කවදාවත් නැතුව එදා මෙලනි මට ගොඩක් ලං වෙලා එයාගෙ අතීත කතාව ඔහේ කියවගෙන ගියේ මුහුද දිහා බලාගෙනමයි.
මීට සමානම කතාවක් මගේ ලගත් තිබුනත් මොන හේතුවක් නිසාද මම දන්නේ නැහැ මට සඳමාලි ගෙන ගැන ආයිත් කටක් ඇරලා තවත් කෙනෙක් ගැන කතා කරන්න පුළුවන් තරම් ප්‍රසන්න තාවයක් තිබුණේ නැහැ.සඳමාලි ගැන කතා කරන හුඟක් වෙලාවට මට මං ගැනම දුක හිතුනා. ඒ හින්ද මං බොහොම වෑයමෙන් ඒ අතීතය අමතක කරන්න උත්සාහ කලා.
ඒ වෙලාවේ එදා මෙලනි හීනෙකින්වත් හිතන්නේ නැති විදිහට මම මෙලනිගේ අතකින් අල්ලගත්තා.
ඇයි මෙලා අපි අතීතයත් එක්ක ඔයතරං වැලලෙන්න හදන්නේ..
ගිය මිනිස්සු ගිහිල්ලා ඉවරයි.ඒගොල්ලන්ට අපිට වඩා වටින දෙයක් වෙන කොහේ හරි තියෙන හින්දයි එහෙම ගිහින් ඉන්නේ. මෙලා.. මම ජීවිතේ පණුවෙක් වෙලා හිටපු මිනිහෙක්.
දන්න දා ඉඳන් මම හිටියේ එක එකාගේ අගුපිල්වල. යන්තම් තරමක වයසකට එනකොට මිරාල් අයියා දෙයියෙක් වගේ මට පිහිට වුණා. මට ලයිසන් අරං දුන්නා. උන්දගෙ වාහනේ දුවන්න දුන්නා . එච්චර කරපු මිනිහට අන්තිමේදී මං හින්ද වාහනයත් නැතුව ගියා. මම හිරේ ගියාට පස්සේ මිනිහා නැත්තටම නැති වුණා. මම එළියට ආපු ගමන්ම මිරාල් අයියව බලන්න ගියේ.
මිනිහා පමුණුවෙන් රෙදි කෑලි ගෙනල්ලා මහලා කඩවල් වලට දාන වැඩක් කර කර හිටියේ.
පේදුරු ජුදාස් අයියා ලව්වා මං මිරාල් අයියාගේ දුවව වරායෙ කාකාසෙට දාලා දුන්නා . පුතාව විදුලි බල මන්ඩලේ කාකාසෙට දාලා දුන්නා.දෙකම ස්ථීර රස්සාවල්. මිරාල් අයියා වෙනුවෙන් මම ඊට වඩා දෙයක් කරන්න ඕනෙ කම තිබුණා.
මිරාල් අයියා මගේ අත් දෙකෙ අල්ලලා ඉම්බා.
කවදාවත් නැතුව මම මෙලනිගේ අත අල්ලගෙන ඉන්නකොට එයා පුදුමයෙන් වගේ මගේ දිහා බලාගෙන හිටියා.
මෙලා..අපි දෙන්නට එකතුවෙලා මේ ගමන යන්න පුළුවන් නේද..
රගුනාදන්ට වගේම..සමහර විට ඊටත් වඩා ඔයාගේ ගෙදරින් මට අකමැති වෙයි..මුඩුක්කුවක ඉපදිච්ච ආතක් පාතක් නැති ඩ්‍රග්ස් වලට හිරේ ගිය කල්ලතෝනියෙක්.
ලේසියෙන්ම රවට්ටන්න පුළුවන් මහජනතාව රවට්ටලා පාර්ලිමේන්තු ගියයි කියලා දුව ගන්න අම්මවයි තාත්තවයි රවට්ටන්න ලේසි වෙන එකක් නැහැ..
ඇයි ඒ.. අම්මයි තාත්තයි රටේ මහජනතාවගේ කුලකයට අයිති වෙන්නෙ නැත්ද..
මෙලනි එහෙම අහලා හයියෙන් හිනා වුණා.ජීවිතයේ අමතක කරන්න දේවල් ගොඩක් තියෙන කොට එදා ඒ දවසේ හැන්දෑව මම හැමදාම මතක් කරන්න කැමති මතකයක් වුනා. …
හ්ම්… අතීතයේ එහෙම සුන්දර දවස් තිබුනා….
මෙලා තවමත් පුටුවෙ ඉදගෙන මම කියපු වචනයට මූණ නමාගෙන හිටියා .
සොරි මෙලා..මම මෝඩයෙක් උනා.. අනික එච්චර හිතන්නෙ නැතුව කිව්වේ..
දැන් ඔයාගේ ආරාධනා කරන වැඩ කටයුතු ඔක්කොම ඉවර ද..
මම එහෙම අහනකොට අමාරුවෙන් මුණ උස්සලා
ම්ම්.. අම්මි තාත්ති ඒවා ඔක්කොම කරනවා.
කිව්වා .
මටනම් ආරාධනා කරන්න කියලා විශේෂ කවුරුවත් නැහැ.පාර්ලිමන්ට් එකේ කට්ටිය විතරයි.ඔයා දන්නවනේ..
මම මුලින්ම ඔයාට කිව්වනේ..ලොකුවට උත්සව ඕනෙ නැහැ කියලා.
එහෙම කියපු මෙලනි හිනා උනා.
හරි මෙලා.. මට පරක්කු වෙනවා.අම්මටයි තාත්තටයි කියන්න මම ගියයි කියලා.
අද ඔයා කැම්පස් යන්නෙ නැද්ද ..
අද හවස ලෙක්චර්ස් තියෙන්නේ.හවස ගිහාම ඇති…
ම්ම්… පරිස්සමෙන් ..
එහෙම කියපු මම පරණ පුරුදු විදිහට මෙලනිගේ නළලට හාදුවක් දුන්නා.හැමදේම විනාශ වෙලා තියෙනකොට ජීවිතයට පුංචි හරි බලාපොරොත්තුවක් දීපු එකම මනුස්සයා මෙලනි විතරයි.කොයි තරම් මිල මුදල් තානාන්තර හම්බවුනත් නම්බුව ගෞරවය කියන එක ජීවිතේට එකතු කරල දුන්නේ මෙලනි.
මේ දේවල් හිතෙනකොට හිතෙනවා සඳමාලි කියලා කියන්නේ ගෝඩා බීලා නස්පුට් වෙච්ච වෙලවට පේන සොම්බි හීනයක් කියලා ..
සමීර ට කෝල් එකක් දීලා ඊයේ අමාත්‍යංශයට ලමයෙක් වඩාගෙන ආපු ගෑණි ගැන විස්තර අහන්න හිතුනාට ආපහු ඕනෙ නැහැ කියලා හිතුනා. නිකමට මට හිතුණා වඩාගෙන ආපු ළමයා චීන පාටද කියලා අහන්න.
තවමත් පරණ තුවාලය හාර හාරා රස බලන දෙකයි පනහේ මෝඩ පෙම්වතෙක් වෙන්න මට ඕන වුණේ නෑ..
ඒ කවියෙ මුතු අකුරු
ගුලි කරන් පපු කැවුතු
කදුලු බර මහ රෑලු
නිදි නොමැති ඇස් ඇරුනු
පොද වැස්සටත් වැටුනු
කිනිත්තෙන් මල් ඇරුනු
නටු කෑලි දලු දාපු
ලස්සනම ඒ තැන්ලු…
මහර බන්ධනාගාරයේ අපේ වාට්ටුවේ කෙලවර වැසිකිළි දොරේ මොකෙක් හරි ටූත්පේස්ට් වලින් ලියපු කවියක් මට කටපාඩම් වෙලා තිබුණා.
කනප්පු ගුණයානං ඒක දැකපු දවසේ ඉඳන් හිනා උනා දත් මදින්න දීපු ටූත් පේස්ට් එකෙන් කවි ලියලා ගූ වලින් දත් මැද්ද පිස්සෙක් කියලා ..
පාර්ලිමේන්තුව ඉවර වෙච්ච වෙලාවේ කීප දෙනෙක්ම කිව්වා මනමාලයගෙ මුණ ලස්සන වෙලා කියලා. ජනමාධ්‍ය ඇමැති රන්සරව හම්බවෙලා මෙලනිගේ වැඩේට රූ චැනල් එකත් බුක් කරගත්තා.
රූ චැනල් එක බුක් කලා කියලා මෙලනිට වට්ස්ඇප් පණිවිඩයක් ඇරියා.
ජාතියේ ම දරුවන්ට ඔයා ආදරය බව මම දන්නවා..
කියලා මෙලනි හැරෙන තැපෑලෙන් මට පණිවිඩයක් එව්වා..
මෙලනිගේ ජීවිත කාලයෙන් භාගයක් ම හිටියේ පිටරට.
ලංකාවට ඇවිල්ල මං හිතන්නේ තව අවුරුදු දහයක් වත් නැහැ.
මේ රටේ ජීවත් වෙච්ච අපි තරං කොහොමද යුද්දෙ ගැන තිබිච්ච
අරුමෙ දන්නෙ…
සූන් ඕ ලේටර්… දේ විල් ටේක් ඉට්..
හහ්… ගේබ්‍රියල් පාදර් කාරයා බාලාපරාධ චෝදනාවකට අපිත් එක්ක හිරේට ආවෙ. අම්පාරේ ඇතුළෙ ගමක අටවගත්ත පොල් අතු පල්ලියක තමයි මිනිහා පාදර් වෙලා ඉඳලා තියෙන්නේ.
පොල් අතු පල්ලියේ ඉඳලා ගල් පල්ලියට මිනිහ දොක්කළ..
කියලා කනප්පු ගුණය හිනා වෙනවා මට මේ දැනුත් ඇහෙනවා වගේ…
ගේබ්‍රියෙල් පාදර් කාරයා දෙමළ.උගේ කටේම තිබුනේ ඔන්න ඔය කියමන තමයි…
සූන් ..ඕ… ලේටර්… දේ විල් ටේක් ඉට්…
හහ්… හරිහමන් විදිහට යුද්දෙට මූණ දීපු මනුස්සයෙකුට ත්රස්තවාදියකුට අනුකම්පා කරන්නේ කොහොමද කියන එක මට තවමත් හිතාගන්න බෑ..
ඒ දවස් වල මට මතකයි මිරාල් අයියාගේ නංගි හිටියේ අම්පාරේ කෙළවර මායිම් ගම්මානයක.කෙළවරක ගමේ ඉස්කෝලෙ බෞද්ධ ගුරුවරියක් හැටියට තමයි හිටියේ. එයා උදේ ඉස්කෝලේ ගිහිල්ලා හිටපු වෙලාවක මුලු ගම්මානයක් අළු කරලා තිබුණා ත්‍රස්තවාදී පැනලා.
මිරාල් අයියා කිව්වෙ නංගි පටාචාරා උනා කියලා . මං ඒ නංගිව කවදාවත් දැකලා නෑ.මිරාල් අයියනං සතියට දෙතුන් පාරක් මානසික රෝගී උපදේශන මධ්‍යස්ථානයක නවත්තල හිටපු නංගිව බලන්න ගියා. ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ යුද්ධය ඉවර වුණා. එදා මිරාල් අයියව හම්බ වෙච්ච වෙලාවේ නම් කිව්වේ නංගි ගෙදර ඇවිල්ලා හිටියට සීයට සීයක් සනීප නැහැයි කියලයි.අපි මෙහෙ ඉඳගෙන එහෙ ඉඳපු මිනිස්සුන්ගේ දුක් වේදනා ගැන මොන ඉටිගෙඩිය ද දන්නෙ කියලා හිතුනා. තමන්ගේ ළමයි අමු අමුවෙන් කපල කපල විනාස කරපු ත්රස්තවාදීන්ට මෙලනිල වගේ කිසි දෙයක් නොදන්න මිනිස්සුන්ට නම් අනුකම්පා කරන්න පුළුවන් ඇති..
ඒ දවස්වල මට මතකයි ගේබ්‍රියෙල් පාදර් එක්ක හුගක් අය කතා කරන එක නවත්තලා තිබුණේ..මම විතරයි වචනයක් හරි කතා කරන කෙනෙකුට හිටියෙ.. බාල වයස්කාර ළමයෙකුට කරදර කරන්න ගියයි කියලා තමයි මිනිහාව හිරේට දාලා තිබුණේ..ගේබ්‍රියෙල් පාදර් කිව්වෙම ඔක්කොම එකතුවෙලා තමන්ට විරුද්ධව කතා කළා මිසක තමන්ට එක වචනයක්වත් කතා කරන්න කිසි කෙනෙක් ඉඩ දුන්නේ නැහැ කියලයි.
හුඟක් දවස්වල හැන්දෑවට ගේබ්‍රියල් පාදර් මාත් එක්ක ඔහේ කතා කර කර හිටියා වාට්ටුවෙ බිත්තිය ට හේතුවක් දාලා …
මිනිහ හිටියෙ මිනිහගේ ලෝගුව ගලවලා දාලා.මුලින් මුලින් වාට්ටුව ඇතුලේ පාදර් කාරයාට එහෙන් මෙහෙන් කැපිල්ල තිබුනට පස්සේ පස්සේ හැමෝටම ඒක අමතක වෙලා ගියා. පාදර් ට හැමෝම බඩු කාරයා කියද්දි මං විතරක් පාදර් කියලා කියපු හින්දා
ගේබ්‍රියල් මාත් එක්ක විතරක් කතා කරන්න පුරුදු වෙලා හිටියා.
ඇත්තටම පාදර් මොකද උනේ…
මෙහෙ එන්න තරම් පාදර් කරපු වැරැද්ද මොකක්ද..
ඔය කිව්ව විදිහටම පාදර් පොඩි කෙල්ලෙකුට කරදර කලා කියන එක මට හිතාගන්න බැරුව ගියා..