අරගලය

” අඩෝ .. කසුන් ..උඹේ කෙල්ල යූනියන් එකේ ඉන්නවද බං ..?”

කසුන්ගේ කාමරේට කඩාගෙන බිඳගෙන ආව මලිත්   එහෙම අහනකොට කසුන් හිනාවීගෙනම ඔලුව වැනුවා. මලිත්  ඒ දිහා බලාගෙන හිටියේ කසුන් මහ උමතු වැඩක් කලා වගේ හැඟීමකින්. කසුන්ගේ කාමර සගයා වුන චානක  නම් ඒ හිනාවට හේතු දන්න නිසාම කාමරේට එබිලා ඉන්න මලිත්ගේ  ලොවි ගෙඩි ඇස් දිහා බලලා කසුන්ටත් පෙන්නලාම හිනා වුනා.

” මොකෝ උඹ හොල්ම්නක් දැකලා වගේ බය වෙලා…”

චානක  බැරිම තැන ඇහුවම මිතුරා ඇවිල්ලා ඇඳක් උඩ වාඩි වුණා.

” පිස්සුද බං උබට ඇත්තටම ?..”

මලිත්  කසුන්ගෙන් ඇහුවා.

” පිස්සුද අහන්නේ ?…”

” ඇයි බං චාපාට ඕවට යන්න දුන්නේ.. එව්වා කෙල්ලන්ට හරියන වැඩද බං ?… ඔක්කොමත් හරි ආයේ ඒකි උඹට ආම්බාන් කරන්න නම් වෙන්නේ නෑ පුතෝ ඔව්වාගේ නටන්න ගත්තාම …”

“මොනාද උබ කියන්නේ බං ?…”

” මිනිහෝ .. චාපා යූනියන් වයිස් ප්‍රසිඩන්ට් ලු නේ ? … “

” ඉතින්.?.”

ගැහැණු ළමයි කියන්නේ අරගල වල කොටස් කාරයෝ වෙන්න ඕනි නැහැ කියලාත්, එහෙම පමණට වඩා සමාජයට නිරාවරණය වෙලා සමාජශීලි වෙන ගැහැණු ළමයින්ව නඩත්තු කරන එක ලේසි නැහැ කියලාත් කිය කියා කියා මලිත් කසුන්ට පැය ගානක් දේශනයක් දුන්නා. කොහොම හරි පැහැදිලි කරලා චාපාව ඒ තනතුරු වලින්  අයින් කරවගන්න කියලත්, එහෙම නැත්නම් වෙන අතක් බලාගන්න හිත හදාගන්න කියලාත් උපදෙස් දීලමයි මලිත්  කාමරෙන් ගියේ. කසුන් මලිත්ට සමුදීලා ගියේ චාපාව මුණ ගැහෙන්න.

කසුන් යනකොට චාපා උන්නේ ආපන ශාලාවේ කොනේම මේසේ වාඩි වෙලා ජංගම දුරකතනයට එබීගෙන. කසුන් දුර තියා එනකොටම චාපා ඔලුව උස්සලා බැලුවා.

“හතර වටේටම ඇස් තියෙනවද?..”

චාපාගෙන් එහෙම අහගෙනමයි කසුන් චාපා ළඟින් ඉඳගත්තේ. චාපා හිනා වෙලා කසුන්ගේ අතින් අල්ලගත්තා.

” මහන්සිද?..”

කසුන් එහෙම ඇහුවේ සාක්කුවේ තිබුණු පොඩි පාර්සලයක් මේසේ උඩ තියන ගමන්. චාපා ඒක දිග ඇරලා බැලුවා. උගුරේ අමාරුවට බෙහෙත් පෙති දෙකක්. චාපා ඇස් දෙකේ කඳුලු පුරවගෙන ඒ දිහා බැලුවා.

” කාලා ඕක බොමු.. අද පැයක් විතරම උගුර කඩාගෙන කෑ ගැහුවානේ…”

කසුන් එහෙම කියලා චාපාගේ කම්මුලට තට්ටුව දැම්මා. මධ්‍යම පාන්තික පවුලක බාල දියණිය වුන චාපාට අරගල අරුමයක්  නොවුනේ තාත්තා වගේම අයියත් සාධාරනය වෙනුවෙන් අරගල කරන අය නිසා. සමාජ තත්වය අතින් චාපාට වඩා ඉහල තැනක උන්නත් කසුන්ගේ පවුල් පසුබිම ඇතුලේ ඒ වගේ තත්වයක් තිබුනේ නැහැ. කසුන්ගේ අම්මටයි තාත්තටයි විශාල ඇඟලුම් කර්මාන්තශාලාවක් අයිති වෙලා තිබුනා. සේවක සේවිකාවෝ දෙදාහක් විතරම ඒකේ සේවය කලා. ඒ නිසා කසුන්ලාගෙ ගෙදර ඇතුලේ නිතරම කතා වුනේ වෘත්තීය සමිති  මර්ධනය කරලා සේවකයන්ව පාලනාඪ්ඃඉකාරයට නතුව තියාගෙන ඉන්න විදිය ඝැණ.

ඒ කොහොම වුනත් චාපාගේ මේ ඉදිරිපත් වීම ගැන කසුන් ඉන්නේ ආඩම්බරෙන්. අම්මලා මේ ගැන දැනගත්තාම අවි අමෝරාගන්න බව දන්නවා වුනත්, කසුන්ට චාපාව නවත්තන්නවත්, චාපාව තනි කරන්නවත් අවශ්‍ය වුනේ නැහැ.

කාලය දවසින් දවස ගෙවිලා ගියා.

චාපා ටික දව්සක ඉඳන් අමුතු බව කසුන්ට වැටහුණා. ඒ ගැන විමසන්න සූදානම් වෙන හැම මොහොතකම චාපා කලේ මඟ ඇරපු එක. උත්සාහ කරලා කරලා අවසානේදී කසුන් චාපාට පැනලා යන්න ඹැරි වෙන්න කොටු කර ගත්තා.

” හරි දැන් මට කියන්න මොකද්ද ප්‍රශ්නේ ?..”

චාපා කලේ ඔලුව දෙපැත්තට වන වන උන්න එක. ඒත් කසුන්ගෙන් බේරීමක් ලැබුනේ නැහැ.

” ඔයා හිතන්නේ මං ඔයාගේ ආදරේට, ඔයා එක්ක ජීවිතේ බෙදාගන්න සුදුසු නැහැ කියලද කසුන්?..”

චාපා අමාරුවෙන් වචන එකතු කරගෙන එහෙම ඇහුවා. කසුන් චාපා දිහා බලාගෙන හිටියේ අගක් මුලක් වටහා ගන්න බැරිව. චාපා ටිකෙන් ටික කතා කලා.

” මලිත් දෙතුන් තැනකම කියලා මං හින්දා ඔයාගේ ජීවිතේ විනාස වෙනවා කියලා. කොල්ලෙක් බලාපොරොත්තු වෙන ගෑණු ගති මගේ ලඟ නෑ කියලා. රෑ එලි වෙනකල් කොමන් හෝල් එකේ පෝස්ටර් ඇඳ ඇඳ කොයි කවුරු එක්ක මොනවා කරනවද දන්නේ නෑනේ කිව්වලු …”

එහෙම කියනකොට චාපාගේ හඬ බිඳුණා.  කසුන් කෝපයෙන් දෑත් මිට මොලවගත්තා. මලිත්ට චාප ගැන තියෙන ප්‍රශ්නය මොකද්ද කියලා ක්සුන්ට වටහා ගන්න බැරි  වුනා.

” ඔයා කැමති තීරනයක් ගන්න කියලා මට කියන්න බෑ .. මං ඔයාට ආදරෙයි. මං ඔයත් එක්ක ජීවත් වෙන්න ආසයි. ඒත් මේ යූනියන් වැඩත් මං කරන්නේ ආසාවෙන්. ඒ කිසිම ලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මං ආසයි , මට සතුටුයි. “

කසුන් චාපාගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.

‘” චාපා… මේක හොඳට අහගන්න. අපි ආයේ මේ ගැන කතා කරන්නවත් ඕනි නැහැ.  ඔයා සමාජ අරගල වලට හිර වෙලා රැයක් දවාලක් නැතුව කට්ට කනවා කියන එක මට  මහ වීරත්වයක් නෙවෙයි. ඒ වගේ දෙයක් නඩත්තු කරන එක ඕනාම කෙනෙක්‍ට පුහුණු කරන්න පුලුවන්.  ඒ වගේම ඔයාගේ ඒ වැඩ කටයුතු මට කිසිම බාධාවකුත් නෙවෙයි. ඒත් ඔයා මට ආදරේ කරන එක මට මහ වීරත්වයක්. මං ඒ ආදරේට ලෝබයි, ආදරෙයි….. වටේ ඉන්න අයට දාහක් දේ කියන්න දෙන්න චාපා…. මාව විතරක් විශ්වාස කරන්න …”

එදයි පස්සේ මලිත් තැන තැන කීව කතා ආරංචි වුනාම  චාපාගේ හිත රිඳුනේ නැහැ. ඒ වෙනුවට මලිත්ලාගේ මානසික මට්ටම් වෙනස් බව තේරුම් ගන්න විතරක් උත්සාහ කලා. ගැහැණු පිරිමි බේදයක් නැතිව කරන්න පුලුවන් සමහර දේවල් කරන එක වැරැද්දක්වත්, අපහාසයක්වත් නෙවෙයි බව තේරුම් ගන්න උත්සාහ කලා.

යාබද පීඨයක සිසුන් එක්ක රණ්ඩුවකට පැටලිලා මලිත් ඇතුළු සිසුන් විසි දෙනෙක්ගේ පන්ති මාස හයකට තහනම් කලේ ඒ අතරේ. ඒ වගේ සිදුවීමකට සති දෙකකින් මෙහා මිසක් එහා පන්ති තහනමක් සාධාරණ නැති බව හැමෝම දන්නවා.

ඒ ගැන දැනගත්තාම චාපා වහාම ශිෂ්‍ය සංවිධානයේ පිරිස එක්ක කතා බහ කරන්න ගියේ කසුන්ට සමුදීලා. සභාපතිවරයා හදිසි අසනීපයක් නිසා රෝහල් ගත කරලා තිබුන නිසා සභාපති පුටුව චාපාට වෙන් වුනා. ඔවුන් පන්ති තහනමට අදාල සිසුන් විසි දෙනා එක්කත් සාකච්චා කලා. පහුවෙනිදාට “අසාධාරණ  පන්ති තහනම ඉවත් කරනු …” යන තේමාවෙන් සරසවිය ඉදිරිපස විරෝධතාවයක් සංවිධානය කලා. සභාපතිවරයා නොඋන්න නිසා ප්‍රධාන දේශනය කලේ චාපා. චාපාට නොපෙනෙන මානෙක ඉඳන් කසුන් ඒ කතාව අහගෙන හිටියේ ආඩම්බරෙන්.

විරෝධතාවය අවසානේදී ශිෂ්‍ය සංගම් නියෝජිතයන් කිහිප දෙනෙකුට පාලක මණ්ඩලය එක්ක සාකච්චාවකට ආරාධනා ලැබුනා. චූදිත සිසුන් නියෝජනය කරමින් මලිත් සහ තව ශිෂ්‍යයන් කිහිප දෙනෙක් එකතු වුණා.

චාපා අතීත අවස්තා ගැනත් උදාහරණ එක්කම කියන්න සූදානම් වෙලයි ගිහින් තිබුණේ. පීඨාධිපතිතුමා ගේන අසාධාරණ හේතු ඉතාම සාර්තක විදියට බිඳලා දාන චාපා දිහා මලිත් බලාගෙන හිටියේ ඇස් තෙත් කරගෙන.

පහුවෙනිදාට මලිත්ලාගේ පන්ති තහනම ගැන තීරණය ලැබුනා. මලිත්ලා ඇතුළු විසි දෙනාගේ පන්ති තහනම සති දෙකකට අඩු කරලා තිබුනේ දැඩි අවවාදකිරීම් එක්ක.

” අපි අපි ඇයි බං මරාගන්නේ?…”

චාපාට ස්තුති කරනකොට චාපා මලිත්ගෙන් ඇහුවා. මලිත්ට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ.

” උබ තරම් වාසනාවන්ත කොල්ලෙක් ආයේ තව නෑ බං.. චාපා කියන්නේ පට්ට කෙල්ලෙක් … මං දැනගෙන උන්නේ නෑ කෙල්ලෙක්ගේ ශක්තිය කියන්නේ එච්චරට ලස්සන දෙයක් බව…”

කසුන්ගේ කාමරේට එබුන මලිත් එහෙම කියනකොට චානක කසුන්ගේ දිහා බලලා හිනා වුනා.

අපේක්ෂා ගුණරත්න 

More Stories

Don't Miss


Latest Articles