මන්දහාසයකින් වසා ගන්නට සිදු වන දුක තරම් බරැති යමක් හදවතකට වෙන දැනිය නො හැකි ය. සිනහ වෙවී මේ මොහොතේත් සියපත් ඔවුන් සමග කැරම් ගසමින් සිටියා ය. ඔවුන් යනු සනාතන, මදිරා හා වියානා ය. සදාතන කාර්යාලයේ සිට පැමිණ තිබුණේ නැත.
හදවතට දැනෙන්නා වූ මේ ශෝකී බව විශ්ලේෂණය කරන්නට සියපත් දන්නේ නැත. තමන් ගේ හදවතේ කුළුඳුළේ ම ප්‍රේමයට ආසන්න හැඟීමක් ජනිත කළ තැනැත්තා ගේ නිල උරුමකරුවා සමගින් ඔහු හෝ ඇය සමීපයේ ගැවසෙන්නට වෙනවා කියන එක ම පණ පිටින් අපායේ යනවා වාගේ දෙයකි. සියපත් වූ කලී හුරුබුහුටි ගෑනු ළමයෙකි. ජීවිතයේ දුක කියනා දෙයින් පදම් වූ ගෑනු ළමයෙකි. ඒ දුක තුලින් ම ජීවිතය දුටු හා ජීවිතය විඳි ගෑනු ළමයෙකි. දුකෙන් පන්නරය ලැබූ ගෑනු ළමයෙකි. දුක තුලින් ම සතුට හා සැනසීම උර ගා බැලූ ගෑනු ළමයෙකි. ඒ නිසා වියානා යනු ඇයට වෛරී සිතකින් දැකිය හැකි චරිතයක් නොවේ. සදාතන කියන්නේ යෞවන හැඟුමන් මත ඈ තිගැස්සවූ ප්‍රථම පිරිමියා වී ද සාමාන්‍ය ගැහැනු කුලකයට වැටී ඔහු ට අයිතිවාසිකම් කියන්නට ඉදිරිපත් වී හිඳිනා ගෑනු ළමයාට ද්වේශ කරන්නට හේතුවක් නොවූයේ එබැවිනි. ඇය බොහෝ නරක දේවල පවා හොඳ දැක සැනසෙන්නට කාරණා සිය ළමා වියේ පටන් ම සෙවූ දැරියකි. ඉතින් වියානා ට වෛර කරන්නට බැරි වෙත්දී, සදාතන අරබයා ඇගේ ඉඟි බිඟි වලින් රිදෙනා හිත තමන් තුළ ම තද කොට වසා තබා ගන්නට සියපත් ට සිදු විය. නමුත් ඒ සියල්ල මතින් ඇය සිනහ වී සිටියා ය. දුක අතරින් සිනහ වී සිටියා ය. ඒ සිනහව වූ කලී ඇගේ අනන්‍යතාවය ය. ඇය හඳුනා ගැනීමේ ලක්ෂණය ය.
ජයකොඩි පවුල ලංකාවට පැමිණ තිබෙන්නේ ආපසු ඇමරිකාවට යාමේ දින නියමයක් නැතිව ය. ඔවුහු දැනට මීගමුවේ හෝටලයක නවාතැන් ගෙන සිටිති. කාලයකට පස්සේ මව් බිමට පැමිණි ගමන නිසා, රට තොට වැඩිපුර ඇවිද බලා කියා ගන්නටත්, වියානා ගේ විවාහය සිදු කොට ඇගේ අනාගතය තීරණය කොට යන්නටත් ඔවුහු සිතා සිටිති.
එවක් පටන් වියානා නිතර නිතර කහවණුගොඩ මැදුරේ දී දැකිය හැකි විය. එය වූ කලී ගෑනු ළමයෙකුට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආරක්ෂිත ස්ථානයක් වූ නිසාත්, සදාතන සමග දැන හැඳින ගැනීමක් ඇති කර ගත යුතු යයි විශ්වාස කළ නිසාත් ඇය එහි යාමේ ඒමේ හෝ රැඳීමේ කිසිදු ගැටළුවක් කිසිවෙකුට වූයේ නැත. ඒ ගැන රැවුම් ගෙරවුම් කළේ සදාතන ම පමණකි.
වියානා මේ විදිහට නිරන්තර දෑස් වල පැටලී සිටීම, සියපත් ට ඇස් වලට කඳුළක් බර වී තිබීම වාගේ ය. ඒ වාගේ ම කඳුළු අතරින් සිනහවක් එබිකම් කිරීම වාගේ ය. ඉරණමත් සමග හැප්පෙන්නට යන්න තරම් තමන් ලොකු මිනිසුන් නොවෙන වග දැන සිටි ඕ, ඇයට ඉරණම විසින් හිමි කොට දුන් ඉතා කෙටි කාලීන ප්‍රථම ප්‍රේමයේ මිහිර තුළ මේ වේදනා අස්සේ ම ගිලී ඉන්නට හිත හයිය කර ගෙන සිටියා ය. සදාතන ගේ ප්‍රේමයේ ඉඟි බිඟි පටන් ගත්දී ම වියානා ගැන ගින්දරින් හදවත දැවුණ බව ඇත්ත ය. මග හැර නොයා ඒ දෙක ම විඳ ගන්නට ඇය හිතට ඉඩ හැර සිටියා ය.
සදාතන පැමිණෙත්දී ඔවුන් ගේ සිනහ කතා හා කැරම් ගැසීම උච්ච ස්ථානයක තිබිණ.
“ආ එන්න එන්න. ඔයා එනකල් තමයි අපි බලං හිටියෙ”
වියානා සිය දඟකාර බවින් යුතුව ඔහු පිළිගනිමින් ම ඉත්තෙකුට සැර පහරක් එල්ල කළා ය. ඉත්තන් දෙදෙනෙකු ම තමන් සන්තකයට ගන්නට ඒ පහර නිසා ඇයට හැකි විය!
“සර් ඉඳගන්න”
සියපත් අසුනෙන් නැගිට්ටා ය.
“නෑ නෑ සියපත් ඉන්න. මං කොහොමත් ඇතුළට යනව”
“අනේ යන්න බෑ හරිද…ඉඳගන්නකො”
වියානා සදාතන ගේ අතකින් ඇද්දා ය. ඔහු ඒ අත ගසා දැම්මේ ය. සියපත් ඒ දෙස නො බලා ඉන්නට හැකි තාක් උත්සාහ කළා ය. සදාතන වියානා ගැන කිසිදු උනන්දුවක් නො දක්වා ඉක්මන් අඩි තබා එතැනින් නික්මුණේ ය.
“සියපත් පුළුවන්නං මට තේ එකක් එවන්න”
කියා යන ගමන් කීවේ ය.
“හරි සර්”
යුවතිය රිදුම් දෙන හද වීණාවේ තත් හැඬවූයේ ඉතා පරිස්සමට ය. හැඬුම් ස්වරයක් එහි වන බව සනාතන ට දැනිණ. ඔහු සියපත් ගේ මූණ බැලුවේ හෝ නැත. මේ සිදු වන සියල්ල දරා ගෙන අහිංසක කෙල්ල විඳවන බව ඔහු දැන සිටියේ ය.
“මොන පිස්සුවක්ද එයාට හැදිල තියෙන්නෙ…මාව ඉග්නෝ කරන හැටි බලන්නකො”
වියානා මඳ නො රිස්සුමකින් වචන වලින් දමා ගැසුවා ය. ඒ දමා ගැසිල්ලට වඩාත් බිය වූයේ මදිරා ය. ඇය මේ ගෙදර අම්මා ය. සියල්ල යහපත් ව සිදු වෙනවා දැකීම අම්මා කෙනෙකු ගේ පැතුම ය. ලස්සනට සීරුවට සැලසුම් කළ සියල්ල සදාතන ගේ හිතුවක්කාරකම් නිසා බිඳ වැටෙනවා දකින්නට ඇය බිය වූවා ය.
“ඒ එයාගෙ හැටි නංගි. එයා වැඩිය කතා බහ කරන මිනිස්සු එක්ක ලොකුවට මූව් වෙන්න කැමති කෙනෙක් නෙවේ”
“ඒක මාර හැටියක්නෙ. අනික ෆෝන් එකෙන් මාත්තෙක්ක හොඳට කතා කළානෙ. හිටපු ගමං මොන යකෙක් වැහිලද…”
සනාතන යටැසින් බැලුවේ ය. දුරකතනය ඔස්සේ හැමදාමත් ඇය හා කතා කළේ ඔහු බව ඇය දන්නේ නැත. නමුත් හැංගි හැංගී වෙස් බැන්දාට නටන්නට වෙන්නේ එළියේ ය යන කතාව හැබෑ වෙමින් තිබෙනා බවක් පෙනේ. මේ සිදුවීම් කොහෙන් කොහොම කෙළවර වේවි ද කියා සිතා ගත නො හැකි ය. ඒ සිදුවීම් වල කෙළවර මේ පවුල් දෙක අතරේ ඇති වෙන්නට ගිය විවාහය පමණකුදු නොව ඇතැම් ව්‍යාපාරික සබඳතා ද බිඳ නො වැටේවි කියා සිතන්නේ කොහොමද?
“අනික් එක සියපත් ඔයා”
වියානා දබරැඟිල්ල උරුක් කොට ගෙන සියපත් වෙතට හැරෙත්දී ඇගේ පමණක් නොව සනාතන හා මදිරා ගේ ද හදවත් වල ගැස්ම වැඩි විය.
“ඔයා මෙයාට අයිය කියනව..මෙයාට අක්ක කියනව…එයාට විතරක් ඇයි සර් කියන්නෙ….එයා මාර සර්. දුෂ්ට සර්. එපා එහෙම කියන්න. ඔයා මොකටද කාටවත් සර් කියන්න යන්නෙ. මහ පණ්ඩිතයෙක්. හූ කෙයාස්…”
සනාතන අතැඟිලි වලින් නිකට හා මුව වසා ගෙන තරුණියන් දෙදෙනා දෙස ම මාරුවෙන් මාරුවට බැලුවේ ය. වියානා එහෙම කීවේ සියපත් ගැන අහිතකින් නොවන බව ස්ථිර ය. නමුත් මේ සියල්ල සියපත් ගේ හිතට කොයි විදිහට බලපාවිද කියා ඔහු ට සිතා ගත නො හැකි තරම ය. බෝ කල් ඉවසා දරා හිඳීමෙන් පසු ගිනි කඳු ද පුපුරා යන්නේ ය!
“සියපත්. තේ එකක් එවන්න කිව්ව නේද..”
සනාතන සියපත්ට මතක් කළේ ය.
“ඔව්…මං යවන්නං…”
“ගෙනියන මනුන්සයගෙත් ඇඟට ගොඩ වෙයිද දන්නෑ. සියපත්…කෝකටත් ඔයා තේ එක ගිහින් දීල එන්න”
සියපත් යන්තම් හිස සලා මුළුතැන්ගේ දෙසට ගියා ය. සනාතන එහෙම කීවේ සදාතන ගේ හිත නිවන්නට මේ වෙලාවේ සියපත් ඔහු ළඟ මොහොතකට හෝ සිටිය යුතු යයි දැනුණ බැවිනි.
සියපත් ඇය ම තේ එක හැදුවා ය. සදාතන වෙනුවෙන් කරනා ඉතා කුඩා හෝ යමක් ඇගෙන් සිදු වන්නේ පුදුමාකාර හැඟීමකිනි. ඔහු වෙනුවෙන් වන ප්‍රේමය ඒ ඕනෑම කටයුත්තක දී, බුද්ධ පූජාවක් සකසනා උවැසියක සේ ඇය නිවයි. ප්‍රීතියෙන් ප්‍රමුදිත කරවයි. බැතිබර කරවයි.
“මිස් තේ හදනව කවුරු හරි දැක්කොත් අපේ රස්සාවත් ඉවරයි”
ඉහුම් පිහුම් වෙනුවෙන් සිටිනා සේවිකාවක සියපත් ට කීවා ය. ඇය මඳහසක් පෑවා ය.
“බය වෙන්නෙපා. මං එහෙම වෙන්න ඉඩ දෙන්නෑ”
අනුන් ගේ ඉරණම තීරණය කරන්නට තබා සිය ඉරණම ලියා ගන්නට තරම් හෝ ඇයට හැකියාවක් නොවන බව දැන දැන ම සියපත් එසේ කීවා ය.
ඇය තේ එක රැගෙන යන විටත් සදාතන සිටියේ කාමරයේ සක්මන් කරමිනි. ඇගේ එක තට්ටුවකින් ඔහු වහා දොර විවර කළේ ය. එසැනෙන් ඒ මුහුණට ආ සිනහව, සියපත් ම තේ එක ගෙන පැමිණියාට සිය හදවතින් නැගුණ ස්තූතියක් වාගේ එකකි.
ඕනේ නම් තේ එක දී හැරී යන්නට පුළුවන් කම තිබිණ. නමුත් සියපත් මොහොතක් ගත්තා ය.
“මිස් වියානාට එහෙම කරන්න එපා සර්. එයාට කේන්ති ගිහින් ඉන්නෙ”
වියානා කියන තැන ඇය සිටියේ වී නම් දැනිය හැකිව තිබූ සන්තාපය සියපත් ගේ ස්වරයේ විය.
“එයා තේරුං ගන්න ඕනෙ…ඒක වෙන දෙයක් නෙවේ කියල”
“එයා හරිම හොඳයි. ඒක එයාගෙ රඟපෑමක් නෙවෙයි”
“ඉතින් ලෝකෙ ඉන්න ඔක්කොම හොඳ ගෑනු ටික මං කසාද බැඳගන්න ඕන කියලද ඔයා කියන්නෙ…”
කිසිදු මුදු මොළොක් බවක් නෑ කියා හඟවන්නට හැදුවාට ඒ හඬේ තිබී සියපත් ගේ හිතේ හැපුනේ ආදරය ය. ඉතා දැඩි බවකින් හෙලූ බැල්මේ තිබී ඇය සොයා ගත්තේ ආදරය ය. නමුත් සිනහ වෙන්නට ඇයට හැකි වූයේ නැත. අහම්බයකින් ගසා ගිය සුළඟක් වාගේ මේ ජීවිත අතරට ඇය ආවේ ඇයි දැයි සියපත් තැවුණා ය. යමක් නිවැරදි කළ හැකි නම් ඊට හොඳ ම මග ඇය කහවණුගොඩ මැදුරට එන එක නතර කොට දමනා එක ය. එසේ කරනා එක පහසු නැති බව ඇය දනී. නමුත් සියපත්ලා කියන්නේ උපන් දවසේ පටන් ම අනිත් අයට කරන්නට බෑ කියා හිතෙනා දේවල් කරන්නට උරුම වූ මිනිසුන් ය.
“අක්කෙ…දැන් ඔයාට ගොඩක් හොඳයි වගේනෙ. වෝකර් එකෙන් ටික ටික නැගිටල…ඇවිදින්න ට්‍රයි කරන්න තමයි තියෙන්නෙ. දැං මිස් වියානාත් ඉන්නවනෙ. මං මෙහෙ වැඩට එන එකෙන් නතර වෙන්නද…මේට්‍රන් කෙනෙක් හොයා ගන්නකල්…අක්කට පුළුවන් වෙයි නේද ගෙදර දේවලුත් මැනේජ් කර ගන්න…”
සියපත් මදිරා වෙතින් එසේ විමසූයේ බොහෝ වාරයක් සිතා, දැනට මේ ගැටළුව විසඳීමේ ලා වන හොඳ ම මාර්ගය එය යයි තීරණය කිරීමෙන් ඉක්බිති ය. වියානා පවසන ලෙසට සදාතන දුරකතනයෙන් පවා ඇය සමග හොඳින් කතා බහ කරමින් සිට එක වර ම ඇය ප්‍රතික්ෂේප කිරීමට හේතුව තමන් ය යන වරදකාර හැඟීමෙන් මිදෙන්නට සියපත් අපොහොසත් වී සිටියා ය.
“සියපත්…මොනාද ඔයා මේ කියන්නෙ..”
මදිරා සියපත් ගේ අතකින් අල්වා ගත්තා ය. කඳුළු නැතිව සිනහ වෙන්නට සියපත් මුල සිට ම සිතා ගෙන සිටියා ය.
“ඔහොම හිනා වෙවී එහෙම කතාවක් කියන්නෙ කොහොමද ඔයා…ඒ තරං ඉක්මනට අපිව එපා වුණාද…”
“අනේ එහෙම නෙවෙයි…”
“ඔයාට එහෙම මේ කිසි දේකින් ගැලවිලා යන්න බෑ සියපත්. ඉරණම මොකක් හරි දේකට අරඅඳිනවනං..අපිට ඒකට මූණ දෙන්න වෙනව. අපි ඒකට මූණ දෙමු”
මදිරා මුල සිට ම බිය වූයේ ඉරණම මෙවන් වූ සෙල්ලමක් කරාවී කියා ය. පළමු වතාවේ දී ඇය දෙවියන්ට පින් දුන්නා ය. ඒ සිය දෑස් බඳු සොයුරන් දෙදෙනා එක ගෑනු ළමයෙකු නිසා විරසක නො කිරීම ගැන ය. සනාතන ගේ ප්‍රේමාරාධනය කෙළින් ම ප්‍රතික්ෂේප කරන්නට සියපත් ට තිබූ දිරිය ගැන ඇය හදවතින් ම සතුටු වූවා ය. දෙවැනි අභියෝගය වඩාත් බරපතල එකයි. එයට මුහුණ දෙන්නට වන්නේ වියානා ලංකාවට පැමිණි පසු බව ද මදිරා ඉඳුරා විශ්වාස කළා ය. සදාතන ස්ථිර ලෙස ම සියපත් ට පෙම් කරමින් සිටිනවා නම් ඔහු වියානා ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඕ බලාපොරොත්තු වූවා ය. දැන් එය එසේ ම සිදු වෙමින් පවතී. මෙය සරල වූ කාරණයක් නොවෙන එක මදිරා ට වන බියයි. මෙය ව්‍යාපාර හා බැඳුණු විවාහ යෝජනාවකි. මෙවන් යෝජනාවකට එකඟ වී සිට පසුව එය බිඳ වැටීම වූ කලී දැවැන්ත ව්‍යාපාර කිහිපයක බිඳ වැටීමක් සිදු වන්නට තරම් බරපතල විය හැක. එය සාමාන්‍ය තරුණයෙකු හා තරුණියක අතරේ විවාහ පොරොන්දුවක් බිඳ වැටීමට එහා ගිය දෙයකි. එවැන්නකට මූණ දෙන්නට විශාල ධෛර්යයක් තිබිය යුතු ය. සදාතන මේ කාරණා ගැන නො දන්නවා නොවේ. මදිරා දැන නො සිටියේ ඔහු ට ඒ ධෛර්යය තිබේද කියා ය. ඒ ධෛර්යය නොමැති වී නම් නියත වශයෙන් ම අසරණ වන්නේ සියපත් බව මුල සිට ම දැන සිටි නිසා ඇය සදාතන සියපත් ගේ හිතේ කැළඹුමක් ඇති කිරීම ගැන ඒ තරම් සතුටු වූයේ නැත. නමුත් දැන් සියල්ල සිදු වී තිබේ. වියානා ප්‍රතික්ෂේප කිරීමේ හා ඉන් අනතුරුව මුහුණ දෙන්නට වන සියල් අභියෝග වලට මුහුණ දෙන්නට අවශ්‍ය ධෛර්යය තමන් සතු වන බව සදාතන පෙන්වමින් සිටී. සිය ඉරණම වෙනස් කර ගන්නට ඔහු සූදානම් නම් ඊට එරෙහි වීමේ කිසිදු අයිතියක් මදිරා ට නැත.
“සමහර දේවල් වලට මූණ දෙන්න…මට හයියක් නෑ වගේ දැනෙනව අක්කෙ”
“එහෙම හිතන්න එපා. ඔයා ඒ හයිය තියන ගෑනු ළමයෙක්. මුළු ගෙදරක පාලනය ඔයා අතට ගියෙ ඒකයි. පැනල දුවන්න හදන්නෙපා සියපත්. මේකට මූණ දෙන්න. දරුණු කුණාටු වුණත් ඇවිත් යනව කියල ඔයාමනෙ මගෙ හිත හදන්න කිව්වෙ. කඩේ ඕපනින් එක නිසා හෙට නිවාඩු ගන්න. ඒත් අනිද්දට එන්න. ඔයාට නියමිත කොටසක් ඉරණමේ ලියවිල තියනව සියපත්. මං ආසයි ඉරණම විසඳෙන හැටි බලං ඉන්න. මං ඔයත් එක්ක ඉන්නවනෙ…”
“අක්..කෙ…”
සියපත් නො හඬා ඉන්නට දැඩි වෙහෙසක් දැරුවා ය. නමුත් ඇගේ ඇස් තෙත පාටින් දිළිසුණේ ය.