සර්.. අර ගෑනු කෙනා යන්න
බෑ කියලම කියනවා. සර්ව හම්බෙලාමලු යන්නෙ..
මං සමීර දිහා ඔලුව උස්සලවත් බැලුවේ නෑ..නැත්තං ඌ හිතයි මොකක් හරි යටි බඩක් හින්දා තමයි මං ඒකිව මඟ අරින්නෙ කියලා.යටිබඩට පල්ලෙහයින් තියෙන එක හින්දා කාලයක් මං ඒකි හින්දා දුක් වින්දා. මුඩුක්කු අස්සෙ කැලණි ගගේ ඉවුර දෙපැත්තේ විසි වෙලා තිබිච්ච ටිං බෙලෙක්ක එකතු කරපු චිට්ටියාව මොකාද ඒ කාලේ ගනන් ගත්තෙ..
සඳමාලි..හහ්… වල්පැන්ටා විමලගේ සඳමාලි… පුක බරි විල්බගෙ කෙල්ල සඳමාලි …
මට තනියම හිනාගියා.
කුණු ගොඩේ මැස්ස..
අනේ අනිච්චං සඳමාලි…
මන් තාම පනපිටින් සඳමාලි..
මං දන්නෙම නැතුව හක හක ගාලා තනියම හිනා වෙනකොට පැය ගානක් එළියෙ ඉඳගෙන ඉන්න ගෑනු කෙනාට දෙන්න ඕනේ උත්තරේ මොකක්ද කියලා අහගන්න දොර ගාව බලාගෙන හිටපු සමීර බයවෙලා වගේ මං දිහා බලාගෙන හිටියා.
මොනවද බූරුවො ඔතන බලාගෙන ඉන්නේ..තමුසෙට බැරිද ගිහින් කියන්න ඇමතිතුමාව දැන් හම්බ වෙන්න බැහැ කියලා..
හිනා වෙවී ඉඳල එකපාරටම හිනාව නවත්තලා යක්ෂාරූඪ වෙච්ච මුණකින් සමීරට ඒ විදිහට කතා කරනකොට මෙලනි එක්ක ගිය සතියෙ බලන්න ගිය හිරිවැටුනු බලු පැටව් ස්ටේජ් ඩ්‍රාමා එක දඩබඩස් ගාලා ඒ අව් අස්සෙත් මතක් උනේ හරියට නිකං ඒක වේදිකා නාට්‍යයක කොටසක් වගේ වෙච්ච හින්දා..
කිව්ව සර්..
ඒ උනාට ඒ ගෑනි එතනින් හෙලවෙන්නේවත් නෑ… අර පොඩි එකෙක්වත් ඔක්කෙ ගහගෙන හාමත් වෙලා ඉන්නවා.ඇයි ඉතින් උදේ අටේ ඉඳන් නේ.. දැන් හැන්දෑවෙ හයත් පහු වෙන්න එනවා..
මං සමීරයා දිහා බලපු විදිහට .. ඌට හිතෙන්න ඇති අන්තිමට කියවිච්ච දෙබස් ටික කියවුනේ නැත්නම් හොඳයි කියලා.
මට තමුසේගෙ අණ්ඩර දෙමළ වලට උත්තර දෙන්න වෙලාවක් නෑ..
දැං මොකක්ද ඔය ඇවිල්ලා ඉන්න ගෑනිගෙ නම..
හහ් ඇලපාත කංකානම්ලාගේ සඳමාලි අනුශා අතපත්තු .. මං මොකද ඔය ගෑනිගෙ නම දන්නේ නැත්තේ.. අවුරුදු දහයක් බත් කාපු ගෙදර..අවුරුදු දහයක් ජීවිතය පිස්සෙක් කරපු ගෑනියෙක්..එකතු කරන ටිං බෙලෙක්කෙටත් වඩා අජූත විදිහට පයින් ගහලා මාව එලවපු ගෑනියෙක් … හහ්… හක්කලං පිට හක්කලං ගහලා පේදුරු ජුදාස් ගේ කල්ලියෙ මැරුම් නොකා බේරිච්ච එකම එකා මං.. ගිනි පන්දමෙන් ආමෙන් කියලා නගර සභාවෙන් පාර්ලිමේන්තු ආපු මං…
දෙයියනේ කියලා ලබන මාසයේ මෙලනී ආශිකා නානායක්කාර ගේ අත ගන්න බලාගෙන ඉන්න මං..
මේ කොහෙවත් යන පඩංගු බැල්ලියෙක් හින්ද සේරම නැති කර ගන්නද කියන්නේ…
සර්… මේ සදමාලි කිව්වා .
සදේ කිව්වම සර් අම්ම අප්පට වඩා දන්නවා කියලා කිව්වේ…
මම සමීර දිහා බලාගෙන හිටියේ ජීවිතේ පළවෙනි වතාවට සඳමාලි හරි සඳේ හරි කියන නම මට ඇහුණා වගේ…
සඳේ …. මම ටිකක් කල්පනා කරන විදිහට පෙන්නුවා..
ම්ම්.. මට මතක නෑ බං…
කොහේ ඉඳලද ආවා කිව්වේ..
සේදවත්තේ…කිව්වා …
හරි තමුසෙ යනවකෝ පල්ලෙහාට.. මම පැය බාගෙන් කතා කරන්නම්…
ආ… මේ අයිසේ..මෙන්න මේක අරගෙන ගිහිල්ලා අර පල්ලෙහා ටී ශොප් එකෙන් මොන හරි කන්න අරං දෙනවා…
මම සල්ලි දික් කලහම සමීරයා හරියට මගේ මූණ දිහා බලාගෙන හිටියේ අමාත්‍යාංශයට මාව හම්බ වෙන්න එන හැම ගෑනිටම මම මේ විදිහට පල්ලෙහ ටී ෂොප් එකෙන් කෑම අරන් දෙනවද කියල අහනවා වගේ මුනකින්..
බොසාගේ පරණ හොර කැච් එකක්ද කොහෙද බං..කියලා සමීරයා පල්ලෙහා ඉන්න සේරටම වපුරණ හැටි මට ඉර්දියෙන් වගේ පෙනුනා.
ශිහ්… නිකමට හරි මේ යකා මෙලනිට කියයිද දන්නෙත් නෑ…
මට ඒ තප්පරේට හිතුනා.
ආ මේ සමීර..තමුසේව මෙහෙට දාලා තියෙන අනුයුක්තෙ මම තව සති දෙකකින් විතර ඉස්තිර කරලා දෙන්න බලන්නම්.තමුසෙට පේනවනේ මෙතැන වැඩ කොච්චර තියෙනවද කියලා. අඩු තරමේ තමුසෙලාට ඇණයක් වෙලා ඉන්න ගෑණියෙක්වත් එළවගන්න බැහැනේ.. අම්මපා මට හිතුනොත් තමුසේ ව ආපහු ඇටියාවලටම අරිනවා..
ශහ්..මං එහෙම කියපු ගමන් මේකගෙ මුණ වෙනස් වෙච්ච හැටි..
සර් පොඩ්ඩක් ඇත්තන් කලබල වෙනවානේ… මං ගෑණිට මොනාහරි කන්න අරන් දීලා ෂේප් කරලා අරින්නම්.. සර් පිටිපස්සෙ දොරෙන් යන්න..මං දහනායක ට කියන්නම් දැම්ම පිට්පස්ස දොර ගාවට වාහනය ගහන්න කියලා..මොකෝ අපේ සර්ට පිටිපස්සෙ දොර නුහුරු දොරක් ඈ…
එහෙම කියපු සමීර මම වචනයක්වත් කියන්න කලින් වාෂ්ප වෙලා ගියා..
වලත්ත කතාවක් කියපු ගමන් අකුනක් වගේ වාෂ්ප වෙන්න ඕනේ කියන තියරිය ඌ මගෙන්ම ඉගෙන ගත්තු එකක්..
දහනායක කියපු විදිහටම වාහනය අරගෙන ඇවිල්ල හිටපු හින්දා පොද වැස්සෙම මම අමාත්‍යංශයෙන් එලියට එනකොට කළුවර වැටුණු පාර කෙලවරේ සඳමාලි ළමයා වත් කර පින්නගෙන පාර පනිනවා දැක්කා.
මොන තිත්ත කළුවරක වුණත් මට මොකද බැරි ඒකි අදුනගන්න..
සමීර මොනවා හරි පචයක් කියලා
සදා ව කොහොමහරි පන්න ගන්න ඇති කියලා මට හිතුණා.
වැහිපොද අස්සෙන් මම දන්නෙම නැතුව මගේ අතීතයට පාවෙලා ගියා.වෙන මිනිහෙක් නම් එක්කෝ ගඟක මුහුදක පැනලා..නැත්නම් පිස්සු හැදිලා..ඒත් මොකක්දෝ හේතුවකට මට ඒ දෙකම වුණේ නෑ..හිතුවෙවත් නැති විදිහට මිනිසුන්ගේ කරපිටින් පාර්ලිමේන්තුවට ආවා..
මේ තැනට එන්න මම මොනවද නො කෙළේ..මට මොනවද ඉතුරු උනේ..සමහර වෙලාවට මටම හිතාගන්න බැරුව ගියා මම මනුස්සයෙක් ද කියලත්.කොල්ලෝ කෙල්ලෝ ප්‍රශ්න දරාගන්න බැහැ කියලා මොන ඇනෑවකට වහ බොනවද කියලත් මට සමහර වෙලාවට හිතුනා.
ජීවිතය කට්ට කන්න පුළුවන් කියලා කියන්නේ කලාවක් නම් මම ඒකෙ පිකාසෝ කියලා එදා මහා විද්‍යාලයේ රැස්වීමකදී කතා කරද්දි කියපු වෙලේ
දුප් පර බල්ලා කියලා මාව ගෙවල් වලින් එලවපු අම්මන්ඩිලා කඳුළු පිහිනවා මම දැක්කා.
මිරාල් අයියගේ බට්ටා බාගේ මට භාර දීල තිබුනෙ මං ගැන තිබිච්ච විශ්වාසයට .. හැම මුඩුක්කුවක ම බඩගගා එකතුකරගත්ත ටින් බෙලෙක්ක ලට්ට පට්ට හැම එකක්ම බට්ට බාගෙ පටෝගෙන ලතීෆ්ගෙ පොට් එකෙන් බාලා ගතමන්ට් එකත් අරගෙන මිරාල් අයියා ට නූලට තිතට ගණන් මිනුම් බේරපු එකම කෙනා මං විතරයි.
දිරාපු යකඩ හට්ටි මුට්ටි හිල් වෙච්ච ඇලුමිනියම් කැඩිච්ච ෆ්‍රිජ් කැඩිච්ච වොශින් මැශින් කැඩිච්ච ප්ලාස්ටික්… කිය කියා කෝප්පයක් සයිස් ප්ලාස්ටික් සද්ද කටකින් සද්දෙ දාගෙන නොගිය පාරක් නෑ..
ලැයිං මුඩුක්කු අස්සෙන් යද්දි සමහර ගෑනු නාවර පෙරා ගත්තු කොල්ලො කෙල්ලො ලොරියට පටවන්න හදන්නේ මුං අරගෙන බේසමක් වත් දියං මල්ලියේ කියලයි..
කැඩිච්ච ප්ලාස්ටික් පුටු කබලකට බේසමක් දීපු වෙලාවෙ සඳමාලිගේ මූනෙ මැවිච්ච හිනාව ගෙංදගං ජීවිත අස්සෙ තෙම්පරාදු වෙලා ඉන්නවා කියලා හිතං උන්නු මාව හිරිවට්ටපු හැටි දැනුත් මතකයි.
අඩුම තරමේ සඳමාලි මට වඩා අවුරුදු දහයක් වැඩිමල් කියලවත් මට මට ඒ වෙලාවේ හිතුනෙ නැති හැටි..
අරියදම්ම මන්ත්‍රී හාමුදුරුවෝ කියනවා වගේ පෙර සසරෙ කාට හරි නයක් ගෙවන්න තියෙනවා නං ආයි මේ සසරෙදි දෙන්නෙ දොඹෙන්… හහ්… ලේසිද අවුරුදු දහයක් සදමාලිලගෙ කුස්සිය පිරෙව්වා කිව්වම … බල්ලගෙ මූන ඉස්සරහින් කුනු කරෝලෙ එල්ලුවම ඌ ඒක ගන්න පිස්සා වාගේ දුවනවා…දුවනවා …
වල්පැන්ටා විමලා මගෙ මූන ඉස්සරහ එල්ලුවෙ…. හ්ම්.. මොකටද කට…..
විල්බා… හහ් පුක බරි විල්බා.. මොනවා නැතත් සේදවත්තෙ උන් ඌට ගැලපෙන නම දාලා…
ඌ බට්ටෝ පනින්න ගිහිං කව්ද පුක දෙබෑවෙන්න කඩුවෙන් කොටලා තිබුනෙ හුගක් ඉස්සර ..
ඒ උනාට විල්බා විතරයි මනුස්සයෙක් ට උන්නේ.. පව් .. හැමදාම මට බත් එක දෙනකොට අහනවා මාලු කෑලි දෙකක් දැම්මද කියලා විමලගෙන්..
ආක්ටික් අමීන් ගෙ පැකට් ටික බට්ටා බාගෙ හංගගෙන ඇදලා හම්බෙන සම්තිං සේරම සදමාලි ගාව ඉතුරු කලේ දෙයියනේ කියලා අපි දෙන්නට ගන්න හිතං උන්නු හාබර් එක ගාව රජයෙන් බෙදන ගෙදර ට ඕන කරන බඩු මුට්ටු ටික ගන්නයි. ප්ලාස්ටික් පුටු තුනක් තිබුන සදමාලිලගෙ ලෑලි ගෙදර නිදාගන්න තිබුනෙ ගල් ගෙඩි හතරක් උඩ බැලන්ස් කරපු මන්චි බෝර්ඩ් එකක් …මට තාම මතකයි..නස්පුට් වෙන්න විමලාගෙ පොට් එකෙන්ම ගහන විල්බා ගල්ගෙඩි බැලන්ස් මන්චි බෝර්ඩ් ලෑල්ලේ දපන්නේ
කොහොමද ටිකිරි මොලේ.. කියලයි..