ඔබ දකින තුරා -39

කාර්යාලයේ මිනිසුන් ට දිසත් ව අමතක වූවා නොවේ. නමුත් අනිත් කටයුතු අතරේ ඔහු යට ගියේ ය. ඔහු ආයතනයෙන් ඉවත් වූ නිසා කේෂි යළි ඔහු සොයා ගෙන එහි ආවේ ද නැත. ඒ නිසා එය ඉස්මතු වන යමක් වූයේ ද නැත. අවසානයේ අමාරසී පමණක් කැළලක් සේ ඔවුන් ගේ ඇස් ඉදිරියේ ඉතිරි විය.

ඇය විවාහකයෙකු සමග ‘අනියම්’ සම්බන්ධයක් පැවැත්වූ ‘නරක’ ගැහැනියක වූවා ය. ඇතැම් විට උනුන් කතා කළේ ඇය ඔහු සමගින් ලැගුම්හල් කාමරයක සිට එනු දෑහින් දුටුවා මෙනි. නමුත් ඒ කතා සිදු වූයේ ඔවුන් අතරේ පමණකි. ඇගේ මුහුණට කිසිවෙකු කිසිවක් විමසුවේ නැත. මූණිච්චාවට සිනහ වී කතා කළා පමණකි.

මුලදී අමාරසී ඉතා තදින් හිත රිදවා ගත්තා ය. නමුත් කම්මලේ බල්ලා වුණත් ක්‍රමයෙන් ඒ ඒ තත්වයන් ට හැඩ ගැහෙමින් අනුගත වන්නේ ය.  

දික්කසාද නඩුවේ ආරම්භක දිනයට පෙර දින  කේෂි දිසත් ව හමු වීමේ අරමුණෙන්, කතිකා කර ගත් පරිදි අවන් හලක ට පිවිසියා ය. ඒ වෙත්දීත් ඔහු පැමිණ සිටියේ නැත. කේෂි ගේ හිතේ වූ හැඟීම් වල සම්මිශ්‍රණය ගැන ඇය ට වුව නිවැරදි අවබෝධයක් වූයේ නැති තරමි. විටෙක ඇය කෝපයෙන්, ක්‍රෝධයෙන් හෝ වෛරයෙන් දැවුණා ය. තවත් විටෙක ඊර්ෂ්‍යාව ඈ යට කර ගත්තේ ය. විටෙක ඇය දුක් වූවා ය. ඒ සියල්ලට හේතු තිබිණි.

විශ්ව විද්‍යාලයේ දී ඇය පිස්සු වැට්ටූ කොල්ලා ඔහු ය. දිසත් වාගේ ගමේ කොල්ලෙකු සතුව ඒ සා ආකර්ෂණීය පෞරුෂයක් තිබිය හැකි යයි ඇය ට සිතා ගත හැකි වූයේ හෝ නැත. විවාහය කියන්නේ යෞවනයේ සිතිවිලි කුඩු පට්ටම් කර දමනා තැනකි. ඒ පෙනුම තුළ වන දිසත් කියනා මිනිසා සිය හීන වල පාට තැවරිය හැකි විදිහේ කෙනෙකු නොවේ යයි තේරුම් ගන්නා විට කේෂි විවාහය කියන හිර ගෙදරින් පැන යන්නට සූදානම් වෙමින් සිටියා ය. නමුත් ඒ පැන යාම නීතිමය වශයෙන් සිදු කර ගන්නට ඈ නො හිතූ හේතු කාරණා තිබිණ. එකක් ඔහු ගේ බාහිර පෙනුම කෙරේ තවමත් ඈ තුළ ශේෂ ව පවතින ආකර්ෂණය ය. ඇගේ යෙහෙළියන් පවා තවමත් ඇයට ඊර්ෂ්‍යා කරන්නේ දිසත් වාගේ සැමියෙකු ලැබීම ගැන ය. කෙසේ වෙතත් කේෂි ඒ බන්ධනය නිල වශයෙන් තිබෙනවාට කැමති ය. නමුත්  ඈ රිසි දිවිය අනෙකක් බව ද ඇය දන්නී ය.

“ඔයා ඇවිත් ගොඩක් වෙලාද…”

 අසමින් දිසත් ඈ ඉදිරියේ පුටුවක් ඇද හිඳ ගත්තේ ය. විශ්ව විද්‍යාලයේ දී ඔහු දුටු දින වල සේ කේෂි නෙතු අයා බලා සිටියා ය. ගෙදරින් පිට ව සිටි කෙටි කලට ඔහු තවත් කඩවසම් වී ද? ඇගේ සිත්හි අමාරසී ගැන ද්වේශී හැඟීමක් ඇති විය. සියල්ල සිදු වූයේ ඈ නිසා ය යන සිතිවිල්ලෙන් මිදීම ඇය ට පහසු වූයේ නැත. ඈ නොවන්නට දිසත් අද ද ඒ ගෙදර ඉන්නට තිබිණි. කේෂි ට ඕනෑ විදිහට ජීවත් වන්නට හැර ඔහු ගේ පාඩුවේ ඔහු ගේ හුදෙකලා ජීවිතය ගෙවනු ඇත. ඒ කෙතරම් ආත්මාර්ථකාමී සිතිවිල්ලක් ද කියා සිතන්නට ඇය ට ඕන වුණේ නැත.

තමන් ඉදිරියේ හිඳිනා තරුණිය දෙසට දිසත් පූර්ණ බැල්මක් හෙලුවේ ය. මේ ඔහු ගේ විවාහක බිරිඳ ය. ඔහු ඇය හා විවාහ වූයේ ජීවිතය දිගේ දිගු ගමනක් යන්නට සිතා ගෙන ය. නමුත් ඒ බලාපොරොත්තුව ඉටු කර ගත හැකි වූයේ නැත. ගමනාන්තයට නොයා අතර මගින් බැස යන්නට ඔවුන් දෙදෙනා මේ ගමන ඇරඹුවේ ඇයි කියන සන්තාපය දිසත් ගේ සිත්හි රිදුමක් උපදවා තිබිණ.

“කේෂි”

ඔහු සුසුමකින් කතාව ඇරඹුවේ ය.

” මේ අපි මෙහෙම කතා කරන අන්තිම දවස වෙන්න පුළුවන් කේෂි. ඔයා මගෙ වයිෆ් විදිහට නමට හරි අපි දෙන්න එක ගෙදරක ජීවත් වුණානෙ. ඒක නිසා…මේක ටිකක් දැනෙන මොහොතක්…”

දිසත් සිය හිස පහළට හරවා ගත්තේ ය. දික්කසාදයක් කියන්නේ රුදුරු සන්දිස්ථානයකි. ලොව කිසිදු කෙනෙකු ඒ දොරටුව කරා සමීප නොවී හිඳිනවා නම් හොඳ ය. නමුත් නීරස හා අර්ථ විරහිත විවාහයක් ඇතුළේ ජීවිතය විඩාපත් කර ගන්නවාට වඩා ඒ දොරටුවෙන් පිට ව යන එක හොඳ ය.

කේෂි දිසත් ගේ අතක් අල්ලා ගත්තා ය.

“අනේ දිසත්. මේක නොකර ඉන්න…ප්ලීස්…”

“මොකක් නිසාද කේෂි…”

ඔහු කෙලින් ම ඇගේ දෑස් දෙස බැලුවේ ය. බිම බලා ගන්නට ඇයට සිදු විය.

“ඔයා හොඳටම දන්නව කොහොම මැරේජ් එකක්ද ඒක කියල. කේෂි…කසාදයක් විතරක් නෙවෙයි..ඕනම සම්බන්ධයක පැවැත්ම තීරණේ වෙන්නෙ ඒ සම්බන්දෙ ඇතුළෙ ඉන්න අයගෙ සම්බන්දතාව උඩ. ඔයා අහල ඇතිනෙ එක අතකින් අත්පුඩි ගහන්න බෑ කියල කතාවක්. සම්බන්දයක් පවත්වගෙන යන්නත් එක්කෙනෙකුට බෑ. ඒක පවතින්නනං සම්පූර්ණ වෙන්න ඕන කාරණා තියෙනව. මැරේජ් එකකදි ඒ කාරණා සම්පූර්ණ කරන එක කොච්චර වැදගත්ද කියල සමහර විට ඔයා දන්නෙ නැතුව ඇති. තමුන්ගෙ මනුස්සයට තේ එකක් හදල දෙන එක කන්න ටිකක් ලෑස්ති කරල දෙන එක සර්වන්ට් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් කියල හිතන තැනින්ම ඒ ගැන දුරට දිගට කතා කරන්න තියන අවස්ථා වැහිල යනව. දෙන්නෙක් බඳින්නෙ ජීවිතේ බෙදා ගන්න. හැම දේම ඒ ජීවිතේ ඇතුළෙදි බෙදා ගැනෙන්න ඕනෙ. දුක සතුට පවා. වොෂින් මැෂින් එකකට පුළුවන් රෙදි ටික හෝදන්න. රයිස් කුකර් එකකට පුළුවන් බත් ටික උයන්න. ඒත් වයිෆ් කෙනෙක් වෙන්න ඒවට බෑ. වයිෆ් කෙකෙක් වෙන්න සර්වන්ට් කෙනෙක්ටත් බෑ”

දිසත් මොහොතකට සිය කතාව නතර කළේ ඔවුන් ගේ මේසය වෙත කේෂි විසින් ඇනවුම් කොට තිබූ සිසිල් කළ තැඹිලි ගෙන අවන්හල් සේවකයෙකු පැමිණි නිසා ය. ඔහු නික්මෙන්නට හැරුණු ගමන් දිසත් යළිත් සිය කතාව ඇරඹුවේ, අමතක වීමකින් කියන්නට සිටිනා දේවල් කියා ගන්නට බැරි වෙතැයි සිතා මෙනි.

“මං ඔයාටයි ඔයාගෙ තාත්තටයි දෙන්නටම පටං ගන්නකොටම කිව්ව කේෂි. ඔයාගෙ පැත්තෙං කේස් එක ෆයිල් කරන්න කියල. මොකද එතකොට ඔයයි චෝදනාව කරන්නෙ. මාත් එක්ක ජීවත් වෙන්න බෑ කියල ඔයයි කියන්නෙ. ඔයා මට ඒ ගෙදරින් දොට්ට බැහැල යන්න වෙන විදිහට වැඩ සිද්ද කළා වුණත්…මමයි ගියේ. ඔයාට තිබුණට මං ද්වේශ සහගත විදිහට ඔයාව දාල ගියා කියන චෝදනාව ඔප්පු කරල ලේසියෙන්ම ඩිවෝස් එක ගන්න. එහෙම වුණානං ඔයාට අගෞරවයක් වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. ඔයා ඒක නොකරපු නිසා මට සිද්ද වුණා කේස් එක ෆයිල් කරන්න. ඒත් ඔයා ඩිවෝස් එක දෙන්න බෑ කියනව. එහෙම වුණාම මොකද්ද කේෂි වෙන්නෙ…මට අර උසාවිය ඉස්සරහට ගිහිං ඔයාගෙ වැරදි කියන්න වෙනව. මුළු ලෝකයක් ඉස්සරහ ඒව ඔප්පු කරල පෙන්නන්න වෙනව. මං කොහොමද එහෙම කරන්නෙ කියල මේ තාම හිතනව”

“ඉතිං ඒකනෙ. අපි ඩිවෝස් නොවී ඉමු”

ඇය එසේ කීවේ කෙතරම් නම් සැහැලුලුවෙන් ද? දිසත් ගෙන් සුසුමක් ගිළිහිණි.

“මනුස්සයෙක් ඉවසං හැම දේම දරා ගන්න සීමාවක් තියෙනව කේෂි. මං ඒ ගේ ඇතුළෙ හිටියෙ ඒ සීමාව පැනල යනව දැක දැකමයි. කේෂි මිනිහෙක් කසාද ජීවිතේකින් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනව. මන් දන්නෑ මට ඒවයිං ලැබුණෙ කීයද ඔයා මට දුන්නෙ කීයද කියල.  ඒ ගේ ඇතුළෙ අපි ආදරෙන් කතා බහ කරලවත් තියෙනවද කාලෙකින්…හං උදේට ඔෆිස් යනව. එතකොට ඔයා නිදි. මං හවස ගෙදර එන වෙලාවට ඔයා ක්ලබිං. කසාදයක් බැන්දම දරුවෙක් බලාපොරොත්තු වෙන්න ඕන මනුස්සයෙක්ට අයිතියක් තියෙනව. ඔයා මගෙ දරුවව මගෙ ඇස් පනාපිටම මරල දැම්ම. ඔයා එක එක්කෙනා එක්ක අෆෙයාස් තියං හිටිය. ඒව සෝෂල් මීඩියා වල ගියා. මං ඒත් රෙද්දක් ඇඳං හිටියෙ නිවට කමකට නෙවෙයි. මං ඔයාව ඒ වෙද්දිත් හිතෙං අත්ඇරල හිටිය නිසා. ඇත්තටම මං හිතෙන් ඩිවෝස් වෙලා ගොඩක් කල් කේෂි. එහෙම තියෙද්දි මේ සම්බන්දෙ නීතියට විතරක් සීමා වෙලා තියෙන එක අපි අපිටම කර ගන්න වරදක්. මොකද ජීවිතේ කියන්නෙ එක වැරදි කසාදයක් නිසා නතර වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඉතිං මට කියන්න ඕන වුණේ…ඔයාගෙ වැරදි විදිහට මට ගොඩක් දේවල් ඔප්පු කරන්න වෙයි. ඔයා මං වෙනුවෙන් යුතුකම් ඉෂ්ට නොකරපු හැටි…ක්ලබ් ගිහිං ගෙදර ආපු වෙලාවල්…ඔයාගෙ අනිත් සම්බන්දකං ගැන…ඔයා වෙන කාගෙද දරුවෙකුත් මරපු ඒව පවා. ගෙදරිං එන්න කලින් මං සීසීටීවී රෙකෝඩිංස් අරගෙන තියෙනව. ඒ ගෙදර ඉන්න ගමන්ම මං සාක්ෂි එකතු කරලත් තියෙනව. මං එහෙම කළේ දවසක මගෙ ආරක්ෂාවටමයි. මොකද මං මෝඩයෙක් නෙවෙයිනෙ නේ..මට ඒ මොනාත් ලෝකෙ මිනිස්සුන්ට දැනගන්න අරින්න ඕන නෑ. කාලයක් මට ආදරේ කරපු ගෑනිට…ටික කලක් හරි මං ජීවිතේ බෙදා ගන්න ට්‍රයි කරපු ගෑනිට එහෙම කරන්න ඕන නෑ. අපි මේ කන්ඩිශන්ස් තේරුං අරං වෙන් වෙමු…”

අමාරු පාඩමක් දරුවන්ට ඒත්තු ගන්වන්නට වෙහෙසී දේශනයක් කළ ගුරුවරයෙකු සේ එක දිගට කතා කළ දිසත් ඉක්මන් කෙටි හුස්ම ගත්තේ ය.

“ඔයා ඩිවෝස් එකකට අකමැතියි කියන්නෙ මේ නඩුව කල් යනව කියන එක. කේෂි…සමහර මිනිස්සු හිත් කඩද්දි සමහර මිනිස්සුන්ට පුළුවන් හිත් හදන්න. සමහරු හිත් ලෙඩ කරද්දි සමහරුන්ට ඒ හිත් සුව කරන්න පුළුවන්. අපි දෙන්නම තවත් අවුරුදු ගාණක් මේ සිද්දියට අපේ ජීවිත වල හොඳම කාලෙ නාස්ති කරන්න නොදී මේකෙන් මිදෙන්න ඕන. අපිට බැරි වුණාට අපේ හිත් හදන්න…එහෙම කරන්න පුළුවන් කවුරුම හරි ඇති. ඕනම දේකට දෙවෙනි අවස්ථාවක් තියනව කියල අපි දන්නවනෙ කේෂි”

තව දුරටත් යමක් කියන්නට ඔහු ට ඉඩක් නොතියා ම අසුනෙන් නැගිට ගත් කේෂි, අවන් හලෙන් නික්මුණා ය. ඇගේ රිය පිට ව යන  හැටි වීදුරු කවුළුවෙන් බලා සිටි දිසත් ගෙන් සුසුමක් ගිළිහිණි.

කොළඹ සරසවිය වටේ පාර වල අරමුණකින් තොර ව කේෂි රිය පැදවූවා ය. එක ම මග යළි යළිත් ගියා ය. මේ පරිසරය ඇයට අතීතය සිහිපත් කරවන ලදී. හුඟක් දේ වෙනස් වී ඇති බව ඇත්ත ය. නමුත් දිසත් ව වෙනකෙකුට අයිති වෙන්නට හැර පරාජය භාර ගැනීමේ හැකියාවක් ඇගේ මනසේ නැත. කොතෙක් සිතුව ද ඊට මනස සූදානම් කර ගත නො හැකි ය. දිසත් ගේ කඩවසම් කම ගැන අදට ද වෙනසක් නැතිව වසඟ වී හිඳිනා සිය යෙහෙළියන්, ඔහු නිසා ම ඇය ට ඊර්ෂ්‍යා කළහ. ඇය සෙබඩක සේ හිස ඔසවාගෙන ආඩම්බරයෙන් පසු වූයේ විශ්ව විද්‍යාලයේ දී ඒ තරඟයෙන් ඇය දිනූ නිසා ය. අතර මගකදී පැරදී ගිය බව ඒ යෙහෙළියන් ට දැනගන්න හරින්නේ කෙසේ ද?

රතු කැට සේ මල් පිපි මැයි ගසක් සෙවනේ රිය නතර කළ කේෂි, ගීතානි ගෙන් ඉල්ලා ගෙන තිබූ අමාරසී ගේ දුරකතන අංකය තිරය මතට ගත්තා ය. තවත් තත්පර ගණනක් ඇය අමතනවාද නැතිද යනුවෙන් සිතමින් සිටි ඕ, අන්තිමට කොළපාට රිසීවර සලකුණ මත ඇඟිල්ල තැබුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...