“අද දවල්ට රතු බත්, එළබටු කරිය, පරිප්පු තෙම්පරාදුව එක්ක සැමන් තෙල් දාලා”
මධුරි දවල්ට උයල ඉවර වෙලා කෑම පිඟාන ලස්සන පං වට්ටියක් උඩ තියල ගත්ත පින්තුරෙ ෆේස්බුක් එකට අප්ලෝඩ් කරා.
මධුරිට ඉස්සර, ඒ කිව්වෙ බඳින්න කළින් එහෙම උයන්න පුලුවන් කමක් නෑ. බැඳල ඇවිත් නිතේශ් එක්ක තනියෙන් ජීවත් වෙන්න පටන් ගත්තයින් පස්සෙ උදේටයි රෑටයි උයන්න උනේම මධුරිට. සති අන්තෙ වගේම නිවාඩු දවසට දවල්ටත් ඉව්වෙ මධුරිමයි.
“ඔයා නම් කසාද බැඳපු දවසක බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ” කියල අම්ම ඉස්සර විහිලු කරාට මොකෝ මධුරි උයන වැඩේ කරේ හරිම ආසාවෙන්. එක එක ජාතියෙ කරි, මැල්ලුම් වගේ ඒව හදන්න, තමන්ම උයපු කෑමක් රස විඳින්න වගේම ඒවයි ලස්සන පින්තුර අරන් ෆේස්බුක් දාන එක මධුරිට ලොකු විනෝදයක් වුණා.
“රස පාටයි”
“එළබටු ඔහොම පාටට හදන්නෙ කොහොමද අක්කා? කියල දෙන්නකො”
“දැන් කාලෙ හරි ලමයට කුකින් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න” කියල එන ලස්සන ලස්සන කමෙන්ට් ඉතින් ඊලඟ කෑම වේලත් සන්තෝසෙන් හදන්න මධුරිට මාර ආසාවක් තමා එන්නෙ.
“හැමදාම ඉතින් උයන පින්තූර විතරනෙ දාන්නෙ”
මැසෙන්ජර් එකට ටින් ගාලා මැසේජ් එකක් එන සද්දෙට මධුරි බැලුවෙ එලවලුවක් හදන විදිය අහල කවුරුහරි හිතවතියක් සුපුරුදු පරිදි මැසේජ් එකක් එවල වෙන්නැති කියල.
ඒ උනාට මැසේජ් එක එවල නම් තිබුනෙ හිතවතියක් නෙවෙයි. හිතවතෙක් කියලවත් මධුරි කියන්න අකමැති, කරන්න දෙයක් නැති හන්ද ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ තියාගෙන ඉන්න චරිතයක්.
ගිහාන් කුලරත්න…
ගිහාන් කියන්නෙ මධුරිගෙ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් ප්රිහාන්ගෙත් යාලුවෙක්ගෙ හස්බන්ඩ්. මධුරියි ප්‍රිහානුයි බ්රේක් අප් වෙච්ච දවසෙ ඉඳල ගිහාන්ගෙ වැඩේම මධුරිට එක එක විදියෙ මැසේජ් දාලා මධුරිව කතාවට අල්ලගන්න හදන එක.
කතාවට එනවට වඩා මධුරිට පෙන්නන්න බැරි ගිහාන් එවන මැසේජ්ස්.
“අදත් කෑම පින්තූර විතරයි නේද?” කියල කිණ්ඩියට හිනාවෙන ඉමොජි එකක් ගිහාන් සුපුරුදු විදියට මැසෙන්ජර් පණිවිඩයකින් එවල තිබුනා.
මධුරිත් නිකන් හිනාවෙන ඉමොජියක් යවල කතාව නතර කරන්න හැදුවට මොකෝ ගිහාන් නම් උන්නෙ එහෙම ලේසියෙන් කතාව නතර කරන අදහසක නෙවෙයි.
“හැමදාම කෑම පින්තූර දාන්න විතරද අදහස් කරන්නෙ?”
“ඊළඟ දවසෙ කෑම උයන පින්තූරත් දාන්නම්කො”
“කෑම උයන පින්තූර නෙවෙයි දැන් හරි නම් දාන්න ඕන” ගිහාන් ආපහු කියන්නෙ හිනා වෙවී. ගිහාන් මේ කියන්න හදන කතාව මධුරිට ඉතින් අලුත් දෙයක් නෙවෙයි. පහුගිය මාසෙ ලෝන්ග් වීකෙන්ඩ් එකක මධුරි නිතේශ් එක්ක දවස් තුනක විතර ට්‍රිප් එකක් ගියා. ඒ ට්‍රිප් එකේ ලස්සන තැන්වල දාපු ෆොටෝස් වලට එහෙම ගිහාන් සුපුරුදු කමෙන්ට් එක දෙන්න අමතක කරේ නෑ.
“ඇවිදින එකමයි වැඩේ නේද?”
“දෙන්න තුන්දෙනා වෙන්න කාලෙ හරි” වගේ තමන්ගෙ ජීවිතේ පෞද්ගලික දේවල් වලට ඕනවට වඩා හොට දාන ගිහාන්ට හොම්බට දෙකක් අනින්න හිතුනත් ගිහාන්ගෙ බිරිඳ උත්පලා තමන් එක්ක තාමත් හිතවත් නිසා මධුරි ඒ අදහස හිතෙන් අයින් කරගත්තා.
“දැන් මැරි කරල අවුරුදු දෙකක් නේද? බබෙක් හදන්න අදහසක් නැද්ද? පිරිමින්ට ඔහොම ගියාම ගෑණුන්ව එපා වෙනව. බත්ම කව කව පිරිමි ලඟ තියාගන්න පුලුවන් කියල හිතන්න එපා” කියල අහන ගිහාන් මීට අවුරුදු පහකට කලින්, ප්රිහාන්ල එක්කම එක යුනි එකේ ඉගෙන ගත්ත උත්පලා වැරදීමකින් ප්‍රෙග්නන්ට් උනාම “කසාද බඳින්න බෑ දැන්ම, ළමයව ඇබෝට් කරන්න” කිව්ව එකත් මධුරිට අමතක නෑ. ඒ වෙලාවෙ උත්පලාගෙ දුක බෙදාගන්න ගිය මිනිස්සු අතරෙ මධුරිත් උන්නා.
එහෙව් මිනිහ දැන් මේ තමන්ට ළමයි හදන ඒව ගැන කියන්න එන එක ගැන නම් මධුරි ඉන්නෙ පුදුම කෝපෙකින්.
“ප්‍රොසෙස් එක නම් වෙනව. අවුට්කම් එක තමයි ගිහාන් පොඩ්ඩක් ලේට්. ඔයාට වගේ නෙවෙයි ඉතින් බඳින්න කලින් ප්‍රොසෙස් එක කරල නොහිතපු වෙලාවක අවුට්කම් එක ආවම ඒක ඇබෝට් කරන්න කියන ඔයා වගේ අන්ප්ලෑන්ඩ් වැඩ මගෙ ලඟ නෑනෙ.
ප්ලෑන් කරල ඕන කාලෙට මමයි නිතේශුයි දරුවෙක් හදාගන්නම්කො. කොහොමත් ඒ දරුවට විය හියදම් කරන්නෙ අපි හන්ද ඔයා ඒ ගැන වොරි නොවුනට කමක් නෑ” කියල මධුරි ගිහාන්ව බ්ලොක් කරේ මෙහෙම මිනිස්සුන්ව මෙච්චර කල් ෆ්‍රෙන්ඩ්ලිස්ට් එකේ තියන් හිටපු තමන් ගැනම තරහකින්.