සුභා උන්නේ දියණිය ගැන පුදුමාකාර භීතියකිනි. අවුරුදු විසි පහක් විසි හයක් තිස්සේ උස් මහත් කල දරුවා ජීවිතයේ කිසිම දිනෙක මෙතරම්ම බියපත්ව ඉන්නවා සුභා දැක තිබුනේ නැත.
තමා සමාජයේ මිනිසුන් මේ ගැන මොනවා කියාවිද කියා බිය වී හිඳිද්දී තමන්ගේ නිවස තුලම තමා කුලුඳුලේ උපත දුන් දරුවා බියපත්ව මානසික ඇද වැටී හිඳීම කෙතරම් නම් අභාග්‍යසම්පන්න ද?
“අපි ගිය ආත්මෙ කල මහ පවක් ආරි අපිට මේ පඩිසන් දීල තියෙන්නෙ. නැත්තම් අපි කාට කියල නම් වරදක්ද කරේ මේ ආත්මෙ?”
සුභා තම දුක් ගැනවිල්ල මුදා හැරියේ ආරි අභියසදීය. ඒ නිදාගන්නට ගොසින් ඇඳ මත වාඩ් කරණීයමෙත්ත සූත්‍රයත් රතන සූත්‍රයත් කියා අවසන් කර ගාතා පොත සයිඩ් කබඩය මත තබමින් ය.
“මේ වෙලාවෙ කොහොමත් හිතේ දුකක් පිරිල තියෙන හන්දා අපිට අපි මහ පව්කාරයො වගේ තේරුනාට මට හිතෙන්නෙ මේ දේවල් මෙහෙමවත් උනේ අපේ වාසනාවට කියල”
සැමියා කොහොමත් ඒ කාලයේ හිඳම දෙයක් දෙස බැලුවේ තමා බලන ආකාරයට වඩා සහමුලින්ම වෙනස්ව බව සුභා දනී. ඒ මොහොතේදී ඔහුගේ කීම තමා කිසිසේත්ම නොපිලිගත්තද පසුව සිතා බලද්දී ඔහු සහමුලින්ම හරි බව සුභා සිතින් හෝ පිලිගත්තාය.
එහෙත් තමන්ගේම දරුවා ඉමහත් අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දී ඉද්දීත් එවන් දෙයක් දෙස හොඳ ඇසකින් බලන්නේ කෙසේද කියා සුභාට සිතාගන්නට නොහැක. සුභා ඒ පැනය, කුතුහලය ප්‍රශ්නයට නොනැගුවද ඇගේ දෑසමත ඇඳී තිබුන ඒ ගැටලුව වසර තිහක පමණ විවාහ ජීවිතයක් ඇයසමග ගෙවූ ආරිට අඳුනගන්නට අපහසු නැත.
“මොන දේ උනත් ඒ දේ උනේ කසාද බඳින්න කලින්. කසාද බැඳල මෙනුක එක්කෙ ඔස්ට්‍රේලියවෙ ගියාට පස්සෙ ඔහොම දෙයක් දැනගත්ත නම්? මෙනුකට එහේ යාලුවො හරි ඉන්නව. අපෙ දරුව එහෙ තට්ට තනියම මෙලෝ යකෙක් අඳුරන්නෙ නැතුව දුක් විඳීවි.. තමන්ගෙ කියල විශ්වාස කරන්න මෙලෝ මල යකෙක් නැති රටක තට්ට තනියම ඔහොම මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න ගිහිල්ලා දුක් කරදර විඳින්න වෙනවට වඩා මෙහෙම වෙච්ච එක හොඳයි.
කාලයක් යන කම් දරුවාගෙ හිත තැලිල තියෙයි. අපෙ උනත් එහෙමයි. මිනිස්සු කතා හදාවි කතාකියාවි. ඒ උනාට මොන දේ වෙලා හරි දරුවා ඉන්නෙ අපි ලඟ”
“පීරිස්ල නම් හිතන්නෙ අපි මහන්සි වෙනව මදි කියල මේ දෙන්නව ආයෙ එක්කහු කරන්න”
සුබා ඒ කීවේ චෝදනාවක හඬින් නොවුනත් ආරි එය භාරගත්තේ එලෙසිනි.
“ආයෙ එක්කහු කරන්නෙ කොහොමද සුභා? මොකද්ද එක්කහු කරන්නෙ කියන්නකො? ඉබ්බෙක් ඇරෙන්නෙ යතුරක් මිසක්ක තව ඉබ්බෙක් අරගෙන වැඩක් නෑනෙ. අනික ඉබ්බෙක් අරන් ආවත් යතුරක් අරන් ආවත් ඇරෙන ඉබ්බෙක් නම් ඒකෙනුත් පලක් නෑ නේද? අර කොල්ලයි අපේ දරුවයි කියන්නෙ එහෙම දෙන්නෙක්. උන් දෙන්න යාලු වෙලා ඉන්න කාලෙ ගෙවල් වලට හොරෙන් එහෙ මෙහෙ ගියේ නෑ, ගෙදරදිමයි අපෙ ඇස් ඉස්සරහමයි හම්බුනේ කතා බස් කරේ කියල අපි ඒ දවස්වල ආඩම්බර උනාට ඕන් ඔය වගේ ප්‍රශ්න තමයි එතකොට වෙන්නෙ
පීරිස්ලට ඔක්කොටම වඩා ලෑජ්ජ ඇති ප්‍රස්නෙ තියෙන්නෙ උන්ගෙ කොල්ලගෙ හන්දා. ඔක්කොටම මුල ඌ මේ ඔක්කොම හංගන් උන්නු එකනෙ. අපිට ඒකට කරන්න දෙයක් නෑ”
“ඒ මිනිස්සුන්ගෙත් හිතට අමාරු ඇති ඉතින් කසාද බඳින්න ගිහින් මෙහෙම දෙයක් උනාය කිව්වම”
“ඒ හිත් අමාරුකම් අපේ දරුවගේ හිතේ තියෙන වේදනාව අඩු කරන්නෙ නෑනෙ. ඒ හන්දා අනිත් අයගෙ හිත් සනසන්න කලින් අපි බලන්න ඕන අපෙ දරුවගෙ හිත සනසන්නෙ කොහොමද කියල”
“යන්න ලංවෙලත් ඛේමා කියනව දෙන්න කතාබස් කරා නම් මේව විසඳගන්න පුලුවන්ලු”
“ඒ ගෑණිට පිස්සු”
“අවුරුදු ගාණක් යාලුවෙලා ඉඳලත් මේ ලමයි දෙන්න දෙන්නට දෙන්න අඳුරගෙන නෑ කියන එකයි මට හිතාගන්න බැරි”
“එහෙම අඳුරගන්න උන් ඇහුවනම් අපි ඉඩ දෙනව කියලද?”
මේ කිසිවක් කතාකරද දැන් පලක් නැති බව දන්නා නමුත් කතා කිරීම සිත සනසන බව සුබා සිතුවාය. දරුවෙකු විවාහ කර දුන් පසු දෙමව්පියන් එතෙක් කලක් දරාගෙන උන් බර අවසන් වේ යැයි සිතුවද එය එසේ නොවන බව සුභාට තේරුම් ගියේ මේ සියල් ප්‍රස්න පටන් ගත් පසුවය.
“සඳලිනී කවද්ද එන්නෙ?”
ආරු ඇසුවේ පොඩි දුව ගැන ය. අරුණලී ගේ විශ්ව විද්‍යාලයේම දෙවන වසරේ ශිෂ්‍යාවක් වන සඳලිනී අරුණලීට වඩා බෙහෙවින්ම වෙනස් දඟකාර තැනැත්තියකි. ඕනම තැනක සිනහ මවන්නට උපන්නියකි. ඇය නිවසේ රැඳී උන්නා නම් අරුණලීට තාවකාලිකව හෝ එය සහනයක් වන්නට තිබුන බව ආරි සිතා තිබුනි.
“මම මෙහෙම විස්තරයක් ලොකුවට කියන්න ගියේ නෑ. ලබන බදාදයින් විභාගෙ ඉවරනෙ. එතකොට ගෙදර එනවනෙ. ඒ ආහම කියනව”
“ඒක හොඳයි”
අරුණලී උන්නේ ඇඳේ වැතිරී ඔහේ අහස දෙස බලාගෙන කල්පනා කරමිනි. නින්දක් කියා දෙයක අවශ්‍යතාවයක් තිබුනේම නැති තරම් ය. දහවල් වරුවම ඇඳේ හාන්සි වී අතරින් පතර නිදියමින්ද වැඩි හරිය කල්පනාකරමින්ද ගෙවන මේ ජීවිතයෙන් මිදෙන්න උවමනාවක් තිබුනද සිත එයට ඉඩ දෙන්නේ නැතිම තරම් ය.
අරුණලී දුරකතනය අතට ගත්තේ කම්මැලිකම දරාගන්නට බැරිම තැන ය. තවදුරටත් රාත්‍රීන් ඇත්තේ නිදියන්නට නොවේ යැයි සිතෙන තරමට නින්ද තිබුනේ අරුණලීගෙන් ඈත්වය. නින්ද යන්නේ නැත. සිහින නොදකින්නට අවසරයක් නැත. රැයේ මැද ඇහැරී බියපත් වන්නට සිදු වී ඇත. මේ ජීවිතය යැයි කියා කියන්නට ඉතින් හැකිද?
අරුණලී දුරකතනයේ මෙනුකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ උඩ පහල යමින් මෙනුක ඔස්ට්‍රේලියාවේ ගතකල ජීවිතයේ පින්තූර නැවත නැවත පිරික්සුවාය. මේ පින්තූර මෙයට පෙර තමා නොයෙක් වර දැක තිබුනද ඒ කිසිම දිනක නොවූ පරිද්දෙන් මෙනුකගේත් රමිතගේත් රහස් සම්බන්ධය ගැන කියවෙන කුමක් හෝ දෙයක් දකින්නට අරුණලී මේ මොහොතේ බලාපොරොත්තු නොවුවාය.
එහෙමකට කියා විශේෂ දෙයක් දකින්නට නොවුනද මෙනුක විසින් ඉන්ස්ටග්‍රෑමය වෙත අප්ලෝඩ් කල මිතුරන් සමග හිඳින සියලුම පින්තූර වල මෙනුක ලඟින්ම අසුන් ගෙන හෝ ඔහුගේ කරට අත දාගෙන හිඳින්නේ රමිත ය. එය වෙනසක් ලෙස තමාට මේ මොහොතේ දැනෙන්නේ සියලු රහස් එලිවී තිබෙන නිසාවෙන් විය හැක.
මෙනුක තමාට මෙවන් දෙයක් කලේ ඇයි ද කියා අරුණලී නැවත නැවත සිතුවාය. මෙනුකත් ඔහුගේ පවුලේ අයත් ආදරය වෙනුවෙන් හෝ ඔහුට සමාව දෙන්න යැයි කිව්වත් එය කරන්නට හැකි ද?
සමාව දුන්නා වුවත් ඔහු සමග ජීවිතයක් එකට ගෙවන්නට තමන්ට හැකිද?
අනෙක් අතට අම්මා සහ තාත්තා මෙනුකට සමාව දී නැවත ඔහු සමග සම්බන්ධය අරඹන්න යැයි කීවහොත්? දරුවෙක් විශේෂයෙන්ම දුවෙක් විවාහ වන්නටත් ප්‍රතමව ඒ විවාහය බිඳගෙන ගෙදර ඒම දෙමව්පියන්ට සමාජය ඉදිරියේ පිලිතුරු දිය නොහැකි අසීරු ප්‍රශ්න රැසක් මතු කරලන්නකි. අම්මාත් තාත්තාත් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට නොහැකි නිසාම තමාට නැවත මෙනුක වෙත යන්නයැයි කීවහොත් තමා අසරණ වන බව අරුණලී දනී.
ජීවිතය බොහෝ දුර ගෙවා ගෙන අවුදින් තමාව දෙමංසලක නතර කර තිබේ. සියල්ලන්ම නිදිගත් රැයවල් දහසක් නැගිට ගෙන සිතුවද තමන්ට මේප්‍රශ්න වලට පිලිතුරක් සොයා ගන්නට අපහසු බව අරුණලී දනී.
නිදියන්නට කියා ගියද සුභාට නින්දක් උරුම උනේ නැත. අරුණලීගේ ප්රස්නය මෙතෙක් දිනක් නින්ද සොරා ගෙන තිබුනද ඒ ප්‍රශ්නයට වඩා යම් කිසි අමුතු නිමිත්තක් අද තමන්ගේ නින්ද අවහිර කරගෙන හිඳින බවක් සුබාට දැනුනි.
ඒ ඇයි ද කියා නොදන්නා නමුත් සිත කීවේම අවදි වී අරුණලීගේ කාමරය වෙත යන්න කියාය. කෙමෙන් වයසට යන නිසා දරුවන් දෙදෙනාට උඩු මහලේ කාමර වෙන් කර දී සුබාත් ආරිත් නිදියාගත්තේ පහල තට්ටුවේ කාමරයකය.
විදුලි පහන් නොදල්වාම සුබා පඩිපෙල නැග උඩු මහලේ අරුණලී වෙනුවෙන් වෙන් කල කාමරය වෙත ගියේ පුරුද්දෙනි. කාමරයේ දොර තිබුනේ හැර දමාය. අතීතයේදී දොර වසා දමා නිදියන්නට අරුණලී පුරුදු වී උන්නද මෙනුක සමග ප්රශ්නය වූ දා සිට අරුණලී කාමරයේ දොර වසා දමන්නට බියක් දැක්වූවාය.
කාමරය ඇතුලට යද්දී හිත ගැස්සුනේ ඇයිද කියා සුබාට නොතේරුනි. දඩ දඩ යන හඬින් සිත ගැස්සෙද්දී අරුණලීගේ ඇඳ වෙත ගියද සුබා එහි අරුණලීව දුටුවේ නැත. බැල්කනියේද ඇය උන්නේ නැත
අඩවන් කර දමා තිබුන නාන කාමරයෙන් කිසිවෙක් එහි හිඳින බවට ශබ්දයක් නාවද සුබා නිකමට මෙන් නාන කාමරයේ දොර හැර බැලුවාය.
බිම වැටී උන් අරුණලීත්, ඇයගේ එක් අතක බල නහරය කැපී ගලා යමින් තිබූ ලේ දහරාවත් සුබා දුටුවාය.