ඉක්මණින් පහසුවෙන් රුලං පිට්ටු හදමු

ඔන්න අද අපි සූදානම් වෙන්නේ වෙනද හදන පුරුදු හාල් පිටි පිට්ටු වලට වඩා වෙනස් රසයෙන් වගේම පෝෂණ ගුණයෙනුත් අඩුවක් නැති ඉක්මණින් ලේසියෙන් හදාගන්න පුළුවන් රුලං වලින් පිට්ටු හදන විදිහ ඔබට කියල දෙන්නයි. 

හාල් පිටි පිට්ටු වගේ නෙමෙයි වෙළඳපොලේ සාමාන්‍යයෙන් මිලදී ගන්න තියෙන රුලං ඒ විදිහටම පාවිච්චි කරල හදාගන්න පුළුවන් නිසා රුලං පිට්ටු ඔබට හිතෙන ඕනෑම වෙලාවක ඉක්මණින් හදාගන්න පුළුවන්. 

රුලං වලට අමතරව මස්, මාළු, බිත්තර වගේම එළවළු වර්ගත් එකතු කරන්න පුළුවන් නිසා පෝෂණ ගුණය වගේම ලස්සන පෙනුමකුත් රුලං පිට්ටු වලට ලැබෙනවා. 

එහෙනම්, අපි මුලින්ම බලමු රුලං පිට්ටු හදාගන්න අවශ්‍ය දේවල් මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

රුලං කෝප්ප 02 ½ ක් 

ගාගත් පොල් කෝප්ප 02 ක් 

වතුර 

කුඩාවට කපාගත් තම්බපු මස් / තම්බපු මාළු / තම්බපු බිත්තර 

කුඩාවට කපාගත් කතුරුමුරුංගා කොළ / මුරුංගා කොළ / ගොටුකොළ 

කුඩාවට කපාගත් වට්ටක්කා / කැරට්

ලුණු කුඩු 

සාදාගන්නා ආකාරය 

පිට්ටු බම්බුවේ යට කොටසට වතුර පුරවා වතුර නැටීමට තබන්න. 

ඒ අතර තරමක් විශාල භාජනයක් ගෙන එයට ගාගත් පොල් සහ වතුර මේස හැඳි 02 ක් පමණ එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට රුලං සහ ඔබේ රස අනුව ලුණු කුඩු එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

(තෙත ගතිය අඩු නම් නැවත වතුර මේස හැන්ඳක් පමණ එකතු කරගන්න ඔබට පුළුවන්)

දැන් එයට ඔබේ කැමැත්ත අනුව තම්බපු මස් / මාළු / බිත්තර ත් එළවළු සහ පලාවර්ගත් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

ඊළඟට, මේ පිටි මිශ්‍රණය ඔබේ පිට්ටු බම්බුවේ උඩ කොටසේ අසුරා ගෙන වතුර නටන විට පිට්ටු බම්බුවේ යට කොටසට සම්බන්ධ කර පියන වසා සාදාගත් රුලං පිට්ටුව තම්බා ගන්න. 

උඩින්  දුම් පිටවෙන විට පිට්ටුව තැම්බී අවසන් බව ඔබට දැනගන්න පුළුවන්. 

ප්‍රවේශමෙන් නොකැඩෙන සේ පිට්ටුව බම්බුවෙන් ඉවතට ගෙන පොල් කිරි, කට්ට සම්බෝල හෝ ඔබ කැමති හොඳි වර්ගයක් සමඟ රස බලන්න ඔබට පුළුවන්. 

එහෙනම් මේ විදිහට රස ගුණ පෝෂණය පිරුණු රුලං පිට්ටු හදල බලමුද?

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles