ඒකපාර්ශ්වික 14

ධනුකත් නිකිනිත් එක්ව මේඝා සඳහා ලංකාවේ දක්ෂතම විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගෙන තිබුණි. එය අසා මේඝා කලබල වෙතැයි සිතුවද එසේ සිදු වූයේ නැත. සිදුවූ බොහෝ දෑ වලින් හෙම්බත් වී සිටි මේඝා සොයන්නේ සහනයක් බව නිකිනි වටහා ගත්තේ ඒ මොහොතේදීය. 

” අපි හිතුවා psycatrist කෙනෙක් ගැන කිව්වම උඹ මෙතන නටන්න තියා ගනී කියලා. අපි උඹව එක්කගෙන යන්නම් . කොහොමත් තාම හොස්පිටල් එකෙන් දීපු බෙහෙත් ඉවරත් නැහැ නේ  ” 

මේඝා හිස සැලුවා පමණි. නිවාඩු දිනවලත් laptop පරිගණකය දිග හැරගෙන නිවසට වී වැඩ කිරීම මේඝා පුරුද්දක් කර ගත්තේ නිම්නාදගේ මතකය හිතට එබිකම් කිරීම වළක්වාලනු පිණිස ය. නමුත් දැනෙන තනිකම මකාලන්නට එවැනි දේ පමණක් ප්‍රමාණවත් නොවීය. 

” මේඝා. අපි මේ වීකෙන්ඩ් එකේ shooting ” 

අපූර්වා කීවේ මේඝා වෙත ලිපි ගොනුවක් පාමිනි. එය මේඝා දින කිහිපයකට පෙර පිරිමි සුවඳ විලවුන් සන්නාමයක වෙළෙඳ දැන්වීමක් සඳහා ලියූ තිර පිටපතකි. 

” නිම්නාද ගියාට පස්සේ අපි සම්පූර්ණ ප්‍රඩක්ෂන්ස් මුකුත් බාර ගත්තේ නැහැනේ. බාර ගත්ත පළවෙනි එක තමයි මේක. තව ටීම් එකක් එනවා. එයාලත් එක්ක මීටින් එකක් මිස්ට සුරවීර ඇරේන්ජ් කරයි. කොහොම වුණත් ඔයාට එහෙම ගොඩක් මහන්සි වෙන්න වෙයි ” 

අපූර්වා විස්තර කළාය. කොහොමත් නිම්නාදගේ පැමිණීමට පෙර තමා මේ සියල්ල කළ නිසා මෙය මේඝාට සාමාන්‍ය දෙයකි. නමුත් තමා දැන් කායිකවත් මානසිකවත් දුර්වල වී සිටින නිසා ඒ තරම් ශක්තියක් තමා සතුව තිබේදැයි මේඝාට සැකය.

” මේකේ මොඩ්ල් ? ” 

” අහස් අනේ. ඕකේ දාලා තියෙනවා. ඔයා ෆයිල් එක ස්ටඩි කරන්නකෝ ” 

අපූර්වා කියා ගියාය. සමහර වේලාවට මේඝාට වැඩක නියැලෙන්නට සිතෙන්නේම නැත.කොහේ හෝ බලාගෙන පැය ගණනාවක් වුවත් ඉන්නට දැන් මේඝාට හැකිය. මේඝා මුහුණු පොතට පිවිසියේ එහෙව් අලසකමක් දැනුනු නිසාය.

හදිසියේ සිතට පිවිසි අදහසක් මේඝාට එහි ලියන්නට සිත් විය.

කටුක බව දැන දැනත්

රිදෙන බව දැන දැනත්

ඈ ඔහු වැළඳගත්තාය

හදවතේ ලේ ගලන තුවාල 

ඈ දරාගත්තාය

නිදන්නට දෑස් පියාගද්දි ඉනූ කඳුලැලි

ඈ පිසගත්තාය

ඔහු අසන්නට සූදානම් නොවූ හැඟීම්

ඈ සඟව ගත්තාය

මිරිඟුවක් බව දැන දැනත්

ඈ බලා සිටියාය

ඔහු සුවපත් කරන්නට සිතා පැමිණ අවසන,

කිසිවක් කියාගන්නට පෙර

ආදරය නොලබාම

මිය ගියාය………. !

– මේඝා – 

ඉස්සර නම් මෙවැනි සිතුවිලි වලට නිම්නාදගේ ප්‍රතිචාර ලැබෙන්නේය. නමුත් දැන් ඔහු තමාව දැකිය හැකි සෑම මාර්ගයක්ම අවහිර කර ඇත. 

” අහස් ” තම රථයට නැග්ගේ හැකි තරම් ඉක්මනට නිවසට යෑමේ උවමනාවෙනි. කාර්යබහුල දවසක අවසානය කාය වර්ධන මධ්‍යස්ථානයේ ගෙවීමට ඔහු කලක පටන් ආස කළේය. රැකියාවට අමතරව විනෝදාංශයක් ලෙස නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කරන නිසා තම කඩවසම් බව පවත්වාගෙන යාම කෙරෙහි අහස් දැක්වූයේ සුවිශේෂී උනන්දුවකි

” උඹ කොහෙද බං ඉන්නේ ” 

ඇමතුම විශ්මිත ගෙනි

” මම ගෙවල් පැත්තට එන ගමන්.ජිම් එකට යන්න ලෑස්ති වෙලා හිටපන් ” 

අහස් කෙටි පිළිතුරක් දී මිතුරාගේ ඇමතුම අවසන් කළේය.

වාහන තදබදය අතරතුරදී අහස් නැවතත් දුරකථනය අතට ගත්තේ මිනිත්තු 5කටත් වඩා මාර්ගයේ එක තැන රැඳී සිටීමට සිදුවන බව දන්නා නිසාය.

මේඝා පල කල පෝස්ටුව අහස් දුටුවේ ඒ මොහොතේදීය. ” මේඝා ” යනු වසර කිහිපයකට පෙර හමුවූ යුවතියක බව අහස්ට මතක් විය.තමා දායක වුන වෙළඳ දැන්වීමක රූගත කිරීමකදී මුල්වරට ඇයව හමු වූ අවස්ථාව අහස් ට අමතක වී තිබුනේ නැත. ඉඳහිටක හුවමාරු වුන පණිවිඩයක් , ෆේස්බුක් කමෙන්ට් එකක් හැරුනුකොට ඇය සමඟ ලොකු සබඳතාවක් වූයේ නැත. කෙසේ වෙතත් ටික දිනක පටන් විරහව මුසු වූ පද පේලි ඇගේ මුහුණු පොත පුරා සැරිසරන බව අහස් දුටුවේ අහම්බෙනි. නමුත් මේඝා බොහෝ දේ ලියන නිසා විශේෂයෙන්ම ඒ ගැන උනන්දු වන්නට අහසට සිතුනේ නැත. 

” Rainbow Eye ” හී සම්බන්ධීකාරකවරයෙක් වෙළඳ දැන්වීමක් සඳහා තමාව සම්බන්ධ කරගත් බව  සිහි වූ නිසා මේඝාට කෙටි පණිවිඩයක් යවන්නට අහස්ට සිතුනේ ඒ මොහොතේය.

” Hi ” 

මේඝා උන්නේ වැඩ අවසන් වී නිවසට යන අතරේය. අහස්ගෙන් පණිවිඩයක් පැමිණේවියැයි මේඝා සිතුවේ නැත.ඉදිරි දිනයක කාර්යාලයේදී ඔහු සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත නමුත් එය පැවැත්වෙන දිනය වත් මේඝා දැන සිටියේ නැත. එකත් එකටම අහස් මේ කෙටි පණිවිඩයක් එවන්නට ඇත්තේ ඒ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට විය යුතුය.

” Hi Ahas ” 

මේඝා අහස්ට පිළිතුරක් යවා ත්‍රී රෝද රථයේ බඳට හිස තබා ගත්තාය. යන එන ගමනේදී පවා නිම්නාද සිහි වීම නවතන්නට නොහැක.

තමා බෙහෙවින්ම ඇලුම් කරන තමාගේ නිවස තුළ ජීවිතයේ බොහෝ දේ ඔහුත් සමග බෙදා ගත් බව ඇත්තකි. නමුත් ඒ කොතනකවත් දැන් ඔහු නැති සත්‍ය තමා පිළිගත යුතු බව මේඝාට යලිත් සිහිවූයේ නිවසට ඇතුළු වී දොර වසා දමා බොහෝ සිතුවිලි දිගු සුසුමකින් මුදා හල පසුය. 

ඔහුගේ ප්‍රියතම ආහාරයන් තමාගේද ප්‍රියතම ආහාරයන් කරගෙන රස බැලූ ඒ දිගු තප්පර මේඝාගේ මතකයට එබිකම් කලේ කුසගින්න උදෙසා නොව බෙහෙත් පෙති ගිල දැමීම සඳහා පමණක්ම සකස් කර ගත් ක්ශණික නූඩ්ල්ස් පිඟාන මේසය මතම නිවී යන විටය. බොහෝ රස ආහාර පිසුනු මුළුතැන්ගෙයි දැන් තමා වෙනුවෙන් එහෙම ආහාරයක් පිසෙන්නේද කලාතුරකිනි.නැත්තම් ධනුක හෝ නිකිනි ආ විටය. 

සෝෆා එක මතම නින්ද ගොස් සිටි මේඝා තිගැස්සී ඇහැරුනේ දුරකථනය නාද වන හඬිනි. බිත්ති ඔරලෝසුවේ වෙලාව රාත්‍රී දහයයි පහ ලෙස සටහන් වී තිබුණි. අඩ අඳුරේ ගිලී තිබූ නිවසේ නිහඬතාවය බිඳිමින් නාද වන දුරකථනය මේඝා අතට ගත්තේ ඒ ධනුක හෝ නිකිනි යැයි සිතමින් වුවත් ඇමතුම පැමිණෙමින් තිබුනේ ” අහස් ” ගෙනි.

” හෙලෝ අහස් ” 

” හෙලෝ මේඝා.අම්මෝ ඔයාගේ පරන නම්බර් එක වැඩ කරනවද කියලා සැකේට මං ගත්තේ.. ඔයා නිදාගෙනද හිටියේ ?  ” 

අහස් ගේ හඬේ තිබුණේ උද්‍යෝගිමත් බවකි. 

” අ.. න්.. නෑ නෑ අහස්. ” 

” ඉතින් කොහොමද ? සෑහෙන කාලෙකින් නේද ? හවස මං ඔයාගේ කවියක් කියෙව්වා. එතකොට තමයි මට මතක් වුණේ මට ඔයාලත් එක්ක වැඩක් තියෙනවා කියලා. “

මේඝා උන්නේ නිහඬවමය. කියන්නේ කුමක්දැයි සිත සිතය.

” මේඝා ? ඔයා හොඳින්ද ? ” 

අහස් අසන්නේ මේඝාගේ නිහඬ බව ඇයට පුරුදු එකක් නොවන බව දන්නා නිසාවෙනි. ඇයව හමුවූ මුල් දිනයේම , ඈ තුළින් දුටු තොර තෝංචියක් නැතිව කියවන , මහ හඬින් සිනාසෙන ළදැරියව අහස්ට අමතකව ගොස් තිබුණේ නැත. 

” ඔ. ඔව් අහස් ” 

මේඝාට කියා ගන්නට ලැබුණේ එපමණකි. උගුරේ සිරවී තිබූ හැඬුම පිට පැන්නේ නිරායාසයෙනි. කවුරුන් හෝ තමා හොඳින් දැයි ඇසූ විට හැඬෙන්නට තරම් තමාගේ සිත දුර්වල වූයේ කෙසේදැයි මේඝාට නොතේරේ. දුරකථනයේ එහා ඉම අහස් ඉන්නා වගත්  අමතක වූ මේඝාගේ හැඬුම කෙමෙන් අඩු වී ගියේ විනාඩි දහයකටත් වඩා ගෙවීමෙන් පසුවය.තමා ඉන්නේ දුරකථනය කනේ තියාගෙන වග ඇයට පසක් වූයේ ඊටත් පසුවය.

” මගේ ප්‍රශ්නෙට හරි උත්තරේ හම්බ වුණා ” 

අහස් කීවේ නිවුණු හඬිනි. 

” අහස් මං… ” 

” මට තේරෙනවා මේඝා . ඔයා හොඳින් නෙමෙයි. ඔයා කැමතිනම් ඔයාගේ ප්‍රශ්නෙ මට කියන්න. ඕන වෙලාවක මට කතා කරන්න. ඔයා මේ අඬනවා අහගෙන හිටියා වගේම ඔයාව අහගෙන ඉන්න මට පුළුවන් ” 

ඇමතුම අවසන් වී බොහෝ වේලාවක් ගිය පසුත් මේඝා උන්නේ කල්පනාබරවය. මුණ ගැහුණු පළවෙනි දිනයේම අහස් තුළින් දුටු කෙලිලොල් තරුණයා තුළ මෙවැනි සංවේදී හිතක් ඇතැයි තාමත් මේඝාට සිතා ගන්නට අපහසුය. තමා හඬනයුරු ඔහු බොහෝ වේලාවක් අසා හිඳීමම කෙතරම් හොඳ දැයි සිතමින් මේඝා නිවී ගිය නූඩ්ල්ස් පිඟාන අතට ගත්තා ය.

අහස් උන්නේ දෙගිඩියාවෙනි. වසර එකහමාරකට පෙර නැවතී ගිය පෙම් සබඳතාවයෙන් පසු තරුණියක් නිසා හිත සෙලවී ගිය පළමු වතාව මෙය ය. ගැහැණු හිතක් ඇත්තෙන්ම මුදු මොළොක් වුවත් තමා ප්‍රේම කළේ කළු ගල් පර්වතයක් මෙන් තද හිතක් ඇත්තියකට බව අහස්ට යළි සිහිපත් වූයේ මේඝාගේ හැඬුම නිසාවෙනි. 

” මොකද බං වෙලා තියෙන්නේ ? උඹේ ඔරලෝසුවේ මොකක් හරි අවුලක්ද ? මෙච්චර උදෙන් ජිම් එකට ආව කාලයක් මතක නෑ අම්මපා ” 

පෙර දින රාත්‍රියේ හරිහැටි නින්දක් නොවූයෙන් අහස් උදෑසන හය වන විට කාය වර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණියේ විශ්මිත ද කැටුවය. 

” ඊයේ මාර සීන් එකක් උනානේ ” 

අහස් කීවේ බෑගය පසෙකින් තබමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles