“ඩිවෝස් එක ලැබිල නැති හන්දා මිස්ට කුලරත්නට තමයි බොඩි එක භාරගන්න වෙන්නෙ. අයි හෝප් යු ආර් ඕකේ විත් ඉට්”
පොලිස් නිලධාරියා පවසද්දීත් අනුප උන්නේ සිහිනයෙන් මෙන් කොහෙදෝ අරමුණක් නැති ඉමක් දෙස බලාගෙනය. ඒ දුරකත ඇමතුම එද්දීත් තමා උන්නේ දුලන්‍යාත්, උශාලිත් ෂෝබිතාත් අතර එහෙට මෙහෙට හුවමාරු වන සිතුවිලි ගංගාවක් මැද ඉබාගාතේ පා වෙමිනි.
අනුප ෂෝබිතාව ඇමතුවේ ඇය විසින් දුන් කොන්දේසියට තමා එකඟ නොවන බවත්, එය හැර වෙන විදියක් මේ ගැටලුවට විසඳුම් ලෙස දෙන්නට නොහැකිද යන්න ගැනත් ඇයගේ දෙපා මුල වැඳ වැටී හෝ අසනු පිණිසය.
දුලන්‍යාව ජීවිතයෙන් අහිමි කරගත නොහැකි තරමටම උශාලිවත් ජීවිතයෙන් අහිමි කරගත නොහැකි බව අනුප තේරුම් ගත්තේත් තීරණය කලේත් ඒ කල්පනාව අවසානයේය. ජීවිතයේ හොඳම දේවල් අපිට සැමදාමත් නොලැබෙන බවට තම ජීවිතයේ පසුගිය කාලය මොනවට සාක්කි සපයද්දී කාලාන්තරයකට පසු ජීවිතයට ඇවිදින් තිබූ ඒ වසන්තය නිමා කරගන්නට හෝ අහිමි කරගන්නට උවමනාවක් අනුපට තිබුනේ නැත.
එහෙත් එසේ සිතා ඇය වෙත ගන්නා ලද ඇමතුම සම්බන්ධ වූයේ වෙනත් පිරිමියෙකුගේ හඬක් සවන් මත තවරමිනි. ඒ දමිත් යැයි සිතා ඇමතුම විසන්ධි කරන්නට සිතුනද එපසින් ආ හඬත්, ඒ හඬට එහයින් ඇසුන කලබලකාරී හඬත් ඒ ක්‍රියාව මදකට නතර කරවන්නක් විය.
“හෙලෝ”
“හෙලෝ කවුද මේ කතාකරන්නේ?”
“ඔය කවුද කතාකරන්නේ?”
“මම කතාකරන්නේ කොල්ලුපිටිය පොලිසියෙන්. මේ ෆෝන් එක අයිති මැඩම් සර්ගෙ කවුද?”
“මගේ වයිෆ්”
ඒ වචන මුවින් පැන්නාද කියා තේරුමක් නැති නමුත් මේ ඒවා සිතමින් හිඳින්නට වෙලාවක් නොවේ.
“ඕකේ සර්ට එන්න පුලුවන් වෙයිද ජාතික රෝහලට දැන්? මම කතාකරන්නෙ කොල්ලුපිටිය පොලිසියෙන්”
“ෂෝබිතාට මොකද?”
පොලිස් නිලධාරියා කියූ වදන් ඇසුණේ සිහිනයෙන් මෙනි. තමා විසින් වාහනය පණ ගැන්වුවේත්, ජාතික රෝහල වෙත ගියේත්, හෙද නිලධාරියක පසුපස ෂෝබිතා සොයා ගියේත් සිහිනයෙන් මෙන් බව පමණක් අනුපට මතකය. ඉන්පසුව තමා යන්ත්‍රයක් මෙන් විවිධ පුද්ගලයන් විසින් කියන්නට යෙදුණ කාරණා කරන්නට ගිය බවත්, ඒ සියල්ලම කරේ නිහඬව බවත් පමණක් අනුපට මතකය.
ෂෝබිතා විසින් කාහටදෝ කතා කරමින් පාර පනින බවත්, ඇයට නොපෙනුනද එක එල්ලේම ඇය වෙත ආ ට්‍රක් රියක ඇය හැප්පෙනුත්, ඒ පහර ඔස්සේ ඇය ඉහල ගොස් පහල එනුත් අසල බිල්ඩිමක සීසීටීවී කැමරාවක සටහන් වී තිබෙන අයුරු කොල්ලුපිටිය පොලිසියේදී අනුප දූටුවේ බොඳ වූ නෙතිනි.
ෂෝබිතා විසින් එසේ අරමුණක් නොමැතිව, සිහියක් නොමැතිව පාර පනින්නට හේතුව අනුපට සොයාගන්නට නොහැකි වුවද දමිත් උන්නේ ඒ මොහොත මතක් වෙද්දීත් වෙව්ලන හදකින් යුතුවය.
සාරා සමග ක්‍රෙස්කැට් වෙත ආවේ ඇයට රමණි ෆර්නැන්ඩො සැලොන්ස් වෙතින් කෙස් කළඹ සකසාගන්නට උවමනා යැයි කියූ නිසාවෙනි. ෂෝබිතාව එහිදී දකින්නට ලැබේයැයි දමිත් කිසිසේත්ම සිතුවේ නැත. තමා සාරාගේ අතින් අල්වාගෙන වාහනයට නගින්නට යද්දී පාරින් එහා පස හිඳ කවුරුන්දෝ තම නම කියා කතාකරනු දමිත්ට ඇසුණි.
ඒ ෂෝබිතාය. ඇයගේ මුහුණ පුරා රැඳී තිබුණ කුහුල එතරම් දුර හිඳ වුවද තේරුම් ගන්නට දමිත්ට අපහසු වූයේ නැත. ඇයගේ මුහුණ පුරා රැඳී තිබුන කුතුහලය, වික්ෂිප්තිත හැඟීම බිඳෙන් බිඳ කෝපයක් බවට පරිවර්තනය වෙද්දී දමිත් කඩිනමින් වාහනයට නැග රිය පණගන්වද්දී ෂෝබිතාද කලබලයෙන් පාර පනීනු දුටුවේ කණ්ණාඩියෙනි.
එහෙත් මේ සාරා ඉදිරියේ තම අනියම් අසම්මත සබඳතා වලට දිග හැරෙන්නට ඉඩ දිය යුතු මොහොතක් නොවන බවට සිත රතු එළි දල්වද්දී දමිත් වේගයෙන් වාහනය පණ ගන්වා යන්නට විය.
එහෙත් ඒ මද දුරක් පමණි. ට්‍රක් රියක් මහ හඬින් පාර මැද නැවතෙනුත් මිනිසුන් කෑගසමින් එපසට දුව යනුත් දුටුවිට නෙතු පැති කණ්ණාඩිය වෙත යොමු වුනේ නිරායාසයෙනි.
මහ පාර මැද වැටී හුන් ෂෝබිතාගේ මුහුණ ඒ වනවිටත් තමා ගිය දෙසටම හැරී තිබෙනු දකිද්දීත් කිසිවක් නොවූ පරිද්දෙන් වාහනය දිගටම පදවන්නට තමාට හැකිවූයේ තමා එතරම්ම මිනිසත් කම් අඩු අයෙක් නිසාවෙන්ද යන්න සිතෙන් අමතක කරවන්නට දමිත්ට හැකියාවක් තිබුනේ නැත.
තමා ෂෝබිතාට ආදරය කලාද යන පැනය මේ කාල වකවානුව තුල තමා විසින් තමාගෙන්ම කොතෙක් වර අසා තිබුණාද? පෙර ඇයගේ පෙම්වතා වී හිඳිද්දී වුව ඇය අනුප සමග විවාපත් වූ විට පවා තමාට එහෙමකට කියා දුකක් වේදනාවක් අත්පත් නොවූ බව මතක තියෙද්දීත් දෛවයේ සරදමකින් මෙන් යලිත් ඇය හා බැඳෙන්නට සිතුනේ ඇයිද?
ඇයව සම්පූර්නයෙන්ම ජිවිතයෙන් අමතක කරවන්නට හේතු කාරණා වූයේ ප්‍රදේශයේ ප්‍රභල ව්‍යාපාරිකයෙකුගේ දියණියකගෙන් ආ විවාහ යෝජනාවක් නිසාවෙනි. සාරා රඹුක්වැල්ල යනු අතහැර ගතනොහැකි ඉල්ලමක් මෙන් පෙනෙද්දී ෂෝබිතාව සහමුලින්ම අමතක කරන්නටත්, ජීවිතයෙන් ඇයත් ඇයගේ මතකයන්ද අතුපතු ගා දමන්නට කටයුතු සැලසුම් කර තිබුනද තමා යන දෙසටම හැරවී මහ පාරේ වැටී තිබුණ ෂෝබිතාගේ දුක්බර දසුන ඉතින් කෙදිනක හෝ මතකයෙන් අතුපතු ගා දමන්නට හැකිවේද යන්න දමිත්ව නොසෑහෙන තරම් බිඳ දමන්නක් විය.
අවමංගල කටයුතු සූදානම් වූයේ ඉක්මනිනි. ෂෝබිතා එතරම් ඉක්මනින් දෙපස නොබලා පාර පනින්නට හේතුව සොයාගන්නට නොහැකි වුවද අවමංගල උලෙලට සහභාගී වූ සියල්ලන්ගේම සිත් වල ඇය ගැන තැවරී තිබුනේ පුදුමාකාර අන්දමේ වේදනාවකි.
තමන් සහ ෂෝබිතා පසුගිය මාස කිහිපයම වෙන්ව ජීවත් වූ බව ඉතින් ඇයගේ අවසන් කටයුතු වලට හරස් වන්නට හේතුවක් කරගන්නට අනුපට උවමනා වූයේ නැත. අනෙක් අතට ඇය තමාට ආදරය නොකලද තමා විසින් කාලයක් පුරාවට ඇයට සැබෑවටම ආදරය කල නිසාවෙන්ම මේ යන්නට තනන අවසන් ගමනට හැකි ඉහලම ගෞරවය දෙන්නට අනුප වෙහෙසුණාය.
දුලන්‍යා උන්නේ කිසිවක් තේරුම් ගන්නට අපහසුවෙනි. අම්මා කොහෙදෝ දුර ගමනක් ගොස් හිඳ නැවත ගෙදර පැමිණ හිඳින බවත්, එහෙත් නිවසේ නතර නොවී තවත් දුර ගමනක් යන්නට සූදානම් බවත් පමණක් ඇයට තේරුණාය. එන එන මිනිසුන් තමාගේ හිස අතගා දුක්බර දෑසින් තමා දෙස බලා හිඳින්නේ ඇයිද යන්න ගැන පවා ඇයට පැහැදිලිතාවයක් තිබුනේ නැත.
අනෙක් අතට උශාලි විසින් බත් අනා කවද්දීත්, තමා ඇයගේ තුරුලේ නිදි කරවද්දීත් මෙතෙක් කිසිම දිනයක අම්මාගෙන් නොලැබුන ආදරයක් ලැබෙද්දී අම්මා නැවතත් දුර ගමනක් යන්න සූදානම් වීම ගැන කණගාටු විය යුතුය යන සිතුවිල්ල දුලන්‍යාගේ සිත අහලකවත් වූයේ නැත.
අනුප ඉන්නේ වචනයෙන් කියා විස්තර කල නොහැකි වේදනාවක බව උශාලි තේරුම්ගත්තාය. ඒ නිසාම කිසිවක් ගැන නොකියාවම්, නොඅසාම නිහඬව ඉන්නට කටයුතු කලාය. කෑම බෙදා පිඟානට බෙදා ගෙනවිත් තැබුවාය. දුලන්‍යාව ආදරයෙන් බලාගත්තාය.
අනුප උන්නේ ඒ සියල්ලම දකිමිනි. තමා විසින් වසර ගණනක් තම පාද පරිචාරිකා තනතුරේ තබා හුන්, මද කාලයකට පෙර තමා හැර දා වෙනත් ආදරයක් පසුපස ගොස් තටු සිඳගත් ෂෝබිතා දෙසද, තමා සමග දුක බෙදාගන්නට කිසිත් දෙයක් බලාපොරොත්තු නොවේ තමා ලඟම රැඳෙන උශාලි දෙසද නෙතු හුවමාරු කරන්නට විය. තමා මේ ගැහැණුන් දෙදෙනාටම අපමණ ආදරය කල බව අනුප තේරුම්ගත්තේ ඒ මොහොතේය.
ෂෝබිතා නොඑන ගමනක් යන්නට ඉටා ගෙන සාලයේ ලී පෙට්ටියක නිදා හිඳිද්දී පලමු වරට ඇයව තුරුල් කරගත්, සිපගත් මතකයන්ද, සුදෝ සුදු සාරියකින් සැරසී විවාහ දිනයේ මල් කළඹද රැගෙන තමා පසුපසින් විත් උරහිසට තට්ටු කල මතකයන්ද චිත්‍රපටයක් මෙන් මනසට ඒම වලක්වාලන්නට හැකියාවක් හෝ උවමනාවක් අනුපට තිබුනේ නැත.
අවමංගල කටයුතු අවසන් වෙද්දීත් අනුප උන්නේ ඒ සුන්දර අතීත මතක අස්සේ සැරිසරමිනි.
“ෂෝබිතා අතින් මෙච්චර වැරදි වෙලා තියෙද්දිත් පුතා අපි වෙනුවෙන් අපේ දරුවට ලැජ්ජ නොකර ෆියුනරල් එක මෙහෙ කරපු එකට ගොඩක් තැන්ක්‍යු පුතා”
ෂෝබිතාගේ මව් දෙමව්පියන් උන්නේ උසුලාගත නොහැකි වේදනාවකි. මේ අවසන් ගමන් යන්නට සැරසෙමින් හුන්නේ තමා කුලුදුලේ මවක් සහ පියෙක් කල දරුවාය. කුඩා අවදියේ හිඳ සුරගනක් තරම් සුන්දරව උන් දරුවාය. මොනතරම් මුරණ්ඩුකම් අකීකරුකම් කලද මවකට සහ පියෙකුට දරුවෙකුගේ වියෝව දරාගන්නට හැකිද? ඊටත් වඩා මරණයට එන්නේවත් නැතුව හිඳින්නට තරම් හේතු කාරණා ෂෝබිතා විසින් සපයා තිබෙද්දීත් අනුප විසින් ඇයට මෙසේ අවසන් ගෞර්ව දැක්වීම ගැන ඒ සිත් තිබුණේ වෙඬරු පිඬක් මෙන් හුණුවීය.
“අම්මා, ෂෝබිව මට කවදාවත් අමතක කරන්න බෑ අම්මා. ඒ මගේ දරුවගෙ අම්මා. එයා මොන වරද කලත් මට එයාගෙන් පලිගන්න එයාට වෛර කරන්න හේතුවක් නෑ. මිනිස්සු ඉස්සරහ එයාගෙ අන්තිම මොහොතෙදි ලැජ්ජ කරන්න මට හිත හදාගන්න බෑ. අද දවසෙ විතරක් නෙවෙයි මෙතනින් එහාට එන එයාගේ හැම දානයක්ම අපි මේ ගෙදර දෙනවා. අම්මා කවදාවත් ඒ ගැන වොරි වෙන්න එපා”
ඒ වදන් කියන්නට පවා තමන්ට සවිය තිබුණාදැයි කියා නොදන්නා මුත් ඒ අසරණ දෙමව්පිය සිත් සතන් සනසාලනු පිණිස එකී වදන් පවසන්නට හැකිවීම ගැන අනුපට තිබුනේ සැනසුමකි.
ෂෝබිතා ජීවිතය වරද්දා ගත් බව සැබෑවකි. එහෙත් ඇය තම ජීවිතය අනතුරේ හෙලාගෙන අප සියල්ලන්ටම පාඩමක් කියා දී නොඑන ගමනක් ගිය බව පමණක් උශාලිත්, අනුපත් ඇතුලු සියල්ලන්ම තේරුම් ගනිමින් උන්නාය.
ජීවිතය යනු අප ඉල්ලන සියල්ලම එයාකාරයෙන්ම ලබා දෙන සංසිද්ධියක් නොවේ. එහෙත් ඒ ජීවිතයේ පුරාවට අපට ලැබෙන, අහිමිවන සියල්ලකින්ම කියන්නේ ඉතා හරවත් කතාවකි. ඒ කතාවේ හරය දැනගන්නට ඒ කතාව අසා හිඳීමෙන් පමණක් අපට නොහැක. ඒ කතාව තුල අප ජීවත් විය යුතුය. ඒ කතාව අත්විඳිය යුතුය.
ෂෝබිතා විසින් කියා දුන්නේ එකී පාඩමයි.