ආතතිය කියන්නේ ඕනෑම කෙනෙකුට ඇති විය හැකි දෙයක්. මානසික ආතතිය රැකියාවේ ගැටළු , ඔබේ සම්බන්ධතාවයේ ගැටලු , ආර්ථිකමය ගැටලු හෝ නිවසේ ගැටලු නිසා ඇතිවන්නට පුළුවන්. ආතතියට පත්වී ඇති මොලයක් ඔබේ මානසික ක්‍රියාකාරීත්වයට වගේම ඔබේ සමටත් බලපාන බව ඔබ දන්නවද ?
ඔබ දැඩි ලෙස ආතතියට පත් වී සිටින විට ඔබේ මොළය ” ආතති හෝමෝන ” ලෙස හඳුන්වන කෝටිසෝල් වැනි ඇතැම් හෝමෝන නිපදවනවා. ඔබේ ශරීරයට මෙම හෝමෝනය නිපදවීමෙන් පසුව ඔබේ සමට අධික ලෙස තෙල් නිපදවීම ,කුරුලෑ ඇති කිරීම වැනි බලපෑම් එල්ල කරනවා.මේ ලිපියෙන් ඔබට කියන්නේ ආතතිය නිසා ඔබේ සමට ඇතිවිය හැකි අහිතකර බලපෑම් සහ ඒවා ලිහිල් කර ගැනීමට ඔබට කළ හැකි දේවල් ගැනයි.
සම වියලීම
මානසික ආතතියෙන් පෙළෙන අය නිසි වේලාවට ආහාර ලබා ගැනීම සහ වතුර පානය කිරීම බොහෝ විට සිදු කරන්නේ නැහැ.මේ නිසා සිදුවන ප්‍රධානම ගැටලුවක් තමයි සම වියළීමට ලක් වීම. ආහාර මගින් සමට ලැබෙන නිසි පෝෂණය දෛනිකව නොලැබීම සහ සම විජලනයට ලක්වීම මේවාට හේතු ලෙස හඳුන්වන්නට පුළුවන්.
අධික තෙල් නිෂ්පාදනය
කලින් සඳහන් කළ පරිදි ඔබේ ශරීරය, අධික මානසික පීඩනය යටතේ, ආතති හෝමෝනය වන කෝටිසෝල් හෝමෝනය නිෂ්පාදනය කරනවා. මෙම හෝමෝනය ඔබේ සමේ තෙල් ග්‍රන්ථි අතිරික්ත නිපදවීමට හේතු වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තෙල් සහිත සම මත කුරුලෑ අධික ලෙස ඇතිවීම දක්නට පුළුවන්.
ආසාත්මිකතා සහ කුෂ්ට
සාමාන්‍යයෙන් ඔබ ආතතියට ලක් වූ විට ඔබේ සම මත රතු පැහැ ලප හෝ ගැටිති දක්නට ලැබෙනවා. මේවා ” ආතති කුශ්ට ” ලෙස හඳුන්වන අතර කුඩා තිත් සහ විශාල රතු ගැටිති දක්වා මේවා වර්ධනය විය හැකියි. මුහුණ , බෙල්ල සහ පපුව තෙක් මේ තත්ත්වයන් ඇතිවනවා.
ඔබේ හිස කෙස්
ඔබ දැඩි ලෙස මානසික ආතතියෙන් පෙළෙන බව පෙන්වන තවත් ලක්ෂණයක් ලෙස ඔබේ හිස කෙස් වල වෙනස්කම් හඳුන්වන්නට පුළුවන්. අධික ලෙස හිසකෙස් ගැලවී යාම සහ කැඩී යාම වගේම හිස කෙස් පැසීමද ආතතිය නිසා සිදුවන්නට පුළුවන්.
අඳුරු කව
ආතති සහගත ජීවන රටාවක් පිළිබිඹු කරන ප්‍රධානම ලක්ෂණයක් ලෙස ඔබේ ඇස් වටා අදුරුකව කිව හැකියි. ප්‍රමාණවත් සහ ගුණාත්මක නින්දක් නොමැතිකම මෙයට හේතුවයි. ඇස් වටා අඳුරු පැහැ වීම ඔබේ සම්පූර්ණ පෙනුමට බලපෑමක් ඇති කරනවා. මීට අමතරව ඇස් ඉදිමීම ,ඇස් වල ගිලුනු ස්වභාවයක් පෙනීමත් සිදුවෙනවා.
සම මත ලප ඇති වීම
මානසික ආතතියෙන් පෙළෙන අයෙක් සමබර ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳව කිසිසේත්ම සැලකිලිමත් වන්නේ නැහැ. මෙමගින් දෛනික විටමින් අවශ්‍යතාවය සපුරා ගන්නට හැකි නොවන නිසා විවිධ විටමින් ඌණතාවයන් හැකිවීමේ ප්‍රවණතාවය වැඩියි. මේ නිසා සම මත විවිධ වර්ගයේ පැල්ලම් ඇති විම දක්නට ලැබෙනවා.
ආතති තත්ත්වයන් නිසා ඔබේ සමට ඇතිවන සෘණාත්මක බලපෑම් වළක්වා ගන්නේ කොහොමද ?
විනෝදාංශයක් ඇති කර ගන්න
ඔබේ මනස සැහැල්ලු කරගෙන ආතතියෙන් මිදීමට ඔබට කල හැකි දේවල් වලින් එකක් තමයි විනෝදාංශයක් ඇති කර ගැනීම. මෙය සංගීතයට සවන් දීම , යෝගා අභ්‍යාස වල නිරත වීම , චිත්‍ර ඇඳීම , මල් පැළ සිටුවීම, ලිවීම හෝ චිත්‍රපට නැරඹීම ආදී ඕනෑම ආකාරයක එකක් වන්නට පුළුවන්.ඔබ මෙවැනි ක්‍රියාකාරකම්වල නිරත වීමේදී ඔබේ මනසට ආතතියක් ඇති විය හැකි කරුණු අමතක කර මනස සැහැල්ලු වීම සහ ඔබේ මනස වෙනතකට යොමු කිරීම සිදු වෙනවා.
Skin care routine එක අමතක කරන්න එපා
ආතතියට පත්වුණු ඕනෑම කෙනෙකුට තමන්ගේ දෛනික චර්යාවේ යම් කොටස් මඟ හැරෙන්නට පුළුවන්.විශේෂයෙන්ම ස්කින් කෙයා රූටින් එක මඟ හැරීම සහ සමබර ආහාර වේලක් ලබා නොගැනීම නිසා සම මත විවිධ තත්ත්වයන් ඇති වීමේ හැකියාව වැඩිවෙනවා.ඒ නිසා අවම වශයෙන් උදෑසන අවදි වූ සැණින් මුහුණ හොඳින් පිරිසිදු කර සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ මොයිස්චරයිසර් එකක් භාවිතා කිරීම සහ හිරු ආවරණ නිශ්පාදනයක් භාවිතා කිරීම සඳහා අවධානය යොමු කරන්න.
ක්‍රියාකාරී වන්න
ඔබේ ශරීරයේ නිවැරදි හෝමෝන නිකුත් කිරීම සහ ශරීරය නීරෝගිව තබා ගැනීමට වගේම ආතතිය සමනය කිරීම සඳහාත් ව්‍යායාම අත්‍යවශ්‍ය වනවා. බයිසිකල් පැදීම , පිහිනීම ,ඇවිදීම සහ දිවීම වගේම යෝගා අභ්‍යාස වල නිරතවීම සහ වෙනත් ව්‍යායාමවල නිරත වීමත් ඔබට කළ හැකියි. මෙමගින් ඔබට ආතතියෙන් මිදීමට සහ ඔබ තුළ ධනාත්මක හැඟීම් ඇති කරවීමට පුළුවන්. විශේෂයෙන්ම ඔබේ ශරීරය වෙහෙස වන නිසා රාත්රියේදී හොඳ ගුණාත්මක නින්දක් ලබා ගැනීමටත් ඔබට මෙමගින් හැකියාව ලැබෙනවා.
ආතති කළමනාකරණය පුහුණු වන්න
ඔබට ඔබේ ආතති මට්ටම කළමනාකරණය කර ගත හැකි ලෝකයේ පිළිගත් ක්‍රම කිහිපයක් අත්හදා බලන්නට පුළුවන්.මෙම ක්‍රම මගින් ඔබේ ආතතිය සහ කාංසාව ඵලදායි ලෙස පාලනය කරගන්නට හැකියාව තියෙනවා. එම ක්‍රම අතරින් භාවනා කිරීම , හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ ජර්නල් එකක් පවත්වාගෙන යාම හඳුන්වන්නට පුළුවන්.
සුව නින්දක් ලබා ගන්න උත්සාහ කරන්න
ඔබේ ආතති මට්ටම පාලනය කර ගැනීම සඳහා සුව නින්දක් අත්‍යවශ්‍ය වන බව ඔබ දන්නවා. අප ඉහත සඳහන් කළ පරිදි ව්‍යායාමවල නිරත වීමෙන් පසුව මේ නින්ද ඉතා පහසුවෙන් ලබාගන්න ඔබට පුළුවන්. ඒ වගේම රාත්‍රී නින්දට පෙර අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකීම සහ කැෆේන් සහිත පාන වර්ග ලබා ගැනීම වළක්වා ගැනීමත් කළ යුතුයි. ඔබේ මනස සැහැල්ලු කර ගැනීම සඳහා නින්දට පෙර කැමෝමයිල් තේ වැනි පානයක් උත්සාහ කර බලන්න ඔබට පුළුවන්.
නිවැරදි පුද්ගලයන් සමග කාලය ගත කරන්න
ඔබේ මානසික සහනය සඳහා ඔබ ඇසුරු කරන පුද්ගලයන්ද විශේෂ බලපෑමක් එල්ල කරනවා. ඔබ දැනටමත් ආතතියෙන් පෙළෙන අයෙක් නම් ඔබ ඇසුරු කරන පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කල යුතුයි. ඔබේ ගැටලු කිසිදු බියකින් තොරව බෙදා ගැනීමට හැකි විශ්වාසවන්ත සහ ඔබව ධෛර්යමත් කරන පුද්ගලයන් සමග පමණක් ඇසුර පවත්වා ගැනීමට ඔබ විශේෂයෙන්ම කටයුතු කළ යුතුයි.
මානසික ආතතිය යනු ඕනෑම කෙනෙකුට ඇති විය හැකි නමුත් පාලනය කර ගත හැකි තත්ත්වයක්. නමුත් මානසික ආතතිය නිසා ඇතිවිය හැකි වෙනත් බලපෑම් බොහොමයක් තිබෙනවා. අද අපි මේ ලිපියෙන් කතා කළේ මානසික ආතතිය නිසා ඔබේ සමට ඇතිවිය හැකි බලපෑම් සහ ඒවා ලිහිල් කර ගත හැකි ආකාර කීපයක් පිළිබඳවයි.