අනෝරා මල් වැහි 03

“මැඩම් ට මගේ ග්‍රිප් එක තද වැඩි නම් කියන්න”

පෙඩිකියු එක කරන්නට තමන්ගේ දෙපා අසල බංකුවේ වාඩි වූ ඒ තරුනයා එසේ අසද්දී පවා තාරා උන්නේ දෙනෙත් පියාගෙනය. ඔහු විසින් හිස මත ඇතිකල සහනය සැනසුම තවමත් දැනෙද්දී තමා දෑස වසා හිඳින්නේ ඒ සැනසුම විඳගනු පිණිසද නොඑසේනම් මේ තරුණයාගේ ඇස් බැල්මෙන් මිදෙන්නටද කියා ප්‍රශ්නාර්තයක් තාරා ඉදිරියේ තිබුණාය.

අනෙක් අතට ජීවිතයේ පලමු වතාවට හමු වූ තරුණයෙකුගේ දෙනෙත් ඉදිරියේ මුහුණ දෙන්නට බැරිකමක් තමන්ට තිබෙන්නට හැකිද?

එහෙත් තමා ඔහුගේ ස්පර්ශයෙන් තිගැස්සුණ අයුරු ඔහුට තේරුණානම් එය ලැජ්ජාවකි. තාරා දෙනෙත් පියාගෙනම “නෑ මෙහෙම ශේප්” කියා කීවාය. 

වෙන දිනක නම් සුපුරුදු තෙරපිස්ට් වරිය සමග කතා බහ කරමින් කාලය ගත කරන්නට පුරුදු වී උන්නද තාරා උන්නේ ඒ වදන් ඔස්සේ බිඳ දමා ගන්නට බැරි තරමේ සුවයක් අත්විඳිමිනි. චිරායු විසින් ඊයේ රැයේ මග හරින ලද හැඟුම් සමුදාය මේ තෙරපිස්ට් වරයාගේ දෙ ඇඟිලි ඔස්සේ දෙපා මතින් ඇදී හිත සනසවාලන්නකි.

එහෙත් ගත තිබුණේ සංතෘප්ත කරගන්න බැරි වූ ආශාවන් වලින් අඩපණ වීය.

චිරායු වෙනදාට නිවසින් පිටව ගියයින් පසුව තමාට කෙටි පණිවිඩයක් හෝ තබන්නට පුරුදු ව උන්නත් දැන් ඔහු තමාව අමතක කර දැමුවාක් මෙන් ඒ සියල්ලමද අමතක කර දමා තිබුණි. ඔහු ජීවත් වෙන්නෙ තමාව ඔහුගේ ජීවිතයට අත්‍යවශ්‍ය නොවන ලෙසිනි. එය කෙදිනක හෝ ඔහු තේරුම් ගතහොත් තමා කල යුත්තේ කුමක් ද යන්න ගැන සිතන්න තාරා නැවත සිත වෙහෙසුනාය.

මෙතෙක් වේලා සැනසී තිබුන හිස නැවත වතාවක් සෙමෙන් කකියන්නට ගත්තද චිරායු පිළිබඳ ඒ සිතුවිලි සිතෙන් ඉවත් කරගන්නට තාරාට පුලුවන්කමක් තිබුනේ නැත. ආයුර් ස්පා එක ඇතුලේ ඔවුන් මනාව කලමනාකරනය කරගෙන යන මද මුදු සුවඳ සහ ගතට දැනෙන සියුම් සනීපදායක ස්පර්ශය වෙන දිනක නම් කෙටි එහෙත් සුවබර නින්දකට තමාව ගෙනයන්නක් වුවද අද ඒ කිසිම සැනසුමක් තාරාට දැනුනේ නැත. සිත ඩැහැගෙන උන්නේ චිරායු නොවේ. චිරායු විසින් ඇති කරන ලද දුකය. වේදනාවය. 

සත්කාරය අවසානයේදි ලැබෙන හර්බල් ටි කෝප්පයත් රසකැවිල්ලත් වෙනදා මෙන් රස විඳින්නට නතර නොවි තාරා අයුර් ස්පා එකෙන් නික්මුනාය.

වාහනය අසලට විත් තාර පෙඩිකියු සත්කාරයෙන් පසුව සුන්දරව පෙනෙන දෙපා දෙස බලා හිඳියාය. මනාව කැපූ නියපොතුත්, ස්ක්‍රබ් කිරීමෙන් සහ මසාජ් කිරීමෙන් පසු වාත්තු කලාක් මෙන් පෙනෙන දෙපාත් සිතට ගෙන එන්නේ සතුටකි. දෑතේ නියපොතුද මනාව කපා, කෙහෙල් දල්ලෙ පාටැති නිය ආලේපනයකින් ඉතාම සීරුවෙන් හැඩ වැඩ කර ඇති දෙපාත් දෑතත් ගෙන එන අල්ප සතුට වුව තාරා ට මහමෙරකි.

කාරයේ නැගී තාරා නික්මුනේ වන් ගෝල් ෆේස් මෝල් වෙත යන්නටය. චිරායු නිවසට එන්නේ සැඳෑවේ බව දන්නා නිසාවෙන් තමාට පමනක් කන්නට දිවා ආහාර සකසන්නට උවමනාවක් නැත. උවමනාවකටත් වඩා සිතට ආසාවක් නැත. ආසාවෙන් කෑමක් හදන්නට හිතෙන්නේ එය ආසාවෙන් රස විඳින්නට කෙනෙක්‍ හිඳිනවානම් පමණක් නොවේද?

“මතක තියාගන්න පුතේ මොනතරම් මහන්සි උනත් ගෙදරම උයන්න කෑම ටික. පිටින් කන්න ගියොත් අන්තිමේ මහත්තයට උනත් එපා වෙන්න පුලුවන්. එහෙම වෙලා පිටින්ම කන්න පටන් ගත්තොත් ආයෙ හැරෙන්න බැරි බව අමතක කරන්න එපා. ඔය පිරිමින්ගෙ හිත දිනාගන්න පුලුවන් හොඳම විදිය තමා ගෙදර කෑම බිම ටික රසට පිරිසිඳුවට හදල දෙන එක”

අම්මා විවාහයට කලින් දවසේ එසේ කීවද මොන රසමසවුල උදෑසන නැගිට හැදුවත් චිරායු තමන්ගෙන් ඈත්ව ගොසින් හමාරය. දැන් මොනවා කරද ඔහු ආපසු හැරෙන්නේ නැති බව තාරා දනී.

වන් ගෝල් ෆේස් මෝල් එකම පිරී තිබුනේ සති අන්තයේ නිවෙස් වලින් එලියට බට මිනිසුන්ගෙනි.දරුවන්ද වඩාගෙන එහෙ මෙහෙ ඇවිද යමින් උන් පිරිස් ද, මිතුර් මිතුරියන් පිරිවරාගත්තවුන්ද, කෝපි හල්වල පෙම්වතුන් හෝ සැමියන් සමග කෝපි කෝප්පයක සහ කේක් කැබැල්ලක රස විඳිමින්ද උන් තරුණියන් අතරේ තාරාට දැනුනේ තමා පමණක් හුදකලාවී හිඳින බවකි. ඒ හුදකලාව තමා බලාපොරොත්‍තු වූවක් නොවේ. අනපේක්ෂිත මොහොතක අනපේක්ෂිතව තමා සොයා ආ ඒ හුදකලාව කොයි හැඟීමකින් භාරගන්නද කියා තාරා දැන උන්නේ නැත.

“අපි හැම වීකෙන්ඩ් එකකම මෙහෙම එලියට එමු නේද?”

චිරායු එහෙම කිව්වේ විවාහ වූ අලුත සති අන්තයක ගාල්ලේ ගොස් ක්ලෝසන්බර්ග් හෝටලයේ නතර වී එහි මුහුදු ජලයෙන් පුරවා තිබූ තටාකයේ පීනමින් හිඳිද්දීය. එදා සති අන්තයක් වුවත් ක්ලෝසන්බර්ග් හෝටලයේ තටාකයේ උන්නෙ ඔවුන් දෙදෙනා පමණකි. එක් පැත්තකින්න්මුහුදෙන්ද අනික් පැත්තෙන් අරලිය ගස් පේලියකින්ද වට වී තිබූ එය අලුත විවාපත් යුවලටම වෙන්වූ පාරාදීසයක සිරි මැවීය

“හැමදාම මෙහෙම එන්න ඉතින් කොච්චර සල්ලි ඕනද අනේ?”

තාරා කිව්වේ තටාකයේ කෙලවරකට හේත්තු වී නිල්වන් මුහුද දෙස බලාගෙනය. සංචාරය සඳහා මෙරටට පැමිණ උන් විදේශිකයන්ගෙන් මුහුදු වෙරල පිරී තිබුනි. මුහුදු රල සමග පොරබදමින් වින්ඩ් සර්ෆින් කරමින් උන් විදේශිකයන්ගේ සමබරතාවයේ හුරුව ගැන තමා එදා පුදුම වූ අයුරු සිතෙද්දී තාරාට අද සිනහ යයි.

එදා ඔවුන්ගේ සමබරතාවය ගැන පුදුම වූ තමා අද විවාහ ජීවිතය ගැන තබා තිබූ බලාපොරොත්‍තු බිඳ වැටුණද ලෝකය ඉදිරියේ මිසිස් තාරා කුලතුංග ලෙස සැබෑවත් බොරුවත් තුලනය කිරීම ගැන තාරා තමන්ටම සිනහ වූවාය.

“හැමදාම මෙහෙම දුර ට්‍රිප් ම යන්න ඕන කියල නෙවෙයි මම කිව්වෙ. අපි එලියට යමු කියල. නැත්තම් අනේ ගේ ඇතුලෙමනෙ ඉන්නෙ. වීකෙන්ඩ් එකේ එලියට ගිහින් එන්ජෝයි කරාම ආයෙ මන්ඩේ වැඩට යද්දි හරි ෆ්‍රෙශ්”

“බලමුකො බලමුකො කිව්ව වගේ නෙවෙයි ඕවට වියදම් කරන්න උනාම”

“ඊලඟ ක්වාටර් එකේදි මගේ ප්‍රමෝශන් එකත් එක්ක සැලරි එක වැඩිවෙයි. එතකොට මං ඔයාව එක්කන් යන්නම්කො ලෝකෙ වටේ”

කියා සිනාසුනු චිරායුගේ සිනාවට එදා එක්වුවද “ඒ ප්‍රමෝශන් එක නොලැබුනානම්” කියා කීවරක් තමා පසුගිය කාලයේ සිතුවාද?

මේ සියල්ල වෙනස් වූයේ චිරායුට ඒ ප්‍රමෝශන් එකත් ඉන්ක්‍රිමන්ට් එකත් ලැබීමෙන් පසුවය. ඉන්පසුව ලඟ ලඟ ආ ප්‍රමෝශන්ද ඉන්ක්‍රිමන්ට් ද සැලරි බෝනස් ද ලං කරගන්නට චිරායු දිවා රැයේ වෙහෙසෙද්දී නොදැනීම ඔහු තමාගෙන් ඈත් වී තිබුනි.

ඒ ඈත්වීම නිසාවෙන් ඇති වූ හිස්කම මකාගනු පිණිස චිරායු රැකියාවට තව තවත් ලං වුවද තාරා උන්නේ අසීමාන්තික පාලුවම කිමිදෙමින් ඒ පාලුව නම් පතුලක් නොපෙනෙන මහ ජලාශයෙන් ගොඩ එන්නට මගක් සොයමිනි.

හවස් වරුවල තනිවම කෝපි හල් වෙත යන්නටත්, පොත් සාප්පු කරා ගොස් පොත් තෝරන්නටත්, නිකරුනේ ඇඳුම් කඩ සාප්පු වල සක්මන් කරන්නටත් තාරා පෙලඹුනේ ඉන්පසුවය.

වන් ගෝල් ෆේස් මෝල්හි ඩිල්මා ටී ලෞන්ජ් එක තිබුනේ නිහඬතාවයක් ගිලීය. සතියේ දිනයක දහවලේ මෙවන් තැනක මෙවන් නිහඬතාවයක් දැකීම අපහසුතාවයක් වුවද තාරා ඒ පාලුවට ප්‍රේම කරාය. මක්නිසාද යුගල ලෙස පැමිනෙන බොහෝ මිනිසුන් සිත තුලත් නෙතු මතත් වේදනාවක් සලකුණු කරන නිසාවෙනි. 

දහවල් ආහාරය ඩිල්මා ටී ලෞන්ජ් වෙතින් ගෙන නිවස බලා යනවිටත් චිරායු පැමිණ උන්නේ නැත. 

චිරායු එනතුරු බලා හිඳීම තේරුමක් නැති බව දැන උන්නද ආයුර් ස්පා එකේදී විඳි සුවය, සැනසුම චිරායුට කල වරදක් මෙන් සිතට දැනීම අමතක කරලන්නට හැකියාවක් තාරාට තිබුනේ නැත. 

සිතුවිල්ලකින් හෝ කලා වූ ඒ වරදින් මිදෙනු පිණිස තාරා මහන්සි වී චිරායු වෙනුවෙන් රෑ කෑම සැකසුවාය. 

ඇඳට අලුත් ඇඳ ඇතිරිල්ලක් දමා ආයුර් ස්පා වෙතින් මිල දී ගත් සුවඳ කැවූ ඉටි පන්දම් එහි දැල්වුවාය. චිරායු එන්නට ලං වී නාන කාමරයට වැදී සඳුන් සාරය සහිත පොඩි පොලිශරයකින් සිරුරම ස්ක්‍රබ් කර නැහැවාය. සැහැල්ලු නිදන ඇඳුමකින් සැරසී, කෙස් කළඹ සුවඳ කැවූ තෙල් බිඳක් ගෙන හොඳින් මසාජ් කර උඩට කර ගැටගසා ගත්තාය.

සඳ සෙමෙන් අහස මතට එද්දී රාත්‍රිය සෙමෙන් විත් වටපිටාව තුරුලු කරගත්තාය.

එන්නට ඉතුරු වී තිබුනේ චිරායු පමණකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles