මතකය සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිය කෙනෙකුගේ ජීවිතය මොන වගේ වෙයිද ?(Sleeping Dogs)

ඇල්සයිමර් කියන රෝග තත්ත්වය නිසා මතකය අමතක වෙලා ගිය මිනීමැරුම් රහස් පරීක්ෂකයෙකු වටා ගෙතුණු කතාවක් තමයි Sleeping Dogs කියන්නෙ. හොලිවුඩයේ සුපිරි නළු Russell Crowe ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටය අයත් වෙන්නේ Crime thriller කියන ගනයටයි. 2017 වර්ෂයේදී EO Chirovici විසින් රචනා කරන ලද  The Book of Mirrors නවකතාව ඇසුරෙන් ඇඩම් කූපර් සහ බිල් කොලෙජ් විසින් තිර රචනය සිදුකරන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේත් ඇඩම් කූපර් විසින්මයි. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම දිනාගන්න සමත් වෙන මේ චිත්‍රපටය ඇමරිකාවේදී තිරගත වීම ආරම්භ වන්නේ  2024 අවුරුද්දේ මාර්තු 22 වෙනිදා යි. 

රෝයි ෆ්‍රීමන් කියන මිනීමැරුම් පිළිබඳව රහස් පරීක්ෂකයාට කාලයකට කලින් සිදුවන අනතුරක් නිසා ඔහුට ඔහුගේ ජීවිතයේ බොහෝමයක් දේවල් අමතක වෙලා ජීවත් වෙන කාලයක එක දවසක ඔහුට කාන්තාවකගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ කාන්තාවට අවශ්‍ය වෙනවා ෆ්‍රීමන් කාලයකට කලින් මැදිහත් වුන නඩුවක් සම්බන්ධයෙන් ඔහුත් එක්ක සාකච්ඡා කරන්න.

 

ඒ අනුව ෆ්‍රීමන් දවසක් මේ කාන්තාව මුණගැහෙන්න යනවා. එතනදි ඒ කාන්තාව ෆ්‍රීමන්ගෙන් ඉල්ලා සිටින්නේ තවත් මාසයක කාලයකින් මරණ දණ්ඩනය නියම වෙලා ඉන්න පුද්ගලයෙකුට ෆ්‍රීමන්ව මුණගැහෙන්න අවශ්‍ය වෙලා තියෙනවා කියලා. ඒ පුද්ගලයා අදාළ නඩුවට වැරදි කාරයා තමන් නෙමෙයි කියලා පුන පුනාම කියන නිසාත් මේ මරණ දණ්ඩනය පිළිබඳව තීන්දුව සාධාරණ එකක් නෙමෙයි කියලා ඔහු කියන නිසාත් මේ නඩුව පිළිබඳව නැවත විමර්ශනය කරන්න කියලා මේ කාන්තාව ෆ්‍රීමන්ට කියනවා.

සුප්‍රසිද්ධ මහාචාර්යවරයෙකු ඝාතනය කිරීමේ සිදුවීමකට සම්බන්ධව සිර දඬුවම් නියම වෙලා සිටින සහ තවත් මාසයකින් මරණ දණ්ඩනය නියම වෙලා තියෙන මේ පුද්ගලයාව මුණ ගැහෙන්න ෆ්‍රීමන් බන්ධනාගාරයට යන්න ඊට පසුවයි. එතනදි මේ පුද්ගලයා ෆ්‍රීමන්ට කියනවා අදාළ මහාචාර්යවරයාව මුණගැහෙන්න තමන් ගිය වෙලාවේදී මේ මිනී මැරුම සිද්ධ වුන බවත් ,මිනීමරුම සිද්ධ කරපු පුද්ගලයාව තමන් නොදුටුව බවත් , මේ මිනී මැරුමට තමන් කිසිසේත්ම සම්බන්ධයක් නැති බවත්. ඔහු දිගින් දිගටම කියන්නේ මේ මිනී මැරුමට තමන් සම්බන්ධ නැති නිසා මේ මරණ දඬුවමක් කුමන ආකාරයකින් හරි අත්හිටුවලා දෙන්න කියලා. මේ පුද්ගලයා මේ කරුණු ඉතාම විශ්වාසයකින් කියන නිසා මේ නඩුව නැවත විවෘත කරලා විමර්ශනයක් ආරම්භ කරන්න ෆ්‍රීමන් තීරණය කරනවා.

 

නඩුවට අදාළ නඩු වාර්තා සහ අනෙකුත් වාර්තා නැවතත් පිරික්සා බලන ෆ්‍රීමන් බොහෝ කරුණු ඔස්සේ තමන්ගේ විමර්ශනය සිදු කරනවා. මෙහිදී විවිධාකාර පුද්ගලයන් මුණගැහෙන්නත් නොසිතූ සිදුවීම් වලට මුහුණ දෙන්නත් ෆ්‍රීමන්ට සිදු වෙනවා. විමර්ශනය අතරතුරදී යම් යම් කාරණා ෆ්‍රීමන්ගේ මතකයට නැඟුනත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසා ඒවා හරි හැටි ගලප ගන්න  ෆ්‍රීමන්ට හැකියාව ලැබෙන්නේ නැහැ.ඒ උනත් ඔහු තමන්ගේ රෝග තත්වයට දිගටම ප්‍රතිකාර ලබාගන්න අතරේ මේ විමර්ශනය සිදු කරගෙන යනවා. 

කෙසේ හෝ මේ චිත්‍රපටය අවසානයේදී සිදු වෙන්නේ කිසිසේත්ම නොහිතන දෙයක්. සියල්ල සිදුවෙලා අවසානයේදී ෆ්‍රීමන්ට තමන්ගේ අතීතය හා බැඳුණු අමතක වෙලා ගියේ මතකයන් එකින් එක මතකයට එනවා. චිත්‍රපටයේ නිවැරදිම අවසානය සනිටුහන් වෙන්නේ අන්න එතනදියි. ඒ නිසාම මේ චිත්‍රපටය නරඹන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. 

විනාඩි 112ක්  පුරාවට දිවෙන මේ චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලය නොඅඩුව පිරුණු සිදුවීම් වලින් රසවත් වෙලා තියනවා කියලා මේ චිත්‍රපටය නරඹන ඔබට හිතේවී.

ඒ විතරක් නෙමෙයි , සමහර සිදුවීම් වල අවසානයේදී දැකගන්න ලැබෙන සත්‍යය ඇත්ත වශයෙන්ම සත්‍ය නෙවෙයි කියලාත් ඔබට මෙහි අවසානය දකින විට හිතෙන්නට පුළුවන් ! 

Related Articles

Don't Miss


Latest Articles