දෙහිතක කතාවක් 34

අරවින්ද එදා රෑයේ සූරියබණ්ඩාර වලව්වට ආවේ නිම්න සමගය. කතා කරන්නට බොහෝ දේ තිබුනද මහන්සියත් හෙට උදෑසන නැවත පිටවී යාමට තිබෙන නිසාත් නිම්න ඉක්මනින් නිදාගන්නට ගියේය.

අරවින්ද උන්නේ එක්තර විදියක සතුටකිනි. තවත් අතකින් දුකකිනි.

ඒ කැලුමිනීගේ දුරකතන අංකය ඉල්ලා ගන්නට හැකියාව ලැබීම

නිසාය.

“මොකක් හරි හදිසියක් උනොත් කතා කරන්නවත් නම්බර් එකක් දෙනවද?” කියා පිටවන්නට මොහොතකට පෙර කැලුමිනීගෙන් ඇසුවාද එයට සුබවාදී පිලිතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවක් අරවින්දට තිබුනේ නැත.

එහෙත් කැලුමිනී මද සිනහවකින් එයට පිලිතුරු දුන්නාය. 

එය සතුටක් වන්නට හේතුවක් වුවද නිම්නගේ ආගමනය සිතට බරකුත් බියකුත් එක්කර ලද කාරණාවකි.  ඔහු පැමිණ තිබෙන්නේ කැලුමිනීව මේ මොහොතේ පෙලන ගැටලුවෙන් ඇයව මුදාගෙන නැවත ඔවුන්ගේ සබඳතාවය අරඹන්නට නම්?

ඒ දරාගන්නට අපහසු හැඟීමකි. දුකකි. වේදනාවකි. එහෙත් නිම්නගෙන් ඒ පිළිබඳ කිසිවක් අසන්නට හැකියාව නොමැත.

කැලුමිනීව අමතා ඇයට කෙසේ දැයි අසන්නට සිතුණද එයට හිත එකලස් කරගන්න අපහසු ය. එහෙත් මේ හැඟීම්

පාලනය කරගෙන හිඳීමෙන් වෙන්නෙ කැලුමිනීව මග හැරෙන්නට අහිමි වී යන්නට හැකිවීමය යන්න නොසිතුනා නොවේ 

ඉතින් දුරකතනය අතට ගත්තේ ඒ බියෙන් මිදෙනු පිණිසය

“කැලුමිනී, හායි අරවින්ද හියර්”

ඇමතුමකට වඩා වට්සැප් පණිවිඩයක් යැවීම සිතට සැනසුමකි. අස්වැසිල්ලකි. 

අරවින්ද එසේ පණිවිඩයක් තබා මොහොතක් බලා උන්නේය. ඒ කැලුමිනීගෙන් පිලිතුරක් එතැයි කියාය. එහෙත් තමා සිතන තරම් ඉක්මනින් පිලිතුරක් නොඑන බව තේරුම් යද්දී “මැසේජ් එකක් යැව්වෙ අපරාදේ” කියා නොසිතුනා නොවේ.

එහෙත් දැන් කරන්නට දෙයක් නැත. 

අරවින්ද කාමරයේ පසෙක තිබූ ලිකර් කැබිනට්ටුවෙන් වීදුරුවට වොඩ්කා පොඩ්ඩක් දමා සැර බාල වන්නට ස්ප්‍රයිටුත් දෙහි පෙත්තකුත් එකතු කරගත්තාය

රාත්‍රී හීගතුව සිරුර මත පතිත වන්නේ වීදුරු කටු මෙන් වේදනාවකි. ඒ සීතල මග හරවාගන්නට උණුසුම තැනුනේ ස්ප්‍රයිට් මුසුකල වොඩ්කා වීදූරුවෙනි. සඳ තිබෙන්නේ ආකාසයේ ඈත කෙලවරක තනිවීය. එහෙත් කෙතරම් දුරක තිබුනද එකී සඳ කිරණ කෙසේ හෝ සඳලු තලයත් ඈතින් පෙනෙන තේ වතු යායත් වසා ගෙන හිඳී. සඳත් සමග ආදරණිය සිතුවිලි වලට බැඳීමක් ඇති බව පොත පතින් කියවා තිබුනද එය කෙතරම් දුරට ඇත්තක්ද කියා අරවින්ද තේරුම් ගත්තේ කැලුමිනීව දුටු පසුවය

සිත ඇයව පිලිගත් පසුවය.

“ටිං” හඬින් නාද වූ දුරකතනය සඳලුතලයේ සිට කාමරයේ මේසය වෙත අරවින්දව ගෙන ආවේ ක්ෂණයකිනි.

ඒ කැලුමිනී බව ස්තිරය

“හෙලෝ සර්”

ඇයගෙන් පිලිතුරක් ඒම සිතට සතුටක් වුනත් සර් කියා ඇමතීම ඉතිම් දඬුවමක් දෙන්නට වටින වරදක් බව අරවින්ද සිතුවේ ප්‍රේමයෙන් බරිත සිනාවක් මුව මත රඳවාගෙනය. 

“කැලුමිනී ඉෆ් යූ ඩෝන්ට් මයින් කැන් අයි කෝල් යූ?”

මේ වයසේ වරදක් නිසාදෝ මන්දා වට්සැප් ඔස්සේ චැට් කිරීම සිත කම්මැලි කරවන්නකි. අනික එක දිගට මෙසේ දුරකතන මුහුනත දෙස බලා හිඳීම මේ වයසට නොගැලපෙන බවත් නොපෑහෙන බවත් අරවින්දට සිතේ.

තමා එසේ ඇසීම කැලුමිනීව කෝපයට පත් කරවන්නක් ද කියා සිතුනෙ එයින් පසුව දෙදෙනා අතර ඇති වු නිහඬතාවය නිසාය. එහෙත් කැලුමිනී උන්නේ කෝපයෙන් නොවේ.

“මං දික්කසාද වෙන්න ඉන්න ගෑණියෙක්. එහෙම එකේ මම රෑ අරවින්දට කතා කරපු එක හොඳ ද?”කියා සිතෙන් සිතමිනි

එහෙත් ඒ ගැන සිතන්නට තිබුනේ ඔහු විසින් එවන ලද කෙටි පණිවිඩයට පිලිතුර සපයන්නට පෙර ය.

“කමක් නෑ” කියා පිලිතුරක් යැව්වේ ඇයි ද කිය සීතල කුතුහලයක් සිත අස්සේ තිබුනත් එයට පදනම සැපයුනේ අරවින්ද කෙරේ සිතේ ගොනු වී තිබෙන විශ්වාසයය. පසුගිය කාලය පුරාවට ඔහු විසින් තමා විශයෙහි පෙන් වූ මනුසත් ගතිගුණ නිසාවෙනි.

නාද වන දුරකතනය අරවින්ද ගේ සිත කිතිකවන්නකි. මේ ආදරය කල තැනැත්තියක වෙත ගත් පලමු ඇමතුම නොවේ. එහෙත් දිගු කාලයකට පසුව ආයෙමත් ආදරණීය හැඟීම් සිත මත විත් පදිංචි වී තිබේ. ඉතින් සිත කිතිකැවීම අරුමයක්ද?

“හෙලෝ”

කැලුමිනීගේ හඬ ඇසෙන්නේ හෙමින්‍ ය. කැලුමිනී මෙයට පෙරත් මෙයාකාරමද කියා සිතුනේ ඒ හඬේ ගැබ් වී තිබූ අභ්‍යන්තර නිහඬ බවක ජායාවන් දකින්නට ලැබෙන නිසාවෙනි.

“හෙලෝ සර්”

ආයෙමත් සර් ය. එසේ කියන්නට එපා යැයි කියන්නට සිතුවත් එය අනවශ්‍ය ලෙස එකිනෙකා සමීප කරවන්නකි.

“නිම්න නිදාගන්න ගියා”

කතාවට පිවිසිය යුත්තේ කොතනින්ද කියා සිතා ගන්නට නොහැකි තැන අරවින්ද දෙදෙනාටම පොදු සාදකය එසේ මුලට ගත්තේය.

“සර්ට හරි කරදරේ නේද අපි හන්දා?” 

කැලුමිනී එසේ කිව්වේ ඇත්තටම සිත බරව තිබූ නිසාවෙනි. තමා මෙසේ කිසිවෙකු මත යැපුණු අයෙකු නොවේ. එහෙත් ජීවිතය තමාව අද එවන් තැනකට ගෙනවිත් තිබේ. වෙනත් අයෙකු මත යැපෙන්නට, වෙනත් අයෙකු පිළිසරණ පතන්නට වී තිබේ. ඒ හැඟීම සිත බෙලහීන කරන්නක් වුවත් වෙන කරන්නට දෙයක් නැති තරම් තමා අසරණ බව නොදන්නවා නොවේ

“අනේ ප්ලීස් කැලුමිනී එහෙම කියන්න එපා. මම එහෙම මේ කිසිම දෙයක් කරන්නෙ කරදරයක් කියල හිතල නෙවෙයි”

“ඒ උනාට මම දැන් හැමෝටම වදයක් කියල මට හිතෙන්නෙ සර්. හස්බන්ඩ් කෙනෙක් නැතුව දරුවෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් දිහා මිනිස්සු බලන විදිය මම සර්ට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මට වෙන යන්න තැනක් නැති නිසා මෙහෙ ඉන්නෙ. නැන්දටත් ලැජ්ජ විඳින්න වෙන්නෙ මං හන්දා”

හැඬුවා නොවේ සුසුමක් පිට වුණාය. ඒ සුසුම ඇවිදින හදවත මත නතර වී මෙතෙක් වේලා හදවත මත නොතිබූ මහා ගින්නක් අවුලුවා ලූ බවක් අරවින්දට දැනුනි. එහෙත් තම හිත මත ඇවිලෙනවාට වඩා ඒ ගින්න දෙතුන් ගුණයකින් කැලුමිනීගේ හිත දවාලන බව අරවින්ද නොදන්නවා නොවේ.

“මම හිතන්නෙ නෑ ඔයාගෙ නැන්ද ඔයා ගැන එහෙම හිතනව ඇති කියල. ඒ මනුස්සය ඔයාට තමන්ගෙ දරුවෙක්ට වගේම ආදරෙයි. එයා ඔයා ගැන දුක්වෙනව මිසක් ඔයා ඉන්න තත්ත්වෙ ගැන මිනිස්සු මොනවද කියන්නෙ හිතන්නෙ කියලා හිතනව ඇති කියල මම හිතන්නෙ නෑ

මිනිස්සු ඔයා කොහොම හිටියත් කියන එක කියනවා. ඒව ගැන හිතල ඔලුව තව කරදර කරගන්න එපා. ඒක ඔයාට වගේම මම හිතන්නෙ ඔයාගෙ දරුවටත් හොඳ නෑ. මොන දේ උනත් එයා දැන් ඔයාගෙම කොටසක්නෙ. ඔයා කන බොන දේවල් ශෙයා කරගන්න එකේ එයත් එක්ක ඔයාගෙ දුක සතුටත් එයා ශෙයා කරගන්නව ඇති. ඒ හන්දා ඔයා සන්තෝසෙන් ඉන්න එකයි කරන්න ඕන

අනික ඔහොම දේකට මූණ දුන්න පලවෙනියා ඔයා නෙවෙයිනෙ. ඒ නිසා හිතන්න එපා. හසිතානි ඔයාට කතා කරල නඩුවෙ විස්තර හෙම කියන්න ඇතිනෙ?”

අරවින්ද ඇසුවේ දිග කතාවක් කෙටියෙන් කියා අවසානයේය.

“ඔව් ඒකටත් බොහොම ස්තුතියි. ලෝයර් හසිතානි හරිම හොඳයි. අක්ක කෙනෙක් වගේ. ෆස්ට් හියරින් එක තව සති දෙකකින් වගේ තියෙයි කියල කිව්වේ”

“එතකොට කොළඹ යන්න වෙයි නේද?” අරවින්ද ඇසුවේ සිත යට සියුම් සතුටක මල් කිණිති ලියලමින් එද්දීය. ගැබ්බර තරුණියක් කැටුව පබෝදාට බස් රියේ කොළඹ යාම අපහසු බව අරවින්ද නොදන්නවා නොවේ. එහෙත් සුවපහසු රිය දෙකක්ම තම නිවසේ තිබේ.

“ඔව් ඒක තමයි. නැන්ද එක්ක යන්නෝන”

“හරියටම යන්න තියෙන දවස හසිතා කියාවිනේ. එතකොට මට කියන්නකො. යන විදියක් අපිට ඇරේන්ජ් කරගන්න බැරිවෙන්නෙ නෑ”

“අනේ කරදර වෙන් එපා සර්. අපිට පුලුවන් බස් එකේ…”

“හරි හරි යන්නෙ කොහොමද කාත් එක්කද කියන එක අපි එදාට බලමු. දැන්ම ඕක ගැන කතා කරල වැඩක් නෑනෙ. ඒක නෙවෙයි මම දෙයක් අහන්න හිටියේ”

අරවින්ද අසන්නට යන්නේ කුමක් ගැනද කියා සිත තිගැස්සුණා නොවේ. එහෙයින්මදෝ මන්දා “ඒ මොකද්ද?” කියා අසන්නට බියපත් බවක් දැනේ. එහෙත් අරවින්ද එකී ප්‍රශ්නය ඇසුවේ එයට අදාලා කාරණාව කතා කරගන්නට කැලුමිනී පිලිතුරු දෙතැයි අපේක්ෂා කරමින් නොවේ.

ඉතින් ඇයගේ නිහඬතාවය මැදම නැවත කතාකරන්නට අරවින්ද දෙපාරක් නොසිතුවේය.

“ඔයාට විය හියදම්වලට උවමනා සල්ලි තියෙද?

ඉස්සරහට බබාටත් දේවල් ගන්න වෙනවනේ?”

එදා රැයේ තමා කොපමණ ඇඬුවාද කියා කැලුමිනීට මතක නැත. අරවින්ද ඇසුවේ ප්‍රභාත් විසින් ඇසිය යුත්තකි.

දරාගන්නට අපහසු වූයේ එයද?

නැතිනම් අරවින්දගේ හඬ මත තැවරී තිබුණ ආදරයද? කරුණාවද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles