කඳුළු

ජනිත් ඔෆිස් එකෙන් එලියට ආවේ හිස් හැඟීමක් එක්ක. අංජනාට ඔෆිස් එකේ මැනේජර් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කී දෙනෙක් කිව්වත් ජනිත් ඒ කතා විශ්වාස නොකර හිටියේ අංජනා වගේ අහිංසක කෙල්ලෙක් මැනේජර් වගේ කොටියෙක් වගේ මිනිහෙක්ට කැමති වෙන්නේ නැති වෙයි කියලා හිතලා. ඒත් අද ඇස් දෙකෙන්ම අංජනා මැනේජර් ගේ කාමරේ ඉන්න හැටි දැක්කට පස්සේ ජනිත්ට ආයේ ඒ ගැන හිතන්න දෙයක් තිබුනේ නැහැ. ඒත් අංජනා වගේ අහිංසක කෙල්ලෙක් මැනේජර් වගේ මිනිහෙක්ට අහුවෙලා විනාශ වෙනා යනවා දකින්න ජනිත්ට පුලුවන් කමක් තිබුනෙත් නැහැ.

හිතේ තියාගෙන ඉඳලා බැරිම තැන ජනිත් සිද්ඩියේ අහු කොන් නැතුවම බෝඩිම් සගයාට කිව්වා. මැනේජර් මහත්තයා ගැන කතා කොහොමටත් දැනගෙන හිටපු නිසා අංජනාගේ ඉරණම ගැන බෝඩිම් සගයාට කිසිම සැකයක් තිබුනෙත් නැහැ.

“උඹට මෙවෙලේ වටින්නේ රස්සාව.  උඹ මෙවෙලේ අංජනාව ආරක්ශා කරන්න ගියොත් උඹට රස්සාව නැති වෙනවා.. ආයේ ඒකේ කතා දෙකක් නැහැ… අනෙක අංජනා දැන් ඉන්නේ මැනේජරයාගෙ සල්ලි වලට ඇස් වැහිලා.. උඹ ඒකිට මොකක් පැහැදිලි කරන්න ගියත් ඒකි ඒක තේරුම් ගන්නේත් නැහැ..’

ජනිත්ටත් ඒ බව නොතේරුණා නෙවෙයි. ඒත් කාලයක් තිස්සේ ඒකපාර්ශවීය ප්‍රේමයක් තුරුළු කරගෙන උන්න යුවතියගේ අනාගතය අඳුරු වෙලා යනවා බලාගෙන ඉන්නත් ජනිත්ට පුලුවන් කමක් තිබුනේ නැහැ. ජනිත් අංජනා දකින වාරයක් වාරයක් ගානේ ඇගේ හැසිරීම් වල වෙනස්කම් ගැන ඉඟි දුන්නත් අංජනා ඒ කිසිම දෙයක් ගණනකට වත් ගත්ත බවක් නම් පෙන්නුවේ නැහැ.

ඒත්, දවසක් හවස ජනිත්ව කාර්‍යාල කාමරයට ගෙන්නවලා මැනේජර් මහත්තයා දුන්න උපදෙසට පස්සේ ජනිත් අංජනා කියන නම මකලාම දැම්මා.

“මට අංජනා කිව්වා ජනිත්ගෙන් කරදර තියෙනවා කියලා… කරුණාකරලා තමන්ගේ රස්සාව කරගෙන පාඩුවේ ඉන්න බැරි නම් අස් වෙලා යනවා හොංදයි..”

බෝඩිම් සගයා නම් ජනිත්ට හොඳටම දොස් කිව්වා.  ජනිත් ඒ කිසිම දෙයකට පිළිතුරු නොදීම අහගෙන හිටියේ වරද තමා අත බව දන්න නිසා.

කාලේත් එක්ක ජනිත් ඒ කාර්‍යාලයෙන් ඉවත් වුණා. රැකියාවෙන් ඉහළට යන්න වෙහෙසිලා වැඩ කලා.  මෝටර් රඨ්හයක් මිලදී ගත්තා. ඒ අතරේ ඉඩමක් අරගෙන නිදහස් ඉඩ තියෙන ගෙයක් හැදුවා.

ජනිත්ට කල්පනාව මුණ ගැහුණේ ඒ අතරේ. කල්පනා ඒ වෙනකොට සේවය කලේ රෝහලක හෙදියක් විදියට. ඒ නිසාම කල්පනා ගෙව්වේත් හරිම කාර්‍යබහුල ජීවිතයක්.

ජනිත්ට කල්පනාව මුන ගැහෙන්න මඟ බලන්න වෙන තරමට කාර්‍යබහුල දවස් තමයි ගෙවෙමින් තිබුණේ.

“සොරි අනේ..”

එන්නම් කිව්ව වෙලාව පහු වෙලා පැය දෙකකට පස්සේ දුවගෙන ඇවිල්ලා ළැඟින් වාඩි වුණ යුවතිය දිහා ජනිත් බැලුවේ හිනාවෙලා.

“වෘත්තීය අචාර ධර්ම වලට පටහැනි නොවෙන්න කතාවක් කියන්නම් ඈ… ඒ නිසයු පරක්කු වුණේ…”

කල්පනා සමාව ඉල්ලන ස්වරේකින් කියනකොට ජනිත් ආයෙම හිනා වුනා.

“ලේඩි කෙනෙක් ඇඩ්මිට් කලා අනේ…. ප්‍රෙග්නන්ට්.. ඒ උනාට මාරම වීක් … බ්ලීඩ් වෙනවා ඉවරයක් නෑ… ඉතින් කට්ටියම එයාව බේරගන්න දැඟලුවා..”

“ඉතින්…”

“එයා සේෆ්…. අවුලක් ණෑ..ඒත් ඉතින් ඊට පස්සේ මොනවා වේද කවුද දන්නේ?”

ජනිත් ඉන් එහාරට කල්පනාව ඒ මාතාව දිගේ වෙහෙසෙව්වේ නෑ. දෙන්නට කතා කරන්න ඔණෑ තරම් දේවල් තිබුනා.

කල්පනා ආයෙම රෝහලට ගියාට පස්සේ රෝගි වෙලා ඇතුලත් කරපු තරුණියව මුන ගැහුණා. දෛවය ඇය නොදන්නා කතාවක් ඇය ඉදිරියට ගෙනල්ලා තිබුනා.

“මගේ නම් අංජනා..”

අංජනා ටිකෙන් ටික කල්පනා එක්ක හිතවත් වුනා. ඇයව බලන්න ගෙදරින් කිසිම කෙනෙක් ආවේ නැති නිසා කරුණු විමසීමක්  නොකරම කල්පනා අංජනාට කෑම, ඇඳුම් ගෙනිහින් දුන්නා.  අංජනාත් කල්පනාට කිසිම පෞද්ගලික දෙයක් කිව්වේ නැහැ.

ජනිත් වාට්ටුවට ආවේ හදිසියේ වෙන ලෙඩෙක් බලන්න රෝහලට ආව හවස් වරුවක. ජනිත්ව දැකපු අංජනා එක පාරටම කිසිම දෙයක් හිතාගන්න බැරුව වගේ ගල් ගැහුණා.

“ඒ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්..”

කල්පනා පස්සේ එහෙම කියනකොට  අංජනාට දැනුනේ තමන් ගැන අනුකම්පාවක් වගේම කල්පනා ගැන ඉරිසියාවක්.

“ඒ ජනිත් .. එයා නිසයි මට මෙහෙම වුණේ.. එයා මාව අතෑරල දැම්මා… දරුවෙක් එක්ක මම තනි වුණා.. මට රස්සාවට යන්න විදියක් තිබුණේ නෑ… කන්න බොන්න විදියක් නෑ… දුර්වල වුනා…. මම අසනීප වුණා..”

අංජන අඬ අඬා කියන කතාව කල්පනාට විශ්වාස කරන්න පුලුවන් කමක් තිබුනේ නෑ. ඒත් ජනිත් කලින් වැඩ කල ආයතනයේම අංජනාත් වැඩ කරපු බව කල්පනා හොයාගත්තාට පස්සේ ඇයට් අතව හිතන්න දෙයක් ඉතිරි වුනෙත් නැහැ.

“එයා මාව ආශ්‍රය කරන ගමන්ම ඔයාවත් ආශ්‍රය කරන්න ඇති .. මගේ අම්මලා දුප්පත් නිසා එයාට මාව ගැලපෙන්නේ නෑ කියලා තමයි අන්තිමේදී දරුවෙක් ඉන්නවා කියද්දීත් මාව දාලා ගියෙ….මට එයාගේ ජීවිතේට බාධාවක් වෙන්න ඕනි වුනේ නෑ .. ඒකයි මම ආයේ නාවේ..”

අංජනාගේ කඳුලු වල බර සම්පූර්ණයෙන්ම දරන්න උනේ කල්පනාට. කල්පනා කාටවත් නොකියා රහසේම ස්තාන මාරුවක් හදාගත්තා. ජනිත්ට කිසිම දෙයක් නොකියා ඔහුගේ ජීවිතෙන් අතුරුදන් වුනා. එකම එක කෙටි පණිවිඩයක් විතරක් තියලා යන්නම ගියා.

“අංජනා එක්ක සතුටින් ඉන්න..”

එක පාරටම එහෙම බෝම්බයක් පිපිරුවාම ඒකේ අගක් මුලක් ජනිත්ට වැටහුනේම නෑ. අන්තිමේදී කල්පනාගේ වාට්ටුවේ උන්න මිතුරුයෝ කතාව ගලපගන්න ජනිත්ට උදව් කලා. ජනිත් බෝඩිම් සගයාවත් එක්කගෙන කල්පනාව හොයාගෙන ගියා. ජනිත්ව දකින එකත් කල්පනා ප්‍රතික්ශේප කරා. අන්තිමේදී බෝඩිම් සගයා කල්පනා එක්ක කතා කරද්දී ජනිත් පාරට වෙලා හිටියේ.

“මට සමාවෙන්න..”

ජනිත්ගේ පැත්තකින් පූස් හඬකින් එහෙම ඇහුණා. ජනිත් කල්පනා දිහා බැලුවේ යක්ශ වෙස් අරගෙන.

“කවුරු මොක කිව්වාත් එහෙම දාලා එන එකද වැඩේ…. එතකොට මට මොකද වෙන්නේ හිතුවේ නැද්ද? .. ඔව්..මම අංජනාට ආදරේ කලා.. හැබැයි ඒ ආදරේ මම මරලාම දැම්මා.. ඒ වගේමයි, ඔයාටත් මම ආදරේ කලා.. දැන් ඒකත් ඉවරයි .. මාව විශ්වාස නොකරන, ප්‍රශ්නයක් වුන ගමන් කඩා බිඳගෙන දුවලා අතුර්දන් වෙන ගෑනියෙක් මට එපා…”

ජනිත් කීවේ දැඩි හඬින් වුනාට, කල්පනා ඒ ස්වර වල  තිබුන හැඟීම කියවගත්තා.

“ගෑණුන්ගේ කඳුලු බරයි තමයි. ඒත් හැමවෙලාවේම නිවැරදි නැහැ… ඔයා දැණගන්න ඕනි සිහි බුද්ධියෙන් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න…”

තමන්ගේ බාහුවකට ගුලි වෙලා අඬන යුවතියට කලින් දැඬි හඬ යම් සාන්ද්‍රණයකින් අඩු කරලා ජනිත් කිව්වා.

More Stories

Don't Miss


Latest Articles