යන විට මේ ධවල මන්දිරය සදිසි නවීන මහල් නිවස පිහිටා තිබේ. පිවිසුම් දොරටුව විවර කළ නිල ඇඳුම් හැඳි ආරක්ෂක නිලධාරියා, ඇයව නිවස දෙසට කැටිව ගියේ ය. සියපත් ගේ උඩු තොල මත දහදිය බිඳු නැංවී තිබිණ. ඒ තරම් ලොකු ගෙයක් ඇතුළට ඇය කිසි දා අඩිය තියා නැත.

“එන්න මිස්”

ආරක්ෂක නිලධාරියා ඇයව නිවස ඉදිරිපස වන කාමරයක් තුළට යොමු කොට නික්ම ගියේ ය. සියපත් ට වැඩිපුර ම ගැස්මක් දැනුණේ එතකොට ය. මොනවා වුණත් එතුවක් තමන්ගේ පන්තියේ මිනිසෙකු ළඟින් උන් බවට සැනසිලි හැඟීමක් දැනෙමින් තිබිණ.

“කම් ඉන්”

විසල් මේසයක් ළඟ විධායක ශ්‍රේණියේ අසුනක හිඳ උන් තියුණු ඇස් දෙකක් හිමි පිරිමි රුව තරමක් දැඩි හඬකින් විධානය කළේ ය. සියපත් වහා පිය තබා මේසය ඉදිරියට ගියා ය. හෙද නිල ඇඳුමෙන් සැරසී එතැන හිට ගෙන සිටියේ හිරුෂි ගේ පුංචි අම්මා ද කියා සියපත් නො දැන සිටියේ මීට පෙර ඇය දැක නො තිබූ බැවිනි. පින්තූරකින් හෝ ඇය දැක එන්නට තිබුණායි හදිසි පසුතැවීමක් යුවතියට දැනිණ.

“මොකද්ද නම…”

“ස්..සියපත් සර්…”

“සියපත්…පිරිමි ළමයෙක් නෙවෙයි නේද….”

එය තරමක සමච්චලයක් සමග නැගුණ ප්‍රශ්නයකි. සිය හාම්පුතා වෙත වූ සමච්චලයට අත්වැල් අල්ලමින් හෙදිය ද සිනහවක් පෑවා ය. සියපත් ට මුලින් ම කේන්ති ගියේ ඇය එක්ක ය.

“මොන මෝඩයෙක්ද මන්දා. තරිඳු කියන නම තියන කොල්ලො කෙල්ලො දෙගොල්ලොම නැද්ද…එතකොට සුමුදු…කුමුදු… හිරු…තව කොච්චර ඇද්ද කෙල්ලොන්ට වගේම කොල්ලොන්ටත් දාන්න පුළුවන් පොදු නම්…සියපත් කියන එකත් එහෙම ඇති. එනව මෙතන…මං කොල්ලෙක්ද කෙල්ලෙක්ද බලන්න…”

සිතින් සිතුවා මිස සියපත් එසේ කියන්නට ගියේ නැත. කදිමට ඇඳුම් පැළඳුම් කොට සිටි අහංකාර පෙනුමක් ඇති තරුණ මහත්මයා සිය අසුනේ හරි බරි ගැසුණේ ඔහු අභියස වන අසුන සියපත් ට අතින් පෙන්වමිනි. ඇය ඉක්මන් කොට අසුන්ගත වූවා ය.

“මෙයා දැනටමත් දන්නව ඇති නේද මිසිස් ගුරුගේ…එයාගෙ ජොබ් එක ගැන…”

“සර්…මං අපේ දුවටනං කිව්ව..දුවගෙ යාළුවනං මීට කලින් මට හම්බ වෙලා නෑ”

ඒ හෙදිය හිරුෂි ගේ පුංචි අම්මා බව සැක හැර දැන ගත්තෙන්, සියපත් ඇගේ මුහුණ දෙස බලා කෘතඥ සිනහවක් පෑවා ය.

“ඕකේ ඕකේ. මෙහෙමයි නෙළුම්..නෑ ඕ…ළු”

ඔහු ට සියපත් ගේ නම අමතක ව ගියා සේ දැනිණ. ‘හිචිස්’ ගා සිනහවක් නැගෙන්නට ආව ද සියපත් ඒ ගිල ගත්තා ය.

“සියපත් සර්..”

“වට් එවර්…වතුරෙ පිපෙන මලක්නෙ…සියපත්ට බලා ගන්න තියන පේෂන්ට් මෝටර් ඇක්සිඩන්ට් එකකින් ස්පයිනල් කෝඩ් එකට ඩැමේජ් වෙලා ඇවිදින්න බැරි කෙනෙක්. නර්ස් ඒ ගැන වැඩි විස්තර කියයි. මෙඩිකල් සපෝට් එකට නර්ස්ල දෙන්නෙක් ඉන්නව මාරුවෙන් මාරුවට. බට්…මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ එයා මෙන්ටලි සෑහෙන්න වැටිල ඉන්න නිසා එයත් එක්ක කතා කර කර දවස ස්පෙන්ඩ් කරන්න තමයි අපිට කෙනෙක් ඕනෙ. මීට කලින් ආපු කෙනාට සක්සස් වෙන්න බැරි වුණා. අපි බලමු ඔයාට කොච්චර දුරට ඒක කරන්න පුළුවන්ද කියල…ඕකේ…මිසිස් ගුරුගේ මෙයාව එක්කං යන්න රූම් එකට. වෙන්න ඕන විදිහ ගැන දැනුවත් කරන්න”

මේ මොන අහංකාරයෙක් ද කියා සියපත් ට සිතුණ තරමි. අසුනෙන් නැගිට ගන්නා අතරේ ඕ සිය සේවා යෝජකයා විනිවිද බැලුවා ය. කතා බහ කළ විනාඩි ගණනත් අපතේ ගියායි අදහසින් මෙන් ඔහු ලහි ලහියේ ලිපි ගොනුවක් පෙරළා ගෙන දුරකතනය අංකනය කළේ ය. ඒ අතැඟිලි සිහින් දිගු ඒවා බව මුලින් ම සියපත් ගේ නෙතට හසු වූ විශේෂත්වයයි. ඒ නියපොතු ගෑනු ළමයෙකු ගේ තරම් සියුමැළි ය. පිරිසිඳු පාට ය. රිදී හා රන් වර්ණ මුසු වූ අත් ඔරලෝසුව ළඟින් අල්ලා සුදු කමිසයේ දිග අත ඉහළට ඇද්ද ඔහු ජංගම දුරකතනය අනිත් උරහිස ට බාර දෙමින් දකුණත කමිස අත ද උඩට ඇද්දේ ය. ඒ නග්න දෑත් රෝම වලින් ගහන බව සියපත් දුටුවා ය.

මිසිස් ගුරුගේ ලෙසින් හැඳින්වූ හෙදිය ඇගේ පිට මත අතක් තැබූවෙන් සේවා යෝජක තරුණයා වෙතින් නෙතු මුදවා අඩිය පෙරට තබන්නට සියපත් ට සිදු විය.

“සදාතන සර්ට ඕන කොහොම හරි මදිරා මිස්ව සනීප කර ගන්න. ඒ වෙනුවෙන් ඕන තරං සල්ලි වියදං කරන්න මේ තාත්තල පුතාල ලෑස්තියි. මිස්ටර් මයිකල්ට තමයි අයිති ගෝල්ඩන් ටී කියන ටී බ්‍රෑන්ඩ් එක”

“සදාතන! ඒක මාර නමක්නෙ”

සියපත් එසේ සිතුවා මිස කීවා නොවේ. ගෙහිමියන් ගැන නිදාන කතාව කෙටියෙන් කියමින් ලලිතා ගුරුගේ මදිරා ගේ කාමරය වෙත ඇය කැටිව ගියා ය. මඳක් ඉහ පත එසවූ ගිලන් යහනක් මත නෙතු පියාන වැතිරී උන් සියුමැළි සුදු රෝස මලක් බඳු වූ තරුණිය, දොර ඇරෙනා හඬටවත් නෙතු විවර කළේ නැත.

“මිස් මදිරා…මෙන්න මිස්ගෙ අලුත් යාළුව ඇවිත්. මං හිතන්නෙ මෙයානං මිස්ගෙ හිත ගන්නව ශුවර්. ඉතිං චුට්ටක් ඇස් ඇරල බලන්නකො”

ඇය නෙතු විවර කළේ කැමැත්තකින් නොවේ. එය ද කරදරයක් යයි සිතා ගෙන මෙනි. ඒ ඇස් තුළ බලාපොරොත්තුවක අංශු මාත්‍රයක් හෝ සොයා ගත නො හැකි බවක් දුටු සියපත් තැති ගත්තා ය.

“තව ටිකකින් ෆිසියොතෙරපි පටන් ගන්න ඕන. මිස් දැං මේ මිස්ව අඳුරගන්නකො. මං එන්නං…”

ලලිතා ගුරුගේ කාමරයෙන් නික්ම ගිය වහා ම සියපත් යහන අස වූ පුටුව ඇද ගෙන එහි හිඳ ගනිමින් මදිරා ගේ සුදුමැළි මුහුණට එබුණා ය.

“අනේ…ඔයා කොච්චර ලස්සනද…හරියට සුදු රෝස මලක් වගේ. මදිරා…ඒ නමත් ඔයාටම ගැලපෙනව. ආ…මගෙ නම කිව්වෙ නෑනෙ. මං සියපත්. සියපත් සඳපිනි. මිස්ගෙ හස්බන්නං කිව්වෙ ඒක කොල්ලෙක්ගෙ නමක් කියල”

සියපත් එසේ කියත්දී ම මදිරා සිනහ වෙන්නට වූවා ය. සිනහව කියන දේ කොයි තරම් නම් ඇගේ දිවියෙන් ඈතක තිබි දෙයක් දැයි එසේ සිනහ වෙන අතරේ ම ඇයට නො සිතුණා නොවේ. ඒ මොහොතේ ම තට්ටුවක් ද සමගින් දොර විවර විය. මදිරා සිනහව නවතා ගත්තා ය. විවර වූ දොරින් මතු වූ රුව නිසා සියපත් අසුනෙන් නැගී සිටියා ය.

ඔහු ඇතුළට ආවේ ම සිනහ වී ගෙන ය. ඒ සිනහවේ පුදුම මිත්‍රශීලී බවක් විය. එහෙම වෙන්නේ කොහොම දැයි සියපත් ට සිතා ගත හැකි වූයේ නැත. මීට මොහොතකට පෙර කතා කරත්දී මේ මුහුණේ සිනහවක් තබා හිතෛශී බවක් හෝ වූයේ නැත.

“ඉඳගන්න ඉඳගන්න සියපත්”

දැන් ඒ නමත් ඔහු ට මතක තිබේ.

“ඔන්න අපි ඔයාට අලුත් යාළුවෙක් හොයා ගත්ත කතා කර කර ඉන්න. ඔයා ආස ඕන දෙයක් සියපත් උදව් කරගෙන කරන්න ඕන හරිද…ලෝකෙ තියන ඕනම දෙයක්…ඔයාගෙ එක හිනාවක් වෙනුවෙන්…චූටි සතුටක් වෙනුවෙන් ගෙනත් දෙන්න අපි ලෑස්තියි. ඔයා ඉක්මනට සනීප වෙන්න ඕනෙ. තේරුණාද…සියපත්ව දැක්ක ගමං මට හිතුණා…ඒක කරන්න එයා අපිට උදව් වෙයි කියල. ඔෆිස් ගිහිං එන්නං හොඳේ”

ඔහු පහත් වී ඇගේ නළල් තලය සිප ගත්තේ ය. මදිරා ඒ අතක් දිගේ සිය අතක් ඇද ගෙන ගියා ය.

“පරිස්සමෙන්”

එය මිමිණුමකි. නැවත ද සේවා යෝජකයාගෙන් සියපත් වෙතට සව්මිය වූ සිනහවකි.

“සියපත්ට ඕන කරන ඕනම දෙයක් මේඩ්ස්ලගෙන් ඉල්ලගන්න පුළුවන්. දැන් ඔෆිස් යන්න හදන නිසා කතා කරන්න වෙලාවක් නෑ. අපි හම්බ වෙමු”

ඔහු දොර වසා ගෙන නික්ම ගිය පසු සියපත් නැවත අසුන මතට වැටුණේ කිසිත් නිරවුල් නැතිව ය. මීට ටික වෙලාවකට පෙර කතා කරන්නට කිසිවක් ම නොමැති බවක් හැඟවූ ඔහු දැන් එහෙම කියන්නේ ඇයි? සල්ලි තියෙන මිනිසුන්ගේ ජීවිත කියන්නේ ම අභිරහසක්  යයි සිතු සියපත් මදිරා ගේ මූණට එබී ලස්සනට සිනහ වූවා ය. සිය රැකියාව මදිරා සතුටෙන් තැබීම මිස ගෙහිමියන් ගේ අභිරහස් සෙවීම නොවේ යි ඇය තමන්ට ම අවධාරණය කළා ය.

💜️මගේ අලුත් නවකතා වන ප්‍රේම ගාථා, නිබ්බුත ගීත හා අහස තරු සහ කළුවර 0788376053 අංකයට වට්සැප් පණිවිඩයක් තැබීම මගින් ඔබ ඉන්නා තැනකට ගෙන්වා ගත හැක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles