අනෝරා මල් වැහි 10

ඇය තමාගේ නම දැනගත්තේ අද වුවත් තමා ඇයගේ නම දැනගෙන උන් බව කියන්නට හැකිනම් අපූරු බව මහිල්ට සිතුනේ තාරා ඔහුට පිටුපා වාහනය වෙත යද්දීය.

තාරා මුණවීර වනාහී තරුවක් වන් කාන්තාවක් බව මහිල් සිතුවේ ඇයව දුටු පලමු වාරයේය. මෙයට සති කිහිපයකට පෙර දිනයක ආයුර් ස්පා එකේදී තමාගෙන් පෙඩිකියු සත්කාරයක් ගන්නට එන්නට පෙරත් මහිල් එහිදීම තාරාව දැක තිබුණි.

එහෙත් ඉන් පෙර කිසිම වෙලාවක නොදුටු විශේෂත්වයක් මහිල් දුටුවේ තාරාගේ දෙනෙතින් කඳුලු වැටුණු මොහොතෙය. ඒ කඳුලුවල පිටුපස තිබෙන්නේ තමන්ගේ  ස්පර්ශයෙහි පීඩනය බව සිතූ මහිල් මුලින් බිය වූවේය.. එහෙත් හේතුව එයදැයි ඇසු පසු තම මීන දැස විදහමින් තමා දෙස බැලූ ඇයගේ දෙනෙත් තුල නොකියන කතාවක් සැඟවී ඇති බවත් මේ කඳුලු වලට හේතුවඑය විය හැකි බවත් මහිල් හිතුවේය.

නොමැකිය හැකි ලෙසින් තාරාව සිතේ ඇඳුනේ ඒ කඳුලු බිඳු මතිනි. ඉන්පසුව නැවත ඇයව වයිබ්ස් කැෆේ හිදී දකින්නට වේ යැයි තමා කිසිදාක නොසිතු බව ඇත්තකි. එහෙත් දෛවය අප ඉදිරියෙ ගෙනවිත් තබන්නේ අප බලාපොරොත්තු නොවන දේවල්ම බව මහිල් දනී. 

දෙනුවන් මැවුම්කාර බව කියමින් එදා ගැයුවේ ඇයට නොවුවත් ඇගේ දෙනෙත්වල එදා තමාව දුටුවයින් පසුව දකින්නට ලැබුණු විස්මය මහිල් දරාගත්තේත් පිළිගත්තෙත් මැවුම්කාරයක් ලෙසිනි. ඒ මීන දෑස විසල් කර පුදුමයෙන් බලා හුන් තාරා තමන් සමග එක වචනයක්වත කතා කරාවි යැයි බලාපොරොත්තුවක් නොවුනි.

අද පවා ඇයව දකින්නට තමා බලාපොරොත්තු නොවුවකි. දෛවය මේ කරන්නේ සිතත් සමග සෙල්ලමක් ද?

ආදරේ කියන්නෙ මේකටද?

මහිල් ඇසුවේ තමාගෙන්මය.

ගෙදර ඇවිත් කාමරයට වී ඇඳේ හාන්සි වී මහිල් සිවිලිම දෙසම බලා හිඳිමින් කල්පනා කරේය. 

තාරා…

තරුවක් වැනිය. එහෙත් ඒ තරුව කෙමෙන් කෙමෙන් මලානික වෙමින් හිඳින බව ඇගේ දෙනෙත් අස්සට එබී බැලුවහොත් දැකගත හැකි බව මහිල් දැන උන්නේය. ඇය ඉන්නෙ විසල් පීඩනයක් හිත අස්සේ රඳවාගෙන බවට ඒ දෙනෙත් සාක්කි දෙයි.

“උඹ කන්නෙ නැද්ද?”

අම්මා ආවේ කාමරයේ දොර රෙද්ද මෑත් කරගෙනය. තාත්තා තවම ගෙදර ඇවිත් නැති හැටියකි. 

“තව ටිකකින් කනවා”

“කාලා අර ඉස්සරහ ගෙදරට ටිකක් ගිහින් වරෙංකො බං” අම්මා කියන්නෙ නොරිස්සුමෙන් මෙනි. එයට හේතුවක් මහිල්ට හිතාගන්නටත් අපහසුය. අනෙක උදේම රැකියාවටද සැඳෑවේ කැෆේ එකටද ගොසින් ඇඟට තෙහෙට්ටු බව අම්මා නොදන්නවා නොවේ. මෙවන් දින ගණනාවක් මේ වන විට තමන් පසු කර ඇවිදින් තිබේ. තමන්ගේ ඇඟට තෙහෙට්ටු බව වාර දහස් ගණනක් අම්මාට කියා තිබෙන බව ආයෙමත් මතක් කර දිය යුතු නැත. එහෙත් ඇය තම සුපුරුදු චරිතයෙනුත්, වචනවලිනුත් වෙනස් වෙන්නේ ඉතාම කලාතුරකිනි.

“මහන්සි අම්මේ, මොකටද අනික යන්නේ?”

මෙතෙක් වේලා කිසිත් සද්දයක් තමාට ඇසී නොතිබුනේ සිත තුල සිහිලැල්ව තාරා ගැන සිතුවිලි ඇඳී තිබුන නිසාවෙන් විය හැකි බව මහිල්ට සිතුණි.  නිවසින් පිටත ඇසෙන්නේ පුදුමාකාර ශබ්ධ රැසකි. බජව්වකි. කන් බිහිරි කරවන්නකි. එහෙත් ඒවා මහිල්ටවත් මේ පැත්තටවත් නුපුරුදු හඬක් නොවේ. සතියේ එක් දිනක හෝ මේ වත්තේ එක් නිවසකින් හෝ බජව්වක් අසන්නට ලැබීම සාමාන්‍ය දෙයකි.

“භානුක කොරියා යනවලු. අනිද්ද යන්නෙ. යන්න කලින් එහෙ පාටිය”

“රස්සාවක් හම්බෙලාද?”

“නෑ ඉගෙන ගන්න කියලලු යන්නෙ. ගිහින් රස්සාවක් හොයාගන්න පුලුවන්ලු. උඹලට තමයි එහෙමවත් දෙයක් කරගන්න බැරි. රට යන්න කියලකොච්චර කියනවද? මහ එකා වගේම මේක අස්සෙම ලැගං ඉඳහන්. ඔය රස්සාවෙන් දෙයක් හරි හම්බ කරගන්න උඹ කොච්චර කල් කියල නැහෙන්නද?”

“අනේ අම්මේ මොකද්ද ගෙදර ආව ගමන් ඔලුවට කරදර දාන්න හදන්න එපා” මහිල් එහා පස හැරී කොට්ටයේ මුහුන හොවා ගත්තේය.නිවසට එන්නෙ දවසක්ම වෙහෙසී නමුත් වෙහෙස නිවගන්නට නිවී සැනසෙන්නට වටපිටාවක් නිවස අවට නොතිබුන බව මහිල් දැන උන්නා නොවේ.

රජයේ කන්තෝරුවක ලිපිකරුවෙකු ලෙස වැඩ කරන තාත්තාගේ පඩියෙන් මෙයට වඩා පදිංචිවන්නට හොඳ තැනක් සොයාගන්නට අපහසු වන්නට ඇත. එහෙත් තමන්ගේ ගතිගුණ තමන් ජීවත්වන වටපිටාවෙන් වෙනස් කරගන්නට අපහසු නොවේද? අම්මා, නිශාමනී උන්නේ මේ කලබල වටපිටාවට හොඳින් පුරුදු වෙමිනි. එහිම අනුගත වෙමිනි. සේදරවත්තේ මිනිසුන්ගේ ජීවිත එකිනෙකාගෙන් වෙනස් වූයේ නැත. හීනි බිත්තිවලින් වෙන් වූ නිවෙස්වල රහසක් කියා දෙයක් එහෙමකට කියා තිබුනේ නැත. එහෙමකට කියා ඉගෙන ගත් මිනිසුන් එහි උන්නේද නැත. තරුණ ප්‍රජාව බොහෝ අය උන්නෙ විදෙස් රටකට යෑමේ බලාපොරොත්තුවෙනි. එහෙත් මහිල්ට එවන් බලාපොරොත්තු තිබුණේ නැත.

යහපත් වටපිටාවක නිවසක් හදාගන්නට බලාපොරොත්තුවක් තිබුන බව සැබෑවකි. එහෙත් සියල්ලන්ම කරන පරිද්දෙන් රට යන්නට බලාපොරොත්තුවක් මහිල්ට තිබුනේ නැත. ඒ අම්මා තමා වෙනුවෙන් දුටු සිහිනයක් මිස තමා දුටු සිහිනයක් නොවේ.

රජයේ සේවයේ නියුතු මහිල්ගේ පියා වන ශාන්ත ගොඩකන්ද වනාහි ස්වභාවයෙන්ම නිහඬ මිනිසෙකි. තුරුණු වියේදි වත්තේ බෝඩිමක නතර වී රැකියාවට ගිය ශාන්ත එහිදී මිත්‍ර වූ තරුණියක වූ නිශාමනී හා වීවාහ වී වත්තේම ජීවත් වන්නට පටන් ගෙන දැන වසර තිහකට පමන ආසන්නය. 

තාත්තා උන්නේ මේ කලබලකාරී වටපිටාවෙන් මිදීමෙනි. ස්වභාවයෙන්ම නිහඬ වූ තාත්තා දරුවන් කුඩා කාලයේ අම්මා සමග බොහෝ අඩ දබර තබාගත්තද දරුවන් උස් මහත් වෙද්දි බොහෝ නිහඬ අයෙකු වූවේය. එයට අක්කාගේ හිතුවක්කාර විවාහයද හේතුවක් වූ බව රහසක් නොවේ. 

“පවනිට ඔයිට වඩා හොඳ කෙනෙක් හොයාගන්න තිබුනා. හරිහමං මනුස්සයෙක්ව”  තාත්තා කිව්වේ අක්කාගේ සමන්ත අයියාව බඳින්න තීරණය කර ඇති බව දැනුම් දුන් දාය.

“මොකද්ද සමන්තගෙ තියෙන වරද?”

“වරද ලමයො හරිහමං රස්සාවක් නැති එක. බැලුවොත් ඇත්තන් හන්දියට වෙලා යාලු මිත්ත්‍රයින්ගෙ ත්‍රීවිල් එලවනෙ එකනෙ ඒ ලමය කරන්නෙ. එහෙම මනුස්සයෙක් කසාද බැඳල හරියකට ජීවත් වෙන්නෙ කොහොමද?”

“එයා රට යන්න ඉන්නෙ තාත්තෙ. ඉතාලියෙ. ඉන්පස්සෙ අපිට එහෙම ප්‍රශ්නයක් වෙන් නෑ”

“අනේ මන්ද ලමයො එහෙනම් ඒ මනුස්සය රට ගිහිල්ල කීයක් හරි හරිහම්බ කරගත්තයින් පස්සෙ බැන්දනම් නරකද? දැන් ඔයත් රස්සාවක් කරන්නෙ නැති එකේ කොහොමද ජීවත් වෙන්නෙ?”

“අනේ මේ ශාන්ත, මේ දැන් තීන්දු කරගෙන ඉන්න කාරනාවලට උදැල්ල නොදා ඉන්නවද. හරිහමං රස්සාවක්. හරි හමං රස්සාවක්නෙ ඔහේ කරන්නෙ. මං මේ බත් පැකට් විකිනුවෙ නැත්තං දෙවේලයි කන්න වෙන්නෙ. මේ ගෙදරවත් ඉන්න උනෙ නැත්තම් පාරෙ තමයි මට ලමයි එක්ක ඉන්න වෙන්නෙ

හරිහමං රස්සාවක්…මහ්ම්”

තාත්තාගේ හඳවත බිඳුනේත් නිහඬ වන්නට සිතුවෙත් එදා වෙන්න ඇති බව මහිල් සිතුවේය. අම්මාත් අක්කාත් උන්නේ සිහින ලොවක ජීවත් වෙමිනි. එකාතකින් එයට වරදක් කියන්නට හැකිද කියාත් මහිල් සිතුවේය. මිනිසුන් සුවයෙන් සැපෙන් ජීවත්වීමට සිහින දකිති. තමා හිඳින අඩියෙන් තව අඩියක් හෝ උඩට යන්නට වෑයම් කරති. එහෙම සිහින දකින අම්මාත් අක්කාත් තාත්තා වන් නිසංසල මිනිසෙකුගේ ගතිගුණ වලට සිතුවිලි වලට එරෙහි වීම වෛර කිරීම කොපමණ සාදාරන ද අසාදාරණ ද කියා මහිල් සිතුවේය.

“කාලා ඒ පැත්තට ඔලුව දාලා වරෙන් ගිහින් . නැත්තම් ඒ මිනිස්සු හිතාවි අපි මේ ඉරිසියාවට තමයි පැත්ත පලාතක ආවෙවත් නැත්තෙ කියල. හොඳ හිත තියාගත්තොතින් අඩුම ගානෙ උබලට හරි රටකට යද්දි උදව්වක් වෙන්න පුලුවන්”

අම්මා කාමරයෙන් නික්ම ගියේ එසේ පවසාය. එහෙත් අම්මාගේ කීමට අවනතව එහි යන්නට උවමනාවක් මහිල්ට තිබුනේ නැත. සයනයේ සැතපී තාරා ගැන සිතන්නට තිබුනානම් අපූරු බව මහිල් සිතුවේය. 

තාරා සැබෑවටම අහසක දිලිහෙමින් හිඳිනා තාරකාවකි. ඇය පෙලන දුකක් වේදනාවක් සිත තුල තිබෙන බව දැනගෙන උන් නමුත් තමාට කිසිදිනක ඒ වේදනාව නිවාලනු පිණිස ඒ අහසට ගොඩවෙන්නට නොහැකි බව මහිල් දැන උන්නාය. තමා හිඳින්නේ තාරා හිඳින අහසට බොහෝ දුර මහ පොලවටත් වඩා අඩියක් පමණ පහල තැනකය.

අපහසුවෙන් වුව ඒ අහසට ගොඩ වුවත් තමාට එහි රැඳෙන්නට වරම් නොමැති බව මහිල් දැන උන්නේය. එහෙත් ඒක පාර්ශ්වීය උනත් මේ ආදරයකි. කැමැත්තකි. ආකර්ශනයකි. 

කාමරයේ පසෙක බිත්තියට හේත්තු කර තිබෙන ගිටාරය නෙත ගැටෙද්දි තාරා මෙනෙහි කර ගීයක් ගයන්නට තිබුනා නම් අපූරු බව මහිල් සිතුවේය.

ඒක පාර්ශ්වීය ආදරයකට වුවත් සුන්දරත්වයක තිබිය හැක. හිමිකරගන්නට අදහසක්වත් නොතිබුනත් සිහින මවන්නට හැක.

“ඔබේ දෙනුවන් මැවුම්කාරයි 

හැඟුමන් පෙමින් පායයි

ආදරේ නම් මේ දැනෙන්නේ

මදහාසයෙන් මුව සැනසේවී

දැන ගන්නම් සීත නිම්නේ

මා සොඳුරු හැඩකාරී”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles